01/07/2021
මුහුදු සේද මාවත සමඟ අතීත ශ්‍රී ලංකාව සම්බන්ධ වූ පැරණි මාතොට වරාය නගරය
-------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශය සංවේදී ස්ථානයක් ලෙස මන්නාරම මාතොට වරාය නගරය හැඳින්විය හැකිය. මන්නාරම නගරයේ සිට ඒ 32 යාපනය දක්වා වන මාර්ගයේ කි.මී. 10 ක් ගමන් ගත් විට වරාය නගර පරිශ්‍රයට ළඟා විය හැකිය. වර්තමානයේ මෙම භූමියේ තිරුකේතීශ්වරම් කෝවිල පිහිටා ඇත. වර්ග කි.මී. 1 1/2 ක භූමි ප්‍රදේශයක පැරණි වරාය නගරයේ අවශේෂ විසිරී පවතී. කි.මී. 1ක් පමණ දිගින් යුතු දිය අඟල හා ඒ අවට දේශිය හා විදේශිය භාජන කැබළි, වළං හා පබළු භූමිය මතුපිට සුලභව දක්නට ලැබෙන අතර විවිධ අවස්ථාවලදී සිදුවූ පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් භූ අභ්‍යන්තරයේ වූ පුරාවිද්‍යාත්මක ව්‍යුහ රාශියක්ද හමුව ඇත.
මාතොට වරාය නගරයේ පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු බෝකේ (1887), ඒ. එම් හෝකාර්ට් (1925-1928), ආර්. එච්. ද සිල්වා (1940), එස්. සන්මුගන් (1950), ආචාර්ය සිඩ්නි එම් කප්ලාන් (1957), ආචාර්ය කොඩ්රින්ටන්, පී. එල්. ප්‍රේමතිලක (1965), එස්. යූ. දැරණියගල (1980) යන විද්වතුන් විසින් විවිධ කාල වකවාණුවලදී සිදු කර තිබේ. 2018 - 2020 වර්ෂවල කැලණිය විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ චීනයේ සී-චුආන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව චීන ශ්‍රී ලංකා සහයෝගිතා පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතිය යටතේද ගවේෂණ සහ කැණීම් ව්‍යාපෘතියක් සිදුකරන ලදී.
විවිධ අවස්ථාවන්වල සිදුවූ මෙම කැණීම්වලින් දේශිය විදේශිය කාසි, ඇත් දත්වලින් නිර්මිත භාණ්ඩ, මුතු, මැණික්, තඹ, ලෝකඩ, වීදුරු, චීන මැටි බඳුන් කැබලි, කාර්නීලියන් පබළු ආදී පුරාවිද්‍යාත්මක අවශේෂ සහ වරාය නගරයට අයත් පුරාවිද්‍යාත්මක ව්‍යුහ හමුව තිබේ. අනුරාධපුර රාජධානිය පැවති සමයේ අගනගරයට වඩාත් සමීප ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායක් ලෙස මාතොට (මාන්තායි) හැදින්විය හැකිය.
පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල මහවොටු, මහපුටු, මාවටුතොට, මහපටන ලෙස හැඳින්වෙන්නේ ද මෙම මාතොට ප්‍රදේශයයි. මෙම වරාය නගරය ක්‍රි. පූ. 2වන සියවසේ සිට ක්‍රි. ව. 13 වන සියවස දක්වා සක්‍රිය වරායක් ලෙස පැවතී ඇත. වංශකතා සාධක අනුව මෙම ප්‍රදේශයේ ඉතිහාසය කකුසඳ බුදුන්ගේ අවධිය දක්වාම දිව යයි. විජය රජුට අග බිසව ලෙස ඉන්දියාවෙන් පැමිණි කුමරියගේ ගොඩ බැසීමත්, ක්‍රි. පූ. 161 දී භල්ලුක යෝධයා සැටදහසක් සේනාව රැගෙන ඒමත්, පළමුවන පරාක්‍රමබාහුගේ සේනාවක් පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණයට පිටත් වීමත් ආදී සිදුවීම් බොහොමයක් මහාවංශයට අනුව සිදුව ඇත්තේ මෙම මාතොට වරාය කේන්ද්‍ර කරගෙනය. ටොලමිගේ ලංකා සිතියමේ ‘මෝදුත්තු’ ලෙස නම් කර ඇත්තේ මාතොට බව විචාරක මතයයි. හතරවන මිහිදු රජුගේ බදුලු ටැම් ලිපියේද, නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදාන මණ්ඩප ලිපියේද මාතොට ගැන සඳහන් තොරතුරු වේ. මාතොටින් හමු වූ ද්‍රවිඩ සෙල්ලිපියක මාතොට මාන්තෝට්ටම් හෙවත් රාජපුරම් ලෙස හඳුන්වා තිබේ. මෙම ස්ථානයෙන් සොයාගත් බුදධ ප්‍රතිමා ශීර්ෂයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. වරාය භූමියේ තිබී සොයා ගත් 4වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) රජ සමයට අයත් ටැම් ලිපියක් මේ වන විට වවුනියාව කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත. මේ අනුව පෙරදිග මුහුදු සේද මාවතේ පිහිටි ප්‍රසිද්ධ වරායක් ලෙසත්, අනුරාධපුර රාජධානියේ මුල් සමයේ සිට ක්‍රි.ව.15 වන සියවස දක්වා ක්‍රියාත්මකව පැවති ප්‍රධාන වරායක්, වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසත් මාතොට වරාය හැඳින්විය හැකිය.
වර්තමාන ක්‍රිස්තියානි පල්ලිය පිහිටා ඇති ස්ථානයේ පැරණි දාගැබක නටබුන් තිබූ බව සිතියම් මූලාශ්‍රවලින් අනාවරණය වේ. 1973.09.07 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විශේෂ ගැසට් පත්‍ර අංක 9-157 මඟින් මෙම සමස්ථ භූමි ප්‍රදේශයම පුරාවිද්‍යා පරිශ්‍රයක් ලෙස නම් කර ඇත. මේ වන විට මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ ආරක්ෂාව සහ නඩත්තු කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගේ අධීක්ෂණයෙන් සහ වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ඇතුලු නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරමින් සිදුකරමින් සිටී.
සටහන
Archaeology News Network . Sri lanka
ඡායාරූප මූලාශ්‍රය - MANTAI CITY BY THE SEA ග්‍රන්ථය