14/06/2024
☠️ බිලී කොක්කට හසු නොවී ඇම කන ආකාරය ;
ධීවරයා විසින් මසුන් අනුභව කරන ආහාරයක් එනම් ‘ඇමක්’ රැඳ වූ බීලී කොක්කක් ජලයට දැමූ පසු, එම ‘ඇම’ දකින මාළුවා එම ආහාරය කෙරෙහි ඇති වූ දැඩි ආශාව නිසා එකවරම එම ඇම ගිල දැමීමට උත්සාහ කරයි. එවිට මාළුවාගේ කට බිලී කොක්කේ ඇමිණීම නිසා මාළුවා උගුලට හසු වෙයි. ධීවරයා විසින් පහසුවෙන් ම දියෙන් ගොඩට ගත් මාළුවා ටික වේලාවකට පසු මිය යයි. ‘ඇම’ පිටුපස සැඟව පවතින බිලී කොක්ක නොදැකීම හේතුවෙන් මාළුවාට එම විපත උරුම විය. මාළුවා ජලය තුළ දී දකින සියලු වස්තූන් කෙරෙහි දැඩි ආශාවකින් කටයුතු නොකරයි. මේ අකාරයට ම, ලොව ජීවත් වෙන සියලු සත්ත්වයෝ ද, ඔවුන් ජීවත් වෙන පරිසරයේ සිටින සියලු සත්ත්වයන්, පුද්ගලයන්, ගෙවල් දොරවල්, දේපල සැප සම්පත්, නිල තල, නම්බු නාම බඩු බාහිර ආදී සියල්ල කෙරෙහි ‘අන්තගාමීව’ ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ මැනීමෙන් කටයුතු නොකරති. ඒ ඒ සත්ත්වයන්ගේ සිත ‘අන්තගාමීව’ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ යම් යම් දේවල් කෙරෙහි පමණි. එසේ ඒ ඒ පුද්ගලයා ඇලෙන ගැටෙන බාහිර වස්තු ප්‍රමාණය පරිසරයේ තිබෙන සියලු වස්තුවලට සාපේක්ෂව ඉතාමත් ම සුළු කොටසකි. (සූ.දේ.6) ඔබේ ඇසට දකින රූප, කනට ඇසෙන ශබ්ද රූප, නාසයට දැනෙන ගඳ සුවඳ රූප, දිවට දැනෙන රස රූප, ශරීරයට දැනෙන පහස රූප, මනසට දැනෙන ධම්ම රූප ‘සියල්ලට ම ඔබ තුළ ප්‍රිය බවක් හෝ අප්‍රිය බවක් ඇති නොවෙයි’. ඔබ තුළ වූ රාග ගති ස්වභාවයන්ට ම සමාන වූ ගති ස්වරූපයන්, ගති ලක්ෂණයන් ඇති බාහිර වස්තු කෙරෙහි, සමහර අවස්ථාවන්වල දී පමණක්, ඔබේ සිත තදින් ම ඇදී බැඳී යයි. ඔබ දැඩි ආශාවකින් ඒ ඒ වස්තූන් ඔබ සතු කර ගැනීමට, ඔබ කැමති ආකාරයට ම පවත්වන්නට, එනම් නිච්ච සේ සුඛ සේ අත්ථ සේ පවත්වන්නට උත්සාහ කරමින් නැවත නැවතත් රාග ගති උපදවා ගනියි. (සූ.දේ.3 / සූ.දේ.4 / සූ.දේ.10) ඔබ තුළ වූ ද්වේෂ ගති ස්වභාවයන්ට ම සමාන වූ ගති ස්වරූපයන්, ගති ලක්ෂණයන් ඇති බාහිර වස්තු කෙරෙහි සමහර අවස්ථාවන්වල දී පමණක් ඔබේ සිත තදින් ම ගැටී විරුද්ධව කටයුතු කරයි. ඔබ දැඩි අකමැත්තකින් ඒ ඒ වස්තූන්ගෙන් ඈත් වීමට, ඔබ කැමති දෙය කෙසේ හෝ සිදු කර ගැනීමට උත්සාහ කරමින්, එනම් නිච්ච සේ සුඛ සේ අත්ථ සේ පවත් වන්නට උත්සාහ කරමින් නැවත නැවතත් ද්වේෂ ගති උපදවා ගනියි. මෙසේ සියලු සත්ත්වයෝ සං ගති ඉපදවීමේ දී ලැබෙන තාවකාලික වූ ආස්වාදය නිසා ම එම ආමිස සුවය සාර සේ, සුබ සේ දකිමින් නැවත නැවතත් සං ගති උපදවමින් නොනවතින සංසාර ගමනක යෙදෙති.(සූ.දේ.1 / සූ.දේ.2 / සූ.දේ.3 / සූ.දේ.10) මාළුවා ‘ඇම’ සාර සේ, සුබ සේ, දැක ඉවසීමකින්, විමසීමකින් තොරව මුලාවෙන් කටයුතු කොට බිලී කොක්කට හසු වූවා සේම සියලු සත්ත්වයෝ ද තාවකාලික වූ ‘ආමිස සුවය’ නැමති ඇමට රැවටී මුලාවෙන් එනම් අවිද්‍යාවෙන් කටයුතු කොට සං ගති උපදවා ගනිති. මාළුවා ‘ඇම’ පිටුපස සැඟව පවත්නා ‘බිලී කොක්ක’ නොදකියි. ඔබ ද රාග, ද්වේෂ, මෝහ නැමති සං ගති උපද වන විට එයින් ලැබෙන ‘ආමිස සුවය නැමති ඇමට’ ලොල් වෙමින් කටයුතු කරද්දී, එම ඇම පිටුපස සැඟව පවත්නා යථාර්ථය නොදකියි. එනම් ඔබ තම තමන්ගේ පිරි අපිරි ලෝකය සත්‍යය ලෙසින් ම ක්‍රියාත්මක වෙන ආකාරය නොදකියි. ඒ නිසාම ‘අවිද්‍යාව නම් බිලී කොක්කේ’ ඇමිණෙමින් සංසාර උගුලට හසු වෙයි.(සූ.දේ.1 / සූ.දේ.2) පටි ඉච්ච සං උප්පාද ධර්මයේ තිපරිවට්ටය තම තමන් තුළ ක්‍රියාත්මක වෙන ආකාරය තම තමන් තුළින් ම අත් දැක ගත් පුද්ගලයා තුළ ‘යථා භූත ඥාන දර්ශනයක්’ ඇති වෙයි. එම පුද්ගලයා තමන් ට කටයුතු කිරීමට සිදු වෙන අවස්ථා, සිද්ධි, වස්තු, පුද්ගලයන්, සත්ත්වයන් ඇසුරින් තම සිතේ සං ගති උපදින අවස්ථාවන් වෙතොත්, ඒ ඒ අවස්ථාවන්වල දී තම තමන්ගේ පිරි අපිරි ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය එනම් එහි සත්‍යය විද බැලීමෙන් ම (විද්‍යාව) අවිද්‍යාවට හසු නොවෙයි. (සූ.දේ.7 / සූ.දේ.9 / සූ.දේ.10 / සූ.දේ.19) ඔබ තුළ සං ගති උපදින්නේ ‘ඔබට නොයෙකුත් අවස්ථා, සිද්ධි, වස්තු, පුද්ගලයන්, සත්ත්වයන් ඇසුරු කිරීමට සිදු වූ නිසා’ යැයි සිතමින්, ඔබ ඔවුන්ගෙන් වෙන් වී සමාජයෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කිරීමට සිතයි. රූපවාහිනිය නැරඹීම, ප්‍රිය සම්භාෂණවලට සහභාගීවීම්, ව්‍යාපාරික කටයුතු කිරීම, ආවහ විවාහ සිදු කර ගැනීම්, දරුවන් බිහි කිරීම් ආදී ක්‍රියාවන් නිසා කෙළෙස් උපදියි සිතා එම ක්‍රියාවලින් බැහැරව සිටීමට කල්පනා කරයි. සැබැවින් ම එසේ සිදු කිරීමෙන් ඔබට සං ගති නූපදවීම කළ හැකි ද ? (සූ.දේ.16) ඔබ ඔබට ම වාරණ දමා තහංචි දමා කටයුතු කරන විට ඔබ තුළ ඇති වෙන පීඩාව ආතතිය කොතෙක් ද ? එසේ වාරණ දමා ගැනීමෙන් ඔබ විසින් වැඩි වැඩියෙන් සං ගති උපදවා ගනියි. ඔබ තුළ සං ගති උපදින්නේ ‘බාහිර වස්තු නිසා නොව, එම බාහිර නිමිතිවලට අනූරූප ව ඔබ තුළ පැළපදියම් වී පවතින සං ගති ලක්ෂණ පොදිය කැළඹීමෙන්, නැවතත් ඔබේ සිතේ අවිද්‍යාව ක්‍රියාත්මක වීම නිසා බව’ ඔබ විසින් අත් දැක ගත යුතු පරම සත්‍යයයි. (සූ.දේ.4 /සූ.දේ.6) ඔබ එම සියලු වැඩ කටයුතුවල නිරත වීමෙන් ම ඔබ තුළ පැළපදියම් වී පවතින සං ගති ලක්ෂණ පොදිය කැලතීමට අවස්ථාව ලබාදීමෙන් ම,ඔබේ සිතේ අවිද්‍යාව ක්‍රියාත්මක වීම නිසා, ඔබට ම ආවේණික වූ ඔබ තුළ පවතින ඒ ඒ ආකාරයේ ගති ලක්ෂණ, ‘අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධම්මතාවයට’ අනුව ක්‍රියාත්මක වෙන ආකාරය පළමුව හඳුනා ගත යුතුය (ධම්මෝ "සං" දිට්ඨිකෝ වීම.(සූ.දේ.18) ඒ ඒ අවස්ථාවන්වල දී ඔබට ම ආවේණික වූ ඔබ ‘නිච්ච සේ සුඛ සේ අත්ථ සේ’ පවත්වා ගෙන යන ගති ලක්ෂණ මතු වෙන විට, ‘තම තමන්ගේ පිරි අපිරි ලෝකය සැබැවින් ම ක්‍රියාත්මක වෙන ආකාරය විද බැලීමෙන් ම’ (විද්‍යාව) ඔබ තුළ ‘අවිද්‍යාමූල නිරෝධ පටිච්ච සමුප්පාද ධම්මතාවය’ ක්‍රියාත්මක වෙයි. (සූ.දේ.5 / සූ.දේ.7) ඔබ විසින් නිච්ච, සුඛ, අත්ථ සේ පවත්වා ගෙන යන ගති ලක්ෂණ ‘අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව’ ඔබ අත් දැක ගනියි. ඔබ ඒ ඒ අවස්ථාවේ දී අවිද්‍යාවට හසු නොවී ‘මුලාව පිටුපස සැඟව පවත්නා යථාර්ථය දැකීම’ නිසා උපදවමින් පැවති කුණු හෙවත් කළු ගතියේ කුණු සැලී යයි. මෙලෙස ඔබ තුළ කුසල මූල පටිච්ච සමුප්පාද ධම්මතාවය ක්‍රියාත්මක වීමෙන් ස්වාභාවිකත්වය ට ඉඩදීමෙන් ම ඔබ තුළ වරින් වර මතු වෙන සියලු කුණු ගති පහව යයි.(සූ.දේ.19) ඔබට ඇම පිටුපස සැඟව පවත්නා යථාර්ථය දැක ගැනීමෙන් 👉 " බිලී කොක්කට හසු නොවී ඇම අනුභව කළ හැකිය", මෙහිදී සිදු වන්නේ ඔබ ‘යමක් බලෙන් අත හැරීමක්’ හෝ ‘තමන් විසින් සං නූපදවා සිටීමට වාරණ දමා ගැනීමක්’ නොව ඔබේ ‘නිච්ච, සුඛ, අත්ථ’ ලෝකය පහව යාමෙන්, එනම් ‘අත හැරී යාමෙන්’ නිරාමිස සුවයක් අත් දැක ගැනීමයි.(සූ.දේ.9).......📖️ ✨️
~ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්යය ගයනි ප්‍රසාදිකා රණසිංහ අරිය උතුමිය විසින් රචිත හෙළ ටීකා ටිප්පනි ~
W W W. D H A M S A K. N E T 💫
Dhamsak channel link :
https://youtube.com/
Daham Atuvawa channel link :
https://youtube.com/
Damtharana channel link :
https://youtube.com/