11/05/2024
නැවුම් දළු සඳ....
පෙරාගෙන හොටු නාවර
ඇදගෙන ජංගි කොටය
එල්ලීගෙන අම්මාගේ චීත්තේ
බංගලාවේ කුස්සියේ දුව පැන්න
"දැන් හරි හැඩකාරියක් වෙලානේ
ලෙච්චමි උඹේ කෙල්ල..."
වත්තේ මහත්තයගේ ඇස් දෙකේ
ඇවිලෙන පුරුදු ගින්දර
ගිනි තිබ්බා
මැරුණ හදවතකට ආයෙම...
වියලුණ දෙතොළට
වැටුණා උණු කඳුලක් ලේ රහට...
බොඳවුණ දෑසින් ඈ බැලීය
දහසක් දොම්නස් විළිලා බිහි කළ
යාන්තමින් ඇස් අරින
පුංචි එරමුදු කැකුළ දෙස....
තවත් එක් කාලකණ්නි හැන්දෑවක
මෘග පහරින්
පෙති සිඳී තැලී පොඩිවන
අමාවකට ,
වැරදී නෙත් හරින
නැවුම් දළු සඳ දෙස...
කිසිත් නොදන්නා ලපටි සඳ
හිනැහෙනවා අහසම පිරෙන්නට....
උදයශාන්ත කුමාරසිංහ -