22/06/2022
THE BUTTERFLY EFFECT 🦋
" බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර සමනළයකුගේ තටු සැලීමකින් ඇමරිකාවේ චිකාගෝ නුවරට කුණාටුවක් පවා ඇති විය හැක "🥴
බැලූ බැල්මට මෝඩ ප්‍රකාශයක් වගේ. නමුත් භෞතික විද්‍යාවේ එන එක්තරා සංකල්පයකට අනුව නම් ඒක විය හැකි දෙයක්. ඒ තමයි වියවුල් වාදය ( Chaos theory ) මගින් ඉදිරිපත් කෙරෙන සමනළ ආචරණය (Butterfly Effect).
1969දී ඇමරිකානු ජාතික ගණිතඥයෙක් සහ කාලගුණ විද්‍යාඥයෙක් වුණු එඩ්වඩ් ලෝරන්ස් කාලගුණය පුරෝකථනය කිරීම සඳහා ඔහු විසින්ම නිර්මාණය කළ පරිගණක වැඩසටහනක් පරීක්ෂා කරමින් සිටියා. වර්තමානයේ කාලගුණික තත්වය ලෙස අපි ලබා දෙන ආර්ද්‍රතාවය, වාත පීඩනය, උෂ්නත්වය වැනි දත්ත මත පදනම්ව ඉදිරියට ඇති වන කාලගුණ තත්වය පුරෝකථනය කරන්න ඒ වැඩසටහනට හැකියාව තිබුණා. මෙසේ දත්ත ඇතුළත් කරන විට ඔහු එක් විචල්‍යයක් සඳහා පළමු අවස්ථාවේදී 0.506127 යන අගය ඇතුළත් කළා. නැවත වරක් එම ගණනයම සිදු කළ අවස්ථාවක පහසුව තකා ඔහු ඒ විචල්‍යය සඳහා 0.506 යන අගය පමණක් ඇතුළත් කළා. පුදුමයකට මෙන් ඔහු දුටුවේ අවස්ථා දෙකේදී ලබාදුන් කාලගුණ පුරෝකථනයන් සහමුලින්ම එකිනෙකට වෙනස් බවයි! එක විචල්‍යයක සිදු වුණු 0.000127ක් වැනි ඉතා සුළු අගයක් මගින් සම්පූර්ණ ක්‍රියාවලියම උඩු යටිකුරු කර තිබුණා.
🍀 මේ නිරීක්ෂණය මත පදනම් වෙලා තමයි වියවුල් වාදය නිර්මාණය වුණේ. එහි නමින් ඇඟවෙන තේරුම කොහොම වෙතත් වියවුල් වාදය අතිශය ගණිතමයයි. එයින් උත්සාහ කරන්නේ අහඹු යැයි පෙනෙන රේඛීය නොවන පද්ධති වල සැඟවෙලා තියෙන ගණිතමය සාධක අනාවරණය කර ගැනීම මගින් සමස්ථ ක්‍රියාවලිය නිවැරදිව පුරෝකථනය කිරීමයි.
🍀 මේ සංකල්පය සඳහා සමනළ ආචරණය යන නම හඳුන්වා දුන්නේ ලොරෙන්ස්ගේ සඟයෙක් විසිනුයි. ඔහු පසු කාලීනව පෙන්වා දුන්නා සමනළයෙකුගේ තටු සැලීම වැනි ඉතා කුඩා සාධකයක් පවා මහා පරිණාමයේ සංසිද්ධියක එක දත්තයක් විය හැකි බව. ඇත්තටම සමනළයෙක් තටු සැලූ පමණින් ලෝකයේ එහා කෙළවරේ කුණාටුවක් ඇති වෙන්නේ නෑ. ඒ සඳහා තවත් බොහෝ සාධක බලපානවා. නමුත් සමනළයා තටු සැලීම නිසා ආසන්න වායු අංශු වල ඇති වන කැළඹීම දාම ප්‍රතික්‍රියාවක පියවරක් වගේ ක්‍රියා කරමින් ප්‍රචාරණය විය හැකියී. මුහුද මැද අහසේ කුණාටුවක් සෑදීමට ඔන්න මෙන්න ඇති අවපීඩන තත්වයකට අවසාන වායු අංශුව එකතු කරන්නේ සමනළයා නිසා ඇරඹී ප්‍රචාරණය වුණු සිද්ධි දාමයේ එක් වායු අංශුවක් වෙන්න පුළුවන්. ඒ වායු අංශුව ඒ අදාල වෙලාවේ එතැනට ආවේ නැත්නම් සමහර විට වෙන වායු අංශුවක් ඒ තැන ගන්නත් පුළුවන්. ඒ වගේම එහෙම නොවී අව පීඩන තත්වය පහව ගිහින් කුණාටුවක් ඇති නොවෙන්නත් පුළුවන්. මේ නිසා සමස්ථ සිද්ධියම සැළකුවහම කොයි තරම් නොවැදගත් යැයි හැඟෙන කුඩා සිදුවීමක් පවා මහා පරිමාණයකදී අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්.
🍀 සමනළ ආචරණය දකින්න ලැබෙන්නේ කාලගුණ විද්‍යාවේදී පමණක් නෙවෙයි. තාරකා විද්‍යාවේ, පරිසර විද්‍යාවේ වගේම මනෝ විද්‍යාවේ සිදුවීම් වලදීත් එය වැදගත් වෙනවා. විශේෂයෙන්ම අභ්‍යවකාශයේ ගමන් ගන්නා ඇස්ටරොයිඩ හෙවත් ග්‍රහ්ක සැළකුවොත්, ඒවායේ චලිතය සහ ගමන් මාර්ගය සඳහා ආසන්නයේ ඇති වස්තූන් රාශියක් නිසා ඇති කරන ගුරුත්ව බලයන් බලපානවා. බොහෝ අවස්ථා වලදී භෞතික විද්‍යාවටත් මේ සෑම සාධකයක්ම සළකා ගණනය කිරීම් සිදු කිරීම අපහසු වෙනවා. හිතන්න, මීට අවුරුදු මිලියන 65කට පෙර ඩයිනෝසරයන්ගේ කාලයේදී පොළොවට කඩා වැටුණු ග්‍රහකය, යම් හේතුවක් නිසා ගමන් පථය ඉතා සුළු වශයෙන් වෙනස් කර පෘථිවියේ නොගැටී යන්තම් ඒ අසළින් ඇදී ගියා කියලා. එහෙම වුණා නම් අපේ ලෝකයේ කතාන්දරය මීට වඩා කොයි තරම් වෙනස් වෙන්න තිබුණාද?
ඩයිනෝසරයන් දිගටම නොනැසී පැවතුණා නම්, ක්ෂීරපායීන්ගේ නැගී ඒමක් සිදු නොවන නිසා සමහර විට මිනිසා පවා පරිණාමය නොවී තියෙන්න ලොකු ඉඩක් තියෙනවා.
🍀 පැරණි චීන පිරුළක කියැවෙනවා උණ ගසක අත්තක් බිමට පහත් වෙන්නේ ඒ මතට වැටෙන අවසන් වැහි වතුර බිංදුවේ බර නිසා කියලා. සමනළ ආචරණයෙන් අපිට පෙන්වා දෙනවා ගණිතමය නියාම වලට අනුව පද්ධතියක සමස්ත ක්‍රියාවලිය සිදු වන්නේ ඊට පාදක වන සෑම කුඩා සාධකයක්ම බලපෑම මත බව. මතක තියාගන්න. ඔබ කරන සෑම ක්‍රියාවක්ම, ඒවා කොයිතරම් නොසැලකිය හැකි යැයි පෙනුණත්, අපේ ලෝකයේ වගේම සමස්ත විශ්වයේම ගමනට යම් හෝ ආකාරයකින් දායක වන බව....🚶♂️
Copied Science සිංහලෙන් ♥
https://chat.whatsapp.com/L4EW5jeU5tP0dkjlpZYmyq