
03/11/2025
මගේ පෙම්වතිය මමත් එක්ක ආදර සම්බන්ධය පවත්වන්න කලින් ලබා ගෙන මුහුණු පොතේ පල කරපු ජායාරූපයක් දැකලා මම ඉතාම කලබලයට ආවේගයට පත් උනා. මට නොයෙක් දේවල් හිතෙන්න ගත්තා.
ඇත්තටම බැලුවොත් ඒක හරිම සාමාන්‍ය ජයාරූපයක් එහි ඇය අසල සිටි ඇයගේ පිරිමි යහලුවකු ඔහුගේ අතක් ඇයගේ උරහිසට දමාගෙන සීටීම පමණයි එහි විශේෂත්වය. එම පිංතූරයේ තවත් අය සිටියා.
ඒක මට බලපෑව අන්දම කොහොමද කියනවා නම් මම ඇයව ඉතාම නරක විදියට සැක කරන්න ගත්තා, ඇයගේ දේවල් හොයන්න ගත්තා, ඇයට තහංචි බාදා ඇති කරා.
අපි අතර විශාල ගැටුම් ආරවුල් මේ නිසා ඇති උනා, අපි රංඩු උනා බහින් බස් උනා, ඒ අවස්ථාවලදී මම අර ජායාරූපය ගැන කියලා ඇයට අපහාස කරා.
ඔය සිදුවීමත් එම නිසා හටගත්ත තවත් සිදුවීම් වල අවසාන ප්‍රතිඵලය උනේ අපි අතර පැවතුණු පෙම් සබදතාවය බිද වැටීම.
ඒක මට ඉතාම අපහසු තත්වයක් ඇති කරා, මම ඇය සමඟ ඉතාම තද වෛරයක් කෝපයක් ඇති කර ගත්තා. සහ මට විශාල බියක් දැණුනා ඇය මා අතහැර දමා ඇති නිසා වෙනත් අයකු හා පෙමින් බැදෙයි කියලා. තව කෙනෙක් සමඟ පෙමින් බැදිලා අර පිරිමි ළමයා හා සිටියා වගේ පිංතූර මුහුණු පොතේ පල කරයි කියලා.
එහෙම දෙයක් දැක්කොත් මම කොහොමද එය දරා ගන්නෙ.
එතකොට මට ඇති වන පරාජිත මානසිකත්වයට මම මුහුණ දෙන්නෙ කොහොමද.
ඇය ඔහු සමඟ හිනා වෙලා සතුටින් ඉන්න අයුරු මම බලන්නෙ කොහොමද.
මට ඒ අවස්ථාවේදී හට ගන්න වේදනාව කොයි වගේ එකක් වෙයිද ?
මම නිතරම හිතන්න ගත්තා.
මම නිතරම කල්පනා කරේ ඒවා ගැන, මගේ කල්පනාවට නිතරම ඒවා තමයි ආවේ.
මම නිතරම ඇයගේ මුහුණු පොත පරීක්ෂා කරා, ඇය මාව Block කර දමපු නිසා වෙනත් Account හදාගෙන මම ඇයගේ කටයුතු නිරීක්ෂණය කරා.
මම පුදුම පීඩනයක මේ නිසා ඉන්නෙ
මේ කතාව මට පවසන පුද්ගලයා උපදේශනය සදහා මා හමු වෙන්න ඇවිල්ලා මගෙන් සහාය ඉල්ලා සිටියා ඔහු ඉන්න තත්වයෙන් මිදීම සදහා.
ඔහු පවසා සිටි සියල්ල හොදින් අසාගෙන සිටි මම ඔහු පත්ව සිටින තත්වය හොදින්ම තේරුම් ගෙන, ඔහු වෙනුවෙන් කල යුතු දේවල් පිළිබදව මම යම් සැලසුමක් මගේ හිත තුළ ඇති කර ගත්තා.
හරි ඔයා මට දවසට අවම වශයෙන් එක පාරක් හරි කතා කරන්න, ඔහු එයට එකඟ උනා.
ඉන් පසු දවසේ සිට ඔහු කාලයක් යනතුරු මා සමඟ දවසට වතාවක් කතා කරා, සමහර දවසට කිහිප වතාවක්.
මේ කතා බහ තුළ මම ඔහුව හොදින්ම අවබෝධ කර ගනු ලැබුවා.
මම විවිධ දේවල් අනුගමනය කරන්න ඔහුට යෝජනා කරනු ලැබුවා, සමහර ඒවා ඔහු ඉතාම හොදින් කරනු ලැබුවා, සමහර ඒවා ඔහු කරේ නැහැ. නමුත් කාලයක් යනකම්ම ඔහු මට දිනපතා ඔහුට දැණෙන සිතෙන දේවල් ගැන මට කිව්වා.
සාමාන්‍යයෙන් මෙවැනි තත්වයන් වල ඉන්න අය වෙනුවෙන් අප අනුගමනය කරන විදියක් තියනවා, ඒ අනුව මම ඔහු සමඟ එම කටයුතුවල නිරත උනා.
කාලයක් ඔහොම යද්දි මට තේරුම් ගියා ඔහු යම් හොද තත්වයට පත්වීගෙන එන බව.
දිනපතාම, දවසට කීප වතාවක්ම මට කතා කරපු කෙනා මට කතා කරන කාලය අඩු කරා, දවස් කිහිපයකට පසු කතා කරන්න ගත්තා, ඔහොම.
ඉතින් කොහොමද මම ඔහුගෙන් අහනවා.
හ්ම් වරදක් නැහැ හොදින් ඉන්නවා. පහුගිය දවස්වල ගොඩාක්ම වැඩ තිබුණා ඒකයි කතා කරන්න බැරි උනේ.
එහෙම කියලා ටිකක් වෙලා කතා කරලා ඔහු කතාවට සමු දෙනවා.
පස්සෙ පස්සෙ ඔහු පරණ සිදුවීම් ගැන කතා කරේම නැහැ.
ඔහොම කාලයක් ගිහිල්ලා ඔහු මට කතා බහ කරන එක නතර කරලාම දැම්මා.
ඉදහිට කොහොමද ඔබට යනුවෙන් කෙටි පණිවිඩයක් ඔහු තබනවා එපමණයි.
ඔහු සෑහෙන වෙනස්වී ඇති බව ඔහුගේ මුහුණු පොතෙන් දකින දේවල් අනුව මට හැඟී ගියා.
වසර තුනකට පමණ පසු මේ පහුගිය දවසක ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙහෙම කිව්වා.
හරි වැඩක් උනා නේ. අන්න අරයා කොල්ලෙක් එක්ක යාලුවෙලා facebook එකට පොටෝ වගයක් දාලා තියනවා මම දැක්කා.
පුදුම වැඩේ කියන්නෙ ඒක දැකලා මට කිසිම ගාණක් ඇති උනේ නැහැනේ.
තරහක් ඉරිසියාවක් කෝපයක් බයක් කලකිරීමක්, මේ කිසිම දෙයක් මට හිතුණේ නැහැ. මට හිනා ගියා, වෙන හේතුවක් නිසා නෙවෙයි මම ගැනම, අපෝ ඔය දේවල් දකින්න උනොත් මම ඉවරයි කියලා හිතලා ඉස්සර මම පුදුම බයකනේ හිටියේ.
ඒ බයට මොනවා උනාද මන්දා.
බලන්න එකම සිදුවීමකට මුහුණ දෙන මේ පුද්ගලයා පළමු අවස්ථාවේදී පත් වෙන තත්වය සහ දෙවන අවස්ථාවෙදී එම තත්වයට පත් නොවීවීම අතර වෙනස.
ඒ වෙනසට හේතුව තමයි පළමු අවස්ථාවේ ඔහු හිටියේ බැදිලා ඇලිලා අල්ලාගෙන.
දෙවන අවස්ථාවේ ඔහුට එහෙම බැදීමක් අල්ලා ගැනීමක් තිබුණේ නැහැ, ඒ නිසා ඔහුට මුල් අවස්ථාවේ දැණුන හැගුණු කිසිවක් ඇති උනේ නැහැ.
කාලයත් එක්ක ඔහු තුළ පැවැතුණු ඒ ඇලීම බැදීම අහෝසි වෙලා ගිහිල්ලා.
ඔබට පීඩාවක් ඇති කරන ඕනෑම චිත්තවේගයක් (දුක වේදනාව බය සැකය ලැජ්ජාව) ඇති වන්නේ ඔබ යම් දෙයක් හා ඇති බැදීම ඇලීම නිසයි.
එතකොට ඔබ කටයුතු කරන්නෙ සිතන්නෙ පතන්නෙ ඔබටම පීඩාවක් වන විදියට.
බැදීම්වලින් ඇලීම් ගැලීම් වලින් ඔබ නිදහස් වන විට ඔබට දැණෙන හැගෙන විදිය වෙනස්.
ඔබ හිතන විදිය වෙනස්.
බැදීම් ඇලීම් කියන්නෙ මායාවක්ද ?
ඔව් ඇත්තටම ඒක එහෙම තමයි.
නමුත් ඒ මායාවට ලොකු බලයක් තියනවා, හැබැයි ඒ බලය ලබා දෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි ඔබම තමයි.
ඒ ලබා දෙන බලය කොතරම්ද ඒ තත්වය අනුව මායාව විසින් ඔබව හසුරුවනවා.
සැබෑ ලොව තුළ ඇත්තටම බැදීම් කියා දෙයක් නැහැ, බැදීම් පවතින්නෙ බැදීම් ඇති කර ගන්නෙ ඒවා නඩත්තු කරන්නෙ ඔබ විසින්, ඔබේ මනස විසින්.
තේරුම් ගන්න...
මේ ලෝකේ සැබෑවටම නැති දේවල් ඔබේ මනසේ තියනවා. එහෙම දේවල් ඕනෑ තරම් ඇති.
මනස නිතරම ඔබට එය ප්‍රත්‍යක්ශයක් බව කියනවා. මනස විසින් ප්‍රත්‍යාක්ශ කරන දේවල් ඔබ යථාර්ථය ලෙස දකිනවා.
නමුත් සැබෑ ලෝකය සහ ඔබ ප්‍රත්‍යාක්ෂ කරන ලද යථාර්ථය දෙකක් වූ විට ඔබට එය දුකක් වේදනාවක් වෙනවා.
Kasun Rajapaksha
මනෝ උපදේශක.