News Casting Unit - Sri Dharmaloka College

News Casting Unit - Sri Dharmaloka College News Casting Unit of Sri Dharmaloka College,Kelaniya.

19/11/2024

අද දින කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙහි " පෝෂණයෙන් හා නායකත්වයෙන් සිසුන් සවිබලගැන්වීමේ වැඩසටහන " නමින් වැඩසටහනක්
විද්‍යාලයේ 8 ශ්‍රේණියේ සිසුන් සදහා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි .

ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සඳහා වූ Ethema අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ සහ අධ්‍යයන අධ්‍යක්ෂ, රෝඩ්ස් ටු රයිට්ස් දේශගුණික කවුන්සිලයේ ව්‍යාපෘති විධායක,
හිටපු බියගම බාලදක්ෂිකා කොට්ඨාශ කොමසාරිස් සහ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ගැහැණු දරුවන් පෝෂණයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන් පුහුණුකාරිනී වී. නතාෂා ලියනගේ මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

විද්‍යාලයේ ගරු විදුහල්පති තුමාගේ මඟපෙන්වීම යටතේ මෙය සම්බන්ධීකරණය කලේ විද්‍යාලයේ සහකාර විදුහල්පතිනියන් ලෙස කටයුතු කරන ධනෝරි ධර්මරත්න මහත්මිය සහ වජිරා රාණි මනෝරත්න මහත්මිය විසින් ය.

මෙම වැඩසටහන
8 ශ්‍රේණියේ අංශ ප්‍රධානී ඔෂානි ගුරුමහත්මිය ඇතුළු 8 ශ්‍රේණියේ ගුරුභවතුන් විසින් සංවිධානය කොට තිබුණි.






13/11/2024

ඉල් පුන් පොහෝ දිනය වෙනුවෙන් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ පින්කම් රැසක්

ඉල් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ දූ දරුවන් උදෙසා සිදුකල පෙර පෝය වැඩසටහන කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගිය දින පැවැත්වීය .

මෙම ධර්ම දේශනා සඳහා වැඩම කරනු ලැබුයේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ආචාර්ය රාජකීය පණ්ඩිත කලවානේ රතන ජෝති ස්වාමින් වහන්සේයි.






06/11/2024

2026 උසස් පෙළට නවක සිසුන් පිළිගැනීම.

අද දින කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ 2026 උසස් පෙළට නවක සිසුන් පිළිගැනීමේ උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සිදුවිය.

උත්සවය ආරම්භය සනිටුහන් කරමින් නියෝජ්‍ය විදුහල්පති නීතිඥ නිලුක්ෂිණී ප්‍රනාන්දු මැතිනිය විසින් උත්සවය සඳහා පැමිණි සියලු දෙනා පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව නියෝජ්‍ය විදුහල්පති බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය මහව සීලනන්ද ස්වාමීන් වහන්සේ හා විද්‍යාලයේ විනය භාර පූජ්‍ය මැටිඹැමියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරමින් නවක සිසුන්ට ආශිර්වාද කරනු ලැබීය.

මෙම උත්සවයට සමගාමීව නවක සිසුන් සඳහා විශේෂ දේශන මාලාවක් ද පැවැත්විය. පළමු දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ, වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ , ගිණුම්කරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්‍ය ඩබ්. වී. අනුර දේශප්‍රිය කරුණාරත්න මැතිතුමා විසින් සිදු කළ අතර කැලණිය විශ්ව විද්‍යාලයේ, පුස්තකාල හා තොරතුරු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, හා කළණ මිතුරු සෙවන පදනමේ අධ්‍යක්ෂිකා ආචාර්‍ය කේ.ආර්.එන්. හර්ෂනී මැතිණිය විසින් අනෙක් දේශනය පැවැත්විය .

ඉන් අනතුරුව විද්‍යාලයේ ගරු විදුහල්පති විපුල කුලතුංග මැතිතුමන් විසින් පැමිණ සිටි සියලු දෙනා අමතා හරවත් දේශනයක් සිදු කරනු ලැබීය.

උසස් පෙළ සිසු සිසුවියන්ගේ විචිත්‍රවත් නර්තනාංග හා සංගීත අංග තුළින් මෙම උත්සවය වර්ණවත් වූ අතර විද්‍යාලයේ සහකාර විදුහල්පති ධනෝරී ධර්මරත්න මැතිනිය විසින් උත්සවයට සපැමිණ සියලු දෙනාට ස්තුතිය පිනැමීය.

විදුහල්පති විපුල කුලතුංග මැතිතුමාගේ මග පෙන්වීම යටතේ උත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කරන ලද්දේ උසස් පෙළ සම්බන්ධීකාරක ධනෝරි ධර්මරත්න සහකාර විදුහල්පතිතුමිය විසිනි.

උත්සව කටයුතු සංවිධානය කර ගැනීම සඳහා උසස් පෙළ සියලු අංශ ප්‍රධාන ගුරු භවතුන් සහ එම අංශවල
සෙසු ගුරුවරුන් නොමද සහයක් ලබා දී තිබිණ. එමෙන්ම විද්‍යාලයේ සෞන්දර්යාංශයේ දායකත්වයෙන් මෙම උත්සවය වඩාත් අලංකාර විය.

නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කළ මෙම උත්සව ඉතා සාර්ථක උත්සවයක් බව පැමිණ සිටි සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ අදහස විය.






01/11/2024

චිරං ජයතු ! උපුල් සර්

21/10/2024

ඉංග්‍රීසි දිනය වෙනුවෙන් ධර්මාලෝක විද්‍යාලයේ ආහාර සැණකෙළියක්

ලෝක ප්‍රසිද්ධ නාට්‍ය රචකයකු වන විලියම් ශේක්ස්පියර්ගේ උපන්දිනය සහ ඔහු මිය ගිය දිනය සිහිපත් කරමින් පැවැත්වෙන ඉංග්‍රීසි භාෂා දිනය වෙනුවෙන් අද කැලණි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ආහාර සැණකෙළියක් පැවැත්විණ .

ආහාර සැණකෙළිය විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ සහ ඉංග්‍රීසි ඒකකය භාර ගුරුබවතුන්ගේ මග පෙන්වීම යටතේ සංවිධානය වූ අතර ඒ සඳහා විද්‍යාලයේ ද්විතීයික අංශයේ සහ උසස් පෙළ අංශයේ ශිෂ්‍යාවන්ගේ දායකත්වය ද හිමි විය.






16/08/2024

නිකිනි පුර පොහෝ දින වෙනුවෙන් ශ්‍රී ධර්මාලක විද්‍යාලයේ වැඩසටහන් රැසක්

නිකිනි පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පින්කම් රැසක් කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේදී අද දින පැවැත්වේ. ඒ අනුව අද උදෑසන විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී දූ දරුවන් සඳහා ධර්ම දේශනාවක් පවත්වන ලදී . ඊට සමගාමීව එම අංශයේ සිසුන් විසින් අලංකාර මල් පෙරහරක් සංවිධානය කොට තිබුණ.

එම ධර්ම දේශනා සඳහා වැඩම කරනු ලැබුයේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ආචාර්ය රාජකීය පණ්ඩිත කලවානේ රතන ජෝති ස්වාමින් වහන්සේය.

විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය මහව සීලානන්ද ස්වාමීන් වහන්සේ හා විද්‍යාලයේ අනෙකුත් ස්වාමීන්වහන්සේලාත් විදුහල්පතිතුමන්ගෙත් මග පෙන්වීම යටතේ මෙම පින්කම් මාලාව සංවිධානය කරනු ලැබුයේ අට ශ්‍රේණිය අංශ ප්‍රධාන ඕෂානි නේරන්දිකා ගුරු මහත්මිය හා අට ශ්‍රේණි පන්තිභාර ගුරුභවතුන්ගේ හා අට ශ්‍රේණිය සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙනි තවද මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම උදෙසා එකොළහ ශ්‍රේණිය අංශ ප්‍රධාන වැලිවේරිය නාරද ස්වාමීන් වහන්සේගේත් හය ශ්‍රේණිය අංශු ප්‍රධාන විද්‍යාලයේ බෞද්ධ සංගමය භාරව කටයුතු කරන ශාන්ත පතිරණ ගුරු පියාණන්ගේත් සහය ලැබිණි.


මෙම අවස්ථාවට විද්‍යාලයේ දොළහා ශ්‍රේණියේ දූ දරුවන් හා ආචාර්ය මණ්ඩලය සහභාගි වූ අතර අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සහය ද හිමි විය.






06/08/2024

ධර්මාලෝකයට අලුත් ආලෝකයක්.......

කැලණි පුරවරයේ කීර්තිමත් ජාතික පාසලක් වන කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ අභිනව විදුහල්පතිවරයා විසින් තම නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීම අද උදෑසන සිදුවිය. මෙලෙස විදුහල්පති තනතුරේ රාජකාර කටයුතු ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පලමු ශ්‍රේණියේ නිලධාරීයෙක් වන විපුල කුලතුංග මහතායි.

පාසල් ශිෂ්‍යනායක මණ්ඩලයේ උණුසුම් පිළිගැනීම සමගින් පාසලට පැමිණි අභිනව විදුහල්පතිවරයා ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද තම රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ආගමික කටයුතු සඳහා විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය මහව සීලානන්ද හිමියන් ප්‍රමුඛ පූජ්‍ය මැටිඹැමියේ පඤාසාර හිමි සහ පූජ්‍ය වැලිවේරියේ නාරද හිමි වැඩම කරන ලදි .

මෙම අවස්ථාවට මෙතෙක් පාසලේ විදුහල්පති ධූරයේ කටයුතු කළ දිනිති අමරසිංහ මැතිනිය ප්‍රමුඛ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් සහභාගි විය.

මෙම අවස්ථාවටම සමගාමීව පාසලේ දොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් කුසලතා සංවර්ධන වැඩසටහනක්ද විද්‍යාලීය ශ්‍රවණාගාරය තුළ ක්‍රියාත්මක විය.

මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා අංශ ප්‍රධාන ගුරුභවතුන් මෙන්ම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පිරිසක්ද සහභාගි විය.

අභිනව විදුහල්පතිතුමනි,
ධර්මාලෝකයේ ආලෝකය දසත පතුරුවන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි විද්‍යාලීය මාධ්‍ය ඒකකය වෙනුවෙන් අප එක සිතින් ප්‍රාර්ථනය කරමු.






12/07/2024

ඊයේ දින කැලණි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය පැවැත්වුණේ කොළඹ ඩී. එස්. සේනනායක විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී.

කාසිය වාසිය දිනූ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ගුරුකුල විද්‍යාලයට ආරාධනා කරන ලදී.

පළමුව පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලයේ කඩුලු සියල්ල ලකුණු 120කදී දවා ගැනීමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සමත් වූ අතර එම ඉලක්කය හබා යමින් කඩුලු 3ක් අතැතිව විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට ධර්මාලෝක විද්‍යාලීය කණ්ඩායම සමත් විය.

කැලණිය ධර්මාලෝක හා ගුරුකුල විද්‍යාලයන් අතර වසර 34 තිස්සේ පවත්වාගෙන යනු ලබන කැලණි හටන සහෝදරත්වයේ සංග්‍රාමයට නවමු ආකාරයක් එක් කරමින් පසුගිය වර්ෂයේදී පන්දුවාර විස්සයි විස්ස තරඟයක්ද එක් කරනු ලැබීය.

තරඟයේ හොඳම කඩුලු රකින්නා ලෙස හශේන් ශ්‍යාමල් සම්මාන ලැබූ අතර හොඳම පන්දු රකින්නා සහ තරඟයේ වීරයා යන සම්මාන ද්විත්වයම මොහොමඩ් ෆර්ශාත් ක්‍රීඩකයාට හිමි විය.

සම්මාන ප්‍රධානය සඳහා ජාතික කණ්ඩායමේ වමත් වේගපන්දු යවන ජනප්‍රිය ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මහතා සම්බන්ධ විය.

මෙම ජයග්‍රහණය ඉතා උණුසුම් හා උත්කර්ෂවත් ලෙස සැමරීමට ධර්මාලෝක විද්‍යාලීය ක්‍රිකට්ලෝලීන් කටයුතු කර තිබිණ.

#කැලණිහටන





04/07/2024

කාර්මික සංවර්ධන මණ්ඩලය හා කර්මාන්ත අමාත්‍යංශය එක්ව සංවිධානය කළ දකුණු ආසියාවේ විශාලතම කර්මාන්ත ප්‍රදර්ශනය පසුගිය ජූනි 19 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විය.

කර්මාන්ත ව්‍යවසායකත්ව කවයේ අදාළ නිපැයුම් රැසක් මෙහිදී ප්‍රදර්ශනය හා අලෙවිය සදහා ඉදිරිපත් කර තිබිණි.

මෙවර Industry expo 2024 ප්‍රදර්ශනයේ විශේෂත්වය වූයේ තෝරාගත් පාසල් කිහිපයකට තම නිශ්පාදන ප්‍රදර්ශනය හා අලෙවිය සඳහා නොමිලේ ප්‍රදර්ශන කුටි ලබා දී තිබීමය.

මෙම අවස්ථාව යටතේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයටද ප්‍රදර්ශන අලෙවි කුටියක් ලබාදී තිබුනි.ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රදර්ශන අලෙවි කුටිය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවීම හා පැසසුමට ලක්වීම ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ට අභිමානයක් විය.
ගරු
විදුහල්පතිතුමිගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රදර්ශන අලෙවි කුටිය වඩාත් ආකර්ශනීය හා සාර්ථක කරගැනීම සදහා මූලිකත්වය ගෙන් කටයුතු කරනු ලැබුවේ විද්‍යාලයේ කර්මාන්ත ව්‍යවසායකත්ව කවය භාර සහකාර විදුහල්පතිනිය වජිරා මනෝරත්න මහත්මිය හා ව්‍යවසායකත්ව කවය භාරව කටයුතු කරන වානිජ අංශයේ ප්‍රියදර්ශනී ගුරු මහත්මිය විසිනි.එසේම කවයේ කටයුතු කරන අනෙකුත් ගුරු මහත්ම මහත්මීන් ද සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ලදි.






25/06/2024

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කොට ගෙන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිසු සිසුවියන් විසින් බැති ගී සරණියක් අද දින විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය මහව සීලානන්ද ස්වාමීන් වහන්සේගේත් විද්‍යාලයේ උසස් පෙළ සම්බන්ධීකාරක මැටි බැමියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගේත් වැඩම වීමෙන් බැති ගී සරණිය ආරම්භ විය.

විද්‍යාලිය නියෝජ්‍ය විදුහල්පති නීතිඥ නිලුක්ෂිණී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සහකාර විදුහල්පතිතුමියන්ලා මෙම අවස්ථාවට සහභාගි විය .එමෙන්ම 9 ශ්‍රේණිය ගුරු මහත්ම මහත්මීන් සහ සිසු දරු දැරියන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

9 ශ්‍රේණි අංශ ප්‍රධාන තිලකරත්න ගුරු මහත්මාගේ හා 9 ශ්‍රේණියේ පන්තිභාර ගුරු මහත්ම මහත්මීන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි චාම් නිර්මාණශීලී බැතිගී සරණියක් ඔවුන් විසින් ඉදිරිපත් කළහ.






10/06/2024

2026 වර්ෂය සඳහා අපොස උසස් පෙළට නවක සිසුන් බඳවා ගැනීමේ ආරම්භක සම්මන්ත්‍රණය අද දින විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. "උසස් පෙළ වසර දෙක අර්ථවත්ව ගත කිරීමට මග පෙන්වීමක්" යනුවෙන් නම් කොට තිබූ මෙම වැඩසටහන සඳහා පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිරි දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් කැඳවා තිබිණ.

උසස් පෙළ විෂය මාලාව තෝරාගැනීම සම්බන්ධව සිසුන් දැනුවත් කරමින් ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පර්ති නීතිඥ නිලුක්ෂණි ප්‍රනාන්දු මහත්මිය විසිනි.

විද්‍යාලීය විදුහල්පති දිනිති අමරසිංහ මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ විද්‍යාලීය සහකාර විදුහල්පති ධනෝරි ධර්මරත්න මහත්මිය විසිනි.

සිසුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා කලා, විද්‍යා, වාණිජ, ගණිත, තාක්ෂණ හා වෘත්තීය අංශවල අංශ ප්‍රධාන ගුරු මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම වැඩමුළුවට සහභාගී වීම මගින් තමන්ට උසස් පෙළ විෂය මාලාවන් තෝරා ගැනීම පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබුණු බවත් උසස් පෙළ වසර දෙකක කාලය අර්ථවත්ව ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලැබුණු බවත් මීට සම්බන්ධ වූ සිසුන්ගේ අදහස විය.






03/06/2024

හත ශ්‍රේණියේ පන්ති නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳවීම උත්සවය මැයි මස 31වන දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විය.

පාසල් පරිපාලන ව්‍යුහයේ පහලම ඒකකය මෙන්ම පන්තිභාර ගුරු භවතාට අමතරව පන්ති කළමනාකරණයේ විශාල කාර්යභාරයක් සිදු කරන්නේ
පන්ති නායක නායිකාවන්ය. ඔවුන්ට අභිමානයක් හා පිළිගැනීමක් ලබා දීම මෙම නිල ලාංඡනය පැලදවීමේ අරමුණයි.

මේ සඳහා
විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක, නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය මහවසීලානන්ද හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයත්
අප විද්‍යාලයේ හය,හත,අට අංශයන් භාරව කටයුතු කරන සහාකාර විදුහල්පතිනි වජිරා මනෝරත්න මැතිණිය ඇතුළු හත අංශ ප්‍රධාන ලක්ෂිකා ප්‍රසාදිනී මහත්මියද ,
පන්තිභාර ගුරු මහත්මීන් ද හත ශ්‍රේණියේ සිසු සිසුවියන් ද සහභාගී වූහ






21/05/2024

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ දී වෙසක් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් සීල සමාදාන වැඩසටහනක් අද දින පැවැත්වීය.

අද උදෑසන පාසලේ සියලුම අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිල් සමාදන් වූ අතර. දීගල පඤාවංශ ස්වාමීන් වහන්සේයි විසින් එම පුණ්‍ය කාර්‍යය මෙහෙයවනු ලැබීය.

දිවා කාලයේදී ධර්ම දේශන පැවැත්වීම සදහා කැළණිය විද්‍යාලංකාර පිරිවනෙහි වැඩ වසන සංඝයා වහන්සේලා පනස් නමක් වැඩම කරවීම සිදු විය.

විද්‍යාලංකාර පිරිවනෙහි ආචාර්ය , විචිත්‍ර ධර්ම දේශක පූජ්‍ය කලවානේ චන්ද්‍රරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් ප්‍රධාන ශාලාවේදී උසස් පෙළ සිසුන් හා ගුරු භවතුන් වෙනුවෙන් ප්‍රධාන ධර්ම දේශනය පැවැත්වීය.

මීට අමතරව අනෙක් අංශ වල දී ද ගරුතර ස්වාමීන් වහන්සේලාගේ මෙහෙය වීමෙන් පන්ති කාමර මට්ටමින් ධර්ම දේශන පැවැත්වීය.

විද්‍යාලයීය බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය මහව සීලානන්ද ස්වාමීන්වහන්සේ හා විද්‍යාලයේ අනෙකුත් ස්වාමීන්වහන්සේලාත් අනුශාසනා මුල්කර ගනිමින් ,විදුහල්පතිතුමියගේත් මග පෙන්විම යටතේ මෙම පිංකම් මාලාව සංවිධානය කරනු ලැබුයේ බෞද්ධ සංගමයභාරව කටයුතු කරන ශාන්ත පතිරණ ගුරු පියාණන් හා හය ශ්‍රේණියේ සිට උසස් පෙළ අංශවල ගුරු භවතුන්ගේ මැදිහත්වීමෙනි.

මේ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන්ගේ හා විද්‍යාලයීය අනධ්‍යන කාර්‍යය මණ්ඩලයේ සහයෝගය හිමිවිය. මීට අමතර කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේදී මෙම සතිය පුරාවටම වෙසක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

​​
​​
​​

30/04/2024

ධර්මාලෝකයෙන් ආධුනික ඡායාරූප ශිල්පින් රැසක්....

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ඡායාරූප කලා සංගමය හා නිකෝන් ස්කූල් ශ්‍රී ලංකා ආයතනය හා එක්ව සිදුකල මූලික ඡායාරූපකරණ පාඨමාලාව සාර්ථකව නිමකල දෙවන කණ්ඩායමේ දු දරුවන්ට සහතික පත්‍ර හා පදක්කම් බෙදා දීම අප්‍රේල් මස 8 වන දින ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්වීය.
මෙහිදි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුයේ පාඨමාලා සම්බන්ධිකාරක හා දේශක ලෙස කටයුතු කල ප්‍රවිණ ඡායාරූපශිල්පි රොහාන් ෆොන්සේකා මහතාය. එතුමා ජපානයේ ජාත්‍යන්තර නිකොන් ආයතනයේ හා නිකෝන් ස්කූල් ඡායාරූපකරණ පාඨමාලාවේ මෙරට නියෝජිතයා වශයෙන් කටයුතු කරන අතර මෙරට නිකෝන් සන්නාම තානාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි. එමෙන්ම දිවයිනේ ප්‍රමුඛතම පාසල් ගණනාවක නිකෝන් ස්කූල් හා අනුබද්ධ විවිධ පාඨමාලාවන් රැසක් එතුමාගේ මෙහෙය වීමෙන් සිදුවේ.
පාඨමාලාව සාර්ථකව නිම කල සිසුන්ට ජපානයේ නිකොන් සමාගමේ ලියාපදිංචිය සහිත ජාත්‍යන්තර වටිනාකමක් සහිත සහතිකපතක් හිමි විය.
මෙම අවස්ථාව විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය මහව සීලානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ විදුහල්පතිතුමිය නියෝජ්‍ය විදුහල්පතිතුමිය මෙන්ම ඡායාරූප කලා සංගමයේ ප්‍රධාන ආචාර්ය ලක්ෂිකා ප්‍රසාදිනී පතිශාන්ත මහත්මිය ඇතුළු සංගමය භාර අනෙකුත් ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
එමෙන්ම මෙහිදී විද්‍යාලයීය ඡායාරූප කලා සංගමයේ භාර ආචාර්ය ලක්ෂිකා ප්‍රසාදිනී මහත්මිය විද්‍යාලයීය ඡායාරූප කලා සංගමයේ අභිවෘද්ධියට කල කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර නිකෝන් ආයතනයේ විශේෂ ඇගයීමකටද ලක් විය.
විදුහල්පතිතුමියගේ මග පෙන්වීම යටතේ ඡායාරූප කලා සංගමයේ ප්‍රධාන ආචාර්ය ලක්ෂිකා මහත්මිය ඇතුළු සංගමය භාර අනෙකුත් ගුරුභවතුන් හා ඡායාරූපකලා සංගමයේ සාමාජිකයන් සංවිධානය කල මෙම අවස්ථාවට පදක්කම් හා සහතිකලාභින්ගේ දෙමාපියන්ද සහභාගි විය. ඒ අතරම පාඨමාලාව හැදෑරීමට තෙවන කණ්ඩායම සඳහා සිසුන් ඇතුලත්කර ගැනීම ද අද දින ආරම්භ කල අතර මෙම උත්සව අවස්ථාව සෞන්දර්ය අංශයේ ඉදිරිපත් කිරීම් වලින් ද විචිත්‍රවත් විය......

​​
​​
​​

දම්ලෝ රූ වරුණා 2024...සංවිධානය - ශිෂ්‍ය නායක සංසදය
27/04/2024

දම්ලෝ රූ වරුණා 2024...
සංවිධානය - ශිෂ්‍ය නායක සංසදය

27/03/2024

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ උසස් පෙළ සිසුන් සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති උපදේශන වැඩසටහනක් අද දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විය

මෙම වැඩසටහන අප විද්‍යාලීය මහා සංඝරත්නය ප්‍රමුඛ විදුහල්පතිතුමිය ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය. මේ සදහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලද්දේ උසස් පෙළ අංශ ප්‍රධාන ධනෝරි ධර්මරත්න සහකාර විදුහල්පතිතුමිය විසිනි.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා E.A අනූෂා ප්‍රියශාන්ති මැතිණිය විසිනි.

උසස් පෙළ සිසුන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකමක් වන ශිෂ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සවිබලගැන්වීමේ අරමුණෙන් පැවැත්වූ මෙම වැඩසටහන උසස් පෙළ අංශ ප්‍රධාන ගුරුභවතුන්ගේ සහ සෙසු ගුරුභවතුන් මෙන්ම උසස් පෙළ සිසුන්ද සහභාගිත්වයෙන් සිදු විය.

​​
​​
​​

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when News Casting Unit - Sri Dharmaloka College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Media/News Companies in Kelaniya

Show All