16/08/2023
මට හිතුනා මේ ගමන ගැන පොඩ්ඩක් ලියන්න, වෙන මොකුත් හින්දා නෙවෙයි මේ ගමනේ සුන්දරත්වය සහා දුෂ්කර බව හෑමොටම ටිකක් පෙන්නලා දෙන්න.
ඉතින් මේ මගෙ තුන්හිස්ගල ගිය දෙවැනි පාර, පළවෙනි පාර ගමන ගැනත් පොඩ්ඩක් කියලා ඉන්නම්, ඒක මෙහෙමයි උනේ අවුරුද්දකට වගේ කලින් නුවරගල ගිහින් ගෙදර එද්දි මට කෝල් එකක් එනවා අයියා අපි හෙට kmp තුන්හිස්ගල යනවා අපිත් එක්ක යන්ද කියලා, මට හික් ගෑවුනා යකෝ 26 km විතර ඇවිදලා කකුල් දෙක මැන්ඩලීන් ගගහා තිබ්බේ, ඕන මගුලක් කියලා මම හා කිව්වා 😜. හරි ඉතින් රෑ වෙද්දී ගෙදර ආවා පහුවදා උදේම ආයේම යන්න පිටත් උනා. ගමනේ සාරාංශය ඉතා කෙටියෙන් කියන්නම් 🙏. ගමන පටන් ගද්දිම ගමේ (රත්නගිරියේ අවසාන ලයිම) අය කිව්වා යන්න එපා, වැස්ස වැඩි හින්දා කූඩැල්ලොගෙන් බේරෙන්න බැරි වෙයි කියලා, දාගත්ත ගමන යන් නැතුව කොහොමද, ඕන මගුලක් කියලා ගියා. ගීයා තමා පාරවල් දන්නෙත් නෑ ඒ මදිවට කුඩැල්ලො දෙනවා පාර අපිට දුවන්න 🤣. හිතුවෙම පාර වැරදිලා කියලා kmp වාඩියට එද්දි හවස 6.30 ට වගේ ඇති. කූඩැල්ලො අයින් කරන්නම පැය බාගයක් විතර ගියා. රෑ කාලා බිලා පහුවදා උදෙත් කාලා අපි ගියා තුන්හිස්ගල නගින්න. අපේ කරුමෙට මහතුන් මාමා හිටියෙත් නෑ වාඩියේ පාරක්වත් අහගන්න 😥. ගමනේ සෙට් එක ඔක්කොම පහයි. පටන් ගත්ත තැන ඉඳන්ම පාර වැරදිලා ඒහාට යනවා මේහාට යනවා ඊට එහා කූඩැල්ලොන්ගෙන් වදේ, පහෙ සෙට් එකෙන් තුන් දෙනෙක්ම උන්ට බෑ කියලා ආයේ වාඩියට හැරුනා 😥 මටත් හිත ආයෙ හැරිලා යන්ඩමයි, කොහෙද අනිත් එකාට යන්ඩම ඕනේ කිව්වනේ මටත් ඉතින් බෑ කියන්න බැරි උනා, දැන් යනවා පිස්සො දෙන්නෙක් වගේ ඉස්සරහට, දන්නවා පාර වැරදිලා කියලා. කෑලේ අතඇරලා දාපු වාඩි ගොඩයි අතුරු පාරවල් ගොඩයි, කරන්නම දෙයක් නැති තැන පාරේ යන එක නතර කරලා නැග්ගා කන්ද පැත්තට. දැන් නිකන් මහගිරි ඳඹේ වගේ, දනිහ ගෑවෙනවා පපුවේ. නැග්ගා තමා උඩටම මල කෙලියයි එතනින් එහාට යන්න බෑ ලොකු ඇල්ලක් 😥, අරූට මාර ඉත්තෑවෙක් 🤣 මෙන්න මේකා නගිනව ගහක් දීගේ උඩට. අයියා අයියා මෙහේ වරෙන්, මේකා කෑ ගහනවා, ගහෙන් නැගලා උඩට ගීයාම පාර හම්බ වෙලා , මාත් නැග්ගා ඉතින් ගහ දීගේ නියපොත්තකුත් බාගෙට ගැලවුනා 😥 අම්මටසිරි වැරදුන පාර සෙට් උනා. අපි දෙන්නට පට්ට සතුටුයි, ඉතින් නැග්ගා තුන්හිස්ගල උඩටම, අන්තිම ටිකනම් පට්ට බෑවුම ඒ මදිවට කුරු ගස් තියෙන්නේ, ගස් වල මුල් පැටලෙනවා කකුල් දෙකේ. හරි දැන් දෙන්නම උඩ ඉන්නේ, පැයක් වගේ හිටියා උඩට වෙලා අරං ගිය පාන් බාගයත් කාලා බහින්න පටන් ගත්තා. හැමදේම උනේ අපිට අවාසියටම තමයි කිසිම දෙයක් පේන්නෙත් නෑ, ඒ තරම් මීදුම 😥. කොහොමහරි හරි පාරත් බාගයක් දුරට දන්න හින්දා අමාරුවෙන් ආවා කොහොමහරි වාඩියට, මරුම සීන් එක කියන්නේ අරුන් තුන්දෙනා ඇවිල්ලා තියෙන්නෙත් අපිට පැය බාගෙකට වගේ කලින්, උන්ට ආයේ පාර වැරදිලා 🤣. දැන් plan එක තිබ්බේ පහුවදා දූවිලි ඇල්ලේ යන්නනේ, මොන යනවද සෙට් එකේම කූඩැල්ලො කාලා ඇඟට පනම නෑ. ආයේ ඉතින් පහුවදා ගියා පාරෙම ඒ කියන්නේ ලෙබනන් වත්ත පැත්තෙන්ම ආවා ගමන ඉවර කරලා, මගේ වීඩියෝ එක බැලුවනම් ඔයාලා දන්නවා ඇති සීන් එක. කකුල් දෙක බකල් ගැහෙනවා ඇවිදිද්දි 😥, ඔන්න ඕක තම පළවෙනි පාර තුන්හිස්ගල ගමන .
දැන් පටන් ගන්නම් අලුත් ගමන ගැන, කලින් හෙන විස්තරයක් තුන්හිස්ගල ගමන ගැන කිව්ව හින්දා මේ පාර kmp ඉඳලා දූවිලි ඇල්ල, infinity pool, දුම්බර ඇල්ල පැත්තෙන් ඇටන්වල ගමට ආපු විස්තරේ කියන්නම් 🙏.
මේ පාරනම් ඉතින් පාරවල් සුවර් මොකඳ සඳුවා එක්කනේ ගියේ ඒ යකා හත් අට වතාවක් දැන් ඕකේ බඩගාලා ඇස්දෙක වහන් යන්ඩ පුලුවන් සීන් එකේ ඉන්නේ 🤣. Kmp වාඩියට ලං වෙද්දිම මෙන්න මහතුන් මාමා මල්ලකුත් කරේ තියන් ගම පැත්තට එන්ඩ පිටත් වෙලා අතරමගදි හම්බ උනා, මාමාට ගමට යන්ඩත් නෑ අපි හින්දා ආයේ අපිත් එක්කම ආවා වාඩියට. අම්මටසිරි වෙනවා වාඩිය දැන් පට්ට පිලිවෙලයි, ලස්සන පොඩි ගෙවත්තකුත් තියනවා. මොකද අපි කලින් වතාවේ යද්දි මාමා හිටියේ නෑනේ. මම හිතන්නේ මාස පහ හයක්ම මාමා ගමට ගිහින් ඉඳලා තියෙන්නේ, දන් නෑ අයි කියලා. ඒක හින්දා ඒ කාලේ වාඩිය ගරා වැටිලා තිබ්බේ, ඒකටත් එක්ක දැන් සෑහෙන දුරට පිලිවෙලට මාමා වාඩිය තියන් ඉන්නවා, ඒ වෙනුවෙන් මාගේ හදපිරි මෙව්වා එක මහතුන් මාමාට. යන් යන් ආයේ කතාවට, අපි ගිය ගමන්ම මාමා වතුර එකක් එහෙම පැහෙන්න තිබ්බා නිකක් ගෙදරට ආපු අමුත්තන්ට තේ හදලා දෙන්න වගේ. ඉතින් තේ එකක් එහෙම බීලා සෙට් එකම රෑ කෑම හදන්නයි සුදානම, කස්ටිය පුලුවන් විදිහට කෑම හදාගත්තා, ලොකු දෙයක් නෑ ඉතින් බතුයි පරිප්පුයි සොසේජස් කරියකුයි තමා 😋. කන්න ඉන්නවා දන්සලක පෝලිම වගේ, 18ක් කියන්නේ ලේසියක් ඈ 🤣. හිගන්නෙක් වගේ බත් පිඟන් තුනකට විතර සාධාරණයක් කරලා මමනම් කලින්ම නිදා ගත්තා, මට අහෙනවා සෙට් එකම මහතුන් මාමව කයියට සෙට් එක කරගෙන කියලා. ඉතින් එක එකා නනාප්‍රකාර ප්‍රෂ්ණ අහනවා මාමාගෙන්, ඇයි මාමා මේ වාඩියකට වෙලා තනියම ඉන්නේ. කොච්චර කාලයක් ඉන්නවද, එපා වෙන් නැද්ද, අලි එන් නැද්ද වගේ එක එක පුරස්න, මාමාත් ඉතින් සෙට් එකටම උත්තර බැඳ බැඳ ඉන්න අතරේ මටනම් දන් නැතුවම නින්ද ගිහින් පහුවදා උදේ තමා ඇහැරුනේ.
කස්ටියනම් තේ එහෙම බීලා, පරිප්පු හදලා පාන් කන්න එහෙම ලෑස්ති කොරලා. ඒ හැම එකකින්ම සප්පායම් වෙලා පටන් ගත්තා තුන්හිස්ගල ගමන, පාර දන්න හින්දා පැය හතරේ ගමන ගිහින් එන්න, බෑග් ඔක්කම තියලා ගියේ වාඩියේ මහතුන් ඉන්න හින්දා, ඔක්කමත් හරි 18 දෙනෙක් පෝලිම් කරන් යනවා කියන්නේ ලේසී වැඩක් නෙවේ. එක එකා උන්ගෙම ලෝකවල් වල, පොටෝ ගහනවා වීඩියෝ කරනවා එක එක වැඩ, උන්ට කිසිම හදිසියක් නෑ ගමන ඉක්මනටම ඉවර කරන්ඩ. කොහොම හරි උඩටම නැගලා, 12 වගේ වෙද්දී පල්ලම් බහින්න පටන් ගත්තා, ඒකත් බොහොම අමාරුවෙන් කටේ බලේට සෙට් එකම පල්ලම් බැස්සුවේ 🤣. ඔන්න ඉතින් වාඩියට ආවා 1.30 වෙද්දී, අනේ පව් මාමා බත් උයලා සෙට් එකටම, අපි එන්න වේලා ගිය හින්දා, ඊට පස්සේ මාමා ගැනනම් මාර පැහැදීමක් ඇති උනේ 🙏. දෙකට වගේ ඇති වේලාව අපි යන්න ඕනේ දූවිලි ඇල්ලට මොකද අද රෑ නවාතැන එතන, මාමාට වැඳලා කරලා පිටත් උනා. හේමචන්ද්‍ර වාඩිය එහෙම පහු කරන් යනවා ඉතින් ඉස්සරහටම පාර සලකුණු කරලා තියනවා රතු පාට ඊතල වලින්, ඉතින් 2km වගේ අමාරුවක් නෑ. ඊට පස්සෙත් පාර තියනවා නමුත් යන්න සෑහෙන අමාරුයි, යනවා නෙවේ යැවෙනවා කිව්වොත් හරි🤣. සමහර තැන් වැල් වලින් බහින්ඩත් ඕනේ, හරිනම් අපි යන්න ඕනේ infinity pool එක ළඟට ගිහින් දූවීලී ඇල්ල පැත්තට. කලුවර වැටෙන්ඩ ඔන්න මෙන්න වගේ හින්දා හොද infinity පැත්තට යන එක හෙට උදේට දාලා අපිම පාරක් හදාගෙන කෑලේ මැඳින් ඇද්දා දූවිලි ඇල්ල පැත්‍තට. මුලින් කිව්වා වගේම අපේ දවස එච්චර හොඳ නෑ මොකද දූවිලි ඇල්ලේ වතුර පොඩ්ඩම පොඩ්ඩයි, කරන්න දෙයක් නෑනේ, මමනම් මුලින්ම කරගත්තේ එන වතුර ටිකෙන් නාගන්න එක, දැන් හරි සෙට් එකම නානවා සමහර එවුන් පොටෝ ගහනවා, ඔය අස්සේ තව සෙට් එකක් ගීයා infinity බලන්නම ඕනේ කියලා, දූවිලි ඇල්ල ගාව ඉඳලා 600m වගේ තියෙන්නේ ඔය කියන පොට් එකට. මෙන්න ගිය සෙට් එක ටික වෙලාවකින් ඇවිත් කියනවා උන්ට එතන කෑම්පින්ග් කරන්න ඕනේ කියලා, උන්ගේ අසාවට ඉඩ දෙන්නත් ඕනේනේ, ඒ සෙට් එකේ ඔක්කොම අටයි ඉතින් උන් ටික ඔක්කොම ගීයා infinity ළඟ කෑම්පින්ග් කරන්න, අපි තව අට දෙනෙක් දූවිලි ඇල්ල ළඟ නතර උනා. ලොකු දෙයක් රෑට හදාගත්තෙත් නෑ, මහතුන් මාමා දවල්ට බත් උයලා දීපූ නීසා හොඳට ගියා. කෑම්පින්ග් ගීයාම ජාතික අහාරය වගේ තියන නූඩ්ල්ස් ටිකක් හදාගත්තා රෑ කැමට. ඉතින් කලින් දවසේ වගේම තමා කරන්ඩ මගුලකුත් නෑනේ සුපුරුදු පරිදි කලින්ම නිදාගත්තා, පහ වෙද්දී ඇහැරෙන්න ඕනේ, මොකද අද, ඒ කියන්නේ සිකුරාදා හවස 4 වෙන්න කලින් ඇටන්වල ගමට එන්න ඕනේ, බස් එක අල්ලගෙන නැවත් ගම් බිම් බලා පිටත් වෙන්න, හදිසියෙවත් බස් එක අල්ලාගන්න බැරි උනොත් ආයේ පහුවදා තමා🙏.
හරි ඔන්න පහ වෙද්දී අපෙ සෙට් එක ඇහැරුනා, දඩ බඩ ගාලා ටෙන්ට් ඔක්කම අකුලගෙන තියන බිස්කට් එකකුත් කාලා කොහොම හරි 6.10 වගේ වෙද්දී අනිත් සෙට් එක කෑම්පින්ග් කරන තැනට අපි ආවා. මොකද අපේ පාර වැටිලා තියෙන්නෙත් infinity එක හරහාම තමා. එද්දි අරුන් සෙට් එක තාම පොටෝ සීන් එකේ, අපිත් අත ඇරියේ නෑ ගැහුවා පොටෝ 🤣, කොහොම හරි 8 වෙද්දී එතනින් පිටත් උනා, හැබැයි දාලා එන්න හිතෙන් නැති තැන් අප්පා ඒවා, දූකේ බෑ. ඊට පස්සේ අපේ ගමනාන්තය දුම්බර ඇල්ල, සඳුවත් මේ පාරෙන් ගිහින් නෑ, මැප් එක බලාගෙන තමයි ගමන, හැබැයි infinity ඉඳලා පාර අමාරූ නෑ පැහැදිලිව පාර තියනවා ඇටන්වලටම. දන්නෙම නැතුව අපි දුම්බර ඇල්ල ගාවටම ඇවිත්, මොකද infinity එක ගාව ඉඳලා දුම්බර ඇල්ල ගාවටම එක දිගටම පල්ලම 2 km විතර, ඒක හින්දා මහන්සිය අඩුයි හැබැයි කකුල් රිදෙනවා, ආපු ගමන් සෙට් එකම පිස්සො වගේ පෝටො ගහන්ඩ දුවනවා, සාධාරණයි ඉතින් මේ වගෙ ලස්සන තැන් දැක්කම, අපි යන්නෙම මතකයන් ගොන්නක් එකතු කරන් එන්නනේ 🙏. ඉතින් සුපුරුදු පරිදි උදේටයි දවල්ටයි දෙකටම උයාගන්න ඔනේ, අපි සෙට් එක කෑම හදන්න පටන් ගත්තා බතුයි පරිප්පුයි සෝයයි තමා ඉතින්, කෑම්පින්ග් ගිහින් හදන මොන කෑම එක උනත් කියන්න දෙයක් නෑ දිව්‍යභෝජන තමා 😋. මමනම් ඉතින් කෑලේට උනා පොඩ්ඩක් ශරීර කෘත්‍ය කරගන්නත් එපැයි 🤣. කලින් කතා උනේනම් කෑම හඳලා ඉවර වෙලා නාලා ඇවිත් කනවා කියලා, කොහෙද බඩගින්න ලොකුයිනෙ ඔක්කොටම වඩා. දෙපාරක් හිතුවේ සෙට් එකෙන් බාගයක් හොඳ සාධාරණයක් කරා කෑම එකට 😋. දුම්බර ඇල්ලනම් වෙනම සීන් එකක්, ඒක මගෙ වචනෙන් කියනවනම් පට්ටම පට්ට ❤️. කොහොමහරි මගෙ gopro එකත් කෙලවුනා වතුරට දාන්න ගිහින් 😥, දුක තමා vlog එකේ ඉතුරු ටික කර ගත්තෙත් සඳුවගේ පෝන් එකේ පිහිටෙන් තමා ඉතින්. කාලය කෙමින් කෙමින් ගෙවිලා ගියා යන්න වේලාව හරි, බෑග් වල පටවගෙන ආපු කෑම බීමත් ඔක්කොම වගේ ඉවරයි බරත් අඩුයි දැන්, යන්න තමා තියෙන්නේ ගම පැත්තට ක්ෂණිකව කියලා හිතාගෙන පිටත් උනා. අම්මෝ යකෝ යනවා යනවා ඉවරයක් නෑ මේ මඟුල, සමහර කඳු නගිද්දී ඇඩෙනවා 😥. කොයි වේලාවේ ගමට යන්න පුලුවන්ද කිය කිය හිත හිත ආවේ, ඇයි පරක්කු උනොත් බස් එක අල්ලා ගන්න වෙන්නෙත් නෑනේ. යකෝ මෙන්න අපි ඉස්සරහට එනවා පොඩි කොල්ලෙක් කෑලේ මැඳින්, කතා කරලා බලපුවම ඒ යකාට කැම්පස් exam එකේ stress වැඩි කියලා දූවිලි ඇල්ලේ යනවා කෑම්පින්ග් කරන්න, පිස්සු කොල්ලෙක් ආ, මටනම් බෑ තනියම ඔහොම කෑලේක යන්න 🤣. ඒ කොල්ලට මගෙ හදපිරි මෙව්වා එක ❤️🙏.
හරි හරි අපි ආයේ ගමනේ, හික් ගෑවීලා ඉන්නේ සෙට් එකටම කඳු දැක්කම ඇඩෙනවා, වතුර බොනවා ඇවිදිනවා. හෙමින් හෙමින් අපි ලංකාවේ පොඩිම ගම්මානය වන වල්පොලමුල්ලටත් ළඟා උනා. තවත් 4km විතර දුරක් ගමට යන්න ඕනේ. අවට පරිසරයනම් මාරම සුන්දරයි 🙏. සෑහෙන දුෂ්කර වගෙම සුන්දර ගමනකින් පස්සේ අපි ඇටන්වල ගමට ළඟා උනා, වේලාව 3.55 යි මරුම වෑඩේ කියන්නේ බස් එක එන්නේ 4 ට, ඒත් ගමට නෙවේ, තව 2 1/2 km විතර යන්න ඕනේ ඒ වෙද්දිත් සෙට් එකෙන් මාත් එක්ක තව තුන්දෙනයි ගමට ළඟා වෙලා හිටියේ. මල කෙලියයි කොහොමද බස් එක අල්ලගන්නේ🤔. ඔන්න තව දෙන්නෙක් ආවා, අපි කරේ උන් දෙන්නව එතනම තියලා අනිත් උන් එනකන් ඉඳලා උන් එක්කම වරෙන් කියලා, අපි දිව්වා බස් එක අල්ලාගන්න, ගමේ අය කිව්වා සමහර වෙලාවට බස් එක එද්දි 4.10 විතර වෙනවා කියලා, දුවනවා දුවනවා මොන දුවනවද පට්ට හති ඉතින් 🤣. අන්තිමේ කොහොම හරි හංදියට (රත්නින්ද හංදිය) දුවගෙන ආවා. වේලාවට බස් එක ගිහින් නෑ, අම්මෝ ඇති යන්නම් 🙏. කට්ටිය බලනවා ඇති මොකද්ද මේ බස් එක කියලා, මේ එන්නේ මහියංගණ මාතලේ රිවස්ටන් හරහා යන බස් එක, ඉතින් ඔන්න බස් එක ආවා, ඒත් කෝ මේ අපේ සෙට් එක, උන් නෑ ඩ්‍රයිවර් මහත්තයට කියලා බස් එක වීනාඩී 10ක් නතර කරන් ඉන්න උනා ඉතින් 🙏🤣. ඔන්න ඉතින් එකා දෙන්නා එනවා සමහර උන්ට දුවන්ඩවත් පන නෑ 🤣🤣. හංදියට ආපු උන් ආයේ මගට ගිහින් දුවන් එන්න බැරි උන්ගේ බෑග් පවා උස්සගෙන ආවේ ඒ තරම් ආතල්🤣. බස් එකත් නිකන් අපෙ ගෙවල් වගෙ එක එකා එක එක තැන් වල බුදි🤣. ඉතින් ඔන්න ඕක තමා අපේ මේ ලස්සන ගමනේ කතාව 🙏. පළවෙනි වතාවට තමා මෙහෙම පතරංග ජාතකයක් ලියන්නේ. ඉතින් ඉවරයි බොහොම ස්තුතියි කියවපු හැම එකාටම ආදරෙයි හඳවතේ අඩියෙන්ම🙏❤️