11/08/2020
මතක ශක්තිය ගිලිහීම ( Loss of Memory )
කියන්නේ වයස් ගත වන විට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට ඇතිවිය හැකි රෝගයක්.
මෙයම අපි ඉංග්‍රීසි බසින් Dementia ලෙස හදුන්වනවා . නමුත් මෙය වයස් ගත වන විට අප හැමෝටම ඇති වන්නේත් නැහැ. ඒ වගේම Dementia කියන්නේ වයස් ගත වන වීමේ ලක්ෂණයකුත් නොවෙයි. මෙය ඇතිවීමේදී මතත ශක්තිය පිළිබඳව පමණක් නොව , මතකය ආවර්ජනය කිරීම, ධාරණය කරගැනීම, තීරණයන් ගැනීම, සන්නිවේදන අපහසුතා, භාෂාව හැසිරවීමේ දුර්වලතා, පෞද්ගලික පිරිසිදුකම පවත්වා ගැනීමේ දුර්වලතා, විනිශ්චය කර ගැනීමේ අපහසුතා, කළමනාකරණය කර ගැනීමේ අපහසුතා ආදී නොයෙකුත් ආකාරයන්හි දුර්වලතා මෙකී රෝගීන් කෙරෙහි දැකිය හැකිය. දැනට පවතින වාර්තාවන්ට අනුව වසරක් තුළ මෙකී රෝගීන් ලොව පුරාම මිලියන දහයක් පමණ වාර්තා වෙනවා. ඒ නිසා එය සුළු කොට තැකිය හැකි දෙයක් නම් නොවේ . ඒ නිසාම අප වෙසෙන සමාජයේ අප අතරම සිටින අපගේ සමීපතමයන් මෙකී රෝගයෙන් පෙළෙනවානම් ඔවුන් වෙනුවෙන් අපට යමක් කළ හැකි නම් එය බොහෝ උසස් බව දන්නා හෙයින් ඔබගේ දැනුවත් වීම පිණිස මෙම ලිපිය සකසන්නෙමි. එතුලින් සමහර විට ඔබගේ වයස්ගත ආච්චි, සීයා , ඔබගේ මව හෝ පියා ආදීන්හටද ඔබට පිහිටක් විය හැකිය . එසේම Dementia රෝගය සෑදුනු කෙනෙක් නිවසක සිටීනම් ඔහු හෝ ඇය ඒ තුලින් බොහෝ පීඩාවන්ට පත්වනවා සේම එම නිවසේ වසන අනෙකුත් සාමාජිකයන් ද ඔහු හෝ ඇයගේ ක්‍රියාකලාපයන් හා හැසිරීම හා චර්‍යා රටා නිසාත් නොයෙකුත් අපහසුතා වලට නිතැතින්ම පත්වන නිසා එකී රෝගීන් රෝගයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීම හැමෝටම විශාල සහනයක් වේ. ඒ නිසා මෙහිදී මුලින්ම මෙම රෝගීන්ගේ සාමාන්‍ය රෝග ස්වභාවය හදුනා ගැනීම ඉතා වැදගත්වේ . පහත මවිසින් සදහන් කරන්නේ එම ලක්ෂණයි.
1) මතක ශක්තිය ගිලිහීම නිසා එකම ප්‍රශ්නය වරින් වර නැවත නැවත ඇසීම. හෝ අසන ප්‍රශ්න වලට වරින් වර වෙනස් ආකාරයෙන් පිළිතුරු ලබාදීම.
2) ඉතා කුඩා අරමුණු පවා ඉටුකර ගැනීමේ අපහසුතා හා අමතකවීම ( උදා -:ඉවීමේදී දිගින් දිගටම ව්‍යංජන ලිප මතින් බෑමට අමතක වීම වැනි)
3) සන්නිවේදන අපහසුතා හා භාෂාව හෝ කුඩා වචන ආදිය අමතක වීම.
4) අසල වෙළදසලේ සිට නිවසට යන පාර අමතක වීම වැනි සිදුවීම් නිතර ඇතිවීම.
5) මුදල් සමග කරන ගණුදෙනු අමතක වීම.
6) යම් කිසි දෙයක් නිවැරදිව විනිශ්චය කර ගැනීමට අපහසුතා ඇතිවීම.
7) තමා නිතරම පරිහරණය කරන බඩුබාහිරාදිය තිබූ තැන් අමතක වීම. වෙනත් තැන්වල බඩුබාහිරාදිය ස්ථානගත කිරීම.
8)තමාගේ හැගීම් හා ඉරියව් නිතර නිතර මාරුවීම. (ඉතා සතුටින් සිටින අවස්ථාවේදී පවා ක්ෂණික කෝපයකට පත්වීම වැනි)
9) තමාගේ දෛනික ක්‍රියාකාරීත්වයේ අඩපණවීම්/ අඩුවීම ඇතිවීම.
යනාදියයි . මෙකී ලක්ෂණ රෝගයේ ආරම්භක අවස්ථාවේදී මද වශයෙන් ඇති උවත් රෝගය උත්සන්න වීමේදී වඩා දරුණු ලෙසටත් ඇතිවේ. රෝගයේදී පීඩාවට පත්වන ප්‍රධාන ශාරීරික ඉන්ද්‍රිය මොළය උවත් මෙකී රෝගයට හේතුවන මානසික හා ශාරීරික හේතූන් බොහොමයක් තිබේ. මීළගට අපි බලමු ඒ හේතු මොනවාද කියලා .
1) වයස් ගත වීම සමග ඇතිවන මොළයේ සෛල මියයාම මෙහි ප්‍රධානම හේතුවයි.
2) අධික ඇල්කොහොල් හා මධ්‍යසාර භාවිතා කිරීමෙන් මොළයේ ඇතිවන තයමින් ඌනතාව නිසා
3) මොළයේ සිදුවන ආසාදන හා අනතුරු නිසා ( Brain injuries )
4) මොළයේ රුධිර නාල අවහිරවීම් හා රුධිර නාල පිපිරීම්( Stroke ), මොළයේ ඇතිවන ගෙඩි හා පිළිකා( Brain tumour ) තත්ත්වයන් නිසා
5) MS නැමැති රෝගය නිසා
6) තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන (HypoThyroide) තත්ත්වය නිසා
7) විටමින් B 12 ඌනතාව නිසා
8)සංකීර්ණ ලෝහ වර්ග ඊයම් වැනි ශරීර ගත වීමෙන් ඇතිවන විෂ වීම් වල අතුරුඵල ලෙස
9) සමහර ඖෂධ වල විෂවීම් නිසා
10) මොළයේ සෛල තුළ ජල පදාර්ථ පිරීම නිසා
11) HIV රෝගයේ උපද්‍රවයක් ලෙස
12) මැලේරියා රෝගයට ගොදුරු වීමේ උපද්‍රවයක් ලෙස
13) සිපිලීස් රෝගයට ගොදුරු වීමේදී ඇතිවන උපද්‍රවයක් ලෙස
යනාදී අනෙකුත් විවිධාකාර හේතු නිසාද ඉහත කී Dementia රෝගයට පත්වීමේ හැකියාවක් ඇත.කෙසේ උවත් Dementia හෙවත් මතකය ගිලිහී යාමේ මෙම රෝගය මෙකී හේතු සාධක මත මෙන්ම පාරම්පරිකවද ඇතිවේ. එනම් ජානමය ස්වභාවය මතය. රෝගයේ පූර්ව ලක්ෂණ පැමිණි විට ඒ සදහා සුදුසු පිළියම් හා ප්‍රතිකාර කිරීම තුලින් රෝගය උත්සන්න වීම වළක්වා ගත හැකිය. එසේම මෙහිදී රෝගියාගේ ශාරීරික හා මානසික තත්වයන්,වයස, වෙනත් රෝගාබාධ ආදිය සළකා බලා ආයුර්වේද ශාස්ත්‍රානුකූලව සිදුකරන ලද නස්‍ය කර්මය , වමන කර්මය වැනි පංචකර්ම ප්‍රතිකාරත් ශිරෝධාරා , ශිරෝපිචු , ශිරෝවස්ති, හිසකුඩිච්චි, තාලම් , ශිරෝ අභ්‍යංග, වක්තෘ අභ්‍යංග, වක්තෘ වාෂ්ප ස්වේද , ආදි ප්‍රතිකාර ක්‍රම වලින් රෝගය පාලනය කර ගෙන සුව කළ හැක. එසේම
1) බ්‍රාහ්මී ග්‍රතය තේ හැදි 1 බැගින් උදේ රාත්‍රි කෑමට පෙර කෑම.
2) සාරස්වතාරිෂ්ඨය මේස හැදි 2 ක් උදේ රාත්‍රි කෑමට පසු බීම .
3) ස්මෘති හිල්ස් පෙති 2 බැගින් උදේ රාත්‍රි කෑමට පසු බීම .
4) මෙන්ටාට් පෙති 2 බැගින් උදේ රාත්‍රි කෑමට පසු උණු වතුරින් බීම.
5) සාරස්වත චූර්ණය තේ හැදි 1 බැගින් උදේ රාත්‍රි කෑමට පෙර මී පැණි සමග අනා කෑම.
6) රණහංස රසායනය තේ හැදි 1/2 බැහින් උදේ රාත්‍රි කෑමට පෙර කෑමට දීම
7) සිද්ධජීවමෘත පානය මේස හැදි 2 බැගින් උදේ රාත්‍රි කෑමට පසු බීම .
ආදී ඖෂධ ප්‍රතිකාරද මේ සදහා ප්‍රයෝග කළ හැකිය. එසේම, ලුනුවිල, ගොටුකොළ , ප්‍රාණජීව, ශංඛපුෂ්ප, කහ, බැබිල, ආදී ඖෂධ මේ සදහා යොදන ශ්‍රේෂ්ඨ ඖෂධ බැවින් ඒවායින් කෂාය, කැද , ව්‍යංජන ආදිය නිතරම සකසා රෝගියා කෙරෙහි යෙදීම කළ හැකිය. මෙවන් ප්‍රතිකාර ක්‍රම වෛද්‍ය උපදෙස් මත රෝගියා වෙත ලබාදීමෙන් ගිලිහී ගිය මතක ශක්තිය නැවත රෝගියා වෙත ලබාදී Dementia රෝගයෙන් සුව තාවයට පත්කර ගත හැකිය.
---------------------------------------------------------------------------
මාගේ යූ ටියුබ් චැනලය හා මේ ලින්ක් එක ඔස්සේ එකතු වන්න.https://bit.ly/2Y0MvFJ