15/02/2023
විභාගෙ ඉවරයි !
කොළ ටිකත් විසික් කරල
අදත් හනික පඩි ටික බැහැගෙන
ආවෙ ගෙදර දුවන්නයි
ඒත් ඇයි මේ වෙනද නැති හැඟීමක්...
ඒ පඩිපෙලමයි, වටේ පිටේ වෙනද හිටිය
ඒ ඈයොමයි...
හැබැයි හරි නිශ්ශබ්දයි !
පඩිපෙල පහල කට්ටියක්
ආපහු හැරිල බලාන ඉන්නවා...
ඉබේමට වගේ මාත් උන්ටම එකතු වෙලා
ටිකක් බලන් උන්නා
පුදුමයි!
කදුලු කැට වැටෙන්නෙ නොදැනිමයි
මම අනිත් උන් දිහා බැලුවා
මගෙ විතරක් නෙවෙයි උන්ගෙ ඇස්වලත් කඳුලු...
ආපහු මේ සුදු ඇඳුම අදින එකක් නැතිවෙයි,
උදේ පාන්දර බෙල් එකේ සද්දෙට දුවන් එන්න බැරිවෙයි,
රංචු ගැහිල පංතිය පිටින් පිට්ටනියෙ ක්‍රිකට් ගහන්න බැරිවෙයි,
පොඩි මගඩි වැඩක් කරල සෙට් එක පිටින් දණගස්සවන්නෙ නැතිවෙයි
ඒත් මට විස්වාසයි,
මේ මතක සදාකාලික වෙයි,
හම්බුන මගේ උන් මඟහැරෙන්නෙ නැතිවෙයි,
හැමදේම හිත්වල අමරණීය වෙයි
මම එක අතකින් කඳුලු පිහදගෙන
ලඟ උන්නු එකාට තට්ටුවක් දැම්මා,
" යමන් මචං..."
මම එන්න හදල තව එකපාරක්
ආපහු හැරිල බැලුවා
ඒ ආඩම්බරයමයි,
ඒ ගාම්භීරත්වයමයි,
ඒ හැඟීමමයි,
මීට අවුරුදු ගානකට කලින් මුලින්ම ගමේ ඉදන් ටවුමෙ ලොකු ඉස්කෝලෙට එද්දි හදවතට දැණුනු!❤️
දිග හුස්මක් එක්ක මම ආපහු හැරුනා ගෙදර එන්න.
ඒත් මට ආපහු දුවගෙන ගිහින් අහන්න හිතුණා,
"තව එක දවසක් විතරක් මම එන්නද...?🥺"
© වචන - Iroshan Rathnayake