31/12/2022
මගෙ අම්මා, තාත්තා දෙන්නම පොඩි කාලෙ ම මැරුණා. ඒ Accident එකකින් කියලා තමයි මාමා නම් කිව්වේ..
ඊට පස්සෙ මට කියලා හිටියේ මාමා විතරයි. මාමා තමයි වලව්වෙ ලොකු හාමුගෙ ඩ්‍රයිවර්..
ඒත් මාමා අතින් වුණ Accident එකක් නිසා මාමටත් හිරේ යන්න වුණා. මාමගෙ අන්තිම හුස්ම පොද වැටුනෙත් හිරේදි..
වාහන නිසා ලෝකෙම නැතිවුණ මාත්, ඩ්‍රයිවර් කෙනෙක් ම වුණ එක නම් දෛවයේ සරදමක් වගේ. ඒත් මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..
හාමු වෙනුවෙන් මාමා අවුරුදු ගානක් කරපු සේවය ගැන හිතලා හාමු මට මාමගෙ රස්සාව දුන්නා..
මට මතකයි මං මෙහෙ වැඩට ආපු මුල්ම කාලේ. ගමේ හිටිය වැඩියෙන්ම ගරු කරපු රියදුරු මහත්තයට හාමු මාව බාරදුන්නා, පුරුදු කරන්න කියලා..
ඒ, සිරිපාල මාමා. ටවුමෙ ඉස්පිරිතාලෙ ගිලන් රථ රියදුරු. ඒ මාමාගේ වේගෙ නිසා ජීවිතේ බේරුණ මිනිස්සු ටවුමේ, ගමේ කියලා වෙනසක් නැතුව මාමාට පින් දුන්නා..
"වේගය මරුවා කැඳවයි.." කිව්වට මොකද,
සිරිපාල මාමාගේ වේගය නිසා, මරුවා අරන් යන්න ගිය ජීවිත කීයක් බේරගත්තද කියලා මට කියලා දුන්නා..
හාමුගෙ එකම පුතා "නාරද". හරිම විනෝදබර ජීවිතයක් තමයි මිනිහට තිබුණේ..
ඒ නිසාම නාරද හාමු අතින් වුණ අනතුරු වල නම් සීමාවක් තිබුණෙ නෑ. ලොකු හාමුටයි, මටයි මාසෙකට සැරයක් වගේ ඉස්පිරිතාල ගානෙ ගිහින් හැප්පුන අයට සල්ලි දීලා ඒ අනතුරු යට ගහන්න වුණා..
ඒත් එක දවසක් හාමුට වැඩ වැරදුනා. එදත් වෙනදා වගේම නාරද හාමු ඇවිල්ලා හාමු ගාව පින්සෙන්ඩු වෙද්දි මට දැනුනා මොකක් හරි විනාසයක් කියලා..
හාමු එළියට ආවේ කේන්තියේ පුපුර පුපුරා..
"ගනින් වාහනේ..!"
ගැස්සිලා ගිය මාත් කාර් එක අරන් හාමු එක්ක ගියා. අපි ගිහින් නැවතුනේ ගමේ තියන පොඩි ඉස්පිරිතාලෙ. ඒ වෙද්දිත් ගුණදාස මාමාව ටවුමෙ ඉස්පිරිතාලෙට මාරු කරා කියලා තමයි කිව්වේ..
ගුණදාස කියන්නේ ගමේ හැමෝටම ඇඳුම් මහපු මනුස්සයා. ඒත් එයාගෙ දුව ඒ පාරෙම ගියේ නෑ. දුව දැන් ඉස්කෝලෙ ටීචර්..
"අනිත් මිනිස්සු සල්ලි වලට යට වුණාට අපි එහෙම නෑ කියලා උඹේ හාමුට කියපන්.."
එහෙමයි නාලිකා මිස් මට බැන්නේ. ඒක අහපු හාමුට යක්ෂාවේස වුණා. ඒත් මම අමාරුවෙන් හාමුව ගෙදර එක්ක ආවා..
එදා හොඳටම රෑ වෙලා හාමු යකෙක් වගේ කාර් එක ළඟට ආවා. එතකොට මං වාහනේ පොඩි වැඩ වගයක් කර කර හිටියේ..
"ඕක ලෑස්ති කරලා ගනින්. අද තෝ එන්න ඕන නෑ. මං යන්නම්.."
එහෙම කියපු හාමු ඊට පැය බාගෙකට පස්සේ විදිල්ලක තරම් වේගෙන් වාහනේ ඉගිලුනා. ඒ ගියෙ නාලිකා මිස්ගෙ ගෙදරට කියලා මට අමුතුවෙන් කියන්න ඕන වුණේ නෑ..
ඒත් මෙදා පාර ගිය හාමු ආයේ ආවේ නෑ..!
ඒක ලොකු අනතුරක්. පාලම කඩාගෙන හාමුගේ වාහනේ ගියා කියලා තමයි දැකපු අය කිව්වේ..
මොනවා වුණත් මළ ගෙදරක් අස්සෙ පොලිසිය එවන්න තරම් ගුණදාස මාමා තිරිසනෙක් වුණේ නෑ. ඒ නිසා ඒ සිද්ධිය හාමුගෙ මරණය එක්කම යට ගියා..
ඊට පස්සෙ මේ මුළු සේසතේම අයිතිකාරයා වුණේ නාරද හාමු. ඒත් නාරද හාමු, ලොකු හාමු තරම්වත් මිනිස්සු ගැන හිතුවේ නෑ..
ලොකු හාමුගෙ මළ ගෙදර වැඩ ඉවර වෙලා ටික දවසකින්ම, නාලිකා මිස්ගේ මිනිය පාළු රබර් වත්තක තිබිලා හම්බවුනා. ඒ මිනීමරුවා කවදාවත් පොලිසියට අහු වුණේ නෑ. ඒත් ඒක පිටිපස්සේ හිටියේ කවුද කියලා මුළු ගම ම දැනගෙන හිටියා..
එහෙම කාලයක් රජ කරගෙන හිටපු නාරද හාමුට ජීවිතේ වරදින්න පටන් ගත්තෙ අමුතු විදිහෙ ෆෝන් කෝල් එකක් ආපු දවසෙ ඉඳන්..
ඒ කතා කරේ "සොට්ටියා" කියලා කෙනෙක්ලු. මිනිහා කියපු විදිහට නාලිකා මිස්ව මැරුවේ නාරද හාමු කියලා මිනිහා ගාව සාක්ෂි තියෙනවලු..
ඒවා එළි නොවෙන්න ඕන නම් මිනිහා ඉල්ලන ගානක් බෑග් එකක දාලා, නාලිකා මිස්ගෙ මිනිය තිබුණ තැනට ගෙනත් දාන්න කියලා තමයිලු මිනිහා කිව්වේ..
මුලින් නාරද හාමු මේවා සතේකට මායිම් කරේ නෑ. ඒත් එක දවසක් උදේ අපි නැගිටිද්දි වලව්වේ තාප්පෙ "මිනීමරුවා" කියලා ලොකු කොලයක් අලවලා ගිහින් තිබුණා..
තව දවසක් කවුදෝ එකෙක් ඇවිල්ලා මුරකාරයගෙ ඔලුවට කළු රෙද්දක් දාලා හොඳටම ගහලා ගිහින්..
ඒත් වැඩේ හොඳටම පත්තු වුණේ, කාර් එක හද හදා හිටපු මගෙ ඔලුවටත් කළු රෙද්දක් දාල ගහලා ගිය දවසේ..
වලව්ව ඇතුළට ම ආපු මිනිහට තව අඩි දෙකක් එන එක කජ්ජක් නෙමෙයි කියලා නාරද හාමුට තේරුණා. නාරද හාමු මාත් එක්ක සල්ලි බෑග් එකක් පුරවගෙන කියපු තැනට අරන් ගියා..
හාමුයි මායි පැය ගානක් කැළේ හැංගිලා බලන් ඉඳලා බැරිම තැන ආවා. අපි ආයේ ගිහින් බලද්දි ඒ සල්ලි එතන තිබුණෙ නෑ..
ඔය රවුම හැම මාස දෙක, තුනකට සැරයක්ම කැරකුනේ නාරද හාමුව අමු හිඟන්නෙක් කරගෙනමයි..
වැඩට හිටිය උන්ට පඩි නඩි දෙන්නවත් අන්තිමට හාමු ළඟ සල්ලි තිබුණෙ නෑ. හැමෝම හාමුලව දාලා යද්දි ඉතුරු වුණේ මං විතරයි..
අන්තිමට මීට දවස් තුනකට කලින් උදේ තේ එක අරන් කාමරේට ගිය මං දැක්කේ, බාල්කෙ එල්ලිලා හිටිය නාරද හාමු..!
ඉතින් අන්තිමට මං අද උදේ ඒ මූසල ගෙදරින් ආවා..
ඇවිත් අම්මා, තාත්තා, මාමා, නාලිකා හැමෝම නිදාගෙන හිටිය සොහොන් පිට්ටනියට ගියා. ගිහින් මගේ වැඩ ඉවරයි කිව්වා..!
---------------------------------------------------------------
ඒ හැමදේම පටන් ගත්තෙ අම්මයි, තාත්තයි, මායි කුලී වැඩට ගිහින් ගෙදර එමින් හිටපු හවසක..
මට ටොපියක් කන්න ආස හිතුනා. කුලිය හම්බවුන දවසට තාත්තා මට ඒවගෙන් අඩුවක් කරේ නෑ. එදත් පුරුදු විදිහට රුපියල් දෙකක් ඉල්ලගෙන මං දිව්වේ කඩේට..
කඩෙන් එලියට එද්දි අම්මවත් තාත්තවත් පේන්න හිටියෙ නෑ. කාර් එකකින් බැහැලා වට පිට බලපු ලොකු හාමු මහත්තයා යන්න ගියා. මිනිස්සු එතන වට කර ගත්තා..
එදා තමයි අපේ මාමට වලව්වේ ඩ්‍රයිවර්කම හම්බවුණේ. ඒ අපේ අම්මගෙයි, තාත්තගෙයි මරණවල හිලව්වට කියලා මට තේරුණේ ටිකක් ලොකු වුණාම..
මාමට මාව ඉස්කෝලෙ යවන්න හැටියක් තිබුණෙ නෑ. මාමා හිටියෙම වලව්වෙ නිසා..
ඒත් ගමේ ඇඳුම් මහපු ගුණදාස මාමා මටත් ලස්සන සුදු ඇඳුමක් අන්ඳවලා ඉස්කෝලෙ යැව්වා. මාමා කිව්වෙ නම් අපේ තාත්ත කරපු උදව් වලට මෙහෙම සලකලා මදි කියලා..
මගෙ හොඳම යාළුවා වුණේ නාලිකා.ගුණදාස මාමගෙ දුව..
මගෙ ඉස්කෝලෙ ගමන කඩා වැටුනෙ මාමා හිරේ ගිය එකෙන්. මාමා කිව්වෙ නම්, මොකද්ද කොලයකට ඇඟිල්ල තිබ්බ එක අැරුණම වෙන වරදක් මාමා කරේ නෑ කියලමයි..
ඒ කොලේ තිබුණෙ "අනතුරේ වගකීම බාර ගන්නවා" කියලා ලියපු ලියුමක් කියලා, කණ අත්සන ගහපු මාමා දැනගෙන ඉඳල නෑ..
ඒ විදිහට මාමා වෙනුවට මං වලව්වේ ඩ්‍රයිවර් වුණා.නාලිකා නම් කිව්වෙම මට ඉගෙන ගමු කියලා. එයා කියපු විදිහට මට හොඳ මොළයක් තිබුණා..
ඒත් මගෙ මොළය දැකපු නාලිකා මගෙ හදවත දැක්කෙ නෑ. ඒ නිසා නාලිකා ගැන මගේ හිතේ තිබුණ ආදරේ කවදාවත් එලියට ආවෙත් නෑ..
නාලිකා හිතුවේ ඉගෙනීම වෙනුවට මං සල්ලි තෝරගත්ත කියලා. ඒ නිසා ඒ යාළුකම මගෙ ඉස්කෝලෙ ගමන එක්කම ඉවර වුණා..
ඒත් මට ඕන වුණේ මගෙ ජීවිතේම නැති කරපු මාන්නක්කාරකම සදහටම නැති කරන්න. ඒකටයි මට උන්ගෙ ළඟටම යන්න ඕන වුණේ..
ඒත් ඒක මෙච්චර ඉක්මන් කරේ ලොකු හාමුමයි. එදා රෑ නාලිකාගේ ගෙදර යන්න හිතාගෙන කාර් එකට නැගපු ලොකු හාමුට වාහනේ බ්‍රේක් නෑ කියලා මං නොකිව්වෙත් ඒකමයි..
සිරිපාල මාමා කිව්වා වගේ සමහර වෙලාවට වේගය, සමහර ජීවිත බේරනවා..!
ඒත් හාමුගේ වේගය නිසා නාලිකාගේ ජීවිතේ වැඩි දවසක් බේරිලා තිබුණෙ නෑ..
එදා තමයි "සොට්ටියා" ඉපදුනේ..!
සොට්ටියට තිබුණ අමාරුම වැඩේ තාප්පේ කොල අලවපු එක නෙමෙයි, මුරකාරයගෙ ඔලුවට රෙද්දක් දාලා ගහපු එකත් නෙමෙයි..
තමන්ගෙම ඔලුවට රෙද්දක් දාගෙන කාර් එකේ ඔලුව හප්ප ගත්ත එක තමයි අමාරුම වැඩේ වුණේ. එ්ත් ඒවට හරියන්න සොට්ටියට ලොකු සල්ලියක් ලැබුණා..
ඒ සල්ලි හාමුලා නිසා අසරණ වුණ ගමේ මිනිස්සුන්ගෙ ගෙවල් වලට, ලියුම් කවරවල බැහැලා ගියා කියලා දැනගෙන හිටියෙත් සොට්ටියම විතරයි..
එක දවසක සොට්ටියගේ එක පවක් මිනිහට නොදී නාරද හාමු ම අරන් ගිහින් තිබුණ නිසා මිනිහගෙ වැඩ ඉවර වුණා..
මගෙ පොඩි කාලේ තිබුණ කකුල් කොරේ නිසා නිතරම නාරද හාමු මට හිනාවුනේ "සොට්ටියා" කියලා..
දවසක ඒ නම ම අහලා, හාමු හිනාවෙනවා වෙනුවට බය වෙයි කියලා කවුද හිතුවේ..
ඒත් ඒ බය, මනුස්සයෙකුගේ අඩුපාඩුවක් කියලා හිනාවෙද්දි දැනෙනවා තරම් වේදනාවක් නම් දෙන්න නැතුව ඇති..!
ඉතින් මං මේ යන්නේ නැති කරපු ජීවිත වෙනුවට, නැති වෙන්න යන ජීවිත ටිකක් බේරගන්න..
මරුවා කැඳවන වේගෙන්ම, ජීවිතේ කැඳවන්න..
සිරිපාල මාමා මට අඳුන්වලා දීපු මහත්තයා මට ඉස්පිරිතාලෙට එන්න කිව්වේ උදේ දහයට..
මටත් වඩා, ජීවිත බේරන මේ රස්සාව ඕන වුණේ මගෙ හෘද සාක්ෂියට..
දැන් මට තේරෙනවා නාරද හාමුව බාල්කේ එල්ලුවේ සොට්ටියගෙ තර්ජනවත්, නැති වෙච්ච සල්ලිවත් නෙමෙයි කියලා..
ඒ, හාමුගෙ ම හෘද සාක්ෂිය..
දැන් ඉවරයක් නැතුව මගෙ පස්සෙනුත් එළවන, කරුමක්කාර හෘද සාක්ෂිය..
මගෙ ඩයරියේ මේ කතාව ලියන්න ඕන වුනෙත් මට නෙමෙයි, මගෙ හෘද සාක්ෂියට..
ඉතින් මං මැරුණ දවසක හරි මේක කියවන කෙනෙක්ට කියන්න තියෙන්නේ,
අතීතය එක්ක සමාදාන වෙන්න..!
පළිගන්න එක වීරකමක් නෙමෙයි,
අත අරින එකයි වීරකම..
පළිගන්න ඕන දුර්වලයෙකුට පුළුවන්,
ඒත් අත අරින්න පුළුවන් හයිය හිතකට විතරයි..
පළිගත්තට පස්සෙත් මහා හිස්කමක් දැනෙන එකෙක් තරම්,
මේ ඇත්ත දන්න වෙන කවුරුවත් මේ ලොකේ නෑ..!
---------------------------------------------------------------
ඔබට මුළු ලෝකයෙන් ම පලා යා හැකි වුවත් හෘද සාක්ෂියෙන් පලා යා නොහැක..
ඉතින්, පරිස්සමෙන්..!
- ඉෂාන් ජනිත් දිසානායක -
Copied