29/01/2025
සල්ලි මවන ඉඟුරු
ඉගුරු වගාවට සකසමු භූමිය...
ඉගුරු කියන්නේ කුරුණෑගල, මහනුවර, මාතලේ, ගම්පහ, කොලඹ, කෑගල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල,මාතර, බදුල්ල, රත්නපුරය, මොණරාගල, පොළොන්නරුව, යන දිස්ත්‍රික්ක වල පහසුවෙන් වගා කලහැකි බෝගයක් වෙනවා...
ඒ වගේම යල කන්නයේ වගා කරනු ලබන බෝගයක්... වැසි ජලය භාවිතයෙන් බහුලවම වගා කරනු ලබන අතර වියළි කලාපයේ ජල සම්පාදනය යටතේ ද ඉගුරු වගා කිරීමට හැකියාව පවතිනවා...
ඒ අනුව සිටුවීමට වඩාත්ම සුදුසු සිටුවීමේ කාලය වන්නේ මාර්තු අග සිට ජූනි මස මුල දක්වා පමණයි...
ඉගුරු වගා කිරීමට භූමිය සකස්කරන විදිහ සරලවම කියන්නයි හදන්නේ....
• මෙහිදී තෝර ගන්න බිමෙහි හොදට ජලය බැස යන්න ඕනේ..
• පෙර කන්නයේ ඉගුරු වගා කරල නැත්තන් ගොඩාක්ම හොදයි..
• කීප වරක් බිම කෙටීම හෝ සීසෑම(අඩියක් විතර ගැඹුරට සීසෑම ප්‍රමාණවත්) මගින් පස් කැට හොදින් පොඩි කරගත් සියුම් පසක් සකස ගන්න ඕනේ...
• පසේ පී.එච් අගය සුදුසු තත්වයකට ගෙන එන්න වගේම ඉගුරු වගාවට අවශ්‍ය කැල්සියම් හා මැග්නීසියම් පෝෂක ලබා දීම සදහා ඩොලමයිට් යොදන්න පුලුවන්...(හෙක්ටයාරයකට ඩොලමයිට් මෙ.ටො. 1-2) ඒ වගේම ඩොලමයිට් යෙදීම ඉගුරු හිටවන්න සති දෙකකට කලින් කරන්න ඕනේ...
• ඊට පස්සේ පුලුවන් අපිට පාත්ති සකස ගන්න. අඩි 3 1/2 පළල අඩි 10 දිග පාත්ති තමයි වඩාත් සුදුසු. පාත්තිවල කෙලවරින් සෙ.මි. 15ක් ඇතුලට, පේලි අතර පරතරය සෙ.මි. 25 ක් වනසේ පේලි 04ක් ඉගුරු වගා කරන්න පුලුවන්. ( පළල අඩි 4ක් අරගන පාත්ති කෙලවරින් සෙ.මි 15 බැගින් ඇරලා, පේලි අතර පරතරය අඩි 1 බැගින් පේලි 04ක් උනත් කමක් නෑ)
• පාත්ති දෙකක් අඩි 1 1/2ක් පළල කාණුවකින් වෙන්කරන්නත් ඕනේ. ඒ කාණුවේ ගැඹුර අඩියක් විතර වෙන්න ඕනේ...
• මේ විදිහට සකස ගන්න පාත්ති ජීවාණුහරනය (පස තැම්බීම) කරගන්නත් අමතක කරන්න එපා. ඒ කියන්නේ කාබනික පොහොර, (කොම්පෝස්ට් , ගොම, දහයියා අගුරු) පස් මිශ්‍ර කරලා හොදින් තෙත් කරලා ඝන සුදු පොලිතීනයකින් හොදින් සීල්වෙන විදිහට ආවරණය කරලා දිනකට පැය 05ක් 06ක් තද හිරු එලියට සති තුනක් පමණ නිරාවරණය කරල තියන්න ඕනේ... එහෙම නැතිනම් හොදින් තෙත් කරපු පාත්ති මතට දහයියා තට්ටුවක්, ඒමත් පිදුරු තට්ටුවක් නැවතත් දහයියා තට්ටුවක් දමා සුලං හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගිණිතියාගන පස තම්බා ගන්න ඕනේ...
• සිටුවීමට ප්‍රථම මතුපිට පොහොර ලෙස ත්‍රිත්ව සුපර් පොස්පේට් (TSP හෙවත් මඩ පොහොර) ග්‍රෑම් 50ක් පමණ පෙර සදහන් කල ප්‍රමාණයෙන් යුතු එක් පාත්තියක මතුපිටින් විසුරුවා හැරිය හැකියි... ඒකාකාරව විසුරුවා ගැනීමේ පහසුවට වියලි පස් හෝ වැලි සමග මිශ්‍ර කර යෙදිය හැකියි...
• සිටුවීමට ගතයුතු වන්නේ දේශීය ඉගුරු නම් ග්‍රෑම් 35 - 40වන හෝ චීන ඉගුරු නම් ග්‍රෑම් 50 - 60 වන තනි කැබැල්ලට කපා ගත් ඉගුරු කැබලිය... මෙම ඉගුරු කැබලි දිලීර නාශකයක ගිල්වා පැය කාලක් පමණ තබා සිටුවීමෙන් දිලීර හානි වලකා ගත හැකිය... (මැන්කොසෙබ් දිලීර නාශකයෙන් ග්‍රෑම් 30ක් ජලය ලීටර 10 දියකර මෙම මිශ්‍රණය සාදාගත හැකියී)
• ඉගුරු කැබලි සිටුවන ගැඹුර සෙ.මි 4 -10 අතර වෙන්න ඕනේ. හිරු එලියට නිරාවරණය නොවෙන්නත් වගබලා ගන්න වෙනවා...
• මෙහෙම ඉගුරු සිටවු පාත්ති අගල් 2 -3ක් පමණ වන දහයියා හෝ පිදුරු තට්ටුවකින් හොදින් ආවරණය කර ගැනීම අනිවාර්යයෙන්ම කලයුතුයි... පොල් අතු භාවිතා කරන්නේනම් පීල්ල පැත්ත උඩ අතට වන්නට යෙදීම සුදුසු වන්නේ පැලවෙන අංකුර හිරවීම වලකාලීමටයි... මෙලෙස යොදන මෙම ආවරණය වසුන නමින් හදුන්වනවා... මෙලෙස වසුන් යෙදීමෙන් තෙතමනය රැක ගැනීම හා වල් පැල පාලනයක් වෙනවා...
මෙලෙස සිටුවීමෙන් පසු දින 45න් හා දින 90 න් මෙම යෙදූ වසුන දිරා යන නිසා නැවත් අලුතින් යෙදීම වැදගත් වෙනවා... මෙම අවස්තාවේ දී වල් මර්ධනය කිරීමද කල හැකියී... කාබනික පොහොර එක් කිරීමද මෙම අවස්ථාවන් සුදුසු වෙනවා... ඒ වගේම ඉගුරු අල එළියට නිරාවරණය වී ඇත්නම් පස් ලංකිරීමත් කලයුතු වෙනවා..
හැකි පමණ කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට උත්සාහ කිරීම මගින් රෝග පාත්‍රීතාවය අඩුවෙනවා මෙන්ම සරු අස්වැන්නක්ද ලබා ගැනීමට හේතු වෙනවා...
සටහන,
එච්.ඒ. එල්. සමිත්‍රී,