23/04/2024
බක් පුන් පොහෝ දිනයේ වැදගත්කම...
බක් මාසයේ සිදු වූ වඩාත් වැදගත් ශාසනික සංසිද්ධියක් නම් බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනයයි.
සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වර්ෂයේ බක් මස පුර පසළොස්වක් පොහෝ දින ලක්දිව සිටි චූලෝදර හා මහෝදර යන නාග ගෝත්රික රජුන් දෙදෙනා අතර මිණිපළඟක් වෙනුවෙන් ඇතිවීමට ගිය ආරවුලක් සංසිඳුවීමට සෘද්ධියෙන් ලක්දිවට වැඩම කළ සේක.
බක් පොහෝ දින සිදු වූ තවත් සුවිශේෂී වැදගත් සිදුවීම් දෙකක් හඳුනා ගත හැකි ය.
බුදුවීම සඳහා අභිනිෂ්ක්රමණය කිරීමට සිදුහත් කුමරුගේ සිත නැඹුරු වූයේ සතර පෙර නිමිති දැකීමෙනි. සතර පෙරනිමිති අතුරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලකු දුටුවේ බක් පොහෝ දිනයක ය. ඉන් පසු මසකට එක බැගින් අනෙක් පෙර නිමිති තුන දැකීමෙන් පසු ඇසළ පොහෝ දින අභිනිෂ්ක්රමණය සිදු වූයේ ය. ඒ අනුව අභිනිෂ්ක්රමණය පිණිස සිදුහත් කුමරුගේ සිත මුලින් ම නැඹුරු වූයේ බක් පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.
අනෙක් සිදුවීම නම් බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරය දක්වා වැඩම කිරීමට - මැදින් පෝ දා ආරම්භ කළ සැට යොදුන් මඟෙහි යොදුන් තිහක් සම්පූර්ණ කරන ලද්දේ බක් පුර පසළොස්වක දිනය දී වීම ද විශේෂ සිදුවීමකි.
මෙලෙසින් ඉතා වැදගත් ශාසනික කරුණු කිහිපයක් අනුස්මරණය කරනු ලබන බක් පුර පසළොස්වක පොහොය දිනය ලෝකවාසී බොදු දනන්ගේ හිතසුව පිණිස ධර්මාවබෝධයට හේතුවන දිනයක් බවට පත් කර ගැනීමට සියල්ලෝ ම කටයුතු කරත්වා.