03/01/2025
පසුගිය දෙසැම්බර් 13 වෙනිදා කහවත්ත, වැල්ලඳුර, වෙලේවත්ත නිවැසි 71 හැවිරිදි ජේ.එම්. විනීතා ජයසුන්දර නම් වූ අම්මා කෙනෙකු ඝාතනය කර තිබුණා. ඒ පිළිබඳව සැකකර ඒ අම්මාගේ බාල දියණිය වන මේනකා සංජීවනී අත්අඩංගුවට ගත් බව මාධ්‍ය විසින් උලුප්පා පළකර තිබුණේ එම ඝාතනය ඇසින් දුටු තරමට ම වාර්තාකරණයේ නියැලෙමින්. ඒ සඳහා කහවත්ත පොලිසියද එම මාධ්‍ය වෙත නොමසුරු සහය ලබා දී තිබුණා. මේ අතර පුවත්පත් මෙන්ම සමාජ මාධ්‍යද මේ මව ඝාතනය කෙළේ බාල දියණිය බව යලි යලිත් තහවුරු කරමින් කරුණු දක්වා තිබුණා.
ඒ අම්මාගේ අවසන් කටයුතු වලින් පසුව සැබෑ ඝාතකයා බව කියන පුද්ගලයෙකු කහවත්ත පොලිසිය විසින් දැන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෙර අත්අඩංගුවට ගත් දියණිය අධිකරණය විසින් නිදහස් කළ බවයි වාර්තා වන්නේ. මවගේ ඝාතනයට ඇයගේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි පොලිසිය ඉකුත් 29 වැනිදා අධිකරණයට පවසමින් ඇය නිදහස් කරන්නැයි ඉල්ලා තිබුණා.
දැන් ඝාතකයා බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කහවත්ත, පලන්සූරියගම, ගමගේ වත්ත ප්‍රදේශයේ මේසන් බාස්වරයකු වන‘දොළේ බාස්’ නැමැත්තායි. 55 හැවිරිදි වියේ පසුවන පස්දරු පියකු වන ඔහු යුද හමුදා සේවයෙන් පළා ආ තලගහ ආරච්චිලාගේ සංජීව විජේරත්න. කහවත්ත පොලිසිය ඉකුත් 28 වැනිදා රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්වූ මේ අම්මාගේ දරු තිදෙනා අතර වූ එකම පුතා ජානක සුනෙත් බණ්ඩාර යි. ඔහු මාධ්‍යවේදියෙක්. මාධ්‍යවේදීන් අතර සමීප හිතවතෙක්.
සිය මවගේ මරණය පිළිබඳව ඔහු සිය Face Book හී තැබූ සටහන් දෙකක් අප පළකරන්නේ මෙරට මාධ්‍ය තුළ ප්‍රවෘත්ති වාර්තාකරණ ගැන අවබෝධයක් ලබා ගැනීමට යි. ගවේශණාත්මක මාධ්‍ය භාවිතයක්, සදාචාරාත්මක මාධ්‍ය සම්ප්‍රදායක් පමණක් නොව වගවීමේ මාධ්‍ය කලාවක් නොමැති තැනක වින්ඳිත දරුවෙකුට, දරුවන්ට, සමීපතමයන්ට අත්වන ඛේදජනක ඉරණම මේ සටහන් දෙකෙහි දක්නට ලැබෙනවා.
මේ සුනෙත්ගේ පළමු සටහන යි.
දිනය 2023 දෙසැම්බර් 16. වේලාව අලුයම 12:30
“මගේ අම්මා සොහොනේ තනිකර දමා පැමිණියෙමි. මට මහා මූසල ගතියක් දැනේ. අම්මා පස් යට දමා ගෙදරට පැමිණ විනාඩි කීපයකින් යලි කහවත්ත පොලීසියට යාමට සිදුවිය. මගේ අද කට උත්තරය පැය දෙකකට වඩා කාලයක් ගතවූ එකකි.
සිද්ධිය යලි යලිත් කියද්දී මට අතීතය චිත්‍රපටයක් සේ පෙනින. එහි තිබූ ඔබ කිසිවෙකු කිසිදා නොදැකිය යුතු මගේ හිතේ මහා බරකින් සටහන් වූ රූප රාමු දෙකක් මම සටහන් කරමි.
අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිය පරීක්ෂණය කිරීමට පෙර කම්කරුවකු ලවා මෝචරියේ ශීතකරණය විවෘත කර අම්මාගේ මිනිය හඳුනාගන්නා ලෙස ඉල්ලා සිටියේය. සම්පූර්ණයෙන්ම බෙල්ල උගුරු දණ්ඩෙන් මාලු කටක් සේ කැපී ගිය ලේ පෙරුණු බෙල්ලක් සහිතව ඉතාම බයකට ලක් වූ ලෙසකින් අම්මා වකුටුවී දරදඩුවී ශීතකරණයේ වකුටුවී සිටී. කකුලද කපා ලේ ගලා ඇති සෙයකි.
මගේ රත්තරන් අම්ම..... කොයි තරම් බයවෙන්න ඇද්ද? ඒ බියකරු ‘මොහොතේ පුතා මේ බව දැනගෙන ලෝකය පෙරලා හෝ මිනීමරුවා සොයා ගනීවි..උඹට වැරදිලා. මගේ පුතා උඹට නීතියෙන් කරන්න පුළුවන් හැම දදඬුවමක්ම දෙයි... බලා හිටපන්කෝ’ වැනි යම් අධිෂ්ඨානයක් ද මුහුණේ තිබිණි.
දෙවැන්නද ඔබට කිසිදා නොවේවා.
පළමු දසුනෙන් මිනීමරුවා සොයා ගැනීමේ සිතුවිල්ලෙන් වෙඩි කෑ ඌරෙකු බවට පත් වූ මම දෙවැනි දසුනෙන් ලෝකයේ ශක්තිමත්ම අමරණීය වෙඩි කෑ ඌරා බවට පත් විය. අධිකරණ වෛද්‍ය නිලධාරී සිරුර කපා කොටා පරීක්ෂා කිරීමට මළ සිරුරක් නිරුවත් කොට දේහයේ විවිධ පද්ධති දෙපළු කර පරීක්ෂා කරයි. පරීක්ෂණ නිමවා දේහය සෝදා පිරිසිදු කර දමන්නේ මෝචරි කාර්ය මණ්ඩලය විසිනි. ඉන් අනතුරුව මෝචරියට රෝහලෙන් ලැබෙන බලපත්‍රය යටතේ කෑලි ගොඩක් බවට පත්වූ මළ සිරුර මල් ශාලාවට මෝචරියෙන් ලැබෙන්නේ ඉටි කවරක ඔතාය. එදා අම්මාගේ කීතු කීතු කොට පරීක්ෂා කළ, සියළු අවයව කපා විවෘත කරන ලද නිරුවත් දේහය පිගන් ගඩොල් ඇල්ලූ වේදිකාව මත තබා තිබිණි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඉටි කවරයේ ඔතා කපා කොටා හාරන ලද කොටස් පිටතට නොපෙනෙන සේ ආවරණය කිරීමෙනි. නමුත් ඒ වන විට මගේ අත එවන ලද බලපත්‍රය අනුව මිනිය ලබාදීමට කතා කළත් වාහනයෙන් බැස පැමිණි අවමංගල්‍ය රියේ රියදුරු පැවසුවේ මිනිය තබා ඔසවා ගෙන යන තහඩුව සූදානම් වුවද එහි එක් පැත්තක් අල්ලා ගැනීමට ගෝලයෙකු නොමැති බවය.
මල් ශාලාවෙන් සකසන ලද මගේ අම්මාගේ දේහය කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු සහිතව සිටි මට එම වදන් කණේ යවුල් වැනි විය. ‘මං උදව් කරන්නම්’ මම කීවෙමි. අපි දෙදෙනාම මිනී කපන කාමරයට ගියෙමි. සම්පූර්ණ විවෘත කළ, අවයව පද්ධති හාර හාරා දමා ඇති අම්මාගේ නිරුවත් සිරුර එහි විය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව ලබා දෙන්නට පෙර වුව ඉතා කඩිනමින් මට දැනගත යුතු දෙයක් විය. ඒ මගේ අම්මා මියයාමට පෙර ඝාතකයා අතින් දූෂණය වී තිබුණේද යන්නයි.
අධිකරණ වෛද්‍ය නිලධාරී හා සසදන කළ මා සතු අල්ප දැනුමෙන් බාහිරව පරීක්ෂා කළෙමි. මා බිහිකර ඇත්තේ සාමාන්‍ය ප්‍රසූතියක් මගිනි. මා කුඩා ප්‍රාණියෙකු ලෙස මෙලොවට පැමිණි ද්වාරය අද මම මෝචරියක දී පරීක්ෂා කරන්නේ ස්ත්‍රී දූෂණයක් සිදුව තිබේද කියා දැනගැනීමට යි. දෛවය කොතරම් කුරිරු ද? මගේ ළදරු කාලයේ නිරුවතින් සිටි මාව අම්මා වඩා ගත් ආකාරය සිහිවිය. එය මතක් කරමින් පෙරකී තහඩුව මතට ඩොග් ගා දැමූ අම්මාගේ නිරුවත් සිරුර මම තදින් අල්ලා ගතිමි. හාරා තිබූ ශරීර කොටස් පිටතට නොවැටෙන සේ ලං කළෙමි. වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාද සමඟ සිරුර ඉටිරෙදි වලින් ඔතා ගත්තෙමු. පිටතට ගෙනැවිත් රියට දැමුවෙමු. කොණ්ඩයේ සිට ඇග පුරා ජලය බේරෙමින් තිබිණි. ‘වැඩේ හොඳට කළා, හොඳට සුද්ද කළා මල්ලී’ මිනී කපන සහායක කීවේය.
තවත් අවුරුදු දහයක් පහලොවක් පමණ නීරෝගීව ජීවත් වීමට හැකියාවක් ලැබෙන ආකාරයේ නිරෝගී, ශක්තිමත් කයක් හා සමබර මනසක් තිබූ මගේ අම්මා මස් ගොඩක් වී තිබේ. (පරීක්ෂණ වෙනුවෙන් එය කළ යුතුමය. මම කියා සිටින්නේ අම්මාගේ බෙල්ල නොකපන්නට අදත් මගේ අම්මාට නිවසේ අපූරුවට සතුටින් සිටීමට ඇයට අවකාශ තිබූ බවයි) මගේ කෙස් ගහකටවත් හානි වෙනවාට කුඩා කාලයේත් අදත් අම්මා අකමැතිය. එහෙව් අම්මා මස් ගොඩක් වන තුරු මට, මේ රටේ අපට කිසිවක් කළ නොහැකිවිය. ‘අනේ අම්මේ සමාවෙන්න...’ මම සිතින් හැඬුවෙමි”..........
දෙවෙනි සටහන දිනය 2024.01.02. වේලාව දහවල් 12.33
“ජනවාරි පළමුවැනිදා උසාවියේ දී වැඩ ඇල්ලුවෙමි. මගේ අම්මා මරාදැමීමට අදාළ වැදගත් සාක්ෂි රැසක් සමඟ සැකකරු (දොලේ බාස්) ඊයේ පැල්මඩුල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහි කටයුතු සමීපව නිරීක්ෂණය කිරීමට මෙන්ම නඩු භාණ්ඩ නොවන අම්මා ඒ මොහොතේ පැළඳ සිටි ආභරණ කීපයක් ඇතුළු භාණ්ඩ උසාවි නියෝග පරිදි භාර ගැනීමට මම ගරු අධිකරණය තුළ සිටියෙමි.
අම්මාගේ නංගීත් (පුංචි) සහ මගේ අම්මාගේ කුසින් උපන් සේ අපේ ලේ සහෝදර තිසර මල්ලීත් (ලොකු අම්මාගේ පුතා) මා සමඟ පැමිණියහ.
අම්මා මැරූ බවට සැක කරන දොලේ බාස් දැක දැක පෑ ගණනාවක් එම වහල යට සිටීම දුෂ්කර වුවද ඒ පෑ හතර උපේක්ෂාව පෙරදැරිව ඉවසුවෙමි.
නිරපරාදේ පොඩි නංගී අපහසුතාවට පත්වූ කාලයේ ඇයවත්, නඩුවේ කතාවත්, අපේ පවුලේ අයත් සිය මාධ්‍යයට වාර්තා කිරීමට උසාවි ගේට්ටුව අසල කැමරා, මෛක්‍රපෝන සහ පෑන් මානාගෙන මගේ මිත්‍ර මාධ්‍යවේදීන් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලවල සිටින උසස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් (එහිද අති බහුතරයක් මගේ සමීප මිතුරන් ය) පොරකමින් වෙනදා සිටියද ඊයේ එක් අයෙකුවත් එහි නොවීය.
සාක්ෂි සමඟ සැකකරු වන ‘දොලේ බාස්’ ඉදිරිපත් කිරීම හෝ මෙතෙක් කල් මගේ මිතුරන් අතිශයෝක්තියෙන් වාර්තා කළ මිනීමැරුමේ යුක්තිය පසිඳලන ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නොවූනේ මන්දැයි සිතාගත නොහැක.
(පසුව පොලීසිය අමතා හෝ තොරතුරු ලබාගත් අයටත් මේ ගැන සබුද්ධික ව සිටිමින් මා අමතා කතා කරමින් සත්‍යය ඉටුවනු බලා සිටින අතලොස්සක් වූ සැබෑ මාධ්‍යවේදී මිතුරු මිතුරියන්ට ප්‍රණාමය)
මගේ පොඩි නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා කිසිඳු පදනමක් නොමැතිව දිගින් දිගටම වාර්තා කළ එක් ප්‍රධාන මාධ්‍යයක ප්‍රබලයෙකු වන මගේ මිතුරෙකුට මම අද උදේ කතා කලෙමි. ඒ දිනවල ග්‍රැෆික් රූප සමඟ නංගී අම්මාගේ බෙල්ල කැපුවා කියා තීන්දුව දුන් ඔවුන් නංගීව සියල්ලෙන් නිදහස් කළ පසු එය වාර්තා කලේ තත්පර ගණනක් බව මම නැවත මතක් කලෙමි.
‘මචං මං මේක නිවුස් ඩිරෙක්ටර්ට කිව්වා. එයා කිව්වා ඊළග නඩු දිනේදී ඒකෙ විස්තර එක්ක සාධාරණයක් කරනව කියල’
ඔවුන් විසින් අගතියට පත් කරන ලද මමත්, නංගීත්, පවුලේ අයත් ඔවුන් ගෙන්ම සාධාරණයක් පතා කන්නලව් නොකළ යුතු නමුත් ඒ ආයතනයේ සිටින්නේ මගේ සමීප මිතුරු, මිතුරියන් බැවින් මම තවත් ඉවසුවෙමි.
ඒත් මදකින් මෙසේ කීවෙමි ‘මචං ඊයේ නඩුව තිබුණා.. ඒත් ඒ ගැනවත් අර කරනවයි කිව්ව සාධාරණ වාර්තාකරණයවත් තත්පරයක නඩු වාර්තාවක්වත් ගියේ නෑනෙ ඊයෙත්’
මගේ මිතුරා මෙසේ කීය ‘අප්පට සිරි....වන අහවලා .....(ප්‍රවත්ති අධ්‍යක්ෂ ) දන්නේ නැතිව ඇති මචං..’
එතැන් සිට මේ දක්වා එහි ප්‍රවත්ති අධ්‍යක්ෂ හා මාධ්‍ය ජාලයේ අනෙක් විධායක ශ්‍රේණියේ මගේ මිතුරු මිතුරියන් ඇමතුවෙමි. වෙනදා මගේ ඇමතුමකට එසැනින් ‘ඔවු මචං, හෙලෝ සුනෙත්’ කියන උන් සියල්ල අද ප්‍රතිචාර නොදක්වති.
මට පෙනෙන්නේ ඔවුන්ගේ සදාචාරය එය බවය. කොතරම් සමීප මිතුරන් වුව දැන් සුහද කතා කර ඔවුන් නිසා අපට සිදුවූ අගතියට සාධාරණයක් ඉටු කර ගත නොහැකි බවය.
අහෝ මගේ මාධ්‍ය මිතුරු, මිතුරියනි ඔබ මට මෙසේ කළා නම් මේ රටේ අහිංසකයින්ගේ ජීවිත සමඟ කෙසේ නම් සෙල්ලම් කරනවා ඇද්ද? කියා නැවතීමට මට සිත් නොදෙයි. එසේම මේ ජඩ මාධ්‍ය ක්‍රමය වෙනස් කළ යුතු යැයි අවංකව හඬ නගන සබුද්ධික මහ ජනතාව හා ක්‍රියාකාරීන් එසේ අත් හකුලාගෙන සිටින්නට මට නොකියන්නේ මෙය අපේ පෞද්ගලික ගැටලුවක් නොව ඔවුන්ගේද ජීවිතවල දැවෙන ප්‍රශ්නයක් වන බැවිනි”.
#නැන්ඩි