23/09/2023
වාණිජ බඩඉරිඟු වගාව
කෘෂිකාර්මික ආර්ථිකයක් මත යැපෙන ශ්‍රී ලංකාවේ වගා කරන ප්‍රධානම බෝගයක් ලෙස බඩඉරිඟු හැඳින්විය හැකිය. ප්‍රධාන වශයෙන් වර්ෂා ජලයෙන් වගා කරන මෙම බෝගය තනි වගාවක් ලෙස හෝ මිශ්‍ර බෝග වගාවක් ලෙස ප්‍රධාන වශයෙන් වගා පද්ධතියට දායක වේ. මූලිකවම වියළි කලාපීය බෝගයක් ලෙස හඳුනාගත්තත් බඩඉරිඟු බෝගය උඩරට භෝග වගාවන්වල ද මූලික තැනක් උසුලයි. එසේම ශ්‍රී ලංකාවට ආවේණික වගා ක්‍රමයක් වන හේන් ගොවිතැනේ දී යොදාගන්නා ප්‍රධාන බෝගයක් ලෙස ද බඩඉරිඟු හැඳින්විය හැකිය.
ග්‍රාමීය වශයෙන් බඩඉරිඟු පරිභෝජනය ඉහළ ප්‍රතිශතයක් ගන්නා අතර කරල් සහ පිටි ලෙස බඩඉරිඟු පරිභෝජනයට එක් වේ. මිනිස් පරිභෝජනයට අමතරව ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු යොදාගන්නා අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බඩඉරිඟු වලින් 25% පමණ ප්‍රතිශතයක් යොදා ගන්නේ සත්ත්ව ආහාර නිෂ්පාදන අමුද්‍රව්‍යයක් ලෙසයි.
වාණිජ බඩඉරිඟු වගාව තුළින් රටේ සමස්ත කෘෂි ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දැක්විය හැකි වූව ද ශ්‍රී ලංකාව තුළ බඩඉරිඟු වගාවේ දී යොදාගන්න තාක්ෂණය ඉතා අල්පය. ඒ අතර අවම යෙදවුම් (පොහොර) ප්‍රමාණයක් යොදා ගැනීම, එක් ප්‍රභේදයක් පමණක් භාවිතා නොකිරීම, දුර්වල ශෂ්‍ය විද්‍යාත්මක කටයුතු සහ පසු කළමනාකරණය කටයුතුවලට අවධානය යොමු නොකිරීම මූලික තැනක් ගනියි. එම හේතුන් නිසා බඩඉරිඟු සඳහා හොඳ වෙළඳපලක් සහ ඉහළ වෙළඳපොල වටිනාකමක් ලබා ගැනීමට ඇති ඉඩහසර අවහිර වී ඇත. මෙම ගැටළු හා වැරදි පිළිවෙත් මඟහරවා ගැනීම තුළින් ඉහළ ආදායමක් ලබා ගත හැකි බෝගයක් ලෙස බඩඉරිඟු හඳුනාගෙන ඇති අතර මෙම බෝගය පිළිබඳව ගොවියාගේ ඇති දැනුම, අවබෝධය, පාරිසරික තත්ත්ව පිළිබඳව ඇති දැනුවත්භාවය ඉහළ නැංවීම මගින් බඩඉරිඟු බෝගයෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට හැකිවේ.
ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක වගා කළ හැකි බෝගයක් වන බඩඉරිඟු වර්තමානය වන විට ප්‍රධාන වශයෙන් අනුරාධපුර, අම්පාර, බදුල්ල, මොණරාගල, මාතලේ සහ මඩකලපුව යන ප්‍රදේශවල වගා කරයි.
පුළුල් වපසරියක වගා කළ හැකි වූවත්, වාණිජ වගාවන් සඳහා වඩාත් උචිත වන්නේ අතරමැදි කලාපය සහ වියළි කලාපයයි. හිරුඑළියට වැඩි කැමැත්තක් දක්වන බඩඉරිඟු බෝගය 25 – 30 0C උෂ්ණත්ව පරාසයේ දී වැඩි වර්ධන වේගයක් පෙන්වයි. වර්ෂාපතන ව්‍යාප්තිය බඩඉරිඟු බෝගයේ වර්ධනයට ඉතා වැදගත් වන අතර වාර්ෂික වර්ෂාපතන පරාසය 600 – 1000 mm වීම උචිත වේ. අධික ආම්ලික හා අධික භාෂ්මික පස බඩඉරිඟු බෝගයේ වර්ධනයට අහිතකරව බලපාන අතර 5.8 – 7.0 pH පරාසය ප්‍රශස්ත වර්ධනයක් පෙන්වයි. බඩඉරිඟු බෝගයේ යහපත් වර්ධනයට වාස භූමියේ මනා ජලවහන තත්ත්වයක් තිබීම වැදගත් වේ. ප්‍රධාන වශයෙන් වර්ෂාපෝෂිතව මහ කන්නයේ වගා කරන අතර ජල සම්පාදනය මගින් ඕනෑ ම කන්නයක වගා කළ හැක.
වර්තමානයේ ගොවීන් අතර ප්‍රචලිත බඩඉරිඟු ප්‍රධාන ආකාර 02 කි. එනම්, විවෘත පරාගික ප්‍රභේද සහ දෙමුහුම් ප්‍රභේදයි. භද්‍රා සහ රුවන් බහුලව භාවිතා වන විවෘත පරාගික ප්‍රභේද වන අතර, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 01, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 02, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 03, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 04, එම්. අයි. වේස් හයිබ්‍රිඩ් 05 බහුලව ශ්‍රී ලංකාව තුළ භාවිතා වන දෙමුහුම් ප්‍රභේදයි.
හෙක්ටයාරයක භූමි ප්‍රමාණයක් සඳහා බීජ 12 – 15 kg අවශ්‍ය වන අතර 60 x 30 cm පරතර (වලකට බීජ 01 බැඟින්) හෝ 60 x 60 cm (වලකට බීජ 02 බැඟින්) බීජ සිටුවයි. බඩඉරිඟු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා වල්පැළ පාලනය, නියමිත පරිදි පෝෂක ලබා දීම, මනා ජල කළමනාකරණය සහ රෝග පළිබෝධ පාලනය අනිවාර්ය වේ.
බඩඉරිඟු බෝගයේ මූලික අවශ්‍යතාවලට අමතරව විවිධ ක්‍රම මගින් අස්වැන්න හා ඵලදායිතාව වැඩිකරගත හැකිය. ඒවා අතර පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමුකිරීම මගින් ගොවියාට බඩඉරිඟු වගාවෙන් වැඩි වාසි අත්කරගත හැකිවේ.
• කාර්යක්ෂමව වර්ෂා ජලය භාවිත කිරීම සඳහා වර්ෂාවේ ආරම්භයත් සමඟ බිම් සැකසීම
• ජල වහනය දුර්වල භූමිවල උස් වූ පාත්ති යොදාගැනීම (බීජ සංස්ථාපනය සඳහා ඇලි වැටි ක්‍රමය හෝ වලවල් ක්‍රමය යොදා ගත හැක.)
• බඩඉරිඟු බීජ සිටුවීමෙන් පසු සන්හෙන්ප් බීජ හෙක්ටයාරයකට 50kg වනසේ ක්ෂේත්‍රයේ වපුරා එම පැළ වර්ධනය වන විට (සති 03ක් පමණ) උදලු ගා වසුනක් ලෙස යෙදීම.
• පෝෂක අපතේ යාම වළක්වාගැනිමට සහ උපරිම පොහොර කාර්යක්ෂමතාවයක් ලබාගැනීම සඳහා පොස්පරස් හා පොටෑසියම් පොහොර පාංශු පරික්ෂාවකින් පසුව යෙදීම.
• බීජ සිටුවන අවස්ථාවේ සිට කරල්වලට කිරි වදින තුරු නිසි ලෙස ජල සම්පාදනය සිදු කිරීම.
• බඩඉරිඟු සිටුවීමට මාස 1 ½ පමණ පෙර එළවළු හෝ කවුපි (අතරමැදි භෝගයක් ලෙස) සිටුවා දින 45 දී අස්වැන්න නෙලාගන්නා අතර ඉන් පසුව සී සා එම පැළ පසට එකතු කර බඩඉරිඟු සිටුවීමෙන් යූරියා පොහොර අවශ්‍යතාව 15% ක් අඩු කරගත හැක.
• බඩඉරිඟු බීජ සිටුවා සති 3-4 පමණ ක්ෂේත්‍රය වල් පැළවලින් තොරව පවත්වාගත යුතුය.ඒ සඳහා හොඳින් බිම් සැකසීම, බීජ සංස්ථාපනයෙන් පසු වසුනක් යෙදීම සහ බීජ සිටුවන අවස්ථාවේ සන්හෙන්ප් බීජ වැපිරීම කළ හැක.මෙම ක්‍රම අනුගමනය කිරීම මගින් වල් පැළ පාලනයට යන වියදම අවම කරගත හැකිය.
එසේම බඩඉරිඟු වගාව සාපේක්ෂව රෝග පළිබෝධ ප්‍රතිරෝධී වන නමුත් යම් රෝග හා පළිබෝධ බෝග වර්ධනයට බලපෑම කළ හැක. එවැනි රෝග පළිබෝධ පිළිබඳව මූලික අවබෝධය, එම රෝග පළිබෝධ වළක්වා ගැනීමට සහ මුල් අවධීන්වලදීම හඳුනාගැනීම මගිනුත් ඒවායේ බලපෑම අවමකර ගැනීමත් හැකිවන නිසා රෝග පළිබෝධ පිළිබඳ බඩඉරිඟු වගාකරුවාගේ මනා අවබෝධය අත්‍යාවශ්‍ය වේ.
බඩඉරිඟු වගාවට බලපෑම් ඇති කරන ප්‍රධාන රෝග කිහිපයක් ශ්‍රී ලංකාව තුල මේ වන විටත් හඳුනාගෙන ඇත. ඒ්වානම්,කොපු අංගමාරය,කොළ පාළුව,බැක්ටිරියා කඳ කුණුවීමේ රෝගය, දුඹුරු පුල්ලි රෝගය, මලකඩ රෝගය, පත්‍ර පුල්ලි රෝගය යන රෝගයි. බඩඉරිඟු වගාවට හානි කරන ප්‍රධාන පළිබෝධකයන් ලෙස කූඩිත්තා, කරල් විදින දළඹුවා, බඩඉරිඟු ගුල්ලා සහ සේනා දළඹුවා හඳුනාගෙන ඇත රෝග සහ පළිබෝධ පාලනය සඳහා සමෝදානිත පළිබෝධ සහ රෝග පාලන ක්‍රමවේදයක් යොදා ගැනීම වඩාත් සුදුසු වේ.
වාණිජමය වශයෙන් බඩඉරිඟු වගාවක් සිදුකරන විට නිසි වේලාවට නිසි ක්‍රමයකින් අස්වනු නෙළීම ඉතාම වැදගත් වේ. භෝග ක්ෂේත්‍රයේ සිදුවන හානි වළක්වා ගැනීමටත්, පසු අස්වනු හානිය අවම කරගැනීමටත් ඒ මගින් හැකියාව ලැබේ. බඩඉරිඟු අස්වනු නෙළීමට ඉතාම සුදුසු අවධිය පිළිබඳ බඩඉරිඟු වගාකරුවකු සතු අවබෝධය ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වගාකරන ප්‍රභේද දින 105 – 115 ත් අතර කාලයේදී පරිණත වන අතර කිරිඉරිඟු ලෙස (බීජ අතේ ඇඟිලිවල තබා තද කල විට දියරයක් පිටතට පැමිණෙන අවස්ථාව) හෝ තරමක් මේරූ (බීජය සම්බන්ධ වන ස්ථානය කළු පැහැයට හැරී තිබීම ) යන ලක්ෂණ මූලික කොටගෙන අස්වනු නෙළන අවස්ථාව තීරණය කළ හැක.
වාණිජමය වශයෙන් බඩඉරිඟු බෝගය වගාකිරීමට අදහස් කරන ගොවිමහතෙකු එම බෝගය පිළිබඳ මනා දැනුවත්භාවයකින් යුක්ත වීම මගින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට සහ ලාභය උපරිම කරගැනීමට හැකි වනු ඇත.
G A හර්ෂණ ගලහිටිගම
කථිකාචාර්ය
කෘෂි අපනයන අධ්‍යයනාංශය