15/09/2024
ජනාධිපතිවරණය,ජිනීවා යුද අපරාධ ‘උගුල’ සහ ‘රාජාලි සංදේශය’
SUNDAY DIVAINA
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
September 15, 2024
විශ්‍රාමික ජෙනරාල් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයේදී ද්‍රවිඩයන්ගේ තේරීමයි
රටේ ප්‍රතිරූපය නැංවීමට යැයි කියමින් කළ ඇමෙරිකානු ‘ගනුදෙනුව’
යහපාලන රජය 2015දී කළ මහා පාවාදීම
ආරක්ෂා හමුදා වෙනුවෙන් 2017දී ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය සාක්ෂි නොසලකා හැරීම
සාලියපුර කඳවුරේ 2018දී චාගි ගාල්ලගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
ජනතාව රැවටීමට 2020දී ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත්වීම
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ල වී ඇති ජන සංහාර චෝදනාව ප්‍රතික්ෂේප කළේ ජූලි 2009 දීය. ඒ බව පසුව හෙළිදරව් වූයේ එවකට ජිනීවා නුවර සිටි ඇමෙරිකානු තානාපති ක්ලින්ට් විලියම්සන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ දකුණු ආසියාව භාරව සිටි ජාක් ඩි මායීඕ (Jacque de Maio) සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සමග 2015 ජුලි 09 වැනි දින ජිනීවාහිදී පැවැත්වූ සාකච්ජාවකින් පසුව ජුලි 09, 2009 වන දින රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිවූ රහස්‍ය ලිපියක් රහස් හෙළි කරන ‘විකී ලීක්ස්’ වෙබ් අඩවිය සමාජ මාධ්‍යයට නිකුත් කිරීමත් සමගය. හමුදා ප්‍රහාරවලින් සිවිල් ජනතාව මිය ගියත් නැඟෙනහිර වන්නි මෙහෙයුම්වලදී වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීම හේතුවෙන් හමුදා මරණ වැඩි ප්‍රමාණයක් සිදු වූ බවට ඇමෙරිකානු තානාපතිවරයා සඳහන් කර ඇත. ඔහු අවධාරණය කර ඇත්තේ සිවිල් වැසියන් නොසලකා ගොඩබිම් මෙහෙයුම් සිදුකළා නම් අවසන් සටන වඩාත් ඉක්මනින් අවසන් කිරීමට යුද හමුදාවට අවස්ථාව තිබූ බවයි. යුද්ධය අවසන් වූ 2009 වසරේදී ජනවාරි 01 සිට මැයි 19 දක්වා යුද හමුදා සාමාජිකයින් 2,400 පමණ මරණයට පත්වූ බව නොසලකා ඇමෙරිකානු තානාපතිවරයාගේ ප්‍රකාශය විමසා බැලීමට නොහැකිය. ඒ හතර වැනි ඊළාම් යුද්ධය ආරම්භ වූ 2006 අගෝස්තු සිට, 2007, 2008 සහ 2009 (මාස 4 සහ සති තුනයි) වසරවලදී සිදුවූ හමුදා මරණ විශ්ලේෂණය කළහොත් අවසන් වසරේ දැඩි ජීවිත හානි සිදු වී ඇත. ඒ හමුදා නායකත්වය සිවිල් ජනතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ බැවිනි.
විශ්‍රාමික හමුදා ප්‍රජාව කිසි දිනෙක මේ ආකාරයට බෙඳී නැත. යුද හමුදා විශ්‍රාමිකයින් ප්‍රමුඛ ආරක්ෂක හමුදා සාමාජිකයින් දේශපාලනික වශයෙන් ජාතික මැතිවරණයකට පෙර මෙලෙස දැඩි විරසක ස්ථාවර ගනු ලැබූ අවස්ථා මීට පෙර නැත. එම තත්ත්වය පොලිස් විශේෂ බලකායේ සහ පොලිසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ විශ්‍රාමිකයින්ට ද අදාළය. ජනාධිපතිවරණයට සතියකට පෙර වර්ධනය වෙමින් පවතින තත්ත්වය රටේ ස්ථාවරභාවයට මෙන්ම අනාගතයට හොඳ නැත.
ජාතික ජන බලවේගයේ (ජාජබ) ආධාරකරුවකු ලෙස තමන් හඳුන්වා ගනිමින් හමුදා සේවයෙන් ඉවත් කර ඇති මේජර් ඉන්දික මහින්ද කරුණාරත්න නමැති පුද්ගලයා මෑතකදී උසස් යුද හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයින්ට සමාජ මාධ්‍ය හරහා කළ තර්ජනය අවධාරණය කරන්නේ වර්ධනය වෙමින් පවතින අයහපත් දේශපාලන වාතාවරණයයි. මීට පෙර කිසිම අවස්ථාවක ජාජබ හිමි නොවූ ආකාරයේ විශ්‍රාමික හමුදා ප්‍රජාවේ සහයෝගයක් ලැබී ඇති අවස්ථාවක මෙවැනි ප්‍රකාශ දැඩි අනතුරුදායක තත්ත්වයක් ඇති කළ හැකිය. එම පුද්ගලයා අනෙකුත් ප්‍රධාන පක්ෂවලට සහයෝගය දෙන හිටපු සහ දැනට සේවයේ නියුතු හමුදාපතිවරුන් ඇතුළුව සෙසු නිළයින්ට දරුණු අනතුරු ඇඟවීමක් කළේය.
මැතිවරණ කොමිසම, පොලිසිය සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය විමසිලිමත් විය යුතුය.
හමුදා සහ පොලිස් විශ්‍රාමික ප්‍රජාව තුළ ඇතිවී තිබෙන දැඩි බෙදීම දැනට සක්‍රිය සේවයේ නියුතු නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට බලපාන ආකාරය අමුතුවෙන් කිව යුතු නැත. එම තත්ත්වය හමුදා සහ පොලිස් පවුල්වලට ද යම් බලපෑමක් එල්ල කරන බව කිසිදු සැකයකින් තොරව පැවසිය හැක.
ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය අතුගා දමා වසර 15 කට පසුව සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත හතරවන ජනාධිපතිවරණය අභියස රට සෑම තලයකම බෙදී ඇත. දේශපාලනිකව රට සීසීකඩ වී ඇත. කෙටියෙන්ම කිවහොත් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දී විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට (ත්‍රස්තවාදය පරාජය කර වසරක් යෑමට පෙර) පොදු අපේක්ෂකයා ලෙස තරග කළ අවස්ථාවේදීවත් හමුදා විශ්‍රාමිකයින් සහ සක්‍රීය සේවයේ නියුතුවූවන් මෙලෙස විරසක වී නැත. මෙවර ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාව හමුදාවටත් මතක නැත.
රට බංකොලොත් බවට විශ්‍රාමික ලුතිනල් කර්නල් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ප්‍රකාශ කර වසර දෙකකට පසුව අතිශය අස්ථාවර දේශපාලන-ආර්ථික-සමාජීය තත්ත්වයක් තුළ ජාතික මැතිවරණයකට මුහුණ දෙන දේශපාලන පක්ෂ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කරන යුද අපරාධ සම්බන්ධයෙන් ‘වගකීම’ සහ ‘වගවීම’ පිළිබඳව නිහඬය. ජිනීවා ව්‍යාපෘතිය ව්‍යර්ථ කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබෙන්නේ ‘තරුව’ ලාංඡනය යටතේ තරග කරන ජාතික සංවිධාන සමග එකඟතාවයකට පැමිණි ව්‍යවසායක දිලිත් ජයවීර පමණි. නමුත් ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව රටක් ලෙස මෙම අභියෝගයට සාර්ථකව මුහුණු දීමට අපොහොසත් වී ඇති බව කිව යුතුමය.
ද්‍රවිඩ ජන සංහාරයක් සිදු වූ බවට කැනඩා පාර්ලිමේන්තුව නිල නිවේදනයක් කිරීම තුළ රටට එරෙහි යුද අපරාධ චෝදනා තීව්‍ර වී ඇත. එම තීරණය සමස්ත බටහිර ප්‍රජාවට දැඩි බලපෑමක් කරන බවට සැකයක් නැත. නමුත් ශ්‍රී ලංකා රජය ඊට විරෝධය පළ කළත් ද්‍රවිඩ ජන සංහාරයක් සිදු නොවූ බවට තර්කානුකුලව කරුණු ඉදිරිපත් කරන්නේ නැත.
ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ රජය (2005-2015), සිරිසේන-වික්‍රමසිංහ රජය (2015-2019), ගෝඨාභය රාජපක්ෂ රජය (නොවැම්බර් 2019-ජුලි 2022 ) සහ වික්‍රමසිංහ-රාජපක්ෂ රජය (2022 ජුලි සිට ක්‍රියාත්මක) ජිනීවා අභියෝගය නොසලකා හැර ඇත. සත්‍ය සහ සංහිඳියා කොමිසම් පනත සහ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නවාස් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක කිරීම රට මුහුණ දෙන අභියෝගයට පිළිතුරක් නොවන බව වර්තමාන දේශපාලන නායකත්වයට තේරුම් ගැනීමට නොහැකිය. රටේ අවශ්‍යතාව සන්නද්ධ හමුදා සිතා මතා සිවිල් ජනතාව ඝාතනය නොකළ බව ඔප්පු කිරීමයි.
ජනාධිපතිවරණය,ජිනීවා යුද අපරාධ 'උගුල' සහ 'රාජාලි සංදේශය'
වගකීම සහ වගවීම සම්බන්ධයෙන් බටහිර ප්‍රජාව ශ්‍රී ලංකාවට එල්ල කරන තර්ජනය නිවැරදිව කියවා ගැනීමටවත් ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක් නැත. එම තර්ජනය සුළුපටු නැත. බටහිර ප්‍රජාවේ ඉලක්කය නිර්භීත දේශපාලන නායකත්වය බවත් ආරක්ෂක හමුදා දිවි පූජා කර රැකගත් රටේ ‘ඒකීය’ භාවය දැඩි තර්ජනයට ලක්වී ඇති බව නොසලකා හැර ඇත.
එවැනි තත්ත්වයක් පසුබිමේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පසුගියදා එළි දැක්වූ ‘රාජාලි සංදේශය’ රටේ අවධානයට යොමු විය යුතුය. ශ්‍රී ලාංකික සාහිත්‍ය ඉතිහාසයේ දීර්ඝතම සංදේශ කාව්‍ය ලෙස හඳුන්වා දෙනු ලැබූ ‘රාජාලි සංදේශය’ ඉන්දියාව සහ බටහිර පෝෂණය කළ බෙදුම්වාදී ත්‍රස්තවාදය රට වෙලා ගැනීම සහ පසුව පූර්ණ යුද්ධයක් බවට පරිවර්තනය වූ එම අභියෝගය ජය ගැනීමේ කතාවයි.
වසර 2016 දී විශ්‍රාම යෑමෙන් පසුව ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’, ‘කඩොල් ඇත්තු’, ‘උත්තර දේවි’, ‘ගෝඨාභය’, ‘පාතාලයෝ’, ‘තාරාගේ ආගමනය’ එළි දැක්වූ ගුණරත්න, ‘රාජාලි සංදේශය’ මගින් අවධාරණය කරන අතිශය තීරණාත්මක යුද ජයග්‍රහණය ජාත්‍යන්තරයට නිවැරදිව ඉදිරිපත් කළ යුතුය. ආරක්ෂක ලේකම්වරයා ද යුද අපරාධකරුවකු ලෙස නම් කර ඇති බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාව ජිනීවා අභියෝගය මුහුණ දුන් ආකාරය සැබෑ ඛේදවාචකයකි. මෙම අවාසනාවන්ත තත්ත්වයට දේශපාලන නායකත්වය මෙන්ම සමස්ත හමුදා නායකත්වය ද එකසේ වගකිව යුතුයි. වගවිය යුතුයි.
දශක තුනකට වඩා වැඩි කාලයක් හමුදාවට සේවය කළ ගුණරත්න 2016 දී විශ්‍රාම ගත් අතර ගෝඨාභය රාජපක්ෂ දියත් කළ ජනාධිපතිවරණ සටනේ නියමුවෙක් විය. හතර වැනි ඊළාම් යුද්ධයේදී යාපනය අර්ධද්වීපයේ ස්ථානගත කර සිටි 53 සේනාංකයට අණ දුන් අතර 2008 නොවැම්බර් මාසයේ වන්නි භූමියේ සටනට එකතු විය.
මෑතකදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කළ නිගමන සහ නිර්දේශ ජනාධිපතිවරණයෙන් ජය ගනු ලබන පාර්ශ්වය ඉලක්ක කර ඉදිරිපත් කර ඇත. පසුගිය අගෝස්තු 22 වැනි දින නිකුත් කරන ලද නිගමනයන් සහ නිර්දේශයන් අවධාරණය කරන අනතුරුදායක තත්ත්වය තේරුම් ගැනීමට ආණ්ඩුවට හෝ විපක්ෂයට කිසිදු වුවමනාවක් නැත. ආණ්ඩුව සහ විපක්ෂය ජිනීවා අභියෝගය ඉදිරියේ අන්ධයින් ලෙස කටයුතු කරයි. ජනාධිපතිවරණයට සහ ඊට පසුව පැවැත්වීමට නියමිත මහමැතිවරණය අවධානයට යොමු කරමින් ජිනීවා කවුන්සියල පහත සඳහන් නිර්දේශය කර ඇත : “ජන්ද විමසීම්වලින් පසුව අලුතින් තේරී පත්වන ආණ්ඩුව, හදිසි කාර්යක් වශයෙන්, ගැටුමේ මූලික හේතුන් ආමන්ත්‍රණය කරන සහ සියල්ලන් ඇතුළත් ශ්‍රී ලංකාව සඳහා ජාතික දැක්මක් අනුගමනය කළ යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ දේශපාලන අධිකාරිය විමධ්‍යගත කිරීමට අවශ්‍ය මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ආයතනික සංශෝධන සිදු කොට වගවීම සහ සංහිඳියාව පෙරට ගෙන ආ යුතුය.”
ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රගමනය සඳහා වෙනත් අන්තර්ජාතික නෛතික විකල්ප යොදා ගැනීම ද ජිනීවා කවුන්සිලය යෝජනා කොට ඇත.
ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා මුහුණ දෙන ජිනීවා අභියෝගය අවධාරණය කරමින් විශ්‍රාමික නිලධාරියකු කළ ප්‍රබලම අදහස් දැක්වීම 2018 සැප්තැම්බර් 7 වන දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී චාගි ගාල්ලගේ කළේය. දශක තුනකට වැඩි කාලයක් හමුදා සේවයෙන් පසුව විශ්‍රාම යන අවස්ථාවේ ගාල්ලගේ අවධාරණය කළේ රටට සහ හමුදාවට ඉතිහාස ගතවෙන සේවයක් කර තිබෙන ගජබා රෙජිමේන්තුවෙන් තමන් සමුගන්නේ යුද අපරාධකරුවකු ලෙස බවයි.
ත්‍රස්තවාදය පරාජය කර වසර 09 කට පසුව කිසිවෙකුට නොදෙවෙනි භූමියේ දක්ෂතා, උපායමාර්ගික තීරණ සහ නිර්භීත නිලධාරියෙකුට එවැනි ප්‍රකාශයක් කිරීමට සිදු වූයේ ඇයි? රටේ අවාසනාවකට විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා කළ එම ප්‍රකාශයෙන් වසර 6 කට පසුවවත් තත්ත්වයේ කිසිදු වෙනසක් නැත.
‘රාජාලි සංදේශය’ එළි දැක්වීම පසුබිමේ නව ජනාධිපතිවරයාට ජිනීවා අසමත්වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ හැකිය. නමුත් 2009 සිට මෙතුවක් කල් බලයේ සිටි සෑම රජයක්ම ක්‍රියාකළ ආකාරය අනුව ජනතාවට කිසිදු ජයග්‍රාහකයකු සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තැබිය නොහැක. තිත්ත ඇත්ත එයයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ කළ ප්‍රධානතම චෝදනාව ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 ඝාතනය කිරීමයි. එම චෝදනාව 2011 මාර්තු 31 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. නමුත් 2011 මැයි-ජුනි පැවැත්වූ කොළඹ ආරක්ෂක සමුළුවේදී එවකට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වූ ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් වන්නි නැඟෙනහිර සටන් පෙරමුණේදී යටත් වූ කොටි ත්‍රස්තවාදීන් මරා දැමීම සම්බන්ධයෙන් යුද හමුදාවට එරෙහිව තිබූ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එම ඇමෙරිකානු ප්‍රකාශය ශ්‍රී ලංකාවට එරෙහි සමස්ත ජිනීවා උපාය මාර්ගයම අනතුරේ දැමූ බව අවධාරණය කළ යුතුය.
මහින්ද රාජපක්ෂ රජය 2008-2014 කාලය තුළ දුසිමකට අධික ඇමෙරිකානු මහජන සම්බන්ධතා සහ නීති සමාගම්වලට ඇ. ඩො. මිලියන ගණනක් මහජන මුදලින් ගෙවීම රහසක් නොවේ. ඊට අමතරව බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු සමාගම් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. මේ අතරින් ඉමාඩ් සුබේරි (Imaad Zuberi) නමැති පුද්ගලයාට අයිති ආයතනයට 2014 මැයි සහ සැප්තැම්බර් අතර ඇ. ඩො. මි 6.5 ගෙවීම ඇමෙරිකානු අධිකරණය ඉදිරියේ ඔප්පු වී ඇත. වසර 2008 සිට 2014 දක්වා සිදු වූ මෙම සියලු ගනුදෙනු ජාලිය වික්‍රමසුරිය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ සිදුවිය. අවසානයේ ශ්‍රී ලංකාව සමග කළ ‘ගනුදෙනුව’ ඇමෙරිකානු නීතියට පටහැනිවීම හේතුවෙන් 2019 දී සුබේරි වරද පිළිගත් අතර ඔහුට මාස 144 ක සිර දඬුවමක් නියම විය. මෙම මහජන මුදල් කාබාසිනියා කළ කිසිදු දේශපාලනඥයකු හෝ ඉහළ නිලධාරියෙකුට එරෙහිව අද වනතුරු කිසිදු
ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඇමෙරිකාව සමග හොඳ හිත වර්ධනය කර ගැනීමට යැයි ප්‍රකාශ කර කෝටි ප්‍රකෝටි ගණනක් පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයේ අවසරය නොමැතිව ඇමෙරිකානු සමාගම්වලට ගෙවීම පුස්සක් බවට අවධාරණය වූයේ 2015 ඔක්තෝබර් 01 වන දින ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ජිනීවා 30/1 යෝජනාවලිය සම්මත කර ගැනීමත් සමග ය.
ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අද දැඩි පීඩාවට පත්වී සිටින්නේ එදා රජය අනුගමනය කළ දූෂිත සහ සටකපට ක්‍රියාපිළිවෙත නිසා නොවේද? බටහිර මෙහෙයුම ව්‍යර්ථ කිරීමට ඉදිරිපත් කළ හැකිව තිබූ කිසිදු කරුණු කාරණාවක් ප්‍රයෝජනයට නොගත් ආණ්ඩුව විදේශීය සම්බන්ධතා ප්‍රවර්ධන කරන සමාගම්වල පිහිට පැතුවේ කුමකටද?
රටේ අවාසනාවට ජිනීවා මානව හිමිකම් කොමිසම ආරක්ෂක හමුදාවට එරෙහිව එල්ල කළ ප්‍රධානතම චෝදනාව වූ 40,000 මරා දැමීම එරෙහිව ස්මිත් 2011 කළ ප්‍රකාශයට ස්ථිර කරමින් මහා බ්‍රිතානයේ සාමි මණ්ඩලයේ නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් කළ ප්‍රකාශය ද ශ්‍රී ලංකාව කිසිදු ප්‍රයෝජනයකට ගත්තේ නැත. එම ප්‍රකාශයට පදනම් වූයේ 2009 වසරේ අවසන් මෙහෙයුම් ක්‍රියාමත්මක වන අවස්ථාවේදී එවකට කොළඹ සිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි ගැෂ් නමැති නිලධාරියා ලන්ඩනයට යැවූ රහස්‍ය ලිපි බව ශ්‍රී ලංකාව නොසලකා හැරියේය. එම අතිශය වැදගත් සාක්ෂිය නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ලබා ගනු ලැබුවේ එම රටේ ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ පනත උපයෝගී කරගනිමින් බව ශ්‍රී ලංකාවට අදාළ වූයේ නැත. එහිදී ඉතාමත් වැදගත් කරුණු දෙකක් අවධාරණය විය. පළමුවන කරුණ වූයේ මියගිය කොටි ත්‍රස්තවාදීන් ද සමග වන්නියේ සමස්ත මරණ සංඛ්‍යාව 40,000 නොව 7,000 පමණ බවය. එම සංඛ්‍යාව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2008 අගෝස්තු සිට 2009 මැයි 13 දක්වා වන්නියේ කළ සමීක්ෂණයක් සමග එකඟ විය. දෙවන කරුණ වූයේ දේශපාලන නායකත්වය සිවිල් ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට නායකත්වයට නියෝග නොදුන් බවයි. නමුත් විදේශ අමාත්‍යාංශයට මෙම කිසිදු කරුණක් ජාත්‍යන්තරයේ අවධානයට ලක් කිරීමට අවශ්‍ය නොවීය. කෙටියෙන් කිවහොත් නේස්බි සාමිවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ ප්‍රකාශය විදේශ අමාත්‍යාංශය පළමුවෙන්ම කුණු කූඩයට දැම්මේය. මහජන අප්‍රසාදය ඉදිරියේ යහපාලන ආණ්ඩුව තම ප්‍රතිචාරය වෙනස් කළත් ඊට පසුව බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවත් තම වගකීම ඉටු කළේ නැත. එම ආණ්ඩුව ජනතාව ඇන්දවීමට ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත් වූ බවට 2020 පෙබරවාරි මාසයේදී ප්‍රකාශයක් කළේය. එය හුදු දේශපාලනික ප්‍රකාශයක් පමණි.
දේශපාලන සහ හමුදා නායකත්වය මෙම තත්ත්වයට සමුහ වගකීම භාර ගත යුතුය. රටට එරෙහි යුද අපරාධ චෝදනා මෙආකාරයට වැඩි වර්ධනය වූයේ කිසිදු රජයක් අතිශය දේශපාලනික ජිනීවා ක්‍රියාදාමය මොට කිරීමට කටයුතු නොකළ නිසාය. ඊට දිය හැකි ප්‍රබල උදාහරණයක් වන්නේ මන්නාරමේ ‘සතොස’ සමූහ මිනීවළ යුද අපරාධයක් ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කිරීමත්, එය එසේ නොවන බව ඇමෙරිකානු විද්‍යාගාරයක් පැවසීමත් එම තත්ත්වය සමස්ත බටහිර වංචාව හෙළිදරව් කිරීමට යොදා නොගැනීම පිළිබිඹු කරන්නේ දේශපාලන සහ හමුදා නායකත්වයේ සමූහ අසාර්ථකත්වය නොවේද?
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
Home විශේෂාංග ඉරිදා සංග්‍රහය විශේෂාංග ජනාධිපතිවරණය,ජිනීවා යුද අපරාධ ‘උගුල’ සහ ‘රාජාලි සංදේශය’ විශේෂාංගඉරිදා සංග්...