02/01/2022
නමෝ් බුද්ධාය ෴
බෝධිසත්වයන් විසින් පෙර එක් ආත්මයකදී
අන් අය විසින් අල්ලන ලද මාලු ගොඩගසා ඇති අයුරු දැක
"අද බොහෝ මාළු අල්ලා ඇතැයි "සිතා සතුටු වී ඇත.
එසේ ඇතිවූ සිතිවිල්ල හේතුවෙන් උන් වහන්සේ බුද්ධත්වය ලැබූ ආත්මයේදීත් හිසේ කැක්කුමකින් පීඩා විඳ ඇතැයි අටුවාවේ සදහන් වේ.
එසේ වී නම් අපට කෙසේ කර්ම විපාක එළබෙණු ඇත්දැයි සිතන්න. ප්‍රභාකරන් වේවා, සහරාන් වේවා මහත් විනාශයක් කළ පරම හතුරෙකුගේ මරණයකදී වුව සියුම් හෝ සතුටු සිතක් ඇතිකර නොගත යුතුය. බෞද්ධයන් ලෙසින් ඔවුන් කෙරෙහි උපේක්ෂිත විය යුතුය. හැකිනම් මෛත්‍රිය, කරුණාව දක්වන්න. මන්ද අපද අනන්ත සසරේ එලෙසින් මුලාවට පත්ව සිටින්නට ඇත. ඔවුන් විසින් රැස් කරන ලද පාපකර්මයන් විසින් ඔවුන්ව නැවත සතර අපායන්ටම ඇඳ දමනු ඇත. නැවත ගොඩ ඒමට නොහැකි ලෙසින් ඔවුන් ඒවායේ පැහෙමුන් විලාප තබමින් දුක් විඳින්නේ දවසකට , දෙකකට, අවුරුදු ගාණකට නොවේ. කල්ප ගණන්ය.
මේ සංසාර චක්‍රයේ ස්වභාවය එලෙසිනි. එය ඉතාමත්ම භියකරු වන්නේ මෙවැනි ඔබ නොහිතන එක් සුළු සිතිවිල්ලක් වුවද ඇතැම් විට ඔබව සතර අපායන්ට ඇඳ දැමීමට සමත් වන බැවිනි.
අද බොහෝ දේශපාලන චරිත කෙරෙහි ඔබ සිත තුළ ද්වේශය පැන නැඟී ඇතුවා වන්නට පුළුවන. විහිළුවට හෝ ඇතැම් අය සමාජ ජාලා ඔස්සේ, "මැරියන්, සාප වෙයන්" ආදී ලෙසින් මත දක්වයි. මේවා සිතන, කියන වාරයක් පාසාත්, ඒවා සමාජ ජාලාවන්හි පල කිරීමේදී අන් අයගේ සිත් තුළද ඒවැනි සිතිවිලි පහල කිරීමට අනුබලය දීමෙන් අත්වන අකුසලය මහත්ය.
බෞද්ධයන් වූවාට බොහෝ දෙනෙක් කර්මය හා කර්ම ඵලය පිළිබඳවවත් නොදනී.
බෞද්ධ රටක් වූවාට, බුදුන් සරණ ගියා යැයි පැවසූවාට, මිනිසුන් පොඩ්ඩ වරදින විට පුරුදු වී ඇත්තේ ශාප කිරීමටය. තමන්ට වරදක් කළ කෙනෙකුට එයට ප්‍රති විපාකය එන තෙක් බලා සිටින්නටය. හොද වැඩේ කියන්නටය. වචනයෙන් ඇතැම් විට " පව්" කියා කීවද, සිත යටින් සතුටක් විඳී. තමන්ට වරදක් කළ කෙනෙකුට සමාව දෙන්නට මිනිසුන් පුරුදු වී නැතුවාම මෙනි. තමන් මරන්නට ආ කෙනාටත්, තමන්ගේ අත පය කපා කොටා දමද්දීත්, " අනේ ඔබ සුවපත් වේවා" ලෙසින් හද පතුළෙන්ම පැතූ බෝධිසත්වයන් වහන්සේ එසේ කළේ ඔබ මා වැනිම රාග, ද්වේෂ මොහ සිතක් පවතිද්දීමය. ඔබට මට මෙන්ම තරහ යන, දුක වේදනාව දැනෙන සිතක් හා කයකින් යුක්තවය. නමුත් උන් වහන්සේ මෛත්‍රිය , ඉවසීම පුරුදු කරන ලද සිතකින් යුක්ත වූහ. එවැනි අති උතුම් ශාස්තෘවරයාණන් වහන්සේ නමක් සරණ ගොස් ඇතැයි සිතා සිටියද, ඔබ තුළ ඒවැනි ගුණයන් වඩවාගැනීමට උත්සාහ කරන්නේවත් නැතිනම් එම සරණ යෑමෙන් පලක් නැත.
අප සැබෑ බෞද්ධයන් වන්නේ උදේ සවස පන්සිල්, කට පාඩමින් කීමෙන් නොවේ. එක් පන්සිල් පදයක් වත් සතියෙන් යුක්තව රකින්නට වීර්යය දරන්නේ නම් ඔබ බුදුන්ගේ සරණ යන්නෙකි.
ඉතිපිසෝ ගාථාව හෝ පිරිත් පොත කටපාඩමින් දිනපතා ගිරවුන් සේ සජ්ජායනය කළද ඔබ සැබෑ බෞද්ධයකු නොවේ.
එක් බුදු ගුණයක්වත් හදවතින්ම දකිමින් අවබෝධ කරගනිමින්, ඒ ගුණයන් තමන් තුළඳ වඩවා ගන්නට අවංකවම වීර්යය දරන්නේ නම් ඔබ සැබෑ බෞද්ධයකි.
කල්පයක් පුරා කීවද නිමා නොවන අනන්ත අප්‍රමාණ බුදු ගුණයන්ගෙන් යුත්...සම්මා සම්බුදු රජාණන් වහන්සේ යනු මේ විශ්වයේ පහළ වූ දුර්ලභ රත්නයකි. ඔබ රැකිය යුත්තේ ඒ මහා ධර්මයයි.
පන්සිල් පද පහවත් නොරකිනා බෞද්ධයන් ගණනින් විශාල වූවද කිසිදු පලක් නොවේ. බුදු දහමේ අග්‍ර වූම ඵලය වූ උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට වෙහෙසෙන උතුම් මිනිසකු වන්න.
සැබෑ ලෙසින්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න.
උපුටාගැනිමක් .