10/01/2024
අපි හැම වෙලාවෙම අපේ ජීවිතේ අඳුර එක්ක තියෙන ගණුදෙනුව මඟ හරින්න උත්සහා කරනවා. අඳුර මුණ ගැහෙන හැම වෙලාවකම අපි උත්සහා කරන්නේ අඳුරෙන් ආලෝකයට පැනලා යන්න. ඒත් ඒක කිසිම දවසක සාර්ථක වෙන උත්සහයක් විදිහට මම හිතන්නේ නෑ. අඳුරෙන් එලියට එන්න උත්සහා කරනවා කියන්නෙ අපි අපේ සැබෑ ජීවිතයෙන් පැනලා යන්න දරන තේරුමක් නැති උත්සහයක්. ජීවිතේ අඳුරු පැත්තත් එක්ක අපි කරන ගණුදෙනුවේදී අඳුර අතරේ හැංගිලා තියෙන අපිවත් නොදන්න ආශාවන්, පුරුදු මුණ ගැහෙන්න පටන් ගන්නවා. අපි බය වෙන්නේ ඒකට. ඒක හරියට අඳුරු කාමරයක් අස්සේ ඉන්නකොට මේ කාමරේ ඇතුලේ මොනවා තියෙනවා ඇතිද? අපිට ඊළඟට මොනවා හම්බුවෙයිද? තව කවුරු මේ කාමරේ ඇතුලේ ඉන්නවා ඇතිද කියලා අපිට දැනෙන බය වගේ එකක්. ජීවිතේ කියන්නේ අපේ ජීවිතේ අඳුරු පැත්තත් එක්ක තියෙන නොනවතින ගණුදෙනුවකට.
අපිට පුළුවන් නම්, අඳුරට බය වෙනවා වෙනුවට අඳුර කියන්නේ මගේ ජීවිතයේම කොටසක් විදිහට දකින්න ජීවිතේ ගැන කිසිම මොහොතක අපි බය වෙන්න වෙන්න ඕන නැතිවෙයි. අඳුරේදී අපිට මොනවා මුණ ගැහෙයිද? කියලා බය වෙනවා වෙනුවට අඳුරේදී මුණ ගැහෙන ඕනෑම දෙයක් භාරගන්න අපිට පුළුවන් නම්, අඳුරත් එක්ක තියෙන බය ගණුදෙනුව ඉවර කරන්න පුළුවන් වෙයි. ජීවිතේ කියන්නෙම අඳුර භාරගන්න තරම් මැචුව වෙන එකට. එහෙම වුණොත් විතරයි අපිට ආලෝකය දකින්න පුළුවන් වෙන්නේ. ආලෝකය දකින්න නම්, ජිවිතයේ අඳුර තියෙන්නම ඕන.