14/02/2023
මේ භවය තුළදී මට හමුවූ හොඳම ප්‍රේමවන්තයා වෙත ලියමි .......
එදා ඔබ මගේ නළලත මත හාදුවක් තබද්දී
ඇස් පියාගත්තේ ඇයිදැයි ඔබෙන් අසමි.
සැබෑම සෙනෙහස ආත්මය සිපගනිද්දී දෑසම පියවෙන බව ඔබ මට පවසයි.
මම නිහඩව ඔබෙන් එන විශ්වීය හඩට සවන්දෙමි.
"අදට තාත්තා යන්න ගිහින් හරියටම මාසයක් ගෙවිලාත් , තවමත් හිත නොහැදුනේ මන්දැයි ඔබ මගෙන් නොඅසන්න "
මන්දයත් ,
අප , අප අතර හුන් යුගයක් තුළ වූ අසීමාන්තික කොන්දේසි විරහිත ආදරේ සටහන් හදිසියේ හිටි අඩියේ අහම්බෙන් ගිළිහෙද්දී හිතට දරාගන්නට නොහැකි වීමේ, ඛේදවාචකයට අසීරුවෙන් මුහුණ දෙන මම , මගේ කතාව හොඳින්ම දන්නා බැවිනි .
" අපි හැමෝගෙම හිත් හදන ඔයා ඇයි තාම එතනට එන්න පරක්කු ? යැයි මගෙන් නොඅසන්න .....
මන්දයත් ,
මේ සසර භව ගමන තුළ , මට සිටි හොඳම තාත්තා එතුමන් වන බවට දරාගත නොහැකි සාක්ෂි කන්දක් මා තුළ තබා ඇති බැවිනි .
වැහි කන්නයේ අනෝරා වැස්සක , මිදුලට පැන මල්ලිලා හා මා සමග වරු ගනන් තෙමි තෙමී, අපි එක්කම මඩ කඩිති අස්සේ සෙල්ලම් කළ ,
ඒ වැහි කෝඩයට නා , අපට ඇති වෙද්දී ,නහවා තෙත මාත්තු කර , අපව සනහා , උණු රටකජු බැද හකුරු එක්ක කන්නට දී , කෝපි සාදා අවසන , කතන්දර හැන්දෑවක් උදාකර දුන් තාත්තාගේ සෙනෙහස මෙතෙක් වේ යැයි දන්නේ මා සමග මේ සොභාදහම පමණකි.
මේ අනන්ත විශ්වයේම ඇති ආදරය , එක් සුන්දර උත්තමයකු ලවා මට ලබාදී , හිටිහැටියේම නැවත එතුමන් හදිසියේ උදුරාගන්නට තිබූ හදිසිය ගැන , අදටත් මා සොබාදහමෙන් ප්‍රශ්න කරමි.
ඇතැම්විට මා එතුමන් තැනුවාට වඩා හොඳ , අතොරක් නැති අතිශය සුන්දර ලොවක් එතුමන්ට සදාදී , මේ විශ්වය ඔහු කැදවාගන්නට ඇත.
එළෙස සිතා , නින්දට බෙහෙත් ඉල්ලමින් , පාළුයි පවසමින් සංකා සහිත සැන්දෑ ගතකරන දුක්බර දියණියක ලෙස , මා මෙසේ ඔබට කියමි ......
හෙටින් මසකට පෙර වියෝ වූ මගේ රත්තරං වස්තුව , " ගුණසේන නානායක්කාර "මගේ තාත්තාට හෙට දින ඔබ විසින් කරන යම් කුසලකර්මයක් වේ නම් එය අනුමෝදන් කරන්න.
තාත්තේ ,
වස්තු තණ්හා රත්තරං ඇබින්දකට හෝ ලෝභකම් නොකරන මටත් නොදැනීම , මම ඔබතුමන්ව අල්ලාගෙන සිටි තරම්ම්ම් ....
ඒ ලෝභකමින් මිදෙන්න
මට සොබාදහම දුන් පාඩම හුගාක්ම සැරයි.
උත්සාහ කරන්නම් කියා මා කියද්දි .....
" මගේ රත්තරං දූට පුළුවන් " කියා ඈතින් ඔබතුමන්ගේ දිව්‍යමය වචන සුළං ස්වරයකින් මට පවසා යන්නේය .....
මට හරිම පාළුයි මගේ තාත්තේ .......
ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ......
මම ඔයාගෙ වචනෙන්ම කියූ
රත්තරං දූ
තරංගා නානායක්කාර