29/09/2024
ටික කාලයක ඉදන් මට යමක් පේනවා...!!
දැන් දැන් මිනිස්සු ආයෙමත් ආපස්සට යනවා. ඔව්, නිල් පාට ඩිජිටල් තිර දිහා බලාගෙන බිත්ති අස්සට හිර වෙලා කොටු වෙලා ගෙව්ව ජීවත ඒවා ඉවතට දාල ආයෙමත් එළිමහනට යනවා. හුදෙකලාවත් එක්ක තනි වෙනවා. සැහැල්ලුවෙන් හුස්ම ගන්නවා. අනෝරා වැහි වල බය නැතුව තෙමෙනවා. ගිනි ගන්න මද්දහනෙ සැහැල්ලුවෙන් යනවා. වැලි පොලොවෙ නිරුවත් පයින් ඇවිදිනවා. පිනි පිරුණ තණ පියසි මත මහ පොලොව බදාගන්නවා. කදුකරය හමා එන සුළගින් මන්මත් වෙනවා. කදුකර සුවදැති මල් කිනිති දෝතට ගන්නවා. කදු මුදුන් ගිරි සිරස සිප ගන්නවා. ගහක වැලක සුවය සොයනවා. සතෙක් සිවුපාවෙකුට කරුණාබරිත වෙනවා. කුරුළු කූජනයකින් සවනත පිනනවා. පාවෙන වළාකුලක සැහැල්ලුව මනිනවා. හමන මඳ සුළඟක සිසිලස පතනවා,ගලන දිය දහරක ජීවිතේ දකිනවා. නැගෙන හිරු ප්‍රභාවක සනීපය සොයනවා.
වෙනදා ඔහේ පර උන කැළෑ මල් දැන් දැන් සාලෙ මැද හිනා වෙනවා. දිය කඩිති දොළ පිහිලි ලඟ තනි වෙනවා ,ඒ ඇල් දියක ගිලී නානවා.දුව පනින මසුන්ගෙන් දුක සැප විමසනවා. මල් කිනිති ගෙන දිගැසිය හිසේ පලදනවා. ගස් වැල් හුස්ම ගන්න අරුමය කියනවා. ඒ හුස්ම ම අපිට දෙන බව විස්වාස කරනවා.ගස්වැල් අපි එක්ක කතා කරනව කියල පිළිගන්නවා. කොන්ක්‍රීට් කරපු මහ පොලොව උගුල්ලා තණ පියසි අල්ලනවා.මහ පොලොවට මල් වැටෙන උයන් හදනවා.බිම වැටුන මල් පෙතිත් නොපාගා ඇවිදිනවා. ඉර ගිලෙන සවසක රළ බිදෙන වෙරළක ඇවිදිනවා.කිරි කවඩියක පාටක හැඩයක අරුමය කෙසේදැයි විමසනවා.
ඔව්.... ආයෙමත්, මිනිස්සු සොබාවික වෙනවා.! මේ හැමදේම මිනිස්සුන්ව සුවපත් කරනවා. ඉතිං මිනිස්සු ආයෙමත් මානුෂික වෙනවා.
********************
Captain එක ලිවුව කෞෂි විතානආරච්චි ඔයාටත්.. ගොඩක් ස්තුතියි...