22/04/2024
දවසක් උද්‍යානයක බංකුවක් මත ඉඳගෙන සිටින මහළු මනුස්සයෙක් ළඟට තරුණයෙකු පැමිණෙනවා...
"ඔබතුමාට මාව මතක ද...?"
වයසක මනුස්සයා "නෑ" කියලා කියනවා...
"මම ඔබගේ ශිෂ්‍යයෙක්..."
මහළු මනුස්සයාට පොඩි ආඩම්බරයක් හිතට එනවා...
ඔහු තරුණයාගෙන් මෙහෙම අහනවා...
"ඔබ දැන් මොනවද කරන්නේ...? ඒ කියන්නේ ඔබ ජීවිතය ගෙනියන්න කරන රස්සාව මොකක්ද..?"
“මමත් ගුරුවරයෙක් උනා..”
තරුණයා පිළිතුරු දෙනවා...
වයසක මනුස්සයාට දැන් තවත් සතුටුයි...
"ආහ්... මම වගේ... කොච්චර හොඳයිද?..."
"ඔව් සර්... ඇත්තම කිව්වොත් මම ගුරුවරයෙක් වෙන්න අදහස් කළේ ඔබ වගේ වෙන්න ඔබතුමා මාව පෙලඹවූ නිසයි...”
"ඒ කොහොමද...?
කුතුහලයෙන් සිටින මේ මහළු මනුස්සයා ගුරුවරයෙකු වීමට තමන් පෙළඹවීමක් කළේ කුමන අවස්ථාවකදැයි තරුණයාගෙන් අසනවා...
එවිට තරුණයා කතාව කියනවා...
“මගේ පන්තියේ මිතුරෙක් දවස් දෙක තුනක් ලස්සන අළුත් අත් ඔරලෝසුවක් බැඳගෙන ආවා... ඒක දැක්ක වෙලේ ඉඳලා ඒක කොහොමහරි මගේ කරගන්න මට අවශ්‍ය උනා...
ඒක එයා ගලවලා තිබුණු වෙලාවක මම ඒක හොරකම් කළා...
ටික වේලාවකට පස්සේ මගේ මිතුරා ඔහුගේ ඔරලෝසුව නැති වී ඇති බව දැනගෙන වහාම ඔබට පැමිණිලි කළා...
එවිට ඔබ පන්තිය අමතමින්...
"අද පන්තියේදී මේ සිසුවාගේ ඔරලෝසුව නැතිවී තියෙනවා... කවුරුහරි විහිළුවට හරි ඒක ගත්තනම් කරුණාකර ඒක ආපසු එයාට දෙන්න..."
ඒ වෙනකොටත් ඒක මගේ සාක්කුවේ තිබුණා... මට ඒකට තිබුණ ආසාව නිසාම මම ඒක ආපහු දුන්නේ නෑ...
ඊට පස්සේ ඔබතුමා ගිහින් පන්තියේ දොර වැහුවා... අපි හැමෝටම නැගිටලා ඇවිල්ලා රවුමක් හැදෙන්න කිව්වා...
ඔර්ලෝසුව හම්බවෙනකම් ඔයා අපේ සාක්කු එකින් එකට පරික්ෂා කරන බව පැවසුවා...
ඊට කළින් ඔයා අපෙන් ඉල්ලීමක් කළා... හිතට එකඟව අපි හැමෝටම හොඳින් ඇස් වහගන්න කිව්වා... මොකද එහෙම අපි හැමෝම හොඳින් ඇස් වහගෙන හිටියොත් විතරයි ඔයා අර ළමයගේ ඔරලෝසුව හොයන්නේ කියලත් අපිට කිව්වා...
අපි හැමෝම ඔබේ උපදෙස් ඒ විදියටම ඉෂ්ට කළා...
මගේ කකුල්දෙක ගැහෙන්න පටන්ගත්තා...
ඔබතුමා හැම ළමයෙක්ගේම සාක්කුවෙන් සාක්කුවට ගිහින් පරික්ෂා කරන බව තේරුණා... ඔබ මගේ ළඟට පැමිණිලා මගේ සාක්කුවෙන් ඔරලෝසුව සොයාගෙන එය ගත්තා... ඉන් පස්සෙත් නොනැවතුණු ඔබ දිගටම ඉතිරි සෑම කෙනෙකුගේම සාක්කු පරික්ෂා කරලා ඉවර උනාට පස්සේ "දැන් හැමෝම ඇස් අරින්න" කිව්වා...
"මට ඔරලෝසුව හම්බ උනා..." ඔබතුමා කිව්වා...
ඔබ ඊට පස්සේ ඒ ගැන කිසිම කතාවක් නොකර අයිතිකාරයට ඒක දුන්නා...
ඉන්පස්සේ ඔරලෝසුව සොරකම් කළේ කවුද කියලා ඔබ කිසි වෙලාවකවත් කාටවත් කිව්වේ නෑ... එදා ඔබතුමා මගේ ගෞරවය සදහටම බේරුවා. එදා මට මගේ ජීවිතය ගැන වඩාත්ම ලැජ්ජාවුණු දිනයක් උනා...
එදා මම තීරණය කළා කවදාවත් හොරෙක් නරක මිනිහෙක් වෙන්නේ නෑ කියලා...
ඊට පස්සේ ඔබතුමා කවදාවත් මට මුකුත් කිව්වේවත් නෑ... ඒ ගැන කියලා මට බැනලාවත්, පැත්තකට අරගෙන ගිහින් අවවාද කරලවත් නැහැ... එදායින් පස්සේ සදාචාරාත්මක පාඩමක් මම ඔබගෙන් ඉගෙන ගත්තා... කිසිවක් ඔබ මට නොකිව්වාට මට ඔබේ පණිවිඩය පැහැදිලිව ලැබුණා...
ඔබට ස්තූතියි... සැබෑ අධ්‍යාපනඥයෙකු කළ යුතු දේ මොකක්ද කියන එක මට වැටහුණා...
ඒ සිද්ධිය ඔබට මතකද මහාචාර්යතුමනි...?
"ඔව්... මට මතකයි... සොරකම් කළ ඔරලෝසුවේ සිද්ධිය මට මතකයි... ඒත් ඔරලෝසුව තිබුණේ ඔයාගේ සාක්කුවේ කියලා මේ වෙනකම් මම දන්නේත් නෑ... මොකද මමත් ළමයින්ගේ සාක්කු පරික්ෂා කරන්න කළින් ඇස් පියාගත්තා... හැමෝගේම සාක්කු බලලා ඉවර උනාට පස්සේ තමයි මමත් ඇස් ඇරියේ...
ගුරුවරයෙකුගේ ඉගැන්වීමේ හරය මෙයයි...
ඔබ කෙනෙකු නිවැරදි කරන්නේ නම්... ඔබ පළමුව ඔහුට අවමන් නොකළ යුතුය...
- ධම්මික සමරතුංග -
...