22/02/2024
සංජීව මහේෂ් පෙරේරාගේ නවකතා
මේ සෞන්දර්යය වෙනුවට දේශපාලනය ආදේශ වූ සමාජයකි. සෞන්දර්යය වෙනුවට දේශපාලනය රස විඳින සමාජයකි. දේශපාලනය සෞන්දර්යය වූ සමාජයකි. සෞන්දර්යය වෙනුවට දේශපාලනය ලියන්නා මේ තත්වය තුළ ඉමහත් සෞන්දර්යවාදියෙකු මෙන් වැජඹීම සිදුවේ. එහෙත් ඒ සමග ම සෞන්දර්යය අත නොහැර නිර්මාණකරණයේ යෙදීම ආත්ම පරිත්‍යාගයෙන් කළ යුත්තක් බවට පත්ව ඇත.
අපි පුංචි කාලයේ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ, කරුණාසේන ජයලත්ගේ නවකතා කියෙව්වේ අර්ථ රසය වෙනුවෙන් නොවේ. ඒවායේ අර්ථ රසය වැටහෙන්නේ දැන් ය. එහෙත් පොඩි කාලයේ ඒවයින් ලැබූ කතා රසය සිහිනෙන් ගෑ සුවඳක් සේ අපේ මතකයේ පවතියි. සිරිසේන මාඉටිපේගේ, ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වාගේ පමණක් නොව කුමාර කරුණාරත්නගේ කෘතිවල පවා මේ කතා රසය, රචනා රසය තිබිණි. එහෙත් අද වන විට නිර්මාණවලින් මේ රසය බැහැර වී තිබේ. ඒ වෙනුවට දේශපාලනය හා දේශපාලන මතිමතාන්තර, දේශපාලන දැක්ම ආරූඪ වී තිබේ. එහෙත් අප රස විඳින්නේ සෞන්දර්යය නොව දේශපාලනය වන බැවින් මේ කෘති රසවත් සේ ද ඇතැම් විට ස්වර්ණ පුස්තක සේ ද අපට වැටහේ.
තවත් විටෙක අලුත් නවකතාවල ඇත්තේ විදේශීය රසයයි. මාකේස්ගේ සෙවනැල්ලයි. නොඑසේනම් මාකේස්ගේ සෙවනැලිවල සෙවනැල්ලයි. මාකේස් ඔරිජිනල්ය. මාකේස් ලියුවේ තවත් මාකේස් කෙනෙකු දෙස බලාගෙන නොවේ. ඒ අනුව මාකේස් විය හැක්කේ මාකේස් සේ ම ඔරිජිනල් වීමෙනි. එහෙත් අපේ අය ඔරිජිනල් වන්නට හදන්නේ මාකේස් වීමෙනි. එය තවත් රසයකි.
සෝවියට් රසය තුළ රුසියානු රසය අඩුය. සෝවියට් රසය අනුකරණය කරන්නට හැදූ අපේ නිර්මාණ තුළ තවත් අඩුය. එසේ වුවත් එවන් නිර්මාණ දොස්තයෙව්ස්කිගේ නිර්මාණවලටත් උඩින් තැබීම අපේ රටේ සිදුවිය. ඒ දේශපාලනය අපට ඉහළම සෞන්දර්යය වූ හෙයිනි.
ඒ අතරම තවත් නවකතා යම් ලිංගික වර්ණනාවක් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීමේ අරමුණින් පමණක් ලියා ඇති බව පෙනේ. සිද්ධි පෙළගැසෙන්නේ ඒ වර්ණනාවට අවස්ථාව උචිත අවස්ථාවක් පාදාගැනීම සඳහාය. එනම් ඩොක්ටර් ෂිවාගෝ නවකතාවේ අනෙක් පැත්තය. මේවා ලතින් ඇමරිකානු නවකතා අන්ධානුකරණයේ ප්‍රතිඵලය.
අනිත් අතට ගාමන්ට් ළමයි අරමුණු කරගෙන ලියවෙන නවකතා ද ඇත. එනම් විවිධ මාර්කට්වලට ලියන නවකතා ඇත.
එසේම අද පාඨකයා ප්‍රකාශකයන්ගේ අත් අඩංගුවට පත් ව ඇත. පාඨකයන් කියවන්නේ පාඨකයාට අවශ්‍ය පොත නොව ප්‍රප්‍රකාශකයාට අවශ්‍ය පොතය. ප්‍රකාශකයන්ගේ මේ අරමුණ උදෙසා ඊනියා ප්‍රබුද්ධ විචාකරයන්ගේ ස්වර්ණ පුස්තක විනිශ්චය කරුවන්ගේ පූර්ණ අනුග්‍රහය පසුගිය දශකයකට වැඩි කාලයක් පුරා නොඅඩුව ලැබිණි. කෙසේවුවත් මේ සියලු ප්‍රකාශකයන් ගැන නොවේ.
කෙසේ හෝ මේ අලුත් නිර්මාණ නිසා වූයේ අපට කතාරසය කුමක්දැයි අමතක වී යාමය. මේ අමතක වූ කතා රසය නැවත මට මතක් වූයේ, සිහියට නැගුණේ සංජීව මහේෂ් පෙරේරාගේ නවකතා කිහිපයක් කියවීමෙනි. එය ද මා විසින් කළ සොයාගැනීමක් නිසා නොවේ. සංජීව මහේෂ් පෙරේරා මහතාට ඔහුගේ නවකතා කෙරෙහි මගේ අවධානය යොමුකරවාගැනීමට ඒ නවකතා මා වෙත තැපැල් කර එවීමට සිදුවිය. තැපැල් කර එවූව ද ඒවා මා කියවන්නට ගත්තේ තවත්මාස කිහිපයකට පසුව ය. ඒ ගැන මෙසේ ලියැවෙන්නේ අවුරුද්දකටත් වඩා පසුව ය. එය එසේ වීම එක් අතකට හොඳය.
නවකතාවක් තුළට රසය ඇතුළත් කළ හැක්කේ තමාගේ ජීවිතය තුළ රසය පවත්වාගන්නා අයෙකුටය. අපගේ ජීවිත තුළ රසය පවත්වාගැනීම අද කාලය වන විට ජීවිත පරිත්‍යාගයෙන් කළ යුතුව පවතියි. රසය වෙනුවට අප සොයන්නේ ධනය, කීර්තිය සහ වෙනත් දේ බැවිනි. එය ජීවිතය වන බැවිනි. ඒ අනුව රසය ජීවිතය තුළ රඳා පවත්වාගැනීමට හැක්කේ ආත්ම පරිත්‍යාගයෙන් එය කළ හැකි අයට පමණි. ඒ් ආත්ම පරිත්‍යාගයේ සුවඳ සංජීව මහේෂ් පෙරේරාගේ නවකතා තුළින් දැනේ. ටී.එම්. ජයරත්නගේ සින්දුවක වචනවලින් කියන්නේ නම් ඔහු මුළු ලොවම නැතිවුණත් නවකතාවක් ලියාගෙන ඉන්නවා ජාතියේ රචකයෙක් යැයි ඔහුගේ නවකතා කියවන විට දැනේ.
මෙය වෙනත් ආකාරයකට ද විග්‍රහ කළ හැක. එනම් අන් සියල්ලටම වඩා කලාවට ආදරය කිරීමය. කලාකරුවන්ට ආදරය කිරීමය. ඩබ්ලිව්. ඒ්. සිල්වාගේ කරුණාසේන ජයලත්ගේ ජෝතිපාලගේ ලෝකය තුළ ජීවත්වීමට උත්සාහ කිරීමය.
සංජීවමහේෂ් පෙරේරා ඇතැම් විට ඇතැම් අවස්ථා විස්තර කරන, මවන, මවා පෙන්වන මනහර ආකාරය මට වචනවලින් විස්තර කළ නොහැකිය. යම් අවස්ථාවක් සිදුවීමක් එම ඇත්ත අවස්ථාවටත් මඩා මනහර ලෙස ගොඩනැංවීම, නිර්මාණය කිරීම කළ හැක්කේ ඉතා දක්ෂ නවකතාකරුවෙකුට පමණි. ඇත්තටම එය ද අප නවකතාවකින් ලබන එක්තරා ආස්වාදයකි. අප දන්නා සිදුවීමක නොදන්නා ආස්වාදයක් සොයාගැනීමයි. එයට සංජීව මහේෂ් පෙරේරා ඉතා දක්ෂය. ඇත්තටම නවකතාව පමණක් නොව චිත්‍රපටය හා නාට්‍ය තුළ ද සිදුවන්නේ එයයි. දන්නා අවස්ථාවක නොදන්නා රසයක් මැවීමයි. මෙය නවකතා රසයයි. කලාවේ රසයයි.
අද ආදරය දනිමු. දන්නා ආදරයේ නොදන්නා ආදරයක් අප ඉදිරියේ විවර කිරීමට තරම් සංජීවගේ රචනා ශෛලිය ඇතැම් විට ප්‍රබලය. මනරම් ය. සුමටය. මෙය වචනවලින් සිත පිරිමැදීමකි. මෙය ද මා නවකතාවකින් ලබන රසයකි.මේ සෞන්දර්ය රසය ඉහත කී ලෙස අද නවකතාවල නැත. ඒ වෙනුවට දේශපාලනය හා මුසු කොට, ලිංගික වර්ණනා, නගර වර්ණනා, මුඩුක්කු වර්ණනා ආදිය ලෙස යොදා ඉතා කූඨ ලෙස ගොතන ලද ප්‍රබන්ධ අද නවකතා ලෙස හැඳින්වේ. ඒ රචනාවල අර වචනවලින් සිත පිරිමදින ගතිය නැත. ඒ වෙනුවට වැලි කඩදාසියක ගතිය ඇත. මා පිදුරු කා නැත ද ඇතැම් සම්මානලත් නවකතාවක පිටුවක වචන දෙක තුනක් පේලි දෙක තුනක් කියවාගෙන යද්දී ම මට පිදුරු මතක් වී ඇත. ඒ වචන නොවේ පිදුරුය. එහෙත් පිදුරු ද ඇතැමුන්ට රසය. කාටදැයි කිවයුතු නැත. සංජීවගේ නවකතාවල පිදුරු නැත. ඒ අනුව සංජීවගේ නවකතා වැඩිපුර නොවිකිණෙන්නේ නම් ඊට ද හේතු සොයාගත හැක.
කරුණාසේන ජයලත්ගේ ‘පිරුණු හදක්’ වැනි නවකතාවක් රුසියාවේ ලියැවුණා නම් එය අද වන විට ලෝක පුජිත නවකතාවක් බවට පත්වී තිබෙනු ඇතැයි මට සිතෙයි. එහෙත් අපේ විචාර කලාව නිසා ‘පිරුණු හදක්’ ලංකාවේවත් පූජිත නවකතාවක් නොවේ. මා දන්නා තරමට කරුණාසේන ජයලත්ගේ කිසිම නවකතාවක් විශ්ව විද්‍යාලයක විභාගයක් සඳහාවත් නියමිතව නැත. සංජීව මහේෂ් පෙරේරා වැනි නිර්මාණකරුවන් අසරණ ව ඇත්තේ මේ සන්දර්භය තුළය. කරුණාසේන ජයලත්ට ඩබ්ලිව්. ඒ්. සිල්වාට ලැබිය යුතු තැන ලැබී තිබුණා නම් සංජීව මහේෂ් පෙරේරලාට ද ලැබිය යුතු තැන හිමිවනු ඇත. එසේ වූවානම් සංජීව අතින් ලියැවෙන දේ මෙයටත් වඩා මනහර වනු ඇත. එහෙත් මෙවන් ශෝචනීය යුගයක සංජීවත් අපට කරුණාසේන ජයලත් තරම් ම වටියි. මෙය කිසිසේත් ම සංජීව මහේෂ් පෙරේරා මහතා කරුණාසේන ජයලත් හා සමාන කිරීමක් නොවේ. සංජීව පවා එසේ නොකරන බව මම දනිමි. එහෙත් මා කියන්නේ සාහිත්‍යයේ මේ අඳුරු යුගය තුළ සංජීව අපට කරුණාසේන ජයලත් තරම් ම වටින බවය.
අවසාන වශයෙන් කිව යුත්තේ සංජීව මහේෂ් පෙරේරා අප වැනි විචාරකයෙකු නොව නිර්මාණකරුවෙකු බවය. එවැන්නන් රැකගත යුතුය. පෝෂණය කළ යුතුය. දිරිගැන්විය යුතය. සංජීවගේ පොතක් මා අතට පත්කරනු තුරු මට පොත් සාප්පුවකින් සංජීව සොයාගැනීමට හැකිවූයේ නැත. කෙසේ හෝ සංජීව පිළිබද මේ ලියැවිල්ල තවත් එවන් නවකතාකරුවන්ගේ නිර්මාණ පිළිබඳ සංවාදයකට මුල පිරීමක් කරගත හැකිය.
උදයසිරි වික්‍රමරත්න