01/05/2024
ලොකු වෙනවා කියන්නෙම ඈත් වෙන එක !
අපි ලොකු වෙන්න ලොකු වෙන්න ටික ටික පරණ දේවල් වලින් ඈත් වෙනවා.
අපි දන්න අයගෙන් ඈත් වෙන එක, අපි දන්න තැන් වලින් ඈත් වෙන එක, අපේ වැඩ වලින් ඈත් වෙන එක කාලෙන් කාලෙට වෙන දෙයක්. කැමති උනත් නැතත් කරන්න වෙනවා. නැත්නම් ඉබේම වෙනවා.
මෙහෙම ඈත් උනාම අපිට දැනෙනවා අපි හරියට වතුරෙන් ගොඩදාපු මාලුවෙක් වගේ, මේ මං අයිති තැන නෙමෙයි කියල.
එතකොට අපි අයිති කොහෙටද?
කොහේ ගියත් ඒ හැඟීමෙන් මිදෙන්න බැරි වෙනවා.
මුලින්ම ගමෙන් නගරෙට ඇවිත් ලස්සනට නවාතැනක් හදාගන්නවා. පුංචි කාමරයක්, පොඩි ඇනෙක්ස් එකක්! ඊට පස්සෙ එහෙන් මෙහෙන් ලාබෙට හොයාගන්න පුලුවන් පුටුවක් දෙකක්, පුංචි රවුම් මේසයක්, පොත් රාක්කයක්, ඇඳක්, පුංචි කොට්ට කීපයක් ගෙනැත් ඒ කාමරේ තමන්ගෙ ගෙදර කරගන්නවා. සෙනසුරාදා ඉරිදා නිවාඩු දවසට ලස්සන මල් පැල කීපයක්, අපි ආස කරන නලු නිලියොන්ගෙ, ගායකයොන්ගෙ, සංගීත කන්ඩායම් වල පෝස්ටර් කීපයක් ගෙනැත් බිත්ති හැඩ කරගන්නවා.
සමහර දාට මේ පුංචි කාමරේ හරිම පාලුයි. තනියි. ඒ නිහඬකම කාමරේ ඇතුලෙ තෙරපි තෙරපී තියෙනවා.
ඒත් තවත් සමහර දාට කාමරේට දරාගන්න බැරි තරම් යාලුවො පිරෙනවා. අලුතෙන් අපිට හම්බවුනු යාලුවො! දැන් ඒ අය තමයි අපේ ලඟම අය. එකට කන බොන, කයිවාරු ගහන, ගමන් බිමන් යන, රංඩු වෙවී යාලුවෙන අය.
ඒ උනාට උහුලගන්න බැරි පාලුවක් දැනෙන වෙලාවට අපිට ගම මතක් වෙනවා. මහ ගෙදර මතක් වෙනවා. අම්මගෙ කෑම වල රස, සුවඳ දැනෙනවා. තාත්තගෙ බර අඩි වල සද්දෙ ඇහෙනවා. අයියල, මල්ලිල එක්ක රංඩු කරපු හැටි මතක් වෙනවා. ඉතිං ඔන්න අම්මට කෝල් එකක් ගන්න හිතෙනවා. ඒ උනාට අම්ම එක්ක කතාව වෙලාවකට හරිම කම්මැලියි. අම්ම අහන හැම දේටම උත්තර දෙන්න අපි කැමති නෑ. අපේ ප්‍රශ්ණ වලින් මොකටද අම්මගෙ ඔලුව පුරවන්නෙ.
කියාගන්න නොතේරෙන අහිමිවීමක්, තනිවීමක් ඔලුව ඇතුලෙ නිතරම කැකෑරි කැකෑරි තියෙනවා. ඉස්කෝලෙ යාලුවො, ගමේ පාරවල්, අහල පහල ගෙවල් වල අයගෙ හිනා මූනු, අත්තම්මගෙ උකුලෙ ඔලුව තියාගෙන කතා අහපු හවස් වරු, නිවාඩු කාලෙ නෑදෑයො එක්ක ගියපු ගමන් බිමන් මේ හැම දෙයක්ම දැං ඈතට ගිහින් වගේ දැනෙනවා. අඩු තරමේ ගෙදර කාමරේ, ඇඳ, ඇඳුම් අල්මරිය ඇරියම එන සුවඳ.....මේ හැම දේම හරි ඈතයි වගේ දැනෙනවා.
ඒත් අපි ගමේ ගිය දාට නගරෙ අර පුංචි කාමරෙ සුව පහසුව මතක් වෙනවා. ඇඳ උඩින් පුටුව උඩටයි ආයෙ පුටුව උඩින් ඇඳ උඩටයි මාරු වෙන කවදාවත් නවන්න වෙලාවක් එන්නෙ නැති රෙදි ගොඩ, පැය ගානක් උනත් ලැගල ඉන්න පුලුවන් පුටුව, ඒ විතරක් නෙමෙයි අලුත් යාලුවො, එයාල එක්ක රස්තියාදු ගහපු හවස් වරු, නගරෙ තියෙන සුකුරුත්තම් පිරුන කඩ සාප්පු, අලුතෙන් දාපු කඩචෝරු කඩවල් මේ හැම දේකම වටින කමක් දැනෙනවා ගමට ගියාම. බැල්කනියට ගියාම ඈතින් ඈතට පේන උස ගොඩනැගිලි මුකුත්ම නැති ගමේ මහ අමුතුම පාලුවක් දැනෙනවා. ඉතින් ආයෙත් නගරෙ, අර තනි කාමරේට එන්නමයි හිත කියන්නෙ.
මේක ඉවරයක් නැති දෙයක්. වයස ගෙවෙද්දි එක තැනකට අපි පුරුදු වෙයි කියල හිතෙනවා.
ඉතින් අපි ලොකු වෙද්දි දේවල් වෙනස් වෙනවා. අපේම ගෙයක්, වාහනයක්, ඔෆිස් එකක් තිබුනත් වෙලාවකට අපි කොහේටවත් අයිති නැති බව දැනෙනවා.
කලක් යද්දි අපිටම තේරෙනව මේක හරිම මායාවක් කියල. වෙලාවකට අපි කොහේටවත් අයිති නෑ. ඒත් වෙලාවකට අපි ගොඩක් තැන් වලට අයිතියි වගේ.
කලක් අපි ලඟින්ම හිටපු අයගෙන් අපිට ලැබුන සමහර පුරුදු තාමත් අපෙන් මග ඇරිල නෑ. ඉස්කෝලෙන් පුරුදු වුන දේවල්, ගෙදරින් පුරුදු වුන දේවල් අපේම ජීවිතේ කොටසක් වෙලා අපිටම නොදැනි.
බිම වැටිල තියෙන කොල කෑල්ලක් කුනු කූඩෙට දාන එක, පඩිපෙලක් නගිද්දි, බහින අයට දකුනෙන් යන්න ඉඩ දීල වම් පැත්තෙන් යන්න, සමහර විට හවසට තේ එකක් බිබී සින්දු අහන පුරුද්ද, සිකුරාදට ටිකක් රෑ වෙනකල් එහෙ මෙහෙ රස්තියාදුවක් යන පුරුද්ද, බැල්කනිය කෙලවරේ පුංචි පැල කීපයක් තියාගෙන සාත්තු කරන එක වගේ පොඩි පොඩි දේවල් අපි අපේ ජීවිතේට එකතු කරගෙන තියෙන්නෙ අපි හිටපු තැන් වලින් අපි ආශ්‍රය කරපු අයගෙන්. තාත්ත වගේ ඉරිදට පත්තර බලන්න, අම්ම කලා වගේ කමීසෙක හැලුන බොත්තමක් වෙනුවට අලුත් බොත්තමක් අල්ල ගන්න එක, සීයා කලා වගේ අනුන්ගෙ දුක අහගෙන ඉන්න, අත්තම්මා කලා වගේ හීනියට ලූනු කපන්න අපිටත් නොදැනිම අපිට පුරුදු වෙලා. සමහර විට ඒ අය දැන් අපේ ජීවිතෙන් ගොඩක් ඈත.
එතකොට අපේ සමහර පුරුදුත් අපි ලඟින් හිටිය අයට ගිහින්. අපේ යාලුවො, අපේ මල්ලිල නංගිලා අපෙන් දේවල් ඇහිඳ ගෙන දැං ඒවා එයාලගෙ පුරුදු වගේ වෙලා.
අන්තිමට බලද්දි අපේ ඇතුලෙ අපි ආශ්‍රය කරපු අය ජීවත් වෙනවා වගේම ඒ අය ඇතුලෙත් අපි ජීවත් වෙනවා.
මේ නිසා අපිට කොහේදිවත් අපිව සම්පූර්ණ නෑ වගේ දැනෙනවා. හැම තිස්සෙම අපේ හිත අපි නොඉන්නා තැනක් ගැන ලැතවෙනවා වගේ දැනෙනවා.
එහෙම වෙන්නෙ අපි එක එක තැන් වලට එක එක අයට බැඳිල නිසා වෙන්න ඇති. ඒ හැම අත්දැකීමකම රසය අපි තුල තියෙන නිසා වෙන්න ඇති.
ඉතින් කලක් යද්දි අපිටම තේරෙනවා වෙන්වීම කියන්නෙ අතඅරින එකටම නෙමෙයි කියල.
ඒත් අපි හැම තැනකින්ම හැම කෙනෙකුගෙන්ම මොනව හරි අරගෙන යනවා වගේම අපෙන් කොටසකුත් ඒ ඒ තැන් වලත් ඒ ඒ අය ලඟත් අපි තියල යනව.
අන්තිමට නූල් ගොඩක් එකතු වෙලා ලස්සන සළුවක් වියනවා වගේ මේ ලස්සන අත්දැකීම් ඔක්කොම එකතු කරන් අපි ජීවිතය වියනවා!
-අනුවර්ථනයකි-