03/02/2023
නිදහස සමරන්න ලක්ෂ 142ක ජංගම ටොයිලට්! කොඩිවලට පමණක් ලක්ෂ 13ක්! නිදහස් උළේලේ වියදම් ලැයිස්තුව මෙන්න
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහනයෙන් මිදීම සැමරෙන අභිමානවත් 75 වැනි නිදහස් දින උළෙල සඳහා සහභාගි වන විශේෂ අමුත්තන් සහ අනෙකුත් අය වෙනුවෙන් ජංගම වැසිකිලි පහසුකම් සැපයීම සඳහා පමනක් රුපියල් රුපියල් එක්කෝටි හතළිස් දෙලක්ෂ පනස් අට දහස් අටසිය පනහක (14,258,850.00) මුදලක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන යටතේ 2023.01.02 දිනට දරා ඇති බව වාර්තා වනවා.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමති සංවිධානය නියෝජනය කරමින් ජාමුණි කමන්ත තුෂාර නැමැති අයෙකු විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් 2023 නිදහස් දින සමරු උලෙළ සඳහා වන වියදම් ඇස්තමේන්තුව තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් 2023.01.26 දින ඉදිරිපත් කරන ලද HA/RTl/05/11tem යන තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාල අමාත්‍යංශය විසින් ලබා දුන් තොරතුරුවලයි ඉහත දත්ත සඳහන් වන්නේ.
එම තොරතුරු පත්‍රිකාව හරහා අනාවරණය කර ඇති තොරතුරුවලට අනුව අදාල අමාත්‍යංශය විසින් 2023.01.02 වැනි දිනට දරා ඇති දළ වියදම් හෙළිදරව් කර ඇති අතර ජාතික නිදහස් දින උලෙළ සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 55ක්
මේ අතර අදාල අමාත්‍යංශය යටතේ ඉහත සඳහන් කළ දින වන විට සිදු කොට ඇති වියදම් අතර අකුණු සන්නායක පද්ධතියක් සවි කිරීම සඳහා රුපියල් 345,000ක මුදලක් සහ ඊට අදාල උපදෙස් ලබා ගැනීම සඳහා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට රුපියල් 20,000ක මුදලක්ද වියදම් කොට තිබෙනවා.
අදාල උත්සවය සඳහා අවශ්‍ය රූපවාහිනී යන්ත්‍ර, විදුලි පංකා, කාර්මික පංකා ඇතුළු සිසිලන යන්ත්‍ර සැපයීම සඳහා රුපියල් 519,225ක් ද විද්‍යුත් තිර සඳහා රුපියල් විසිහත් ලක්ෂ අනූතුන් දහස් හත්සිය පනහක (2,793,750.00) මුදලක්ද ශබ්ද විකාශන පද්ධතිය සඳහා රුපියල් තිස් දෙලක්ෂ හත් දහස් අටසියයක (3,207,800.00) මුදලක් ද අදාල අමාත්‍යංශය යටතේ වෙන් කොට තිබෙනවා.
මේ අතර ආරාධිතයින් සඳහා පුටු මිලදී ගැනීමට රුපියල් 955,650ක් ද පුපෝපහාර දැක්වීම වෙනුවෙන් මල් බඳුන් ලබා ගැනීම සඳහා රුපියල් 40,000ක් ද අදාල අමාත්‍යංශය විසින් ඉහත සඳහන් කළ දිනය වන විට වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම නිදහස් උලෙළට අදාල ආරාධනා පත්‍ර තැපැල් කිරීම හා අදාළ අනෙකුත් රාජකාරි කටයුතු වෙනුවෙන් රුපියල් 100,000ක මුදලක් දරා ඇති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එහි ලිපි ද්‍රව්‍ය ඇතුළු කාර්‍යාලීය උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් 600,000ක මුදලක් වැය කොට තිබෙනවා.
එපමණක් නොව අදාල උත්සවයේ කොඩි මිල දී ගැනීම සඳහා රුපියල් දහතුන් ලක්ෂ අසූ දහසක් (1,380,000.00) වෙන් කොට ඇති එම අමාත්‍යංශය සියලු ම ආරාධිතයින් සංවිධාන කටයුතු ඇතුළු සහාය කාර්ය මණ්ඩලයේ සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් දහ අට ලක්ෂ හතලිස් නව දහස් දෙසිය පනහක් (1,849,250.00) වැය කොට තිබෙන බවයි අදාල අමාත්‍යංශය අනාවරණය කරන තොරතුරුවල දැක්වෙන්නේ.
නිදහස් දින සැමරුම් සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය ප්‍රතිසංකරණය කටයුතු සඳහා නාවික හමුදාව වෙත රුපියල් 330,000ක් ද නිදහස් දින සමරු උලෙළේ රාජකාරි කටයුතු පැවැත්වෙන සියලු ම කාල සීමාවට අදාල ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් මිලියනයක මුදලක් වෙන් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාල තොරතුරු පත්‍රිකාවේ සඳහන් කරනවා.
මේ සා වියදමක් දරමින්, දැඩි ආර්ථික අර්බුදයකින් මිරිකී සිටින ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුව වෙනුවෙන් උළෙලක් පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක රජය විසින් ඒ සඳහා රාජ්‍ය ආයතන හා අමාත්‍යංශ 6ක් අතරේ රුපියල් කෝටි විස්සකට (රු.මිලියන 162.8) ආසන්න මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින්නේ සුබවාදී අදහසක් නම් නොවේ.
කෙසේ නමුත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අනාවරණය කර ඇති මෙම වියදම් 2023.01.02 වැනි දින දක්වා ඒවා වන අතර අභිමානවත් 75 වැනි නිදහස් සමරුව පැවැත්වෙන්නේ ඊට දින32කට පසුවයි
උපුටා ගැනීමකි.