Headline Reader

  • Home
  • Headline Reader

Headline Reader Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Headline Reader, News & Media Website, .
(1)

පුරාණ ධන නිධාන අබිරහස් සඟවාගෙන සිටින නිහඬ මිහිතලය.පුරාණ අබිරහස් සඟවාගෙන සිටින නිහඬ තෝතැන්නක් ලෙස අප වෙසෙන මිහිතලය හඳුන්ව...
15/05/2024

පුරාණ ධන නිධාන අබිරහස් සඟවාගෙන සිටින නිහඬ මිහිතලය.

පුරාණ අබිරහස් සඟවාගෙන සිටින නිහඬ තෝතැන්නක් ලෙස අප වෙසෙන මිහිතලය හඳුන්වාදීමට පුළුවන්. නිශ්චිත වටිනාකමකට උරුමකම් කියන පෞරාණික භාණ්ඩ අවේතනික ව බලා කියා ගන්නා ආරක්ෂකයා වන්නේත් මේ මිහිතලය යි. කාලයාගේ ඇවෑමෙන් මහපොළව අභ්‍යන්තරයේ මිහිදන් ව ඇති මෙවැනි කෞතුක භාණ්ඩ ලෝහ අනාවරක (Metal Dectors) උපයෝගී කරගනිමින් හඳුනාගැනෙනවා. පෞරාණික ලෝහ වස්තූන්ගේ ආරක්ෂාකාරී නිවහන ලෙස සැලකෙන පොළොව අභ්‍යන්තරය මෙවැනි කෞතුකයන්ගෙන් සමන්විත බව හඳුනා ගැනීමට බහුතරයක් වූ ලෝහ අනාවරක විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර භාවිතයට ගන්නවා.

අඩු වටිනාකමක් සහිත ලෝහ අනාවරක (Metal Detectors) උපයෝගී කොටගෙන පෞරාණික භාණ්ඩ රැස් කිරීමට ඇබ්බැහි වූ පිරිස් සොයාගත් අහඹු කෞතුක සහ නිදන් වස්තු කිහිපයක තොරතුරු මේ ලිපියෙන් දැක්වෙනවා.

01). Boot of Cortez රන් කුට්ටිය
1989 වසරේ එක් දවසක මෙක්සිකානු වැසියෙක් ගුවන්විදුලි උපකරණ අලවි කරන වෙළෙඳසලකට ගොඩවැදී ලෝහ අනාවරකයක් (Metal Detectors) මිල දී ගැනීමට කටයුතු කළා. මෙක්සිකෝ දේශසීමාවට අයත් සොනෝරන් නමැති තහනම් කාන්තාරයට හෙතෙම පියමැන්නේ මෙයින් අනතුරුව යි.

ආධුනික පෞරාණික වස්තු ගවේෂකයකු වීමට පෙරුම් පුරමින් සිටි හෙතෙම කුමක් හෝ ලෝහමය වස්තුවක් සොයාගැනීමේ අරමුණින් සොනෝරන් කාන්තාරයට හොර රහසේ ම ඇතුළු වූවා. රන් සහ රිදී බහුලව අඩංගු පතල් උතුරු මෙක්සිකෝව පුරා විසිරී පවතින බව පිළිගැනෙනමුත් කාන්තාර මධ්‍යයක රන් කුට්ටියක් හෝ වෙනත් ලෝහමය කැබැල්ලක් සොයා ගැනීමේ සම්භාවිතාව පවතින්නේ අවම අගයක යි.

සිය ගෙමිදුල ආශ්‍රිත පොළවේ මිහිදන්ව පැවති පුරාණ කාසි කිහිපයක් හඳුනා ගැනීමට හෙතෙම සමත් වූයේ ඉන් කලකට ඉහතදි යි. රන් කුට්ටි අඩංගු බවට කටකතා පැතිර ගිය සොනෝරන් කාන්තාරය අසබඩ පිහිටි Gran Desierto de Altar නමැති උප පාරිසරික ප්‍රදේශය මෙයින් අනතුරුව ඔහු පරික්ෂා කළා. රාස්සිගේ අව්ව සමඟ හරි හරියට ඔට්ටු වෙමින් සිදු කළ භූමි පරික්ෂාව අතරතුර හෙතම රැගෙන ආ ලෝහ අනාවරකය බලාපොරොත්තු සහගත “බීප්” හඬක් නිකුත් කළා.

“බීප්” හඬ නිකුත් වූ ප්‍රදේශය අසබඩ නිශ්චිත කැණීමක් සිදු කිරීමට මොහු එහිදී පියවර ගෙන තිබුණා. සූර්යයාලෝකයට නිරාවරණය වූ යම්කිසි වස්තුවක් දීප්තිමත්ව බබළන අයුරු සිය කැණීම සිදු කළ අවස්ථාවේ හෙතෙම දුටුවා. දීප්තිමත් වස්තුව නිරුපද්‍රිතව ගොඩ ගැනීමට අවැසි නම් ප්‍රවේසම් සහගත කැණීමක් සිදු කළ යුතු බව එකී ගවේෂකයා ක්ෂණිකව තීරණයකට එළඹ සිටියා. මිලක් නියම කිරීමට අපහසු රන් කැබැල්ලක් තමාට හසු වූ බව ඔහුට පසුව වැටහුණා.

ආධුනික ගවේෂකයා උපකල්පනය කළ ප්‍රමාණයට සාපේක්ෂ විශාල වර්ගඵලයකට එකී රන් කැබැල්ල හිමිකම් කීවා. කැණීම අවසානයේ සිදුකළ පරීක්ෂාවෙන් අඟල් 10¾ ක උසකුත් අඟල් 7¼ ක පළලකුත් එකී රන් කැබැල්ලට හිමි ව තිබූ බව හෙළි කළා. බූට් සපත්තුවක හැඩැය ගත් එම රත්‍රන් කැබැල්ල රාත්තල් 26 කට මඳක් වැඩි බරකින් සමන්විත වූ බව එකී ආධුනික ගවේෂකයාට නිරීක්ෂණය වී තිබුණා.

“Boot of Cortez” යන අනුවර්ථ නාමය මෙම රන් කුට්ටියට ලබා දී තිබුණා. බටහිර අර්ධගෝලයට අයත් මෙක්සිකානු භූමිය මෙම විශාල රන් කැබැල්ලට නිසියාකාර හව්හරණක් සපයා දී තිබුණා. Boot of Cortez සොයාගත් ආධුනික ගවේෂකයා ඩොලර් 30,000 ක මුදලකට එය අලෙවි කොට තිබුණා. 2008 වසරේ පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 1,553,500 ක ලංසුවකට Boot of Cortez රන් කුට්ටිය අලෙවි වූවා.

02). ඇන්ග්ලෝ – සැක්සන් වැසියන්ගේ Staffordshire Hoard
මධ්‍යකාලීන එංගලන්තයේ ආධිපත්‍යය හිමිකර ගැනීමට ඇන්ග්ලෝ – සැක්සන් රාජධානි ( ක්‍රි.ව. 410 රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු බ්‍රිතාන්‍යයට ගමන් කළ උතුරු යුරෝපා සංක්‍රමණිකයන්ගෙන් සැදුම්ලත් පිරිස් )සටන් වැද තිබුණා. ඒ මෙයට වසර 1,500 කට පෙරාතුව යි. මෙලෙස සටන් වැදි බලසම්පන්න ඇන්ග්ලෝ – සැක්සන් රාජධානි මර්සියා යනුවෙන් හැඳින්වූවා. වර්තමාන මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශය පුරා සිය බලය ව්‍යාප්ත කිරීමට මෙම මර්සියා රාජධානි කටයුතු යොදා තිබුණා.

2009 වසරේ එක් දවසක බ්‍රිතාන්‍ය ජාතිකයකු සිය ලෝහ අනාවරකයත් රැගෙන මර්සියා රාජධානියේ හදවත බඳුව පැවති ස්ටැෆර්ඩ්ෂයර් නගරය දෙසට පිය නැඟුවා.

මෙකී නගරය කේන්ද්‍රීය ගවේෂණ කර්තව්‍යයක් සිදුකිරීම හෙතෙම බලාපොරොත්තුව සිටි දෙය වූවා. “ Staffordshire Hoard ’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලොව විශාලත ම ඇන්ග්ලෝ – සැක්සන් ලෝහ භාණ්ඩ එකතුව හෙතෙම සිදුකළ ගවේෂණ ක්‍රියාවලිය අතරතුර සොයා ගැනුණා.

රනින් සහ රිදියෙන් නිමකළ වස්තූන් 4,000 කට අධික ප්‍රමාණයක් එකී භාණ්ඩ කුලකයට අයත් වූවා.

මනරම් ලෝහ භාණ්ඩ සියුම් ලෙස නිපදවීමට ඇන්ග්ලෝ – සැක්සන් වැසියන් දැක්වූ සහජ හැකියාව ඒවායින් සනාථ වූවා. පෙර රාජධානි සමයේ භාවිත කළ කඩු සහ හිස්වැසුම් ඇතුළු යුදමය ආයිත්තම් කිහිපයක් මෙකී ගවේෂණයෙන් සොයා ගත් ලෝහ භාණ්ඩ කාණ්ඩයට අන්තර්ගත වූවා.

රන් – රිදී සුසංයෝගයෙන් සැදුම්ලත් රජතමය හිස්වැස්ම මේ අතරින් වඩා කැපී පෙනුණු කෞතුකයක් වූවා. ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී මෙම ලෝහ භාණ්ඩ නිධිය මිහිදන් වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. දෙවිවරුන්ට පුද දුන් පූජනීය භාණ්ඩ කිහිපයක් මේ අතර පැවති බව පුරාවිද්‍යා ගවේෂකයන් පෙන්වා දුන්නා.

03). වයිකිංවරුන්ගේ Galloway Hoard
ස්කැන්ඩිනේවියාව නිජබිම කොටගත් වයිකිං මුහුදු කොල්ලකරුවන් උතුරු මුහුද හරහා බ්‍රිතාන්‍ය දූපත් වෙත ළඟා වී එම දූපත් මංකොල්ලකෑම සිදු කළා. 8 වන සියවස එම සිදුවීමට තුඩු දුන් කාලවකවානුව යි. මෙයින් ශතවර්ෂයක් ගෙවී ගිය කල ස්කොට්ලන්තය, එංගලන්තය සහ අයර්ලන්තය තුළ ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමට වයිකිංවරුන් කටයුතු යොදා තිබුණා. වයිකිං පෙළපතට අයත් රජවරුන් එංගලන්තය පාලනය කිරීම 11 වන සියවසේ දී සිදු කළ බවට සාධක හමු ව තිබෙනවා.

එක්සත් රාජධානි ඉතිහාසයට අයත් විශාලතම වයිකින් භාණ්ඩ එකතුව ගවේෂණයකින් සොයා ගැනීමට ඩෙරෙක් මැක්ලෙනන් නමැති ව්‍යාපාරිකයා සමත් වූවා. ක්‍රිස්තු වර්ෂ 900 දී මිහිදන් වන්නට ඇතැයි අනුමාන කරන මෙකී වයිකිං කෞතුක සමූහය 2014 වසරේ සැප්තැම්බර් මසකදී සොයා ගැනුණා.

ගැලෝවේ හෝර්ඩ් ( Galloway Hoard ) යන විරුදාවලිය ලත් මෙම අනගි නිධානය වයිකිං කාලවකවානුවට අයත් භාණ්ඩ 100 කින් සමන්විත වූවා. ඩෙරෙක් මැක්ලෙනන් නමැත්තා ස්කොට්ලන්ත භූමි අභ්‍යන්තරයේ සිදු කළ ගවේෂණයක දී මධ්‍යකාලීන යුගයට අයත් කාසි 300 ක් මීට ප්‍රථම අවධියක සොයා ගෙන තිබුණා.

මධ්‍යම ආසියාව කේන්ද්‍රීය ව නිර්මාණය වූ ලිනන් ගෙත්තමින් යුත් භාජනය ගැලෝවේ හෝර්ඩ්ට අයත් ව තිබූ විශාලත ම කෞතුකය බව පිළිගැනෙනවා. රිදියෙන් නිම කළ කුරුසියක සහ රන් පත්‍ර මෙන් ම පළිඟු ද අළලමින් සකස් කළ භාජනය ඩෙරෙක් මැක්ලෙනන් සිදුකළ ගවේෂණයේදී සොයා ගැනුණා.

04). මිලියන ගණනක් වටින රන්මය කුසලානය
ක්‍රිස්තු වර්ෂ1622 දී සැන්ටා මාගරිටා නමැති ස්පාඤ්ඤ වෙළෙඳ නෞකාව කී වෙස්ට් මුහුදු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශය අසල ප්‍රචණ්ඩ සුළි කුණාටුවකට හසු වී මුහුදුබත් වූවා. මෙම අවාසනාවන්ත ඉරණමට නෞකාව ගොදුරු වන විට එය තුළ සිටි 140 ක මඟී පිරිස ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් නෞකා අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වූවා. රන් – රිදී ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ බොහෝමයක් සැන්ටා මාගරිටා නෞකාව සමඟ මුහුදු පතුල ගැඹුරට කිඳා බැස තිබුණා.

ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියේ සාගර පතුළක මාගරිටා නෞකාව සමාදානයේ සැතපුණා. පුරා වසර 400 ක් සැඟව හුන් මෙකී නෞකාවේ කොටසක් 1980 වසරේ ෆ්ලොරිඩා වෙරළ තීරයට සැතපුම් 40 ක් ආසන්න මුහුදේ පාවෙමින් සිටියදී පර්යේෂණ සහ ගැලවීමේ කණ්ඩායමක් සොයාගෙන තිබුණා. ඩොලර් මිලියන 25 ක වටිනාකමකින් යුත් පෞරාණික වෙළෙඳ භාණ්ඩ තොගයක් එම අවස්ථාවේ සොයා ගැනුණා.

මෙයින් විසිඅට වසරකට පසු එනම් 2008 වසරේ එවකට 20 හැවිරිදි ව සිටි මයික් ඩිමාර් නමැති නිදන් කිමිදුම්කරුවා සැන්ටා මාගරිටා නෞකාව මුහුදු බත් වූ සාගර ප්‍රදේශය පරිලෝකනය කළ අවස්ථාවක පුරාණ බීර බඳුනක හැඩය ගත් යමක් සොයා ගත්තා.

බීර කෑනයක යැයි සිතූ වස්තුව පිරිසුදු කළ අවසානයේ පන්දුවක වට ප්‍රමාණයකින් යුත් රන්මය කුසලානක් ඔහුගේ නෙත ගැටුණා. ඩොලර් මිලියනයකට මඳක් වැඩි වටිනාකමක් එකී කුසලානයට උරුම වූවා.

05). වසර 3,600 ක් පැරණි රන්මය කුසලානය
ක්ලිෆ් බ්‍රැඩ්ෂෝ නම් විදුලි කාර්මික ශිල්පියා මහා බ්‍රිතාන්‍යයේ නැගෙනහිර කෙන්ට් හි තම තිරිඟු කෙතක භූමි පරික්ෂාව සිදු කිරීමට උත්සුක වූවා. පෞරාණික නිදන් වස්තු ගවේෂණය හෙතෙම ප්‍රියකළ විනෝදාංශයක් වූවා. බ්‍රැඩ්ෂෝ රැගෙන ආ ලෝහ අනාවරකය (Metal Detector) තිරිඟු කෙතට අයත් එක්තරා භූමි භාගයකදී “බීප්” හඬ නිකුත් කළා.

තිරිඟු කෙත අවට සිදුකළ කැණීමෙන් පුරාණ යුගයකට අයත් රන්මය කෝප්පයක් එකී විදුලි කාර්මිකයා සොයාගෙන තිබුණා. ගොවි නඟුලකට හසුව තැලී ගිය ස්වරූපයකට සමාන රන් කෝප්පයක හෙතෙම සිය නිවහනට රැගෙන ආවා. නිවසට පැමිණ පුරාවිද්‍යා පොත් කිහිපයක් පිරිස්සූ ක්ලිෆ් බ්‍රැඩ්ෂෝ තමා සොයාගත් දෙයින් අතිශය විමතියට පත් වූවා. ක්‍රිස්තු පූර්ව 3300 සිට ක්‍රිස්තු පූර්ව 1200 දක්වා පැවති ඓතිහාසික ලෝකඩ අවධිය තුළ නිපදවූ රිලැටන් කුසලානය හෙතෙම සිය කැණීමෙන් සොයාගෙන තිබුණා.

කෙන්ට්හි ප්‍රදේශයේ තිරිඟු කෙතක තිබී සොයා ගත් රන් කුසලානය ලෝකඩ යුගයේ නිම කළ රන් භාණ්ඩ කිහිපය අතරින් එකක් වූ බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් සිදුකළ පරීක්ෂාවකින් තහවුරු වුණා. Ringlemere යන අනුවර්ත නාමයෙන් මෙකී කුසලානය හඳුන්වනවා. Ringlemere සොයා ගැණුන භූමිය අයත් ඉඩම් හිමියාට ඩොලර් 520,000 ක ත්‍යාගය මුදලක් හිමිවූ බවත් සඳහන් වනවා.

06). රජ කිරුළකට අයත් වූ රූපය
ලෝහ අනාවරක භාවිතයෙන් ඉපැරණි කෞතුක භාණ්ඩ සොයා ගැනීමට කෙවින් ඩකට් නැමති පුද්ගලයා සැබෑ උද්යෝගයක් දක්වා තිබුණා. මහා බ්‍රිතාන්‍යයේ නෝත්හැම්ප්ටන්ෂයර්හි පොකුණක් අසල දී අද්විතීය ගණයේ සොයාගැනීමක් සිදු කිරීමට 2017 වසරේ එක් ගිම්හාන සෘතුවකදී මොහුට හැකි වූවා.

අපිරිසුදු මඩ අතරේ සැඟව තිබූ ඇලුමිනියම් තීරු කැබැල්ලක් වැනි දෙයක් ඔහුට නිරීක්ෂණය වූයේ සිය ලෝහ අනාවරකය නැංවූ “බීප්” හඬත් සමඟ යි. විචක්ෂණශීලී මනසකින් නිරීක්ෂණය කළ විගස යෂ්ටියක් සහ කුරුසයක් අතැති කිසියම් රජකුගේ රන්මය රූපකායක් එකී ලෝහ කැබැල්ල තුළ වූවා. මෙකී රජතමය රූපකාය අඟල් 2.5 ට නොඅඩු උසකින් යුක්ත වූවා.

කුතුහලයට පත් ඩකට් සිය නිවසට පැමිණි විගස මෙම රන්මය ප්‍රතිමාව කුමක්දැයි සොයාගැනීමට විමසිලිමත් වූවා. 16 වැනි සියවසේ වාසය කළ මහා බ්‍රිතාන්‍යයේ රජකු වූ VIII හෙන්රි පැළඳ සිටි ඔටුන්නක කොටසක් සිය ගවේෂණයේ දී සොයා ගත් බව ඔහුට පසක් වූවා.

රාජාණ්ඩු විරෝධී විප්ලවවාදියකු ලෙස කටයුතු කළ ඔලිවර් ක්‍රොම්වෙල්ගේ නියෝගය මත ක්‍රිස්තු වර්ෂ 1649 දී එකී ඔටුන්න විනාශයට පත් වූවා. මෙකී ඔටුන්න විනාශ වීමට ප්‍රථම එම රජතමය රූපකාය කොතැනක හෝ අතුරුදන් වූ බවට යම් විශ්වාසයක් පැවතියා.

හැම්ප්ටන් මාලිගයේ දිවිගෙවූ VIII හෙන්රි රජුගේ ඔටුනු කොටස ඓතිහාසික වැදගත්කමක් උසුලන වස්තුවක් බවත් පවුම් මිලියන 2 කට වඩා වැඩි වටිනාකමකට එය මිල කළ හැකි බවත් පුරාවිද්‍යාඥයන් පවසා සිටියා.

07). නව යොවුන් දැරියක් සිදු කළ සොයාගැනීම
මිලී හාඩ්වික් නමැති දහතුන් හැවිරිදි දැරියක් 2021 වසරේ අවසන් කාර්තුවකට අයත් එක දවසක අපූර්ව සොයාගැනීමක් ගවේෂණමය කටයුත්තක දී සිදුකොට තිබුණා. මහා බ්‍රිතාන්‍යය රොයිස්ටන් අසල පිට්ටනි ප්‍රදේශයක ඇය එම සොයාගැනීම සිදු කළා. සිය පියාගේ ගවේෂණ කටයුත්තකට උපකාර කිරීමට පැමිණි මැය තමා රැගෙන ආ ලෝහ අනාවරකය එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළා. බිම් පරීක්ෂාව සිදු කර ගෙන යන අතරවාරයේ ඇගේ ලෝහ අනාවරකය එයට ම ආවේණික “බීප්” හඬ නංවා තිබුණා.

පැරණි එංගලන්තය නිපදවූ ලෝහ අසිපතක කොටස් මිලී හාඩ්වික් දැරිය සොයාගෙන තිබුණා. මෙකී අසිපත ක්‍රිස්තු පූර්ව 2300 දී පමණ නිපදවන්නට ඇතැයි බ්‍රිතාන්‍යය පුරාවිද්‍යාඥයන් අනුමාන කළා. මිලී සහ ඇගේ පියා එක් ව සිදුකළ ගවේෂණය තවත් පෞරාණික වස්තු 65 ක් සොයා ගැනීමට ඔවුනට උපකාරී වූවා.

Script - Roar.media

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන්වගෙ බැංකුවලෝකයේ සිදු වෙන නීති විරෝධී ජාවාරම් අතින් ඉදිරියෙන්ම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවට කි...
19/03/2024

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන්වගෙ බැංකුව

ලෝකයේ සිදු වෙන නීති විරෝධී ජාවාරම් අතින් ඉදිරියෙන්ම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම බවට කිසිදු සැකයක් නැහැ. විවිධ ඇස්තමේන්තු අනුව ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරම වාර්ෂිකව ඩොලර් බිලියන 400කට වැඩි ආදායමක් ජනිත කරන මාර්ගයක්. තුන් වන ලෝකය ප්‍රමුඛ රටවල් ගණනාවක දේශපාලනඥයන්ගේ සහය ද ලබමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාල ඕන තරම්.

කොහොම නමුත් වාර්ෂිකව හුවමාරු වටිනාකම අතින් ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවෙතැ යි සැලකෙන්නේ ඇමරිකා මෙක්සිකෝ දේශ සීමාව අතර යි. වාර්ෂිකව එසේ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරමේ වටිනාකම ඩොලර් බිලියන 45කට අධික බව කියවෙනවා. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ධනවත් ඇමරිකානුවන්ට මත්ද්‍රව්‍ය සැපයීමෙන් මධ්‍යම ඇමරිකානු දුප්පත් රටවලට අධික ලාභ ලබන්න තිබෙන හැකියාව යි. නමුත් ඇමරිකානු ඩොලර් කියන්නේ ලෝකයේ ජාවාරම් කරන්න අපහසුම මුදල් ඒකකයක්. ඇමරිකානු බැංකු පද්ධතියට ලෝකයේ ඕනෑම තැනක ඇමරිකානු ඩොලර් ප්‍රේෂණයක් හඳුනාගන්න හැකියාව තියෙනවා.

මේ ගැටලුවට අපූරු විසඳුමක් හොයා ගන්න ඔවුන් කටයුතු කරපු හැටි ගැන මෑතක දී හෙළිදරව් වුණා. ඒ තමයි ලෝකයේ ප්‍රධානතම බැංකුවක් වන HSBC බැංකුව යොදා ගැනීම. ඔවුන් මෙයට නොදුටු ඇස්ව, නැසූ කන්ව සිටි අයුරු මෑතක දී අතටම හසු වුවත් අවසානයේ වැඩි හානියක් නැතිව බේරී යන්න සමත් වුණා.

-මත්ද්‍රව්‍ය ජාවාරම පහසු ද?-

මත්ද්‍රව්‍ය ජාවාරම ගැනත්, එය වළක්වන්න ඍජු පියවර නොගැනීම ගැනත් තිබෙන සමාජ විරෝධය ලොව ආණ්ඩු වෙනස් කරන්න තරම් ප්‍රබල කාරණාවක්. 2016 පිලිපීන ජනාධිපතිවරණය රොද්‍රිගෝ ඩුටාර්ටේ ජය ගන්නටත්, 2016 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගන්නට එක් ප්‍රධාන හේතුවක් වුණේ ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි පියවර ගන්න පොරොන්දු වීම යි. අනෙක් අතින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හම්බ කරන සුවිසල් මුදල් ශක්තිය රාජ්‍ය බලය ලබා ගැනීමට උදව්වක් කරගන්නා දේශපාලඥයන් ගැනත් තොරතුරු බොහෝම යි.

මත්ද්‍රව්‍ය ජාවාරම කිව්වාම බොහෝ දෙනෙකුට හිතෙන්නේ හොර රහසේ මත්ද්‍රව්‍ය ගෙන යෑම සහ අලෙවි කිරීම විතර යි. ඉදිරි ගමන් සැපයුම් ක්‍රියාවලිය (forward supply chain) කියලා සලකන්න පුළුවන් මෙයට හැකි තරම් බාධක දමන්න බොහෝ රටවල් කටයුතු කරනවා. ඕනෑම රටක් තමන්ගේ දේශ සීමාවලදීත්, රටට ඇතුළු වන වරාය හෝ ගුවන් තොටුපළවලදීත්, මුහුදු සීමාවලදීත් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් දේ රටට ඇතුළු වීම වළක්වන්නට පියවර ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ඒවායේ පාරිභෝගිකයන් වෙත යැවීමත් පහසු කාරණාවක් නෙවෙයි. නමුත් ඒවායින් කෙසේ හෝ රිංගා මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන්ගේ සිට පාරිභෝගිකයන් වෙත යවන්න විවිධ ක්‍රම රාශියක් උපයෝගී කරගන්නා සංකීර්ණ සැපයුම් ජාල ඇති තරම් බිහි වී තිබෙනවා.

කොහොම නමුත් ඒ මුදල් ආපසු ලබා ගැනීමත් හිතන තරම් ලේසි නැහැ. මත්ද්‍රව්‍ය මැඩලන්න කරන උත්සාහයන්වල දී බොහෝ දෙනා එතරම් නොසලකා හරින කාරණාව තමයි මේ විදිහට මත්ද්‍රව්‍ය සැපයීමෙන් ලබා ගන්නා මුදල් ආපසු ජාවාරම්කරුවන් කරා ගෙන යන පසුගමන් සැපයුම් ක්‍රියාවලිය (backward supply chain). මත්ද්‍රව්‍යවල අධික වෙළඳපොළ වටිනාකම නිසාම ලොව පවතින බොහෝ රටවල ඒවායේ මුදල් ඒකකවලින් ගත්තොත් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් නෝට්ටු අවකාශයේ ලබා ගන්නා ඉඩකඩත්, ඇතැම් අවස්ථාවල ඒවායේ බරත් මත්ද්‍රව්‍යවලට වඩා වැඩි යි.

-මුදල් ආපසු ලබා ගන්න තිබෙන අපහසුතා-

සරල උදාහරණයක් විදිහට හෙරොයින් සලකමු. ශ්‍රී ලංකාවේ කළු කඩ වෙළඳපොළ තුළ හෙරොයින් අලෙවි වෙන්නේ කිලෝවක් රුපියල් ලක්ෂ 80ක පමණ මුදලකට යි. ප්‍රමාණයෙන් මෙය සීනි කිලෝවක ප්‍රමාණයට වඩා වැඩි වෙනසක් නැහැ. නමුත් වැඩිම වටිනාකම ඇති රුපියල් නෝට්ටුව වන 5000 නෝට්ටුවලින් ගත්තත් ඒ සඳහා නෝට්ටු 1600ක් පමණ අවශ්‍ය වෙනවා. එහි පරිමාව වගේම බරත් හෙරොයින් කිලෝවකට වඩා වැඩි යි. (නෝට්ටුවක් මිලිග්‍රෑම් 900යි) ඇමරිකානු ඩොලර් සැලකුවොත් ඩොලර් නෝට්ටු සියල්ල ප්‍රමාණයෙන් සහ බරින් රුපියල් 5000 නොට්ටුවට බොහෝ දුරට සමාන යි. කොහොම නමුත් බාධක ඉහළ ඇමරිකානු කළු කඩ වෙළඳපොළ තුළ හෙරෝයින් කිලෝවක මිල ඩොලර් 150,000ක් පමණ වෙනවා. (මෙය රුපියල්වලින් මෙරට මිලට වඩා කිහිප ගුණයක් ඉහළයි) මේ නිසා හෙරොයින් කිලෝවක් සඳහා වැඩිම වටිනාකම ඇති ඩොලර් නෝට්ටුව වන 100 නෝට්ටු 1500ක් අවශ්‍ය යි. එහිත් බර සහ ප්‍රමාණය හෙරොයින්වලට වඩා වැඩි යි.

නමුත් බොහෝ විට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් එකතු වන්නේ කුඩා මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක්. ඒවායේ ප්‍රමාණය සහ බර වැඩිම වටිනාකමක් මුදල් නෝට්ටු වගේ කිහිප ගුණයක්. මේ නිසා යමෙක් හෙරොයින් යම් ප්‍රමාණයක් ජාවාරම් කරන්න ගෙන ගියොත් ඊට වඩා බරින් වගේම ප්‍රමාණයෙනුත් බොහොම විශාල මුදල් මල්ලක් රැගෙන එන්න සිදු වීම තමයි යතාර්ථය වෙන්නේ. වෙනත් මත්ද්‍රව්‍යවල තත්ත්වයත් මීට වඩා වැඩි වෙනසක් නැහැ.

මේ නිසා රටකින් රටකට මුදල් යවන්න තියෙන එකම සාර්ථක විසඳුම වෙන්නේ බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනයක තැන්පත් කර ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණ ක්‍රමයක් යොදා ගැනීම හෝ වෙනත් භාණ්ඩ මිලට ගෙන ගොස් විකුණා මුදල් කිරීම යි. නමුත් එහිදී ගණුදෙනු ගැන සැක මතු වෙන්නටත්, නීතියේ රැහැනට හසු වෙන්නටත් තියෙන ඉඩකඩ ඉතා ඉහළ යි.

-ඇමරිකානු – මෙක්සිකානු දේශ සීමාවේ තත්ත්වය-

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර තියෙන්නේ ලොව විශාලතම දේශ සීමාවලින් එකක්. කිලෝමීටර් දහස් ගණනක් දිගු මේ දේශ සීමාව හරහා දිනපතා මත්ද්‍රව්‍ය ටොන් ගණනින් ඇමරිකාවට ඇතුළු වෙනවා. ගොඩබිමෙන්, ජල ප්‍රදේශ මතින්, කැලෑ ප්‍රදේශ හරහා වගේම උමං මඟින් සහ ගුවන් යානා මඟිනුත් මේ මත්ද්‍රව්‍ය ගෙන යාමේ ජාලයන් නිර්මාණය වී තිබෙනවා. කෙසේ නමුත් දේශ සීමාව හරහා වාහන ගමනාගමනය සිදු වන මුර කපොලු හරහාත් මත්ද්‍රව්‍ය සංසරණය වීමේ ප්‍රවණතාව ඉතාම ඉහළ යි.

මේ නිසා මෙක්සිකෝවේ සිට ඇමරිකාවට ඇතුළු වෙන්න උත්සාහ ගන්න ඕනෑම වාහනයක් දැඩි සේ පරීක්ෂාවට ලක් කරන්න ඇමරිකානු රේගු අංශ කටයුතු කරනවා. බොහෝ වාහනවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න විවිධ ස්ථානවල සාදා තිබිය හැකි රහස් කුටීර තිබෙනවාදැ යි පරීක්ෂා කිරීම, මත්ද්‍රව්‍ය සුවඳින් හඳුනාගැනීමට පුහුණු කර ඇති සුනඛයන් යොදා ගැනීම, ඇමරිකාවට පැමිණීමේ අවශ්‍යතාව ගැන විමසා බැලීම ආදිය මීට අයත්. මේ නිසා දේශ සීමාවේ මුර කපොලු හරහා මෙක්සිකෝවේ සිට ඇමරිකාවට මත්ද්‍රව්‍ය ගෙන යන එක දැනටමත් අතිශයින්ම අපහසු කටයුත්තක්.

කොහොම වුණත් ඇමරිකාවේ සිට මෙක්සිකෝවට යමක් ගෙන යන්න තිබෙන බාධාව නම් ඉතාම අවම යි. බොහෝ විට ඇමරිකාවේ සිට මෙක්සිකෝවට ඇතුළු වන වාහන ඒ තරම් පරීක්ෂා කරන්නටවත් මෙක්සිකානු රේගු අංශ කටයුතු කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය මෙක්සිකෝවට ගෙන ඒමේ වැඩි අවශ්‍යතාවක් නැතැයි සිතීම මෙයට හේතුව ලෙස සැලකෙනවා.

නමුත් මේ අඩුපාඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කරන්නේ ජාවාරම්වලින් උපයන ලද ඩොලර් නෝට්ටු මළු පිටින් මෙක්සිකෝවට ගෙන ඒමෙන්.

-කළු සල්ලි සුදු කරන්න උදව් වුණු HSBC බැංකුව-

ඇමරිකාව තුළ දී මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ලැබෙන ඩොලර් 20, 50 ආදී නෝට්ටු රැසක් සහිත මුදල් මළු ඒ රටේදීම බැංකු ගත කිරීම සැක මතු විය හැකි කාරණාවක් බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හොඳින් දැන සිටියා. මේ නිසා ඔවුන් කාලයක් පුරාවටම කළේ ඒවා විශාල මළු ලෙස සකස් කර දේශ සීමාව හරහා මෙක්සිකෝවට ගෙන ඒම යි.

මෙක්සිකානු බැංකු සමහරෙක ප්‍රධානතම ගිණුම් හිමි වැඩි දෙනෙක් කුමන ආකාරයකින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයයැ යි කීම අතිශයෝක්තියක් නෙවෙයි. මළු පිටින් ගෙන එන ඩොලර් නෝට්ටු මේ වගේ දූෂිත බැංකු ආයතනවල තැන්පත් කරන්නට ජාවාරම්කරුවන් කටයුතු කළා. කොහොම නමුත් මෙක්සිකානු බැංකුවල හැටි ගැන හොඳින් දැන සිටි ඇමරිකානු මුදල් ක්ෂේත්‍රය ඒ වගේ බැංකු හරහා ප්‍රේෂණය වන මුදල් ගැන හොඳ සෙවිල්ලකින් හිටියේ. ඒ නිසා ඒ මුදල්වල සැබෑ වටිනාකම ගන්න ජාවාරම්කරුවන්ට ඉඩකඩක් ලැබුණේ නැහැ.

නමුත් ඔවුන්ට නොහිතන වාසියක් ලැබුණේ ඒ වගේ එක බැංකුවක් වූ Bital නැමැති මෙක්සිකානු බැංකුව 2002 දී මිලට අරගන්නට HSBC මෙක්සිකානු මූලස්ථානය කටයුතු කිරීමත් එක්ක යි. ඒ වන විටත් Bitalහි තිබූ ගිණුම් සේරම මේ අනුව HSBC සතු වෙනවා වගේම HSBCහි ගෝලීය සම්ප්‍රේෂණ කටයුතුවල කොටස්කරුවෙක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක ගිණුම් සියල්ල ගැන පර්යේෂණයක් කිරීම සාමාන්‍ය ප්‍රවණතාව වුණත් HSBC බැංකුව එය කරන්න උනන්දු වුණේ නැහැ.

එපමණක් නෙවෙයි, HSBC ගෝලීය වශයෙන් ව්‍යාප්තව තිබෙන, විශ්වාසදායී යැයි සැලකෙන බැංකුවක් නිසා ඒ හරහා සිදු වන ප්‍රේෂණ ගැන ඇමරිකානු මූල්‍ය අංශ අනෙකුත් මෙක්සිකානු බැංකු තරමට තදින් ක්‍රියා කළෙත් නැහැ. ඒ නිසා මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලැබෙන මුදල් ඉතාම පහසුවෙන් භාවිතයට ගන්න ජාවාරම්කරුවන්ට හැකියාව ලැබුණා. මේ නිසා මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාගේත් ජනප්‍රියතම බැංකුව බවට HSBC පත් වුණු බවත් කියවෙනවා.

-රෙගුලාසි හිතාමතාම පැහැර හැරීම සහ ජාවාරම්වලට ඉඩ දීම-

බැංකු ක්ෂේත්‍රය තුළ දී සැකසහිත ගිණුම් ගැනත්, සැකසහිත ගණුදෙනුකරුවන් සහ ගණුදෙනු ගැනත් සොයා බලන්න ස්වයංක්‍රීය යාන්ත්‍රණයන් බොහොමයක් සකස් කර තිබෙනවා. බැංකුව හරහා සිදු වන සියලුම ගණුදෙනු ගැන විමසිල්ලෙන් ඉන්නටත්, විවිධ නිර්ණායක භාවිතයෙන් සැකසහිත යැයි සැලකෙන අවස්ථා ගැන අනතුරු හඟවන්නටත් සංකීර්ණ මෘදුකාංග පද්ධති ක්‍රියාත්මකව පවතිනවා. මේ හරහා කළ දැනුම්දීම් ගණනාවක් ගැන නොසලකා හරින්න HSBC මෙක්සිකානු මූලස්ථානය කටයුතු කර තිබෙන බව ඇමරිකානු සෙනට් සභාව 2012 දී කළ පර්යේෂණයකින් පැහැදිලිවම හෙළිදරව් වුණා. ඒ විදිහට විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇමරිකානු මූල්‍ය ක්ෂේත්‍රය හරහා කළ ජාවාරම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 881ක්.

එපමණක් නෙවෙයි, ඒ වන විට ඉරානය ඇතුළු ඇමරිකානු සම්බාධක තිබූ රටවල් එක්ක ගණුදෙනු කිරීමේදීත් රෙගුලාසි පැහැර හැර ඇති බව හෙළි වුණා. මේ හරහා ලෝකය පුරා ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් යැවීමට පවා ඔවුන් වක්‍රාකාරව අනුබල දී තිබෙන බව පැවසුණා. HSBC එක හරහා එසේ හුවමාරු වූ මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 660ක්. මීට අමතරව HSBC බැංකුව හරහා ප්‍රේෂණය වූ තවත් ඩොලර් බිලියන 670ක් පිළිබඳව නිසි විමසිල්ලකින් කටයුතු කර නැති බවත්, ඔවුන්ගේ මෙක්සිකානු ඒකකයෙන් එකතුව ඩොලර් බිලියන 9.4ක් වූ නෝට්ටු ලබා ගැනීමේදී ඇමරිකාව තුළ පවතින රෙගුලාසි අනුව කටයුතු කර නැති බවත් හෙළිදරව් වුණා.

අතිශයින්ම බරපතල චෝදනා වූ මේ කිසිවක් ප්‍රතික්ෂේප කරන්නට HSBC බැංකුවට හැකි වුණේ නැහැ. සියලු දෙනාම පාහේ අපේක්ෂා කළේ ඒ වෙනුවෙන් HSBC වෙත දැඩි දඬුවම් ලබා දෙනු ඇති බව යි. HSBC බැංකුව ඇමරිකාවෙන් නෙරපනු අත් බවටත් කතාබහ ඇති වුණා.

-දැලෙන් බේරී ගිය හැටි-

කොහොම වුණත් බොහෝ අවස්ථාවල වගේම මෙහිදීත් නියමාකාර ලෙස නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඇමරිකානු නීති අංශ සමග “විශේෂ යුක්තිය පසිඳලීමේ එකඟතාවකට” එන්නට HSBC ආයතනය කටයුතු කළා. ඒ යටතේ තමන්ගේ මෙක්සිකානු බැංකුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කටයුතු පිළිබඳ ලැබුණු අනතුරු හැඟවීම් ගැන නොසලකා හැරිම පිළිබඳවත්, ඉරානය වැනි රටවල් සමග ගණුදෙනුවල දී සම්බාධක අනුව ඒවා සිදු වෙන්න නියමිත විධි විධාන වෙනස් කිරීම පිළිබඳවත් වරද පිළිගන්න කටයුතු කළ HSBC බැංකුව මෙක්සිකානු HSBC බැංකුවේ ප්‍රධාන විධායක සැන්ඩි ෆ්ලොක්හාට්ව අනිවාර්ය විශ්‍රාම යවන්නටත් කටයුතු කළා. මීට අමතරව දඩ මුදල් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක වන්දි මුදලක් ගෙවන්නටත් ඔවුන් කටයුතු කළා. මෙවැනි දේ යළි සිදු නොවන ලෙස ඩොලර් මිලියන 290ක මුදලක් වැය කර තම බැංකු පද්ධතිය අලුත් වැඩියා කරන්නත් ඔවුන් පොරොන්දු වුණා.

කොහොම වුණත් HSBC බැංකුව සිදු කළ නොමනා ක්‍රියාවට ලබා දුන් දඬුවම ඉතාම ලිහිල් බවයි බොහෝ දෙනෙක් පෙන්වා දුන්නේ. ඩොලර් බිලියන 1.9ක් යනු අති විශාල මුදලක් වුවත් එය HSBC වැනි සුවිසල් බැංකුවකට සති කිහිපයක් තුළ ලාභයෙන්ම උපයා ගත හැකි බවත්, සියල්ල බැංකුවේ ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම යටතේ සිදු වූ බවට සාක්ෂි තිබිය දී ඔවුන් කිසිවෙක් නීතිය හමුවට ගෙන එන්නට කටයුතු නොකළ බවත් විශේෂඥයන් කිහිප දෙනෙකුම පෙන්වා දුන්නා.

අවසානයේ ප්‍රතිඵලය වී ඇත්තේ HSBC බැංකුවේ විශාලත්වය සහ එහි පැතිරීම නිසා එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම මූල්‍ය ක්ෂේත්‍රයට අවාසියක් ලෙස සලකා නීතිය ලිහිල් කරන්නට ඇමරිකාව කටයුතු කළ බවයි. ලොකු ලොක්කන්ට ක්‍රියාත්මක වෙන්නේ වෙනම නීතියක් බව හොඳින්ම පෙන්වා දෙන අවස්ථාවක් ලෙසත් මෙය සලකන්න පුළුවන්. අවසානයේ එළිපිටම නීතිය පැහැර හැර, සදාචාරයට පටහැනි කටයුතුවලින් අධික ලාභයක් ලබා, නීතියෙනුත් රිංගා යන්නට HSBC බැංකුවට හැකි වුණා.

කියුබානු විප්ලවයේ ජයග්‍රහණයමොන්කාඩා  බැරක්කයට එල්ල කළ අසාර්ථක ප්‍රහාරයත් සමග​ බොහෝ විප්ලවකරුවන් ප්‍රමාණයක් මරා දමන අතර ප...
15/03/2024

කියුබානු විප්ලවයේ ජයග්‍රහණය

මොන්කාඩා බැරක්කයට එල්ල කළ අසාර්ථක ප්‍රහාරයත් සමග​ බොහෝ විප්ලවකරුවන් ප්‍රමාණයක් මරා දමන අතර පසුව අසු වූ කැස්ත්‍රෝ සහෝදරයන් දෙදෙනා හා අනෙකුත් නායකයන් වසර ගණනාවකට සිර ගත කිරීමට අධිකරණය විසින් තීරණය කරනවා. ඒ පිළිබඳව තොරතුරු පසුගිය ලිපියෙන් ගෙන ආ අතර අද දිග හැරෙන්නේ හිරෙන් නිදහස්ව මෙක්සිකෝවට පිටුවහල් කරන කැස්ත්‍රෝ ඇතුළු පිරිස නැවතත් හොර රහසේ කියුබාවට පැමිණ සන්නද්ධ අරගලයක් තුළින් බැටිස්ටා පාලනය පරාජය කර කියුබානු විප්ලවය ජයගත් ආකාරය පිළිබඳවයි.

-මෙක්සිකෝවට පිටුවහල් කිරීම-

කැස්ත්‍රෝ හා ජූලි 26 ව්‍යාපාරයේ ඉහළ පෙළේ නායකන් පිරිස ඊස්ල ද පීනස් (Isla de Pinos) නම් කියුබානු දූපතේ රදවා තබන්නේ මොන්කාඩා ප්‍රහාරයේ වැරදිකරුවන් බවට පත්කර වසර ගණනක සිර දඬුවමකට යටත් කිරීමෙන් පසුවයි.ඉන් පසුව කියුබාව තුළ කොමියුනිස්ට් දේශපාලන ව්‍යාපාර වල යෙදීම තහනම් කිරීමට ද බැටිස්ටා විසින් තීරණය කරනවා.

දිගින් දිගටම එල්ල වන දේශපාලන බලපෑම් හමුවේ මෙන්ම ජනතා විරෝධතාවය හේතුවෙන් විප්ලවකරුවන් නිදහස් කිරීමට කියුබානු ජනාධිපති බැටිස්ටාට සිදුවෙන අතර ඔහු කැස්ත්‍රෝ ඇතුළු පිරිස නිදහස් කර මෙක්සිකෝවට පිටුවහල් කිරීමට තීරණය කරනවා.

ඒ අනුව 1955 වසරේ මැයි මාසයේදී කස්ත්‍රෝ ඇතුළු පිරිස මෙක්සිකෝවට පිටුවහල් කිරීම සිදු වෙනවා.

-“ජූලි 26 ව්‍යාපාරය” සංවිධානයේ භටයන් ගරිල්ලා පුහුණුව ලැබීම-

මෙක්සිකෝවට පිටුවහල් කිරීමෙන් පසු බැටිස්ටා පරාජය කිරීම සඳහා ෆිදෙල් හා රාවුල් එක්ව කරන ලද සොයාබැලීම් හේතුවෙන් එහිදී හොර රහසේ ගරිල්ලා භට පුහුණුව ලබා ගන්නට මෙම පිරිසට හැකියාව ලැබෙනවා. ඒ ඇල්බෙර්ටෝ බේයා (Alberto Bayo) නම් ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී සටන් කළ රිපබ්ලිකන් පාර්ශවයේ යුධ නායකයෙක් හරහායි.

ඔවුන්ට 1955 වසරේ ජූනි මාසයේදී විප්ලවීය අදහස් ඇති තරුණයෙක් වූ අර්නෙස්ටෝ ගුවේරා (Ernesto Guevara) හෙවත් චේ මුණ ගැසෙන අතර ඔහු ෆිදෙල්ගේ ප්‍රධාන උපදේශකයා බවට පත්වන්නේ මේ අතරවාරයේදියි. එහිදී කියුබාවට ගොස් බැටිස්ටා පාලනය බිද දැමීමට සැළසුම් සකස් වෙන අතර මෙම කණ්ඩායම “ජූලි 26 ව්‍යාපාරය” ලෙස නම් කරන්නට ෆිදෙල් විසින් තීරණය කරන්නේ ඔවුන්ගේ පළමු ප්‍රහාරය සිහි නැංවීම උදෙසායි.

-කියුබාව බලා …-

මෙලෙස සංවිධානය වන ෆිදෙල්, රාවුල්, චේ හා කැමිලෝ සියෙන්ෆුවේගොස් ආදී ගරිල්ලා නායකන්ගේ ප්‍රධානත්වයෙන් විප්ලවවාදීන් කණ්ඩායමක් 1956 නොවැම්බර් 25 වන දා මෙක්සිකෝවේ වෙරකෘස් (Veracruz) සිට කියුබාව බලා ග්‍රැන්මා (Granma) නම් සැහැල්ලු බෝට්ටුවේ නැගී පිටත් වුණා. එය සාමාන්‍යයෙන් 12 දෙනෙකුට ගමන් කළ හැකි බෝට්ටුවක් වූ අතර උපරිමය වූයේ මගීන් 25 දෙනෙක් පමණයි. නමුත් මෙහි නැගී කියුබාව බලා ඒමට පිටත් වූ විප්ලවවාදීන් ප්‍රමාණය 81ක් විය. ඊට හේතුව වූයේ ප්‍රමාණවත් තරම් විශාලවත් නෞකාවක් හෝ බෝට්ටුවක් මිල දී ගැනීමට ජුලි 26 ව්‍යාපාරය සතුව අරමුදල් නොතිබීමයි.

දෙසැම්බර් 2 වනදා වන විට කියුබාවේ ප්ලයා ලස් කොලරාඩස් (Playa Las Coloradas) වෙත බෝට්ටුව ළඟා වූ අතර එහි තිබූ අධික බර නිසා ඔවුන්ට පැමිණීමට අපේක්ෂිත කාලයට වඩා දින දෙකක අමතර කාලයක් ගමන සඳහා ගත වෙනවා. ගොඩ බැස විගසම සියේරා මැඑස්ට්‍රා (Sierra Maestra) කඳු ප්‍රදේශයට ගොස් සැඟවීම ගරිල්ලන්ගේ අරමුණ විය. ගොඩ බිමට පැමිණ දින තුනකින් පමණ බැටිස්ටාගේ හමුදාව ඔවුන් සොයා එන අතර සියේරා මැඑස්ට්‍රා ප්‍රදේශයේ සිදු වූ දරුණු ගැටුම් හේතුවෙන් පැමිණි ගරිල්ලා භටයන් 81ක් අතුරින් ඉතිරි වන්නේ 20 ක් පමණ කැරලිකරුවන් පිරිසක් පමණයි. ඇති වූ ගැටුම් වලින් සියළු කැරලිකරුවන් මියගිය බව බැටිස්ටා රජය විසින් ප්‍රකාශ කර සිටිනවා.

-ශිෂ්‍ය විප්ලවවාදීගේ සහය ලැබීම-

හවානා නුවර බිහි වූ ශිෂ්‍ය විප්ලවාදී (Student Revolutionary Directorate) සංවිධානය ද මේ වන විට බැටිස්ටාගේ ඒකාධිපති පාලනයට එරෙහිව ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට පිවිසී සිටි අතර ඔවුන් විසින් 1957 වසරේ මාර්තු 13 වන දා බැටිස්ටාගේ ජනාධිපති මන්දිරයට අසාර්ථක පහර දීමක් සිදු කරනවා.

එහිදී එම සංවිධානයේ නායකයා වන හොසේ අන්තෝනියෝ (José Antonio Echeverría) මිය යනවා. මෙම සංවිධානය පසුව කැස්ත්‍රෝ පාලනයට තදින් විරුද්ධ වූවත් මුල් කාලයේදී ජුලි 26 ව්‍යාපාරය සමග සම්බන්ධව​ සිටි අතර බොහෝ දෙනෙක් චේ ගුවේරා නායකත්වය දෙන කණ්ඩායමට ඇතුල් වෙනවා. මේ අතරතුර සියේරා මැඑස්ට්‍රා කදු ප්‍රදේශයේ සිටි පිදෙල්, චේ ඇතුළු ගරිල්ලා කණ්ඩායම ප්‍රදේශයේ වැසියන්ගේ උපකාර මත සංවිධානයට නව භටයන් බදවා ගැනීම සිදු කරනවා.

කඳු ප්‍රදේශයේ සිට බැටිස්ටා හමුදාවට කුඩා කණ්ඩායම් වශයෙන් ප්‍රහාර එල්ල කරන්නට ගරිල්ලන් සමත් වෙන අතර ඔවුන්ගේ මෙම හදිසි පහරදීම් හමුවේ සියේරා මැඑස්ට්‍රා ප්‍රදේශයේ බලය ගරිල්ලන් විසින් අත්පත් කරගන්නවා. මීට අමතරව ඔවුන් විසින් කඳුකරයේ සිට විසුරුවා හරින ලද ගුවන්විදුලි නාළිකාවක් (Radio Rebelde) හරහා තම සංවිධානයේ පණිවුඩ කියුබානු ජනතාවට ලබා දීමට සමත් වෙනවා.

තවද මෙම කාලය තුළ මහජන වැඩ වර්ජන, බැටිස්ටා රජයට එරෙහිව ක්‍රියාත්මක කරවීමට “ජූලි 26 ව්‍යාපාරය” සමත් වෙනවා. කුඩා කණ්ඩායමක් බැවින් මුල් කාලයේදී බැටිස්ටා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නේ නෑ.

-බැටිස්ටාගේ ගිම්හාන මෙහෙයුම (Operation Verano)-

1958 වසරේ ජූනි මාසයේදී සියේරා මැඑස්ට්‍රා ආක්‍රමණය කිරීමට සැරසෙන බැටිස්ටා, ගරිල්ලන් 300 ක පමණ පිරිසක් සඳහා 12,000 ක භට කණ්ඩායමක් ප්‍රදේශය වෙත පිටත් කර එවනවා. මෙම මෙහෙයුම යටතේ ලා ප්ලාටා සටන (Battle of La Plata) හා ලාස් මෙසියිඩිස් (Battle of Las Mercedes) යන සටන් දෙපිරිස අතර ඇවිලී යනවා. එහිදී චේ ගුවේරාගේ නායකත්වයෙන් යුතු ගරිල්ලා කණ්ඩායම් මුල් වරට කියුබානු හමුදාවට රැක සිට ගරිල්ලා ප්‍රහාර එල්ල කරන අතර අගෝස්තු මාසයේ සටන අවසන් වන විට කියුබානු හමුදා භටයන් 240ක් පමණ ගරිල්ලන්ගේ සිරකරුවන් බවට පත්වෙනවා සේම බොහෝ යුධ අවි ප්‍රමාණයක් ගරිල්ලන් අතට පත්වෙනවා.

-යගුජෙයි සටන හා සැන්ට ක්ලාරා සටන-

සැන්ට ක්ලාරා නගරය ආසන්නයේදී ගරිල්ල්ලන් විසින් සිදු කළ යගුජෙයි (Yaguajay) මෙහෙයුමෙන් බැටිස්ටාගේ හමුදාවට අන්ත පරාජයක් හිමිවෙනවා. කැමිලෝ නම් ගරිල්ලා නායකයා (Camilo Cienfuegos) මෙම සටනට අණ දුන් අතර 1958 වසරේ දෙසැම්බර් මස පැවති මෙහෙයුමෙන් ගරිල්ලා භටයන් ජයග්‍රහණය​ කරනවා.

කැමිලෝ මෙම සටනේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් “යගුජෙයි හි වීරයා” (The Hero of Yaguajay) ලෙස හදුන්වනවා. 19859 ජනවාරි පළමු වනදා චේ ගුවේරාගේ නායකත්වයෙන් යුත් ගරිල්ලා භට කණ්ඩායමක් විසින් කියුබානු හමුදාවට එරෙහිව කළ සැන්ට ක්ලාරා සටනෙන් පසුව සැන්ට ක්ලාරා නගරයේ බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වෙනවා.

-ගරිල්ල භටයන් හවානා නුවරට ඇතුල් වෙයි-

මේ වන විට බැටිස්ටා තම ජනාධිපති ධුරයෙන් ඉවත් වී රටේ පාලනය හමුදා ප්‍රධානී ජෙනරාල් යූලජියෝ කන්ටිලෝ (Gen. Eulogio Cantillo) ට පවරා ඩොමිනිකන් ජනරජය (Dominican Republic) බලා පළාගොස් තිබූ අතර ගුවේරාගේ ප්‍රථම ගරිල්ලා කණ්ඩායම ජනවාරි 3 වනදා හවානා නගරයට ඇතුල් වෙනවා.

මේ වන විටත් බැටිස්ටා පළාගොස් සිටි අතර පිදෙල් ඇතුළු විප්ලව වාදීන් 9000 ක් පමණ ජනවාරි 7 වන දා රථ පෙළපාලියකින් හවානා නගරයට ඇතුල් වන්නේ කිසිදු සටනකින් තොරවයි. පසුව පැවැත් වූ අධිකරණ ක්‍රියාවලියකින් පසු බැටිස්ටා හිතවාදී බොහෝ දෙනෙකුට මරණ දඬුවම හිමිවෙන අතර ෆිදෙල් කියුබානු අගමැතිවරයා බවට පත්වෙනවා.

ෆිදෙල් හා ඇමරිකාව අතර මේ වන තුරු විශාල ඝට්ටනයක් නොතිබූ අතර 1961 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකානුවන්ට අයත් කියුබාවේ සියළුම ඉඩම් හා ව්‍යාපාර ජනසතු කිරීම තුළින් ඇමරිකාව, කියුබාව සමඟ සියළුම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නවත්වනු ලබනවා. ඉන් පසුව ඇරඹෙන්නේ ඇමරිකානු – කියුබානු විරසකයයි.

කියුබානු සන්නද්ධ අරගලයේ පළමු නැගිටීම​ – මොන්කාඩා ප්‍රහාරයස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත් කියුබාව ඉන් අනතුරුව ඇමරිකානු පාලනයට න...
06/03/2024

කියුබානු සන්නද්ධ අරගලයේ පළමු නැගිටීම​ – මොන්කාඩා ප්‍රහාරය

ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත් කියුබාව ඉන් අනතුරුව ඇමරිකානු පාලනයට නතු වෙනවා. ඔවුන් කියුබාව යටත් කරගෙන නොසිටියත් ඔවුන්ට හිතවත් පාලනයක් කියුබාව තුළ නිර්මාණය කිරීමට ඇමරිකානු රජය තම බලය යෙදවීම මෙහිදී සිදු වුණා.

ඒ පිළිබඳව විස්තර පසුගිය ලිපියකින් ඔබ වෙත ගෙන ආ අතර අද දිග හැරෙන්නේ කියුබාවේ බලය, බැටිස්ටා නම් ඒකාධිපති පාලකයෙක් විසින් ලබා ගැනීම හා ඔහුට එරෙහිව ෆිදෙල් කැස්ත්‍රෝ නම් විප්ලවවාදියාගේ නැගී සිටීම පිලිබන්දවත් ය.

-බැටිස්ටා විසින් බලය පැහැර ගැනීම-
ඇමරිකාවෙන් නැවත කියුබාවට පැමිණෙන බැටිස්ටා 1952 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කරනවා. නමුත් ජනාධිපතිවරණයට මාස තුනකට ප්‍රථම එනම් 1952 වසරේ මාර්තු 10 වනදා හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගැනීමට බටිස්ටා සමත්වෙන අතර එවකට කියුබානු ජනාධිපතිවරයා වූ කර්ලොස් ප්‍රියෝ (Carlos Prío Socarrás) ව බලයෙන් නෙරපා දමා එදිනම බැටිස්ටා කියුබානු ජනාධිපතිවරයා ලෙස පත්වෙනවා.

ජනාධිපතිවරයා ලෙස පත්වෙන ඔහු එම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අවලංගු කරන්නට කටයුතු කරන අතර බලය පැහැරගෙන ඉතා සුළු දවසකින් එනම් මාර්තු 27 වනදා ඔහුගේ ආණ්ඩුවට ඇමරිකානු රජයේ අනුමැතිය හිමිවෙනවා.

-බැටිස්ටාගේ අත්තනෝමතික පාලනය-
බැටිස්ටාගේ පාලන සමය වන විට කියුබාවේ ආර්ථිකය ඉතා අඩාල තත්වයක පැවති අතර රජයේ නාස්තිය හා දූෂණය​ ද ඉතා අධික විය. නීතිය හා අධිකරණය පිළිබඳව ද විශ්වාසයක් තැබිය නොහැකි යුගයක් ලෙස බැටිස්ටා පාලනය හඳුන්වා දිය හැකියි. රජය විසින් අධ්‍යාපනය, සෞඛ්‍ය හා පොදු පහසුකම් වෙනුවෙන් මුදල් වෙන් නොකිරීම ද රට තුළ බලවත් නොසන්සුන්තාවයක් නිර්මාණය කරන්නට සමත් වෙනවා.

1953 වසර වන විට කියුබානු පවුලක සතියක් තුළ දළ අදායම ඩොලර් හයක් තරම් අඩු අගයක් ගත් අතර රටේ වැඩ කළ හැකි ජනතාවගෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙනවා. විශ්ව විද්‍යාල හා ජන මාධ්‍යය තම පාලනයට හසු කරගන්නා ඔහු දැඩි කොමියුනිස්ට් විරෝධියෙක් ලෙස ද සදහන් කළ හැකියි.

ඔහුගේ පාලනය, ඇමරිකානු හිතවාදී පාලනයක් ලෙස හදුන්වා දිය හැකි අතර බැටිස්ටාගේ පාලන සමයේ දී කියුබානු උක් වගා බිම් වලින් 40%ක අධික ප්‍රමාණයක අයිතිය හිමිව තිබෙන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයන්ටයි. රටේ පැවති ඛනිජ තෙල් නිධි හා ස්භාවික සම්පත් වලද වැඩි අයිතියක් ඇමරිකානුවන්ට හිමිව තිබුණා. තවද බොහෝ ඇමරිකානු ව්‍යාපාරික ආයතන ද කියුබාවේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධව සිටිනවා.

-විප්ලවයක අවශ්‍යතාවය-
ඒකාධිපති පාලනය එරෙහිව නැගී සිටි නීතිවේදියෙක් වූ ෆිදෙල් කැස්ත්‍රෝ ඇතුළු තරුණ කණ්ඩායමක් බැටිස්ටාගේ දූෂිත හා බලහත්කාරී පාලනය විරුද්ධව කියුබානු අධිකරණයේ නඩු පවරන නමුත් අධිකරණය විසින් එය නිෂ්ප්‍රභා කර දමනවා. මේ සමඟම බැටිස්ටා පාලනය නීතිමය ක්‍රියා මාර්ග මගින් පරාජය කිරීම කළ නොහැකි බව අවබෝධ කරගන්නා ෆිදෙල් ඒ සඳහා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක නිරත විය යුතු බව වටහා ගන්නවා.

ඒ අනුව ක්‍රියාත්මක වන ෆිදෙල් හා ඔහුගේ සොහොයුරු රාවුල් කැස්ත්‍රෝ ඇතුළු පිරිසක් අවි ආයුධ එකතු කිරීමේ රහස්‍ය වැඩ කටයුතු හා ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට නව සාමාජිකයන් සොයා ගැනීමේ වැඩ කටයුතු බොහෝමයක් 1952 වසරේ අග භාගය වන විට සම්පූර්ණ කරගන්නවා.

-මොන්කාඩා ප්‍රහාරය සඳහා ෆිදෙල් සුදානම් වේ-
1952 වන විට ෆිදෙල් කැස්ත්‍රෝ කියුබානු ජනතාවාදී පක්ෂයේ (Party of the Cuban People) තරුණ නායකයෙක් වූ අතර ඔහුගේ දේශපාලනික, විප්ලවීය ක්‍රියාකාරම් හේතුවෙන් ෆිදෙල් වටා රැස් වූ තවත් ආයුධ සන්නද්ධ වීප්ලවවාදීන් 160 දෙනෙකු කියුබාවේ සන්තියාගෝ නගරයේ පිහිටි මොන්කාඩා හමුදා බැරක්කයට පහර දීමට සුදානම් වන අතර 1953 වසරේ ජූලි 26 වනදා සිදු වෙන මෙම ප්‍රහාරය “ජූලි 26 කැරැල්ල” ලෙසත් නම් කරනවා.

ප්‍රහාරය සඳහා සහභාගී වූ 160 දෙනා අතරින් විශාල පිරිසක් අවුරුදු 20 ගණන් වල තරුණයන් වූ අතර ප්‍රහාරය සඳහා පැහැදිලි ලෙස කොමියුනිස්ට් සංවිධානයක් මුල් නොවූ අතර බැටිස්ටා පාලනයට විරුද්ධ වූ පහළ මධ්‍යම ප්‍රාන්තිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ලෙස ජූලි 26 ව්‍යාපාරය හදුන්වන්නට පුළුවන්. ප්‍රහාරකයන් 160 දෙනාගෙන් හතර දෙනක් පමණක් උසස් අධ්‍යාපනය ලද පුද්ගලයන් වූ අතර බහුතර පිරිස ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූ තරුණයන් වුණා.

1952 වසරේ අවසානය වන විට 1200 ක පමණ තරුණ පිරිසක් සංවිධානය වටා රොක් වෙන අතර කැරැල්ල සඳහා රයිෆල් හා හමුදා ඇදුම් මිලදී ගැනීම ද ෆිදෙල් විසින් බොහෝ දුරට අවසන් කරනවා.

ප්‍රහාරය එල්ල කිරීමට පෙර දා රාත්‍රියේ සන්තියාගෝ නගරයට ආසන්න සිබෝනි (Siboney) ගම්මානයේ ගොවිපොළක ප්‍රහාරකයන් 160 දෙනා රැදී සිටි අතර 26 වනදා හිමිදිරියේ ඔවුන් ප්‍රහාර එල්ල කිරීම සඳහා සන්තියාගෝ බලා පිටත්ව යනවා.

-අසාර්ථක වූ පළමු ප්‍රහාරය-
කැරලිකරුවන් 135 දෙනෙක් පිදෙල්ගේ නායකත්වයෙන් යුතුව මොන්කාඩා හමුදා බැරක්කයට පහර දීම පාන්දර 5ට පමණ ආරම්භ කරන අතර රාවුල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් තවත් කැරලිකරුවන් 24 දෙනෙක් බෙයමෝ (Bayamo) නගරයේ බලය අල්ලා ගැනීම සඳහා පිටත් වෙනවා.

කැරලිකරුවන්ගේ ප්‍රහාරය ඉතා දුර්වල වූ අතර සංවිධානාත්මකව පහර දීමට නොහැකිවීම මෙහි ප්‍රධාන දුර්වලතාවය විය. රජයේ හමුදාව හා පොලිසිය විසින් කැරැල්ල පැය කිහිපයකින් මර්දනය කරන අතර කැරලි කරුවන් බොහෝ දෙනෙක් ඝාතනය කර අනෙක් පිරිස අත් අඩංගුවට ගැනීමට ඔවුන් විසින් ක්‍රියා කරනවා.(පසුව ෆිදෙල් විසින් පවසන්නේ මරණයට පත් වූ කැරලිකරුවන් 61 දෙනාගෙන් සටන අතරතුර මරණයට පත් වූයේ 5ස් දෙනෙකු පමණක් බවත් ඉතිරි 56 දෙනාම අත්අඩංගුවට ගත් පසු බැටිස්ටාගේ හමුදාව විසින් ඝාතනය කළ බවයි) සටන අතරතුර රජයේ හමුදා හා පොලිස් භටයන් 19 දෙනෙක් මරණයට පත්ව 30 කට අධික පිරිසක් තුවාල ලබනවා.

1953 ඔක්තෝම්බර් 16 වන දා පිදෙල් ඇතුළු පිරිසට විරුද්ධව අධිකරණයේදී නඩු විභාග වූ අතර සටන මෙහෙය වූ පිදෙල්ට වසර 15ක සිර දඩුවම් හිමිවෙනවා. අනෙකුත් ප්‍රධාන නායකයින් වන රාහුල් ( Raúl Castro) ඔස්කාර් ඔල්කල්ඩේ (Oscar Alcalde) පෙද්රෝ මෙරැට් (Pedro Miret) හා අර්නෙස්ටෝ ටිසොල් (Ernesto Tizol) ට වසර 13ක සිරදඬුවමක් හිමිවනවා. අනෙකුත් පිරිස් වලට අවුරුදු 10ක, අවුරුදු 3ක හා මාස 7ක සිර දඩුවම් හිමිවෙනවා.

නඩු විභාගය අතරතුර තම අදහස් දැක්වීම යටතේ ෆිදෙල්, පැය හතරක් පුරාවට බැටිස්ටා පාලනයට විරුද්ධව ඔහු ගත් ක්‍රියාමාර්ගයේ සාධාරණීත්වය පිළිබඳව කරුණු දක්වන අතර වසර කිහිපයකින් පසු එම කතාව ඇතුළත් “ඉතිහාසය මා නිදොස් කරනු ඇත” (History Will Absolve Me) නමින් කෘතියක් පළ වෙනවා.

සිරගත කළ ෆිදෙල් ඇතුළු පිරිස දැඩි මහජන ඉල්ලීම මත 1955 වසරේදී නිදහස් කිරීමට බැටිස්ටාට සිදුවෙන අතර ඔහු විසින් එම පිරිස මෙක්සිකෝවට පිටුවහල් කරනවා.

විප්ලවය අත් නොහරින ෆිදෙල් ඇතුළු පිරිස එහිදී ඔවුන්ට හමු වූ අර්නෙස්ටෝ ගුවේරා (Ernesto Guevara) හෙවත් චේ ගුවේරා සමඟ නැවත කියුබාවට පැමිණෙන්නේ බැටිස්ටා පාලනය කියුබාවෙන් ඉවත් කිරීම අරමුණු කරගෙනයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Headline Reader posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share