Ceylon Tale Hunters

  • Home
  • Ceylon Tale Hunters

Ceylon Tale Hunters Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Tale Hunters, Magazine, .

01/06/2024

නිල්ලග්ගම
02 කොටස

නිල්ලග්ගම යළි නැගී හිටින්නේ පරණවිතාන මහත්තයා ගේ මැදිහත්වීම නිසයි ! එතුමාට ජාති ජාතිත් ඒ පින අත්වේවා !!!

With P.B Galkadawala and Shamila de Silva

01/06/2024
01/06/2024

බුද්ධ දර්ශනයේ කියනවනේ..අනුන්ගැන හොයන එක නෙමෙයි කලයුත්ත තමන්ගැන සෙවීම කියලා...
ඉතිහාස ගවේෂණය කියන්නේම තමන් ගැන සෙවීමට වඩ වඩා හිතප්‍රගුණ කරවන ප්‍රැක්ටිස් එකක්...! කියලයි මට හිතෙන්නෙම..

මේ පැහැදිලි කිරීම් කර දෙන්නේ මගේ බාප්පා.
පුංචි බණ්ඩා ගල්කඩවල.
නොපැකිලව ඒ දැණුම බෙදා දුන්නාට..ඔහුට අප්‍රමාණව ස්තූතියි.🙏💐

මේ විඩියෝවේ ලස්සන නමක් කියවෙනවා...
මොණර ගල් බුද්ධි...කියලා..
කවුද කියලා බලන්නකෝ..

නිල්ලග්ඝම බෝධිඝරය 01 කොටස

08/04/2022

මේ අප එකට එකතු විය යුතු මොහොතක්‍ ය.ඒ ප්‍රේමයේ යදමින් බැදී මිස පුද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණක...

21/08/2021

" කතා කරන්නට පෙර
කරුණු සොයා බලන්න.
අසනීප වන්නට පෙර
ඔබ ගැන පරිස්සම් වන්න.
විනිශ්චයට පෙර
සිත සෝදිසි කර බලන්න.

ඔබේ කටයුතු පිළියෙළ කිරීමට
මරණය දක්වා බලා නොසිටින්න.
සමෘර්ධි කාලයේ දී
සාගත කාලය ගැන සිතන්න.
ධනවත් කාලයේදී
දිළිදුකම ද අගහිගකම ද
සිහි කරන්න.

උදය හා සවස අතර කාලය
ඉක්මනින් ගෙවෙන්නේ ය.

ශුදධ බයිබලය / උපදේශකයා හෙවත් සිරාක් 18
පිටුව 1265

බිදී විසිරෙන බව දැන දැනමපිනි බිංදුවදරාගෙන ඉන්න අපූරුව කොලය .... මේ කිසිත් නොදැනුනා සේ....ගෙවී යයි නිහඩවී කාලය.......©අනු...
24/07/2021

බිදී විසිරෙන බව දැන දැනම
පිනි බිංදුව

දරාගෙන ඉන්න අපූරුව කොලය ....

මේ කිසිත් නොදැනුනා සේ....ගෙවී යයි නිහඩවී කාලය.......

©අනුපමා ගල්කඩවල

දිලිසෙන පොලිස් !   ඔහුගේ සේවා ආයතනය නිවස වීමත්  කාර්‍යාලය ට කාමරයක් වෙන්කිරීමත් ඇරඹි දා පටන් කිසි දිනක නෑසුණු සජීවී සිනා...
18/07/2021

දිලිසෙන පොලිස් !

ඔහුගේ සේවා ආයතනය නිවස වීමත් කාර්‍යාලය ට කාමරයක් වෙන්කිරීමත් ඇරඹි දා පටන් කිසි දිනක නෑසුණු සජීවී සිනා හඩක් පසුගිය දාක නිවසේ ඔබ මොබ යන අතරේ මට ඇසුණි. එය ඔහුට ලැබුණු ඇමතුමක් නිසා හට ගත් එකක් බැව් වැඩි වේලා නොගොස්ම මට ඒත්තු ගිය අතර අනෙක් පසින් කතා කල එකාට ....නොකඩවාම...
එල...එල.....එල බං.....එල....එල....එල කියමින් ඔහු ලබා දුන් සප්‍රාණික කෙටි පිළිතුරු ඇසීමෙන් ඒ ඉතාම ලග හිතවත් එකෙකුගෙන් ලද ඇමතුමක් බවත් මට වැටහුණි.

ඇමතුම අවසන් කළ ඉක්බිති ඔහු නැවත නිහඩව සුපුරුදු රාජකාරියේ නිරතවෙමින් සිටි මොහොතක ලද අවසරයෙන් මගේ කුතුහලය සංසිදවාගනු පිණිස මම ඔහු සමීපයට ගොස් මෙසේ ඇසුවෙමි...

" ඈ...අනේ ඇයි ඒ..එහෙම...එල..එල..එල...එල..එල...කියලා විතරක් දිගට දිගට දිගට කියන්නේ......!"

ගෑණු අපි ට නං අපේ සංවාද පටන් අරන් කෙළවර කරනවිට සිංහල සබ්දකෝසයත් මදි වන නිසා ....මට ඒ පිරිමින්ගේ එහෙව් උද්‍යෝගය පිරුණු
කෙටි එල එල එල එල ගෑම.....මරු එකට දැනුණු නිසාම ඒ ගැන හාරාවුස්සාගැනීමට ආසාවක් හිතුණි.

" එහෙම තමයි අපි කතා කරන්නේ.... ! හතරමං හන්දියේ පරණ යාලුවෙක්ගේ වෙඩිමක් !
කියමින් ඔහු කරමින් සිටි වැඩේට මූණ ඔබාගන්නා ගමනින්ම පිළිතුරත් කියා නිම කළේ සැහැල්ලු ව පිරිණු ප්‍රීති ප්‍රමෝදයකිනි.

අපුච්චේ වෙඩිමක් කිව්වාම එහෙම කතා කරලා ඇති ද .....අපිටනං.....එහෙම....
කීයක් ජාති කියලා කතා කරන්ඩනං තියෙනවද ....කියලා...සිතමින් මම හිතුවේ.....අපිටනං වෙඩිමක් කිව්ව දා ඉදන් හරි හැටියකට නින්දක් වත් යන්නේ නෑ..නේදැයි සිතමිණි.
එක්කෝ සාරි හැට්ටේ මහන හැටි හීනෙන් පෙනෙයි... කර කපනවද...පිටවහනවද ....නෑදෑ සනුහරේම එනවනං පිට වහලා යන්ඩ එපැයි නැත්තං අස් කොන් සේරගේම ඇද හොයාගන්න තියාගත්තොත්....

සාරි පොට හුළගට පාවෙන හැටි හීනෙන් පෙනෙයි..... සාරියක් ද ගවුමක් ද කියා හිතනකොට ප්‍රින්සස් ඩයනා හීනෙන් පෙනෙයි.....
අන්තිමේ වෙඩිම හෙට කියනකොට බඩගින්නක් වතුර තිබහක් වත් නොදැනෙන්ඩම හීන පෙනී තිබෙයි.

ඒකට පිරිමි !

සතියේ දින වේගයෙන් ගෙවෙමින් තිබුණි.ඊයේ හවස තේ බොන අතරතුරේ හෙට , ඉරිදා
ඔහු මිතුරාගේ වෙඩිම ට යන බව කියා නැවත ඔහුගේ රාජකාරි කටයුත්තක නියැලෙන අතර වාරේ....
හදිසියේ යමක් මතක් වී පුටුවෙන් නැගී සිට රැවුල බානා කුඩා ආම්පන්නය චාර්ජරයෙන් ගලවාගෙන ගොස් රැවුලේ දෙපැත්ත සටස් පුටුස් ගානා වේගෙන් අවසන් කර කම්මුල් දෙක එහාට මෙහාට හරවා කණ්නාඩියෙන් ඩිංගක් බලන අතරේ.... අලුත් පෙනුම කොහොමද අහන්නට වාගේ ...හෙමීට මං දිහාත් හොරාට බලන ගමන්....හෙට වනවිට වේගයෙන් වැඩ අවසන් කර දියයුතු රජකාරී කටයුතු දෙක තුනක් පිළිබදවත් මතක් කරමින් ඉදුණු රැවුල් ගස් දෙක තුනක් මැදැගිල්ලෙන් එහාට මෙහාට තෙරපන ගමන් කණ්නාඩියෙන් බලා සිටිණු පෙනුණි.
******** *************** ***********************
වෙනදාට වඩා තැනින් තැණ රැවුල් ගස් කීපයක් ඉදී තිබෙන හැටි හොදට බලමින්.... නිල් පාට තීන්තගෑ බීරලු ලී මිටක් සවිකර තිබූ රැවුල බානා බුරුසුවක් සබන් පෙන පිඹගෙන රිදී වතුර කෝප්පයක ගැටෙන හඩ ඇසෙයි......

සැරින් සැරේ වතුර මාරු කරන බව .... කීප වතාවක් අරින වහන වතුර කරාමේ කිරි කිරි හඩ කියයි....

" හරි.....දැන් හරි.......කොහොමද මගේ පෙණුම ! අන්ඩර් ටේකර් වාගේ ද කියමින් බාහු යුග්මය පහළට තද කරගෙන හුස්ම පුම්බාගෙන ඔහු අම්මා ඉදිරියට පැමිණ සිටගනියි......

" හොදයි....මගුල් ගෙදර නාකි ආච්චිලත් ඉදියිනේ...කියමින් අම්මා යටැසින් ඔහුගේ තේජස විදිමින් ඔච්චම් කරයි.

ඊලගට දැන් සේරමගේම සපත්තු කුට්ටං ලෑස්ති ද.....

කියා අසන පරක්කුවට කුස්සියේ අල්මාරියේ පහළම රාක්කයේ තිබෙන ටින් බෙලෙක්ක දෙකක් උස්සාගෙන මම ඔහු ඉදිරිපස පෙනී සිටියි....

ඒ එක් ටින් එකක විවිධ වර්ගයේ සපත්තු පොලිස් වර්ග දමාඇත. අනිකේ රතු සහ දුඹුරු වර්ණ දෙකක අගල් තුන හමාරක පමණ දිග ලී මිටවල් ඇති සපත්තු බ්‍රෂ් දෙකක් සමග කපු රෙදි කැබලි කිහිපයකුත් බූල් බූල් කෙදි ඇති තව කුඩා ලී මිටක් සවි කළ බුරුසුවකුත් ඇත.

හා... කොයි දැන් මෑණියැන්දෑගේ සපත්තුව...... අරගන්ඩකෝ.....ඒ සපත්තුව මැදීම ඔහු කිසිවෙකුටත් භාර නොදී තමා විසින්ම කළයුතු දේවකාරියක් සේ නිම කරයි.

සපත්තුව පළමු වර මැද්ද පසු එය සාලයේ බිම පැහැදිලි තැනක තබා උන්තැනින් නැගීසිට අඩි හය හතක දුරක් ඈතටගොස් එය දැන් හොදට තිබේදැයි පිරික්සා බලයි. තව එළිය මදි වගේ කියා සිතෙන තැන් වලට නැවත කපු රෙදි කැබැලකට පොලිස් ඇබිත්තක් අතුල්ලා සපත්තුවේ දීප්තිය වැඩි වී දැන් ටොපේ ටොප් කියා සිතෙනකම් පිරිමදියි.

මගුල් දා මනමාලිටවත් මෙහෙම පොලිස් කරපු සපත්තුවක් නං නැතුවා සත්තමයි කියා මට සිතෙයි.

එහෙම පිළිවෙලට අම්මාගේ පටන් මගුල් ගෙදරට සහභාගි වන්නන්ගේ සපත්තු මැදීම කරන අතර වාරේ ....අර පොලිස් මොකටදැයි....මේ පොලිස් මොකටදැයි....අර බුරුසුවෙන් මොකක් කරන්නේ දැයි...මේ අස්ව ලාඩමක වගේ කූරු තියෙන එකක් සපත්තු අස්සට ඔබලා තියන්නේ මොකටදැයි වාගේ මගේ උභතෝකෝටික ප්‍රශ්න වලටත් ඉවසීමෙන් උත්තර බදියි.
ඒ අතර වාරේ පොලිස් ටින් එකේ ප්‍රෙස් කියන රතු අකුරු තියෙන තැන ඔබන කොට පුහ්: කියන හඩින් පොලිස් ටින් එකේ පියන අරින මැජික් එක වරින් වර කර බැලීමේ ප්‍රීති ප්‍රමෝදය මට ලැබෙයි.
පොලිස් ටින් එකේ යට පියනට හුලං පෙත්තේ තටු දෙකක් වාගේ ලොක් එකක් තිබෙයි.

පුහ්: ගාමින් ඇරෙන පොලිස් ටින එකේ පියන නැවත තද කල පසු බොහ්: හඩක් එයි ...ඊට පසු හුලං පෙත්ත වාගේ ලොක් එක උඩ අතට කරකවන විටය හරියටම සීල් වන්නේ යැයි ඔහු නිරන්තරයෙන් මතක් කර දෙයි.

ඔහුගේ පොලිස් ටින් වල බාහිර අලේපය රතු පාට සහ කලුපාටය...පෙළක් ඒවා ගේ කහ කලු මිශ්‍ර ය.

කතාවෙන් කතාවෙන් දැන් අන්තිමට ඉතිරි ඔහුගේ සපත්තුව පොලිස් කිරීමයි. මුලින්ම කපු රෙදි කැබැල්ලෙන් සපත්තුවේ දූවිලි හොදට පිස දමයි.
ඒ කටයුතු කිරීමට කැමැත්තෙන් ඔහු අසල ඇණකුටු බාගෙන ඉන්නා මට ඔහු සපත්තුව අතට දෙයි .

" හරි මේ අතට මෙහෙම ඇලේට අල්ලගන්ඩෝනේ....
විලුබ තියන පැත්තේ ඉදන් ඇගිලි තුඩු පැත්තට....මෙහෙම....මෙහෙම....
කොයි......හා....හරි.....අන්න...එහෙම.....
එක අතකට....එක අතකට....අත තද කරලා බුරුසුව තියන ගමන්......ඉස්සරහට පොඩි තල්ලුවක් දෙන්න කෙදි ටික විසිරෙන්ඩ....ආ...න්..න්න..හරි..එහෙම......බුරුසුවේ තියෙන පොලිස් එක තැන මඩ වල වාගේ වෙන්ඩ දෙන්නැතුව තියාගන්ඩයි එහෙම කරන්නේ......

හා...කොයි බලන්ඩ ......අන්තිමට සපත්තුවේ කෙළවර.....කලිසම පහළට වැටෙන කොට ඉස්සරහට පේන කොටස.......

ඒක මැට් ෆිනිෂින් එකට කැමති නං එහෙම....ඝනකම් රෙදි වලින් තියෙන කලිසං වලට හොදයි මැට් ෆිනිෂින් එක... මනමාලයා එහෙම අදින ජාතියේ කලිසං වලට නං....දිලිසෙන ග්ලොස් එකෙන් ෆිනිෂින් එකක් තිබ්බහම තමා ලස්සන......

ඔහු එකින් එක එහෙම විස්තර කරගෙන යයි...........

******* ******************** *************

" උන් ටික තාම මැච් එක බලන ගමන් ද කොහෙද ...අන්තිම ඕවර් ටිකනේ....

සිනාවක් මුවට නංවාගෙන ඔහු කියයි

අද සන්ධ්‍යාව ඔහුගේ වැඩ මේසයට තාවකාලිකව විරාමයකි.

ඔහු වෙනුවෙන්.....


සාලේ මැද පොලිස් ගෑ සපත්තු කුට්ටම ලෑස්ති කර තිබෙයි!

අඩේ.....🤩
හොද බාරී ! තැන්ක්‍යූ ඈ.......

********* ****************** ***************

" ඔයා ඒක නියමෙට කළා...! "
මට තාත්තීගේ කට හඩ හිමීට ලගට ඇසෙයි....

©අනුපමා ගල්කඩවල .

13/06/2021

මාසයකට වතාවක් අම්මා පිළියෙල කර දෙන සාත්තු තෙල් බෝතලේ අන්තිම ඩිංගිත්තත් ඉවර විය. අවුරුද්ද ගෙවී මාස දෙකකට ලං වෙමින් තිබේ. අන්තිම වතාවට අම්මා බලා ආවේ අවුරුද්දට ය.

ඒත් මේ ගෙවාදමන විජ්ජුම්බර කාලේ මැද්දේ...ඔය කියන ජාතියේ නාහෙට අඩන ඒවා හිත හිතා මේ ලතැවිල්ලේ ඉන්න එකෙන් කාටත් පලක් නැතිය.

අපේ අම්මා මෙහෙව් දහිරියක් වීරියක් අරන් අත පය හයිකෙරුවේ ලතැවිල්ලේ නාහෙන් අඩන එකියෙක් හන්දා කියලා උන්දා දන්නවානං ඉස්සරලාම කූරටියා කෝටුවෙන් මගේ කකුල් කෙටි දෙකට තලන්නේ ත් උන්දාම ය.

ඒ හන්දා උදේ පාන්දරින්ම හිත ට හයිය අරන් වට පිටේ තියෙන ගස් පදුරු වල උදව්වෙන් හිස තෙල් සාත්තුවක් හදාගන්නට හිතුවේ ඒකය.

තෙල් හට්ටිය ලිපේ තියන ගමන් මට අපේ අම්මා තිස්සේම කියන වචනයක් මතක් වුණේ ය.
"මේවා දැක...පුරුදු ය. පළ පුරුදු ය. කළ පුරුදු ය...වාගේම පෙර පුරුදු ය."

මීට කලින් තනියම තෙලක් පස්සවාගෙන නැතත්....අම්මා කියපු පුරුදු වලින් දැක පුරුදු නිසා කරන්නට යන වැඩේ පිළිවෙල ඉබේ මතකේට ආවේ ය. පෙර පුරුද්දක් ඇති කියාත් හිතෙන්නේ ය.

කුප්පමේණියා ගස් කීපයකුත් , කරපිංචා කිනිති කීපයකුත් රන්වන් පාටට බැදගත් උළුවාහාල් මිටකුත් එක්ක පොල් තෙල් එකතු කරගෙන ඒ වැඩේ සිද්ධකරගත්තේ මේ විදියටය.

තෙල් සාත්තුව කරගන්ට කියා නාන කාමරේට යන වේලේ.. තරමක් ඉස්තරම් මිලට ගෙන මෙතෙක් කල් ගෑ නමුත් දැන් හිස් සහ මිලදී ගන්නට පොකට් එක හිස් කන්ඩිෂනර් බෝතලේ...හිස් පතුලට වීදුරු ජනෙල් කවුළුවේ ඉර ආලෝකය පරාවර්තනය වී මන්දහාසයක් මවා ගත් ඉන්ටර්නැසනල් ෂැම්පු ඇඩ් එකක සුකුමාල තරුණියකගේ රුව මැවුවේ ය.

ඒත් සමග පාවුලෝ කොයියෝගේ කියමනකුත් මට සිහිවිය.
" උඹ ලග තියෙන දේවල් මොනවද කියලා හොදටම පේන්න ගන්නේ උඹ දුර ගමනක් කරක්ගහනකොට තමයි..."
"Sometimes you have to travel a long way to find what is near.”

©අනුපමා ගල්කඩවල

මේ මොහොතේ කිසිවෙකු මගෙන් ඔබට කෙසේදැයි අසන පැනය පිළිබදව සහ ඊට දෙන පිළිතුර පිළිබදව කිසියම්ම හෝ අල්පමාත්‍රයකවත් හැගීමක් මට ...
22/05/2021

මේ මොහොතේ කිසිවෙකු මගෙන් ඔබට කෙසේදැයි අසන පැනය පිළිබදව සහ ඊට දෙන පිළිතුර පිළිබදව කිසියම්ම හෝ අල්පමාත්‍රයකවත් හැගීමක් මට දැන් නොදැනෙයි.

ඔහේ නිකං උත්තරයක් හැටියට "ආ අවුලක් නෑ.. ශේප් එකේ ඉන්නවා " වාගේ උත්තරයක් නම් දිය හැකි වුවත්, මේ වෙලාවේ නං එබන්දක් වුවද හිතට එකගව දිය හැකි නොවේ නේදැයි.. සිතෙයි..

කෙසේ නමුත් මේ ගෙවීයන මොහොතේ සිද්ධවන්නේ සිද්ධවියයුතු හොදම එක බව සිතීමට පසුගිය වසරේ සිට ගෙවාදමන්නට සිද්ධවූ නිවාසාඩස්සි, සංචරණ සීමා...සහ සමාජ දුරස්ථභාවය විසින් ලද පන්නරය දැන් නව ජවයක් සහිතව සිතුවිලි මෙහෙයවන බව දැනෙයි.

ඒ ජීවත් වන මොහොත විදීමට අවකාශ සලස්වා ගන්නැයි නිරන්තරයෙන්ම කරන්නාවූ මතක් කරදීමත් සමගමය.

සවස තේ වෙලාව පැමිණ තිබේ.
බලහත්කාරයෙන්ම මා ඔහුව ඔෆීසි කාමරයෙන් ඉවතට කැදවා මා අසල පුටුවේ වාඩිවී කරවාගත්තෙමි.

" අපි තව කොච්චර කලක් මෙහෙම ජීවත් වෙයිද දන්නෑ....මගේ ලග ඉදගෙන තේ ටිකක් බොන්න...."

ඔහු මගේ දෑස දෙස බලා සිනාසෙයි...ඒ අතර බිස්කට් දමා තිබූ ප්ලාස්ටික් භාජන දෙක ට පැන්සල් දෙකකින් තාලයට තට්ටුවක් දමයි...

ඉන්පසු ක්‍රමයෙන් ඒ තට්ටු දැමිල්ල අප දෙදෙනාගේ තේ කෝප්ප දෙක උඩටත් තාලයට හුවමාරු කරයි...

"ඔයා ඩ්‍රම් සෙට් එකත් ප්ලේ කළාද"
"ඔව්ව්ව්ව්..ඩ්‍රම් එක ...බේස් ගිටාර් ....
ඉද හිට සිංදුත් කිව්වා...."

"ඉතිං ආපහු බෑන්ඩ් එකක ප්ලේ කරන්න ආසා නැද්ද...."

"ආසයි"..
"ඉතිං ආපහු ප්ලේ කරන්නකෝ"

"උඹට පිස්සුද බං ! ඒ ඉස්සර ඒ ලෙවල් කරලා එහෙම ඉන්න කාලේ...දැං ඕවගේ දුවන වෙලාවේ....මේ තියෙන වැඩටික කරගන්න ඕනේ...."

ඒ කතාවෙත් ඇත්තක් ඇති බැවින් මා නිහඩවී තව බිස්කට් එකක් තේ එකට ඔබාගෙන කරබාගන්නේමියි සිතමි.

මෙදා සැරේ වෙසක් එකට පත්තු කිරීමට සෑහෙන දුරක් පයින්ම ගොස් ‍රැගෙන ආ ඉටිපන්දම්, බකට් දැමූ සිලි බෑගය සාලයේ දොරකඩ අසලම තිබෙනු පෙනෙයි.

මෙදා සැරේ පත්තු කරන එක ... අවසන් වෙසක් බකට් එක වුවද වියහැකි බැවින් ....හිත පුරෝගෙන වෙසක් පත්තු කිරීමට මට උවමනාකර තිබෙයි.

ඉස්සර සිරි බැලීමේ ආසාවෙන් ඉස්පාසුවක් නැතුව දල්වන වෙසක් බකට් එක දිහා දැන් දැන් බැලෙන්නේ....ආසාව වුවද ඉක්මනින් නිවාගත හැකි තරමේ...මොකක්දෝ එකකින් යැයි දැනෙයි.ඒ මොකක්දෝ එක මොකක්දැයි කියන එක නම් වචනයකින් කියන්නට නොතේරෙයි.

" වෙසක් එකට මට පහළ කාමරංගා ගහේ බකට් එල්ලන්නම ඕනේ..."

"ඒ මොකද...වැස්සොත් තෙමෙයි....

"නෑ.. එහෙම වෙන්නෑ..ප්ලාස්ටික් ඒවගෙන් එල්ලමු......."

"ප්ලාස්ටික් එකකට ගිනි අරගෙන ගහ වත් පිච්චුනොත්.... යකෝ වත්තේ ඉදලත් හමාරයි.."

ඔහුගේ එවැනි අනාවැකි කීම් නම් බොහෝ විට මට රුස්සන්නේම නොවෙයි.

නිවාසාඩස්සියේ සිටින මේ කාලය පුරාවටම හිතට සනීපයක් ගෙනෙනා ඒ කාමරංගා ගහ පිළිබදව මට ඇත්තේ..පුදුමාකාර හැගීමකි. උදෑසන පිබිදී ජනෙල් කවුළුවෙන් පිටත බලන පළමු දසුනෙන්ම සිත නිවා සනසන හැගීමක් එහි ගැබ්ව තිබෙයි.

උදෑසනම ඒ වෙත එන ගිරා ජෝඩුවගේ මල කෝලම් බලා සිටීමට මාද හවුල් කරගන්නා කාමරංගා ගස...ඊලගට ලේන පැටව්න්ගේ හුරතල් සමාගමයටද මා කැදවයි...
ඔය අතරේ...වට පිටාව සෝදිසි කොට ගසට පැන ගන්නා අතකොට රිලා හාමිටත් කිරිදළු කාමරංගයක් හෝ ඉතුරු කර තබා කන්නට දෙයි.

ඒ නිසා..මෙදා පාර මගේ වෙසක් බකට් එක එල්ලීමට සුදුසුම කෙනා ඒ කාමරංගා ගස බැව් මං ඉන්තේරුවෙන්ම දනිමි.හගිමි.ඒනිසාම ....

වෙසක් එකට ඒ බකට් එක එල්ලා ගන්නකම් පොසිටිව් නොවී තිබියං තිබියං ...කියා... සිතන බලාපොරොත්තුව පමණක්...විතර දැන් හිතේ තෙරපී තිබෙයි....

පොසිටිව්...නෙගටිව්...ආරංචි මැදින් මෝරා හෙමි හෙමින් වෙසක් සද එබෙයි.

කාමරංගා ගහ අතරින් දිලිහි දිලිහී වෙසක් බකට් සෙමින් දැල්වෙන හැටි මට මැවී පෙනෙයි.

19/05/2021

දෙමලිච්චා කියෙව්වා...

සිංදුවක් කියාගෙන මං හිටියේ මගේ ..පාඩුවේ...පාඩුවේ...පාඩුවේ....

හොද වලාකුළු තිබුණේ..ඒ වෙලේ ආකහේ..ආකහේ....

කළු වලාකුල ආවෙ එකපාර හිතා ගන්ටවත් මට බෑ බොලේ....

ඩිංගිත්තක් ජනේලෙන් ඔලුව දැම්මා...ට කමක් නෑ නේද...සුදු හාමිනේ...හාමිනේ....

17/05/2021

"අපේ පළවෙනි පාඩමට කලින් , මට යමක් මතක් කරන්න තියෙනවා." ඔහු පැවසීය. " ඔයාගේ මාර්ගය හොයා ගත්තහම, ඔයා බය නොවිය යුතුයි.අත්වැරදීම් කරන්න ඇති තරම් ධෛර්‍යයක් ඔයාට තියෙන්න ඕනෙ.කලකිරීම, පරාජය, බලාපොරොත්තු සුන් වීම කියන්නෙ අපේ මාර්ගය පෙන්වන්න දෙවියන් පාවිච්චි කරන ආම්පන්න "

"පුදුම ආම්පන්." බ්‍රීඩා කීවාය.

" ඇස් වහගන්න ඕනෙ නැහැ.ඔයා වටා ඇති ලෝකය දිහා බලන්න.හැකි තරම් එය දකින්නත් තේරුම් ගන්නත් උත්සාහ කරන්න.."

බ්‍රීඩා:පාවුලෝ කොයියෝ
පරිවර්තනය : මහේෂි වීරකෝන්

16/05/2021

හෙදියගේ ලියමන

අනූෂූයා .මට පරක්කු යි.මම පිටත් වෙනවා..

ඊයේ රාත්‍රිය පුරාවටම ඔබ ට සුව නින්දක් නොපැමිණි බවත්, විටින් විට නතර වෙවී උස් පහත් වුණු ගැඹුරු හුස්ම ගණන් කරමින් සිටි බවත්...
මා දන්නවා....

ඉතිං වේලාසන ඔබ අවදි කරන්න මට ලෝභයි. දියණිය රැදවීමට වෙන කළයුත්තක් නැති තැන, ඈ මාත් සමගම පිටත් වී මගදී අක්කලාගේ ගෙදරින් ඇරලවීමට සිතුවා.

අනුෂූයා...

ඔබ අවදි වූ පසු මතක් කර නිදන කාමරයේ...කවුළු පියන් ඇරදමන්න.
පිටත ආලෝකය අද සනීපයි.
නිල් කටරොලු වැලේ මල් පොහොට්ටු කීපයක් ඊයේ මංගල ගමනට සැරසෙනවා..දුටුවා ....
බලන්න...ඒවා පිපී ඇති .

පුංචි බේබි රෝස පැල ටිකට අද වතුර උවමනා වෙන්නෑ....වැස්ස ඇති.ඒත් ඩිංගක් ලගට ගිහිං හිත හැදෙන්න කතා කරන්න.

ඔයා දැක්කද ..මං අපේ වෙසක් කූඩුව අලවන්න පටන්ගත්තා.දුව කැමති කහ පාටට.... ඔයා කැමති සුදු පාට නිසා...රැලි වලට ඔයාගේ පාට අරගත්තා....

අද රෑත් මම වාට්ටුවේ...හෙටත් ඒමක් ගැන කිව නොහැකියි.
සෝමේ අම්මා ඉදිරි දින කීපයට ගෙදර වැඩට ගෙන්වා ගැනීම අවදානම්.ඈ ඔහොම නතරවුණාදෙන්..

දින දෙකකට කෑම සාදා ශීතකුටියේ තබා ඇති.
ඔයා කැමතිම පරිප්පු තෙම්පරාදුව....
කරවල බැදුම.....
රත්කරගෙන කන්න.

දුවත් එක්ක කූඩුවට රැලි අලවලා තියන්න.
මං ඉක්මනට එන්නම්....

හා...කියන්න අමතක වුණා...
කුණු ලොරිය ! කන් දීගෙන ඉන්න වෙයි...

දුවගේ චිත්‍රේ...ගිරවා..පාට කරන්න..ත්..ඔව් ! ඕනේ.......

මට පරක්කු වුණා.....

හා....
හාද්ද අමතක වෙනවා තව ඩිංගෙන්....
💋
හවස් වෙද්දි ජනෙල් වහදාන්න...
ඒ අස්සේ...මදුරු වසංගතේ...

මං...පිටත් වෙනවා..
මට පරක්කු වුණා......

අනුෂූයා.... පරිස්සමින්!
මගේ පැමිණීම කෙසේ වෙතත්....
මගේ ආදරය බාගයක් ඇත්තේ.. ඔබලා ලගමයි. අනික් බාගය...වාට්ටුවට...!

©අනුපමා ගල්කඩවල

ඇඹුල් කැත්ත. කොස් වාරයට ඉස් ඉස්සෙල්ලාම අපේ ගෙදරට වරකයක් කැන්දන් එන්නේ..ලොකු මාමණ්ඩිලාගේ ගෙදරිනි.ඒක සිරිතක් පරිද්දෙන්ම කෙ...
10/05/2021

ඇඹුල් කැත්ත.

කොස් වාරයට ඉස් ඉස්සෙල්ලාම අපේ ගෙදරට වරකයක් කැන්දන් එන්නේ..ලොකු මාමණ්ඩිලාගේ ගෙදරිනි.

ඒක සිරිතක් පරිද්දෙන්ම කෙරෙන්නේ..."නංගිට යවන්ඩයි " කියලා මාමණ්ඩී සිංහල අවුරුද්ද ගෙවෙනකොටම වාගේ.. ගහේ තිබියදීම වරකයක් අපේ අම්මාට වෙනකර තබන නිසාවෙනි.

ඉතිං ලොකු මාමණ්ඩී ඒ වරකේ..සුදු ගෝනියකින් වහා තබන්නේම සක්සුදක් සේම ඒක වෙනයම් හෝ අතුරු ආන්තරාවකටවත් යාදෙන්ට නොදී නිධානයක් රකිනා පරිද්දෙන්‍ ය.

අලුත් අවුරුදු වලට අපේ දිහායින් නෑගම් යනකම් ඉතිං ඒ වරකේ..." නංගී ආවදෑ...ආවදෑ..කියා මග බල බලා ගහට වීලා උන්නේම බිමට බාගන්නකම් ඉස්පාසුවක් නැතුවය.

ඒ වරකේ ට වාගේම ලොකු මාමණ්ඩීටත් තිබුණු සිතුවිල්ලය.
අම්මාට අවුරුදු දෙකේදී උන්දාගේ අපොච්චී මළ දා පටන්...අපේ අම්මාට අපොච්චී වූයේ..ලොකු මාමණ්ඩීය.
අපේ අම්මාගේ ලොකු අයියා ය. අවුරුදු විසි තුනෙන් අපේ තාත්තී කරකරා බැදගෙන ආවත්...
නංගීගේ වරකා ගෙඩිය ලොකු මාමණ්ඩී ගහේ වෙන්කර තිබෙන සිරිත කිසිදවසක මගහැරුනේ නම් නැත.

අපේ අම්මාටත් ලොකු මාමණ්ඩිලෑගේ දිහාවෙන් වරකා ගෙඩිය කැන්දන් එනවා කියන්නේම හරියට අම්මා ආපහු දීග කනදා තරම් ම සතුටු දවසක් ය.

අම්මා ඒ වරකා ගෙඩියට සිද්ධකරනා ආවතේව කටයුතු වල කොට්ටෝරුකම කරන්නට හුග වෙලාවට පොඩිඅක්කා සහභාගී කරවා ගත්තත්... මාත් එහෙමෙහෙන් පාන්කිරිති වැඩ වලට සම්බන්ධ කරගන්නට අම්මා හිතාමතාම වැඩ පංගරාතු කරන හැටි මට මතකය.

"ආං අර...... අස් රෙදි කෑල්ලට පොල්තෙල් ඩිංගක් පොගවලා අරගන්ඩ...කෝ..."

" හා..මැටිකෝප්පෙට වතුර ඩිංගකුත් ළං කොරන්ඩකෝ...."

අපේ අම්මාට කිරි අත්තා විසින් සාදා දී තිබූ උජාරු ඇඹුල් කැත්ත කට කමසෙයියාවක් නැතුව කතා කරන්නට පටන් ගන්නේ ඊලගටය.
ඒ කැත්ත කිරි අත්තා..ඒ කියන්නේ..අපේ තාත්තීගේ අපොච්චා විසින් අමුතු තාක්සනේකට අපේ අම්මාට සාදා දී තිබුණකි.
ඒ කැත්තට එක ඇන මුරිච්චියක් වත් නැත්තේය. ඒත් ඒක එක පැත්තකට කැත්තය ඒක දෙපිට ගසාපුවාම ඊලගට ඒක හිරමණේය.
ඒ මදිවාට ඒක උසම කරලා ඉදගතෑකිය..බිමටම පහත්කොරගතෑකිය.

වරකේ කපන්ඩ අපේ අම්මා ඔය ඇඹුල් කැත්ත අතට ගන්නේ...හරියට මල් කොරහ ලගට ගෙට දාපු කෙල්ල එළිබස්සන්නා වාගේ ගාම්භීර ලීලාවකටය.

ඇඹුල් කැත්තේ කැති තුඩත් අපේ අම්මාගේ ඇස් දෙකත් ඊට පස්සේ..දෙන්නාට දෙන්නාගේ මූණු දිහා බලාගෙන නිස්සබ්දව වරකේ තේවාව අරඹන්නේය.

ඉද හිට මැටි කෝප්පයෙන් අම්මාගේ අතට වැටෙන වතුර බිදුවක ජබිලි හඩ ඇරෙන්නට ...ගෙදර බලු තඩියා තියා තොර තෝංචියක් නැතුව කෑ ගහන දෙමලිච්චාවත් එදාට මීක් සද්දක් නැතිය.

අම්මා මුලින්ම ඇඹුල් කැත්තේ කැති තුඩ මැටි කෝප්පය ලගට ලං කරගෙන හිල් පොල්කට්ටකින් දරුවෙක් නාවන්නෑ සිනිදුවට ඒකගේ කැති තලය වතුරෙන් පිරිමදින්නේය.
ඊලගට අම්මාට වරකය ආම්බාන් කරගතහැකි උස මට්ටමට එනකම් කැත්ත හරිග්ගස්සා ගෙන වාඩිගන්නේය.
මේ ඔක්කොටමත් කලින් ම උන්දා වරකය කපන සීමාවට සුදු ගෝනි දෙකක් එලා..ඒ අහලකටවත් පය ගසන්නට අපිට තහංචි එලන්නේ ය.
අම්මා හුස්මක් ඉහළට ඔසාවාගෙන ඒ ගැම්මෙන් ම ඉස්සරලාම තඩි වරකේ බෑ දෙකට පළාගන්නේ ක ඉස්සර ඉදලාම මට විස්මයක් ය. අදටත් මට ඒ හරියක් කරගත් නොහැකිය.

ඒ යමතේ අහවර කර දමන අම්මා නලලේ දාඩිය බිංදුවක් දකුණු අතේ සුළැගිල්ලෙන් ඉවතට වීසික්කා කරදමා හුස්මක් අරගන්නේ....හරියට නීල මහා යෝධයා යගදාවෙන් මුහුද දෙබෑ කරන සිතුවමේ...ඉන්නාම පරිද්දෙන්‍ ය.

ඊට පස්සේ හීං සීරුවට ඇඹුල් කැත්තේ වතුර ගගා ගගා..බෑ දෙක ..තුන හතරට පංගු වෙන්න කපා ගෙන සුදු ගෝනියේ පිළිවෙලට අඩුක් කරන එක කරන්නේ පොඩි අක්කා ය.

අම්මා ඇඹුල් කැත්ත අකුලන කොට උන්දාගේ අතේ ඇගිලි තුඩු දෙකකට ගුලි කරපු තඩි කොහොල්ලෑ ගුලියක් ඉතිරි වෙන්ට වෙන කොහේවත් එහෙ මෙහේ කොහොල්ලෑ තැවරී අජිරි බජිරි වෙලා නැතිය. ඉවසිල්ලට සහ පිළිවෙලට වෙන නමක් දෙන්නට කිවහොත් "අපෙ අම්මා" කියලා මට කියන්නට හැර වෙනකක් අදටත් හම්බෙලා නැත්තේ ඒකය.ඒ ගුලියත් අම්මා දර ලිපේ පෝරණුවට එහා පැත්තේ තිබෙන කොහොල්ලෑ බබ්බුන්ගේ කොහොල්ලෑ බෝලේටම ඔබන්නට අමතක නොකරයි. මා දන්නා කාලේ හිටංම ඒ කොහොල්ලෑ බෝලේ අපේ ගෙදර පෝරණුවට එහා පැත්තේ තිබෙයි. ඒ වෙද හෙදකං වලට උවමනා වෙන නිසා බව ඒ ගැන අහන වෙලාවක අම්මා කියා තිබෙයි. කාලයක් පුරාම ගෙට ගෙනා වරකා ඉතිහාසයේ ම කොහොල්ලෑ කන්දක් දැන් ඒ පෝරණුවේ ගොඩගැසී තිබෙනා හැටි දකිනා හැම වෙලේකම එවරස්ට් කන්දට හිම වැටුණාමත් මේ වාගේ ම ඇතැයි මට මැවී පෙනෙයි.

කොස් මදුලක් කටට ඔබාගන්නට මට ඇති තදියමේ තරමේ හොදටම දන්නා කෙනා අම්මා වුණත් කිසි දවසක වරකේ වැඩ කටයුතු අහවර කරන තුරු එහේ මෙහෙන් ඇගිලි පොවන්ට එන්ට අපිට බැරිය.ඒවා දේව කාරිය තරම්ම පිළිවෙලය.

ඒ වෙලාවට අපෙ අම්මාගේ මූණේ කිසිම අනුකම්පාවක් නැති හැටි විතරක් වාගේ සිතුවිලි මගේ හිතට ආපු හැටි මට අදටත් මතකය...
වරකේ පංගු කර බෙදන කම් මම ආයාසයෙන් ඇනකුටුබාගෙන බලා ඉන්නා හැටි දකින අම්මා... හිටිගමන් වරකා ඉරුවක් ගලවා මගේ කටට ඔබයි.
නොසිතූ වෙලේක පාත්වුණු ඒ වරකේ වරකා ඉරුවක් කියන්නේත් අද වරකා වල වරකා මදුලක් තරම් එකක් නිසා..
මාලුවා ඩැගැගන්න කට ආයන පිලිහුඩුවා වාගේ මං ඒක ඇස් පියාගෙනම විගහට ගිලගන්නේ...තව එහෙම එකක් අම්මා ගලවා දෙනු ඇතැයි සිතාගෙන වුවත්...
අම්මා නැවත කරබාගෙන අම්මාගේ වැඩය අරඹයි.

"හා...හරි..!මේක කිරි අම්මලාට....මේක පුංචි බාප්පලාට.....අම්මා වරකා පංගු නම් කරන්නට පටන් ගන්නවා කියන්නේ...තේවාවේ හුග හරියක් ගෙවිලා අහවර බව සන් කරන ලකුණ නිසා...මං ඇනකුටු බාගත් තැන ම පස්ස උස්ස උස්සා ඉවසිල්ල ප්‍රගුණ කරන්නේ මගේ වියයුතු වරකා පලුව හිතින් මාර්ක් කරගන්න ගමන් ය.

ලොකු තැන් වලට වරකා පංගු වෙනකර අහවර කළ පසු තාත්තී ටත් අපි පස්දෙනාටත් වරකා පංගුව බැගින් වෙන්කර න අම්මා වරකේ පස්සේ ම කොටසේ අන්තිම මුල්ලේ පුංචි අස්කොන් පංගුවක් අම්මාට තියාගනියි.

අම්මා එහෙම කරන්නේ ඇයිද කියා මට අහන්නට තරම් දයිරියක් එදවස නොවූ නමුත්....
අද මම වරකා ගෙඩිය බැ ගසා මදුලු ටික වෙන්කර හොදම ඒවා..තෝරා අපේ ගෙදර උන්දාට දෙනකොට එදා මට නොලැබුණු උත්තරේ අද මං විසදන බව දැනෙයි.

කොහොමින් හරි වරකා බෙදන කොටම හිතිං මං අනේ මගේ වෙයං..වෙයං කියලා.. වෙනකරගත්තු වරකා පලුව ම මගේ අතට දෙන අම්මා.. දිහා...මං බලන්නේ අඩේ අපේ අම්මා නං අංජනම් දේවීම තමා.. කියලා හිතිං කියාගන්නා ගමන්‍ ය. ඊලගට ඒක උස්සාගෙන සැනින් අන්තර්ස්දාහන විය යුතුය. ඒකට හොට දැමීමේ ආක්‍රමණිකයන්ගෙන් බේරාගෙන රොබින්සන් අන්දරේ මෙන් මා දැන් වහ වහා වරකා කෑමේ මෙහෙයුමේ සන්නද්ධ විය යුතුයැයි කියා...පස්ස උස්සාගෙන වරකා පලුව අතට ගන්නකොටම....

"හා....දැන්ම යන්ඩ බෑ.....

වරකා පලුව මෙතන තිබිච්චාවෙ....මේ සේරම අස්පස් කරදමන්ඩ උදව් වෙලා ..යන්ඩ පුලුවන්..."

ඒ මහා රාජිනියගේ අණ කඩකොට වරකා කෑම ක් නැති නිසා...හිස අකුලාගෙන පොඩි අක්කා සමග වරකා තේවාවේ අස්කොන් මුලක හිටං අස්කර දැමිය යුතුය.

නැවත ඉවුම් පිහුම් වලට ගත හැකි නිසා ඇට වෙනම මැටි ඇතිලියකටය.
වරකා ඉරු..වරකා කටු හරක් දිගේලි කරන්නට එන අයට දෙන්නට පොහොර බෑගයකට දමා හරිග්ගසාඅ තැබිය යුතුය.

පොල් තෙල් බෝතලය තිබූ තැනට ...වතුර ගත් මැටි කෝප්පය සෝදා තැබීම...පංගු කල වරකා බෙදා හැරීම ...ගෝනි පඩංගු අස් කිරීම... බිම කොහොල්ලෑ ගෑවී ඇත්නම් ඒවා පොල් තෙල් දමා පිරිමැද අස්කිරීම....යනාදී කටයුත්ත අප අහවර කර දමන තුරු අම්මා..
වරකේ කපන්න නාවා පේ කර ගත් ඇඹුල් කැත්ත මුල් තිබූ තත්ත්වයටම පිරිසිදු කොට තබන කොහොල්ලෑ..ට එදිරි පොල්තෙල් මෙහෙයුමේය.

"අම්මා....දැං...හරිද...! " ඒ මංය.

"හා හරි කියපං..අම්මේ.... දැං හරි කියපං අම්මේ...කියා උත්තරය හිතින් තතනමින් දකුණු කකුල පෙරට තබං දුවන්නට බලං ඉන්නේ..මගේ වරකා පංගුව චීනාගේ ආක්‍රමණයක් එනවා වාගේ බිරාන්තියකින් බේරාගෙන දුවන්නට වාගේ ය.

ඒ වචන ටික ඇසී.. අම්මාට...පැය ගානකට පස්සේ...ඇස් වලින් හිනාවක් බේරෙන්නේ..එතකොටය...

හා....! හරි...
ඔන්න ඔතන එහා පැත්තේ තව පුංචි පලුවකුත් ඇති ! .......

අඩේ!.... වරකා...බෝනස්....

එතනින් පසු ...

ඒ.....
කතාවේ ක්ලයිමැක්ස් එකය....
ඒක රහ වැඩිම හරිය නිසා..ලියන්නට ඉඩ මදිය...

©අනුපමා ගල්කඩවල

14/04/2021

හා ..මාත් එක්කම තාලෙට කියාපියව්...
" කැත්තක්‌ අරගෙන
වත්තට යන කොට
පෙත්තෙක්‌ ඉඳගෙන
කජු කනවා

———————————-

02/04/2021

මේක හැමෝටම අමාරු කාලයක් වුණත්.. ජීවිත කාලෙටම අමාරුවෙන් ගතකරන්න සිද්ධවුණ එකම කාලය මේ ගෙවෙන කාලය වගේ බකංනිලං හූල්ලලා...දාහාසකුත් එකක් හේතු කාරණා දොඩන ලතැවිල්ලේ...මුස්පේන්තුවෙලා..මූසුප්පු වෙන මිනිස්සු හුගක් අස්සෙන්...මේහෙම රුවන් ලා වගේ රත්තරං මුතු මැණික් වටින මිනිස්සුන්ගේ උත්සාහය..වීර්‍ය්ය දිහා බලාගෙන අපිට ඉගෙන ගන්න පාඩම් ඕනෑතරම්.

මම මහරගමින් ටැක්සියට නැග්ග වෙලේ ඉදන් මේ මනුස්සයා ත්‍රී විලරය පදවන ඉවසිල්ල ..දිහා බලං ඉදලා..මං ඇහුවා .
" ඔයා ෆෝර්සස් ඉදලා රිටයර් වෙලාද මේ ටැක්සි එක පදින්නේ...කියලා.."
"නෑ..මිස් ඇයි ඒහෙම ඇහුවේ..."
"නෑ..රුවන් හුගක් දැන් තියෙන ටැක්සියකට නැග්ගම ඒකේන් බහිනකම් අත පය ඉස්කන්ධ සේරෝම ගැන ආසාව මං හිතින් අතෑරගෙන තමයි යන්නේ...මොකද ඒ තරම් හික්මීමෙන් ඒ ටැක්සි මීමෝ ධාවනය කරනවා...
ඉදලා හිටලා ෆොර්සස් වල ඉදලා රිටයර් වෙලා ටැක්සි පදින රියදුරු මහත්තුරු මුණගැහෙනවා..එතකොට විතරයි ගමනක් යන මූඩ් එකෙන් යන්න පුලුවන්.රුවන් මේ ඩ්‍රයිෆ් කරන ඉවසීම හරි වටිනවා...එහෙම කියලා සීට් එකේ පහසුවෙන් වාඩිවෙලා ඉස්සරහ බලනකොට තමයි මේ උඩ එල්ලෙන කොලේ තියෙන පණිවිඩේ මම දැක්කේ...

ඉතිං විස්වාසෙන් කියන්නේ...මේ වගේ වීර්‍යවන්ත මනුස්සයෙක්ට වටිනාකමක් දෙන්න පුලුවන්නම්. ඒක මේ අයට මහා ලොකු හයියක් වෙයි...
මේ යටියන්තොට ඉදන් කොළඹ ඇවිත් පදින ජීවිත යුද්ධේ මී පැණි..කිතුල් පැණි...කිතුල් හකුරු.... වගේ සුමියුරු නැතිබව රුවන්ලා නොදන්නවා නෙවෙයි...
ඒත් මම ආසාම රුවන් ඒ සෑම දෙයක්ම හිනාවෙන් දරාගත්තු උපේක්ෂාවට... වීර්‍යයයට.!

වීඩියෝව අරගෙන රුවන්ගේ අනුමැතිය අරන් තමයි මගේ පිටුවේ මේක පළකරන්නේ.

©අනුපමා ගල්කඩවල

27/03/2021

"වැස්සක් ...
සද්දේ...ඇහෙනවද ඔයාට ...
අද නං හතරකන්දම අකුලන් එන්නේ..."

"ම්ම්ම්ම්ම්.....
ඔය එන එකා ගේ වේගේ අමුතුයි මැණිකේ...ඕකනං අද වහින වැස්සක් නෙමෙයි ..."

" ඔයා කොහොමද පේන කියන්නේ.....ඔය බලන්ඩකෝ අනේ...අර අර හුළං සැරේ..වේගේ....
සාන්තිලාගේ ගෙවල් පැත්තේ අද බණ ගෙදර අප්පා...ජංජාලේ වෙයි..මේ වරුසාවට.."

"ආකහේ ඉස්මත්තේ ඉර එළිය දැක්කද...ඔය බීරං පිඹං ගොරවං එන නාලාගිරියා..ඕං බලාපං දැං තව ඩිංගෙන් නැට්ට අකුලං පස්ස ඇනගන්නහැටි...
හුළං අත නැමෙන්නේ...අහස පැහැදිලි වෙනපැත්තට මැණිකේ.....ඔය වැස්ස අද වහිනේකක් නෙමෙයි ..මං හූනා කියන්නෑ කියන්නේ..."

© අනුපමා ගල්කඩවල

05/03/2021

මෑකරල කැඩෙන්නට රිද්මයක් ඇත්තේය ....

සොබා දහමේ නියතිය අනුව සිදුවන සෑම ක්‍රියාවකටම ඊට ආවේණික රිද්මයකි.බලහත්කාරකමින් සිදුවන කිසිවක එකී රිද්මය නැත්තේය.
කහ කුරුල්ලා ගයන්නේ ඌට අයිති හඩින් ය. වට්ටක්කා කොලයේ මතුපිට ඇති බූව දෙහි කොලයට නැතිය. ඒවා එකේකට හේතු සහිතව ඉපදෙන්නේය.
අප ට මේවායේ පැවැත්මවල් ආයාසයෙන් වෙනස් කල නොහැක්කේය. කුදු මහත් ජෛව චක්‍රයටම මෙකී නීතිය එකමය.

එකී ධර්මතාවයට එහා කිසිවක් නැතිය. ධර්මතාවය පැවතීම පිළිබදව යථා අවබෝධය උවද ආයාසකර අල්ලා ගැනීම කළ නොහැකිය.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tale Hunters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share