17/06/2021
#ලංකාවට_එරෙහිව_බටහිර_රටවල්_පෙළගැසෙති
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් බරපතල ගැටලු මතුවෙමින් පවතින අතර ඒ අතරින් අලුත්ම ගැටලුව නැගී තිබෙන්නේ යුරෝපයෙන්ය.
ගෙවුණු බ්‍රහස්පතින්දා, ලක්ස්ම්බර්ග්හි යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ දී, එක්තරා යෝජනාවලියක් සම්මත විය. මෙයත් සමග ශ්‍රී ලංකාවට යුරෝපයෙන් හිමිකර දී, තිබෙන ජීඑස්පී බදු සහනය අහිමි කැරෙනු ඇතැයි බිය පළව තිබේ.
පෙර අවස්ථාවක ජීඑස්පී ප්ලස් බදු සහනය ඉවත් කිරීමට (පසුව මෙම බදු සහනය නැවත ලබාදෙන ලදී) තුඩුදුන් සිදුවීම් කිහිපයක්, නැවත වරක් සිදුව තිබෙන සෙයක් මෙහි පසුබිම අධ්‍යනය කිරීමේ දී, හදුනාගන්නට ඇත. කෙසේවුවත්, එදාට වඩා අද, වෙනසක් පවතී. එදා, යම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූයේ නම් එය පළමුව බ්‍රසල්ස්හි පිහිටි යුරෝපා සංගම් මූලස්ථානයට ඉදිරිපත් කළ යුතු විය. නමුත් අද එසේ නැත. එදා සිට අද දක්වා ගෙවී තිබෙන කාලය ඇතුළත, තනිව ක්‍රියාකාරී විය හැකි වන සේ යුරෝපා පාර්ලිමේන්තුව බලගන්වා තිබේ.
මෙම යෝජනාවලිය, යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන් 704 දෙනාගෙන්, 628 දෙනෙකුගේ (එනම් තුනෙන් දෙකක බහුතරයකින්) ඡන්දයෙන් සම්මත විය. යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව ඉදිරියට මෙවැනි යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය දැන සිටියේ ද? යන්න මෙතැන ඇති ගැටලුවයි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචි මාර්ගයකට අනුව, බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම යෝජනාවලිය දෙමළ ඩයස්පෝරාවේ මෙහෙවීම මත සකස්ව ඇති එකක් යැයි මෙරට බලධාරීන්ට දැනුම් දී තිබෙන අතර එය දවාල ගෙවී රැය නිසැකවම එළැඹෙන්නා සේම අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එම පණිවුඩය ලබා දී තිබෙන්නේ ද යෝජනාවලිය සම්මත කරගැනීමෙන් පසුවය.
යුරෝපා සංගම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන්ට කරුණු දැක්වීමට බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනුගමනය කර තිබෙන පියවරයන් මොනවා ද?, යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා හිතවත් සාමාජිකයන් සමග නැවතත් සබඳතා ගොඩනගා ගැනීමට බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර නොමැති බවත්, මෙහිදී සදහන් කළ යුතුය.
මෙතෙක් එම සබඳතා ඉදිරියට ගෙන ගියේ ජෙෆරි වැන් ඕර්ඩන් සහ කොළඹ බලයට පත්වන සෑම රජයක් සමගම පාහේ සබදතා පවත්වාගෙන ගිය නිරන්ජන් දේවාදිත්‍ය යන දෙදෙනාගේ සුසංයෝගයේ පිහිටෙනි. බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කල්තියා සූදානමින් සිටිය යුතුව තිබිණ.
මෙම සිදුවීමෙන් නැවත වරක් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ වර්තමානයේ පවත්නා අතිශය ඛේදනීය තත්ත්වයයි.එය දිනෙන් දිනම වඩ වඩාත් අකාර්ශක්ෂම මෙන්ම අලුත්ම තොරතුරුවලින් යාවත්කාලීන නොවන තැනකට පත්වෙමින් තිබේ.
යෝජනාවලියෙන් ගෙනහැර දක්වා ඇති හේතු
1. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් 2013 දෙසැම්බර් මස 11 වැනිදා නිකුත් කැරුණු යෝජනාවලියට අදාළව
2. ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගනිමින්, 2021 මාර්තු මස 23 වැනිදා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී, සම්මත වූ යෝජනාවලියට අදාළව
3. 2021 අප්‍රේල් මස 13 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට නව රෙගුලාසි ඇතුළත් කළේය. මේ අරබයා අදහස් දක්වා තිබෙන මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින කණ්ඩායම්වලට අනුව, මෙකී නව රෙගුලාසි නිශ්චිතව යමකට අදාළ කරගත හැකි භාවයෙන් තොරය. එමෙන්ම මෙම රෙගුලාසි හරහා, විරුද්ධ මත දරන්නන්ට සහ රටේ ජාතික සහ ආගමික සුලුතරයට අයත් ජන කොටස්වලට එරෙහිව නීතිය අවියක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබෙන බවටත්, ඔවුන් අනතුරු අගවා තිබේ.
4. ශ්‍රී ලංකාවේ සිවිල් රාජ්‍ය පාලන කටයුතු මිලිටරිකරණය කෙරෙමින් පවතින බව ඉතාම පැහැදිලිව හදුනාගන්නට තිබේ. කෘෂිකර්මය, ප්‍රවාහනය, සංචාරක අංශය වැනි ආර්ථික කටයුතුවලට අදාළ ක්ෂේත්‍රයන්වල එදා සිට අද දක්වාම මිලිටරියේ යම් නියෝජනයක් පවතින අතර 2020 සිට සැළකීමේ දී අඩුම තරමින් දැනටමත් සේවය කරන හෝ හිටපු හෝ මිලිටරි සහ බුද්ධි අංශවලට අනුයුක්ත පුද්ගලයින් අවම වශයෙන් 28 දෙනෙකුවත් පරිපාලනමය වශයෙන් ප්‍රධාන යැයි සැළකිය හැකි තනතුරුවලට පත්කර තිබේ. එම පත්කිරීම් අතර, යුද සමයේ අවසන් භාගයේ දී යුද අපරාධ සහ මිනිස්කමට තරම් නොවන අපරාධ සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවලින් චෝදනා නගා තිබෙන ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් අවම වශයෙන් දෙදෙනෙකුවත් සිටිති. එමෙන්ම යුද්දය පැවැති කලාපවල ආරක්ෂක අංශ වඩ වඩාත් ගැවසෙමින් සිටින බවටත්, මුර කපොලු ප්‍රමාණය වැඩි කෙරෙමින් පවතින බවටත් වාර්තා පළවේ.
5. ඝාතනයන්ට සහ අතුරුදන් කරවීම්වලට අදාළ ඉහළ පෙලේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විමර්ශනවලින් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතියත්, යුද අපරාධ සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනා විමසුමට ලක් කිරීම සදහා පැවැති රජයෙන් ලබාදුන් පොරොන්දු මෙන්ම සංහිදියාව ගොඩනැංවීම සදහා යුද්දයට පෙර සහ පසු පවතින ගැටලුවලට විසදුම් සෙවීමට දුන් පොරොන්දු, ශ්‍රී ලංකාවේ නව රජය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30.1 යෝජනාවලියට අනුග්‍රහය දක්වන්නේ නැතැයි නිල වශයෙන්ම ප්‍රකාශ කර තිබීම හමුවේ ආපස්සට ගොස් තිබෙන බව පෙනේ. එමෙන්ම, අතුරුදන්වූවන් දැනට සිටින ස්ථානයන් සොයාගැනීමත්, අවැසි උපකාර ආදිය ලබාදීමටත් වෙනුවෙන් පසුගිය රජය සමයේ දේශීය මට්ටමින් පිහිටැවුනු කාර්යාලයන් දෙකෙහි කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් ද, පවතින්නේ සහතිකයක් ලබාදිය නොහැකි තත්ත්වයකි.
6. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඉතාම මෑතක නිකුත් කර තිබෙන වාර්තාවක, ත්‍රස්ත විරෝධී පණත කටතේ කැරෙන නව අත්අඩංගුවට ගැනීම්, අන්තර්ජාතික වශයෙන් පිළිගත් පිළිවෙත් මත ගොඩනැගෙන නව පණතකින් එය ප්‍රතිස්ථාපනය කැරෙන තෙක් අත්හිටුවිය යුතු බව නැවත වරක් අවධාරණය කර තිබේ.
සාමාජිකයන් 17 දෙනාගේ යෝජනාවලිය
1. ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින, රජයේ සිවිල් කටයුතු සීඝ්‍රයෙන් මිලිටරිකරණය වෙමින් පවතින, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට පවතින ආයතන සෝදාපාලුවට ලක්වෙමින් තිබෙන, අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා නැගී තිබෙන අයවලුන්ට රැකවරණය මෙන්ම දේශපාලන නියමයෙන් එකී අයවලුන් සම්බන්ධයෙන් වන විමර්ෂණ කටයුතු අඩපණ කැරෙමින් පවතින, සුලුතර ජන සහ ආගමික කොටස් නියෝජනය කරන ජනතාව තවදුරටත් ආන්තීකරණය කැරෙන ප්‍රතිපත්තීන් හදුන්වාදෙමින් පවතින, සිවිල් සමාජය ආවේක්ෂණය කැරෙන සහ බිය ගැන්වෙමින් පවතින, මාධ්‍ය නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිළෙමින් පවතින, ප්‍රවණතාවක් පසුගිය වසර පුරාවට ශ්‍රී ලංකාවේ හදුනාගන්නට පවතින අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ,
2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ හෝ 2019 අංක 1 දරන හදිසි නීති රෙගුලාසි යටතේ හෝ යටත්වන හෝ අත්අඩංගුවට ගැනෙන පුද්ගලයින්- පුනරුත්ථාපනය යැයි හදුන්වාදෙන වැඩසටහනකට යොමු කැරෙන්නේ යැයි සඳහන් කැරෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතට නව රෙගුලාසි හදුන්වාදී තිබීම, එසේ රැඩිකල්කරණය කිරීමටැයි, පුනරුත්ථාපනය කිරීමටැයි සහ නැවත සමාජගත කිරීමටැයි යැයි මේ හා සමාන නීති යටතේ අතීතයේ හදුන්වාදී තිබෙන වෙනත් මධ්‍යස්ථානයන්වල- වධහිංසන පැමිණවීම්, ලිංගිකත්වය පදනම් වූ අඩත්තේට්ටම් සහ හිංසනයන් වැනි අතිශය බරපතල මට්ටමේ මානව හිමිකම් කඩවීම් සිදුවූ බව, යන කාරණා ඉතාම බරපතල ලෙසින් අවධානයට යොමු කෙරේ. එනිසා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, අන්තර්ජාතික වශයෙන් පිළිගත් තත්ත්වයන් හා අනුකූලවන සේ සංශෝධනය කිරීමට උත්සුක වන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
3. අතීතයේ සිදුවූ බරපතල මට්ටමේ උල්ලංඝණය කිරීම්වලට තුඩුදුන් ප්‍රතිපත්තීන් සහ පිළිවෙත් නැවත හදුන්වා නොදෙන සහ නැවත භාවිතයට නොගැනෙන බව සහතික කරනු වස් පසුගිය අවුරුදු කිහිපයේ දී තැබුණු, ඉතාම සීමාසහිත වුවත් ස්වභාවයෙන් ඉතාම වැදගත් පියවරයන් ආපසු හරවන තැනට තර්ජනයක් විය හැකි මෙවන් ප්‍රවණනතා මැඩපවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
4. ජගත් මානව හිමිකම් කවුන්සිල 30.1 යෝජනාවලියට සහ වෙනත් අදාළ යෝජනාවලීන්ට දැක්වූ සම-අනුග්‍රහකත්වය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් කණගාටුව පළකරන අතර, යුද සමයේ දී අන්තර්ජාතික මානව හිමිකම් සහ මානවවාදී නීතිය කඩව ඇතැයි නැගී තිබෙන චෝදනා අරබයා වගකීම් සහගතව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් උදක්ම ඉල්ලා සිටී. මානව හිමිකම් කඩකැරෙන සිදුවීම් නැවත සිදු නොවීමටත්, සුවය සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීමටත් තුඩු දෙන පරිද්දෙන්, වගවීම සහතික කිරීමට සහ යුක්තිය පසිඳන බව සහතික කිරීම උදෙසා, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතු පිළිවෙතක් පෙරදැරිව අතීතයේ වූ සිදුවීම් විමසුමට ලක්කරන්නැයි ඉල්ලා සිටින අතර, එහිලා ගෙවුණු වසර කිහිපය ඇතුළත රටේ ස්ථාපිත කැරුණු ස්වාධීන ආයතනවල කාර්යභාරය සහ වැදගත්කම අවධාරණය කැරේ.
5. ආගමට සහ විශ්වාසයන්ට පවතින නිදහස පුලුල් කැරෙන බව තහවුරු කරනු වස්, සියලුම ජන කොටස්වලට තම තමන්ගේ ආගම් සහ විශ්වාසයන් නිදහසේ ඇදහීමට පවතින අවස්ථාව වඩ වඩාත් ප්‍රවර්ධනය කිරීමට උත්සුක වන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
6. කවුන්සිලයට, යුරෝපා පරිබාහිර සේවා අංශයට, කොමිසමට, රජයන්ට, සාමාජික රටවල පාර්ලිමේන්තුවලට සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට, මෙම යෝජනාවලිය යොමු කරන්නැයි සභාපතිවරයාට උපදෙස් දේ.
2017 වසරේ දී, එවක යහපාලන රජයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රස්ත මර්දන පණත ප්‍රතිස්ථාපනය කරන්නේයැයි මෙන්ම යුරෝපා සංගමය අපේක්ෂා කරන අනෙක් පියවරයන් ක්‍රියාවට නංවන්නේයැයි ද, මෙරටට පැමිණි යුරෝපා සංගම් දූත පිරිසකට සහතියක් දුන්නේය. දැන් මෙසේ යෝජනාවලියක් ඉදිරිපත්ව තිබෙන්නේ එසේ ලබාදුන් සහතිකය අනුව කටයුතු කර නොමැති නිසා යැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයක් සදහන් කළේ ය. අනතුරුව යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැති අතර, ඉන් මාස කිහිපයක ඇවෑමෙන් ජීඑස්පී පලස් බදු සහනය ඉවත් කරගැනීම සිදුවුනි.
මෙවර නම්, බදු සහනය ඉවත් කරගැනීම දක්වා එතරම් කාලයක් ගතනොවීමට ඉඩ තිබෙන බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේය. මේ සම්බන්ධයෙන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය කුමන හෝ පියවර ගැනීමක් සිදුකර ඇතිදැයි යන්න තවමත් පැහැදිලි නොමැත. තිබෙන එකම වාර්තාව වන්නේ යුරෝපයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයකු (ඔහු සිටින රටට අමතර තවත් රටක තානාපතිවරයා ලෙස ද, පත්කර සිටින්නෙකි), එම රටවල දෙමළ කණ්ඩායම් පවත්වාගෙන යමින් සිටින සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු විමසුමට ලක්කළ යුතුව ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් යම් යාන්ත්‍රණයක් සකස් කළ යුතුව ඇතැයි ද, යැයි යුරෝපා බලධරයින්ට ඉදිරිපත් කර තිබෙන යෝජනාවකි.
එයට ලැබී තිබෙන ප්‍රතිචාරය සිනහවක් බැව් සැළය.මෙම තානාපතිවරයා වෙනත් කාරණා සම්බන්ධයෙන් දැනුම්වත්ව නොසිටි බව මින් මනාව පැහැදිලි වේ. මෙවැනි දේවලින් සිදුවන්නේ රට තවත් අපහසුතාවයට පත්වීම පමණකි.
18 වැනි පරිච්ඡේදය
ශ්‍රී ලංකාව අරබයා චීනයේ භූමිකාව ක්‍රමයෙන් විශාලවෙමින් තිබීම සහ ඔවුන් ශ්‍රී ලංකාවේ කටයුතුවලට වඩාත් මැදිහත්වෙමින් සිටීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.
චීනය හා ශ්‍රී ලංකාව අතර වර්ධනය වෙමින් පවතින සබඳතා අරබයා යුරෝපා කලාපයට පැවැති විරෝධය මෙතෙක් තිරය පසුපසට පමණක් සීමාවී තිබුණ ද, මෙම යෝජනාවලියෙන් එය අවසානයේ කරළියට පැමිණ ඇත. ඔවුන් මෙම සබඳතාවය- චීනයේ භූමිකාව ක්‍රමයෙන් විශාලවෙමින් තිබීම සහ ශ්‍රී ලංකාවේ කටයුතුවලට වඩාත් මැදිහත්වෙමින් සිටීම යැයි විස්තර කර තිබීම, යුරෝපා සංගමය කර ඇති නව නිරීක්ෂණයකි.
මීට පෙර අවස්ථාවක එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් කණ්ඩායමක්, එම කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා රජයේ උත්සාහය වන්නේ එම යෝජනාව විවාදයට ගැනීමෙන් වළක්වාගැනීම බව පෙනෙන්නට තිබෙන නමුත් එවැනි උත්සාහයක් අසාර්ථක වන්නට තිබෙන ඉඩ වැඩිය.
එක්සත් ජනපද ව්‍යවස්ථාවට අනුව, එරට සම්පූර්ණ ව්‍යවස්ථාදායක බලය හිමිව තිබෙන්නේ සෙනට් මණ්ඩලයෙන් සහ ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලයෙන් සැදුම්ලබන ඇමරිකා කොංග්‍රසයටය. නීතියක් සම්මත කැරෙන ආකාරය ද, වැඩිදුරටත් දක්වා තිබෙන එරට ව්‍යවස්ථාවට අනුව- පළමුව ජනතා නියෝජිතයෙකුගේ අනුග්‍රහය යටතේ පණතක් ඉදිරිපත් කෙරේ. එම පණත අධ්‍යනය කිරීම සදහා කමිටුවකට යොමු කෙරේ. එසේ යොමු කැරුණු පණත අධ්‍යනයෙන් පසුව නිදහස් කිරීමට එකී කමිටුව කටයුතු කළහොත්, ඡන්ද විමසීමට, විවාද කිරීමට හෝ සංශෝධනය කිරීම සදහා කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරනු වස්, දිනයක් වෙන් කෙරේ.
ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලයේ සරල බහුතරයකින් (435 න් 218 ක්) පණත සම්මත වුවහොත්, එය සෙනට් මණ්ඩලය වෙත යොමු කෙරේ. සෙනට් මණ්ඩලයේ දී, පණත නැවතත් අධ්‍යනය සදහා කමිටුවකට යොමු කැරෙන අතර, අධ්‍යනයෙන් පසුව එය එකී කමිටුවෙන් ද, නිදහස් කැරුණහොත්, පණත විවාදයකට සහ ඡන්ද විමසීමකට ලක් කෙරේ. මෙතැන ද, සරල බහුතරයක් හිමිවුවහොත් (100 න් 51 ක්) පණත සම්මත වේ.
අවසානයේ දී, ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලයේ සහ සෙනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් සම්මන්ත්‍රණ කමිටුවක් හමුවට මෙසේ සම්මත කරගත් පණත ඉදිරිපත් කැරෙන අතර, එහිදී ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලය හමුවේ සම්මත කර ගැනුණු සහ සෙනට් මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරියේ සම්මත කර ගැනුණු පණත්වල යම් යම් වෙනස්කම් පැවතෙතොත්, ඒවා සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණීම සිදුවේ.
එසේ සම්මත කර ගැනෙන පණත, අවසාන අනුමැතිය සදහා ජනතා නියෝජිතයන්ගේ මණ්ඩලය වෙත මෙන්ම සෙනට් මණ්ඩලය වෙතත් යොමු කෙරේ.එයින් පසුව එය මුද්‍රණයට යැවේ.පණත නීතියක් බවට පත්කිරීම සදහා සිය අත්සන යෙදීමට ජනපතිවරයාට දින 10ක කාලයක් ඇත.එය නිශේධනය කිරීමට ද, ඔහුට හැකිය.
මෙම යෝජනාවලිය කොංග්‍රසය හමුවට ඉදිරිපත් කිරීම සදහා සාමාජිකයන් 20 දෙනෙකුගේ අත්සන් අවැසිය. එසේ දැනටමත් එයට සිය අත්සන යොදා ඇති එක් අයෙක් වන්නේ ටොම් මලිනොව්ස්කි යැයි දැනගන්නට තිබේ.
රාජ්‍යතාන්ත්‍රිකයෙක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු අයිතීන් සම්බන්ධයෙන් වන ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු හිටපු අතිරේක ලේකම්වරයෙක් ද, වන ඔහු, වර්තමානයේ ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ හතත්වැනි දිස්ත්‍රික්කය නියෝජනය කරන කොංග්‍රස් සභිකයකු ලෙස කටයුතු කරයි. මෙම සමස්ත ක්‍රියාවලිය පසුපස සිටින ප්‍රධාන චරිතය, උතුරු කැරොලිනා ප්‍රාන්තය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකාවක බව, තානාපති රවිනාථ ආරියසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී තිබෙන අතර, එම ප්‍රදේශයේ සැළකිය යුතු කොටි හිතවාදීන් පිරිසක් සිටින බව කියැවේ. එහෙත්, වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම යෝජනාවලිය සම්බන්ධව දැනගෙන තිබෙන්නේ ටැමිල්නෙට් වෙබ් අඩවියෙන් ද? එසේ වේවා හෝ නොවේවා, ඉදිරිපත් කැරෙන තෙක්ම මේ සම්බන්ධයෙන් ඔවුන් කිසිත් නොදැන සිටි බව පැහැදිලිය.
එක්සත් ජනපද කොංග්‍රසය හමුවට ඉදිරිපත්ව තිබෙන යේාජනාවලියෙත්, ගෙවුණු බ්‍රහස්පතින්දා යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ යෝජනාවලියත්, සැළකිල්ලට ගැනීමේ දී, ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවලිය සම්මත වූ දිනයේ සිටම, බටහිර රටවල් මෙරටට එරෙහිව එක්ව පෙළගැසෙමින් සිටින බව හොදින්ම පැහැදිලි වේ. එය කිසිදු ලෙසකින්වත් අපේක්ෂා නොකෙරුණු තත්ත්වයකි. දැනට පවතින තත්ත්වය යටතේ, විදේශ කටයුතු අමාත්‍යංශයට මෙම තත්ත්වයට මුහුණදීමට තරම් හැකියාවක් තිබේ ද? යන්න ගැන කිසිවෙකුටත් විශ්වාසයක් නැත.
ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි