
19/03/2024
දස මාසයක් නුඔ කුස තුල හොවාගෙන
දසතින් වසින නින්දා වැහි දරාගෙන
මතු දින සිගිති හසරැල් හිත මවා ගෙන
මම ඉවසුවෙමි පුතුනේ සිත හදාගෙන
මවු උනුසුමට තුරුලුව නුබ නිදන පැයේ
නොදැනිම දෙතන කිරි එරුනා මවගෙ ලයේ
මිය ගිය සෙනෙහසක අරුනලු නොඑන පැයේ
ආදර පුතුනි තනියට උනු කදුලු තියේ
රෑ සද සමග අම්මා කොයිබද යන්නේ
උදයේ හිරුට කලියෙන් කොහි සිට එන්නේ
කුමටද මේ තරම් මිනිසුන් ගරහන්නේ
නොඅහන් පුතේ මගෙ හදවත කකියන්නේ
මේ ඉර යටදි මට ගරහන බනින දන
සද සිසිලසේ මට ලංවෙති හැදින දැන
ලෝකය මේ වගෙයි පුදුමයි වටහ ගෙන
පුතුනේ මතු දිනක හිනැහී දිලෙනු මැන
දුටුවේ නෙතේ කැල්මයි මගෙ කදුල නොවේ
ඇසුවේ නුරා ස්වරයයි ඉකිබිදුම නොවේ
වින්දේ සොදුරු පහසයි සෝ සුසුම නොවේ
සිදුනේ අගය මිස මගෙ මවු සෙනෙහෙ නොවේ
ගැහැනිය වුවද ලෝකය පිලිකුල් කරන
අම්මා කෙනෙකි හද සෝ ගින්නක දැවෙන
පුතු මතු දිනක උගතකු වී එනු දකින
සිහිනය එයයි අද මා ජීවත් කරන
වෛද්‍ය දිමුතු මධුවන්ති ජාතුංආරච්චි