04/11/2021
ලංකාවට මුලින්ම මෝටර් රථ ආපු හැටි
වසර දහස් ගණනක් පුරාවට මානවයා සිය ගොඩබිම ප්‍රවහාන කටයුතු සිදුකර ගැනීම සදහා මිනිසුන් සහ සතුන් මතත්, ඊට අමතරව ජලය මත ප්‍රවහාන කටයුතු සදහා සුළං බලය මතත් යැපුණේය. පසුව සියවසකට පෙර තාක්ෂණයේ දියුණුවත් සමග පැමිණි මෝටර් රථය ප්‍රවහානයේ විප්ලවීය වෙනසක් ඇති කළ අතර එකල ලංකාව තාක්ෂණය සහ ප්‍රවහානයේ සිදු වූ විප්ලයවට අනුව හැඩගැසීමේදී පසුගාමී නොවීය. මුල් ම මෝටර් රථ නිෂ්පාදන සමාගම් එකල කරත්ත සහ බයිසිකල් නිෂ්පාදන සමාගම් විය. මුල් ම මෝටර් රථ ඛනිජ තෙල්, විදුලිය හෝ වාෂ්ප මගින් බලගන්වන ලද අතර රථයේ මගීන් ගමන් කරන කොටස ඉදි කරන ලද්දේ අශ්වකරත්ත නිපදවන්නන් විසින් වන අතර එය හදුනාගැනීම තරමක් අපහසු විය හැක. වාර්තාවල සදහන් වන ආකාරයට ක්‍රි. ව. 1904 දී "Locomobile" වර්ගයේ මෝටර් රථ 9 ක්, "Oldsmobile" වර්ගයේ රථ 4 ක් (මාදිලි නිශ්චිතව දක්වා නැත), "Humberette" වර්ගයේ මෝටර් රථ 3 ක්, "Turner Mierse" වර්ගයේ මෝටර් රථ දෙකක් සහ "Wolseley" වර්ගයේ මෝටර් රථයක් කොළඹ නගරයේ තිබී ඇත.
නිශ්චිත වර්ෂය පිළිබඳව යම් විවාදයක් පැවතියද, ලංකාවට මෝටර් රථයක් ආනයනය කළ පළමු පුද්ගලයා "Edgar Money" ලෙස සැලකේ. මෙම මෝටර් රථය "Rover 8" වර්ගයේ රථයක් වූ නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ එය "Weston steam" වර්ගයේ මෝටර් රථයක් වූ බවයි. මෙම මෝටර් රථ වර්ග දෙකම මුලින්ම ක්‍රි. ව. 1904 දී නිපදවන ලද ඒවා විය. මුලින්ම මෝටර් සයිකල් නිෂ්පාදනය කළ "Rover" සමාගම "Daimler" සමාගමේ සිට පැමිණි "Edmund Lewis" විසින් සැලසුම් කරන ලද අශ්ව බල අටකින් (8 hp) යුත් මෝටර් රථ නිෂ්පාදනය දක්වා සිය නිෂ්පාදන පුළුල් කරන ලදී. "Edgar Money" විසින් ලංකාවට ගෙන්වන ලද මෝටර් රථය එකල බ්‍රිතාන්‍යයේ පවුම් 200 ක මිලකට අලෙවි වූ අතර "A - 9" අංක තහඩුව සහිත එම මෝටර් රථයේ ජායාරූපය ක්‍රි. ව. 1909 අතර කාල වකවානුවේ ගෙන ඇත. මුලින්ම ලංකාවේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී අංක තහඩු වල ඉංග්‍රීසි අක්ෂරය මගින් මෝටර් රථය ලියාපදිංචි කළ නගරය :- "A" අක්ෂරයෙන් කොළඹ දිස්ත්‍රික්කයද, "B" අක්ෂරයෙන් කළුතර දිස්ත්‍රික්කයද, "C" අක්ෂරයෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයද, "D" අක්ෂරයෙන් නුවර දිස්ත්‍රික්කයද ලෙස පෙන්වන ලදී.
නිශ්චිත දිනවකවානුවක් සටහන්ව නොමැති "GC Gnapp" මහතා සිය "Oldsmobile Curved - dash" වර්ගයේ මෝටර් රථයත් සමග සිටින ජායාරූපය ලංකා මෝටර් රථ ඉතිහාසයේ පැරණිතම ජායාරූපය ලෙස සැලකිය හැකි අතර, ක්‍රි. ව. 1901 සිට ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද මෙම වර්ගයේ මෝටර් රථ ලොව මහා පරිමාණයෙන් නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථ වර්ගය ලෙස සැලකෙන අතර, මෙම මෝටර් රථ වර්ගය එකල බ්‍රිතාන්‍යයේ පවුම් 150 ක මුදලකට අලෙවි වන ලදී. එකලම ජායාරූප ගත කළ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම දානපති ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා (Sir Charles Henry de Soysa) මැතිදුන්ගේ දෙවන පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් ජෝසෆ් රිචඩ් ද සොයිසා මහතා (Alfred Joseph Richard de Soysa/ A. J. R. de Soysa) සිය "Humber 12 HP Touring" වර්ගයේ මෝටර් රථයත් සමග පෙනී සිටින ජායරූපය ලාංකික මෝටර් රථ රියදුරෙකු සිය මෝටර් රථය සමග පෙනී සිටි පැරණිතම ජායාරූපය ලෙස සැලකිය හැක. සුවිශේෂී රේඩියේටර් ග්‍රිල් සහිත මෙම විශේෂිත මෝටර් රථ මාදිලිය නිෂ්පාදනය කරන ලද්දේ ක්‍රි. ව. 1904 දී පමණක් වන අතර එහි මිල ගිනී 300 ක් (ආසන්න වශයෙන් පවුම් 315) විය. ඇල්ෆ්‍රඩ් ජෝසෆ් රිචඩ් ද සොයිසා මහතාගේ බාල සහෝදරයෙකු වන සහ ශ්‍රී ලංකාවේ අශ්ව රේස් රජු ලෙස සැලකෙන එඩ්වින් ලයනල් ෆ්‍රෙඩ්රික් ද සොයිසා (Edwin Lionel Frederick de Soysa / E. L. F. de Soysa) ලංකාවේ මෝටර් රථයක් හිමි කර ගත් ප්‍රථම ලාංකිකයා වන අතර සොයිසා මහතාගේ අනෙකුත් බාල සහෝදරයන් අතරින් :-
කොළඹ රෙජිනා වලව්වේ නිර්මාතෘ (වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරය) තෝමස් හෙන්රි ආතර් ද සොයිසා (Thomas Henry Arthur de Soysa/ T. H. A. de Soysa) මහතා ඉතාලියේ නිෂ්පාදිත " "Isotta Fraschini" වර්ගයේ මෝටර් රථයක්,
ජේම්ස් සැමුවෙල් වෝල්ටර් ද සොයිසා මහතා (James Samuel Walter de Soysa/ J. S. W. de Soysa) ස්පාඤ්ඤයේ නිෂ්පාදිත "Hispano Suiza" වර්ගයේ මෝටර් රථයක්,
රෙජිනෝල්ඩ් අර්න්ස්ට් ස්ටීවන් ද සොයිසා ( Reginald Ernest Stephan de Soysa/ R. E. S. de Soysa) බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත "Crossley" වර්ගයේ මෝටර් රථයක්,
පිළිවෙලින් හිමි කර ගැනීමට සමත් විය.
ක්‍රි. ව. 1905 දී පමණ කොළඹ "Walker & Sons" ආයතනයේ ප්‍රදර්ශනාගාරයේ තබා තිබූ මෝටර් රථ තුනෙන් එකක් "Oldsmobile Model N" වර්ගයේ මෝටර් රථයක් වන අතර අනෙක් මෝටර් රථ දෙක "Humberette" වර්ගයේ හෝ "Rover 8" වර්ගයේ මෝටර් රථ විය හැක. ක්‍රි. ව. 1909 දී පමණ ජායාරූපගත කළ ඊළග ජායාරූපය වන "GC Gnapp" මහතා සිය " 45 HP Maudslay" වර්ගයේ මෝටර් රථයත් සමග පෙනී සිටින ජායාරූපයේ මෝටර් රථය ක්‍රි. ව. 1907 - 1911 අතර කාලයේ නිපදවන ලද අතර ක්‍රි. ව. 1910 දී බ්‍රිතාන්‍යයේදී මෙම වර්ගයේ මෝටර් රථයක මිල පවුම් 700 ක් විය. බ්‍රිතාන්‍ය වැවිලිකරුවෙකු වන "Kenneth J. Harper" මහතාගේ මෝටර් රථය ක්‍රි. ව. 1910 දී නිපදවන ලද "Beeston-Humber Tourer" වර්ගයේ මෝටර් රථයක් වන අතර "F. J. de Saram" මහතාගේ මෝටර් රථය ක්‍රි. ව. 1911 දී නිෂ්පාදිත "Daimler" රථයක් බව පෙනේ. ක්‍රි. ව. 1913 දී වෘත්තීය මෝටර් රථ රියදුරෙකුගේ දෛනික වැටුප පවුම් 0. 20 ක් (ආසන්න වශයෙන් එකල ඩොලර් 1 / රු. 2 ) වූ අතර බහුතරයක් රියදුරන් බර්ගර් ජාතිකයන් සහ යුරේසියානු ජාතිකයන් විය. වාහන ආනයන බද්ද 5. 5% ක් වූ අතර, වෙළෙන්දෙකු විසින් ආනයනය කරන ලද/ විකුණන ලද (සම්පූර්ණ බොඩිය සමග) වාහනයක කොමිස් මුදල සියයට 10 ත් 25 ත් අතර වන ලදී. එකල රියදුරු බලපත්‍රයක මිල රුපියල් 1.60 ක් වන අතර ආදායම් බලපත්‍රයක ගාස්තුව මෝටර් රථ සඳහා රුපියල් 13 කින් සහ යතුරුපැදි සඳහා රුපියල් 3.20 කින් ආරම්භ විය. පෙට්‍රල් ගැලුමක මිල සත හැටක් විය. එකල මෝටර් රථයක් හිමිකර ගැනීම තමන්ගේ තත්වය පෙන්වීමේ සංකේතයක් වූ අතර යුරෝපීය මෝටර් රථවල ගුණාත්මකභාවය සහ කීර්තිය ඇමරිකානු මෝටර් රථවලට වඩා හොඳ යැයි සැලකිණි. ඊට හේතු වූයේ අමතර වාර්නිෂ් ස්ථර යුරෝපීය මෝටර් රථවලට වඩා හොඳ බැබළීමක් ලබා දුන් නිසා වන අතර සග පිත්තලෙන් නිම වූ උපාංග වලට වඩා නිකල් වලින් නිම වූ උපාංග වඩාත් ගුණාත්මක වූ නිසාත් ය.
ක්‍රි. ව. 1902 දී "Lt. Skelton" මහතා විසින් ගෙන්වන ලද "Wolseley" වර්ගයේ මෝටර් රථය අද වන ලංකාවේ සුරැකිව ඉතිරිව පවතින පැරණිතම මෝටර් රථය වේ. වර්තමානයේ "Darup Peiris" මහතා භාරයේ පවතින මෙම මෝටර් රථය ඔහුට උරුම වූයේ සිය පියා වන සහ ආසියාවේ ප්‍රථම වරට ක්‍රි. ව. 1953 දී ලංකා පෞරාණික මෝටර් රථ සමාජය ආරම්භ කරමින් පැරණි වාහන සංරක්ෂණයට උදව් කළ සුප්‍රසිද්ධ පැරණි මෝටර් රථ ලෝලියෙකු වූ "Chitru Peiris" මහතාගෙනී. එකල ඉදි කරන ලද මෙම වර්ගයේ මෝටර් රථ මාදිලි 50 න් දෙකක් පමණක් අද වන විට ඉතිරිව ඇත. එක මෝටර් රථයක් "Q - 53" අංක තහඩුව යටතේ ලංකාවේ ඉතිරි වී ඇති අතර අනෙක් මෝටර් රථය ඕස්ට්‍රේලියාවෙ ඉතිරි ව පවතී. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ඉතිහාසයේ ප්‍රථම දශකයේ සිට අදටත් ධාවන තත්වයේ ඉතිරි ව පවතින පැරණිතම රථය මොරටුවේ හර්සිල් ප්‍රනාන්දු (Hercil Fernando) මහතා සතු ව පවතින ක්‍රි. ව. 1908 දී නිෂ්පාදිත "Albion" වර්ගයේ ලොරි රථයකි. මෙය ලංකාවේ ප්‍රථම ලොරි රථ වලින් එකක් වූ අතර ක්‍රි. ව. 1913 තරම් අගභාගය වන විටත් "Albion" සහ "Lacre" වර්ගයේ ලොරි රථ 30ක් පමණක් රට තුල තිබී ඇත. කිසියම් සුවිශේෂී අහඹු සිදුවීමක් ලෙස, මොරටුවේ වරුසහැන්නදිගේ ජෝසප් සොයිසා (Warusahennadige Joseph Soysa)(1764-1839) ඉහත සඳහන් කළ පීරිස්, ද සොයිසා සහ ද මැල් පවුල්වල මුතුන් මිත්තෙකු වන අතර හර්සිල් ප්‍රනාන්දු මහතාගේ අර්ධ සහෝදරයා ද ඔහුගෙන් පැවත එන්නෙකි.
ලංකා මෝටර් රථ ඉතිහාසයේ පළමු දශකයේ නොතිබුණද, ලංකා මෝටර් රථ ඉතිහාසයේ පැරණි මෝටර් රථ තුනක් පිළිබදව මෙහි විශේෂයෙන් සදහන් කළ යුතුය. ඒවා නම් ක්‍රි. ව. 1913 දී නිෂ්පාදිත "Pipe" වර්ගයේ මෝටර් රථයක්, ක්‍රි. ව. 1922 නිෂ්පාදිත "Rolls Royce" (රෝල්ස් රොයිස්) වර්ගයේ මෝටර් රථයක් සහ ක්‍රි. ව. 1935 දී නිෂ්පාදිත "Railton" වර්ගයේ මෝටර් රථයක් වේ. ප්‍රථමයෙන් සදහන් කළ බෙල්ජියමේ නිෂ්පාදිත අශ්ව බල විස්සේ "Pipe" වර්ගයේ මෝටර් රථය (උච්චාරණය 'පීප්') ක්‍රි. ව. 1913 දී බ්‍රිතාන්‍යයේ පවුම් 380 කට අලෙවි කරන ලදී. මෙම මෝටර් රථයේ ලාංජනය ලෙස ඇත්තේ රේඩියේටරය වෙනුවට තබා ඇති "හබ් - කැප්" මත (hub - caps) නිරූපනය වන දුම්කොළ පයිප්පයකි. මෙම මෝටර් රථය තවමත් "දැරණියගල" (Deraniyagala) පවුල සතුව පවතී. දෙවනුවට සදහන් කළ "රෝල්ස් රොයිස්" වර්ගයේ මෝටර් රථය ක්‍රි. ව. 1922 දී මෙරටට ආනයනය කළේ පානදුරේ ඩයස් පවුලේ සෙලෙස්තිනා රොද්‍රිගෝ ඩයස් (Mrs. Selestina Rodrigo Dias) මැතිණිය විසිනි. තෙවනුවට සදහන් කළ ක්‍රි. ව. 1935 දී ලොව වේගවත්ම මෝටර් රථය ලෙස හැදින්වුණු, තත්පර 8. 8 ක කාලයක් තුල බින්දුවේ සිට පැයට සැතපුම් 60 ක් දක්වා වේගය වැඩි කර ගත හැකි "Railton Straight Eight Sports Tourer" වර්ගයේ මෝටර් රථය, "Railton" සමාගම ක්‍රි. ව. 1933 - 1939 අතර කාල වකවානුවේ පමණක් පැවතුනද මෙම මෝටර් රථය තවමත් ලංකාවේ ප්‍රසිද්ධ පවුලක් වන "විදානෙලාගේ ද මෙල්" පවුල සතුව පවතී. "රෝල්ස් රොයිස්" වර්ගයේ මෝටර් රථ බ්‍රිතාන්‍යයේ ධනවත්, ප්‍රසිද්ධ සහ රාජකීය පවුල් තුල උනන්දුව ඇති කළ හොදම මෝටර් රථ වර්ගය වන අතර "Minerva" වර්ගයේ මෝටර් රථ මිල දී ගත් ප්‍රසිද්ධ පුද්ගලයන් අතර බෙල්ජියමේ, නෝර්වේ සහ ස්වීඩනයේ රජවරුන් සහ හෙන්රි ෆෝඩ් (Henry Ford) මහතාද ඇතුලත් විය. බෙල්ජියමේ පළවන ඇල්බට් රජු (Albert I of Belgium) අශ්ව බල තිහේ සහ පනහේ "Pipe" වර්ගයේ මෝටර් රථවල රසිකයෙකු වූ අතර බ්‍රිතාන්‍යයේ හත්වන එඩ්වඩ් රජු (Edward VII) රජුගේ තේරීම "Daimler" වර්ගයේ මෝටර් රථයක් විය. ස්පාඤ්ඤයේ 13 වන අල්ෆොන්සෝ රජු (Alfonso XIII of Spain) සිය නාමය ස්පාඤ්ඤයේ නිෂ්පාදිත "Hispano-Suiza" වර්ගයේ මෝටර් රථ නම් කිරීම සදහා ලබා දුන්නේය.
(මූලාශ්‍රයන් :- The Complete Catalogue of British Cars 1895-1975, British and European Car Spotters Guide, Grace's Guide to British Industrial History, Flickr Vintage Vehicles, PreWarCar.com, Henry D Baker, William de Alwis, Arnold Wright, Michael Roberts, Hugh Karunanayake, Asgi Akbarally, Varun Coutinho, Dash de Soysa)
...............................................................................
මෙම ලිපිය මීට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් "Dash de Soysa" විසින් සිය "facebook" ගිණුමේ පල කර තිබුණා. ස්තූතියි ඔබතුමන්ට මෙම වටිනා ඓතිහාසික තොරතුරු අපත් සමග බෙදා ගැනීම සම්බන්ධව
එම ලිපිය බැලීමට පහත Link එක වෙතට යන්න :-
https://www.facebook.com/100014142826372/posts/1142959542852129/
...............................................................................
This post was created by Selaka Pasan Gunaratne on 03. 11. 2021
...............................................................................