03/02/2023
"සිංහල – දෙමළ – මුස්ලිම් සහෝදරත්වයෙන් ජීවත්වීමට මාලිමාවට ඡන්දය දෙන්න"
“දිගන, අලුත්ගම, සාෆිගේ ප්‍රශ්නවලට විපක්ෂ නායක එක වචනයක් කතා කළේ නෑ“
අපරාදෙ යැයි නොසිතෙන ඡන්දයක් දෙනවා නම් ඒ මාලිමාව පමණක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
සමන්තුරේ පැවති ජාතික ජන බලවේගය ජනහමුව අමතමින් පසුගියදා ඒ මහතා මෙසේ කීය. වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද කීය.
වසර ගණනාවක් ඔබ ඡන්දය දීලා ආණ්ඩු මාරු කළා. ආණ්ඩු මාරු කළාට රටට යහපතක් වෙලා නැහැ. මොනවගේ මාරුවක්ද ඕනෙ? අපේ රටේ මහජනයාගේ ධනය හොරකම් කරන දේශපාලනය වෙනුවට මහජනයාගේ ධනය ආරක්ෂා කරලා ජනතාවට වැඩ කරන දේශපාලනයක් ඕනෙ. ඒ වැඩේ කරන්නේ මාලිමාව විතරයි. මහින්දට මේ රටින් පැනලා යන්න දෙන්නේ නෑ කිව්ව මෛත්‍රී, මහින්දට අගමැතිකම දුන්නා. 2019 ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නා, මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහව හිරේ යවන්න. හැබැයි බලයට ආපු ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නා. මේ ගොල්ලෝ කවදාවත් හොරු අල්ලන්නේ නෑ. හොරුන්ට දඬුවම් දෙන්නෙ නෑ. ඒගොල්ලෝ එකට ඉන්නේ. දූෂිතයෙක් දූෂිතයෙකුට කවදාවත් දඬුවම් දෙන්නේ නෑ. එහෙනම් මේ වංචාව හා දූෂණය නතර කළ හැක්කේ, දූෂිතයන්ට දඬුවම් දිය හැකිවන්නේත් මාලිමාවේ ආණ්ඩුවකට විතරයි.
මේ රට හදන්න අපි හොරකම නතර කරනවා. හොරුන්ට දඬුවම් දෙනවා. හොරකම් කළ දේපොළ නැවත පවරා ගන්නවා. අන්න ඒ වෙනස, මාලිමාව ඇති කරනවා. අපේ රටේ රාජ්‍ය සේවය කඩා වැටිලා තියෙනවා. වැඩක් කරන්න අමාරුයි. රස්තියාදු වෙනවා. කාර්යක්ෂම නෑ. මේ රාජ්‍ය සේවයට මොකක්ද වුණේ. දේශපාලකයින් පත්වීම් දුන්නා. වරාය පිරෙව්වා. අධ්‍යපන අමාත්‍යාංශය පිරෙව්වා. ඡන්ද ගන්නවා. ඡන්දෙට වැඩ කරපු අයට රස්සා දෙනවා. පහුගිය කාලේ දැක්කාද එක්කෙනෙක් සියඹලා ගහයට රස්සා දෙනවා. කොහොමද දෙන්නේ? උස නම්, සිකුරිටි. මිටි නම් කම්කරු. දුන්නාද? එහෙම රාජ්‍ය සේවයක් හදන්න පුළුවන්ද?
අපේ රාජ්‍ය සේවය විනාශ වුණේ, බඳවා ගන්නේ, උසස්වීම් දෙන්නේ, මාරුවීම් කරන්නේ දේශපාලනයට. මේ රාජ්‍ය සේවය හිතුමතේට පිරෙව්වා. මේ රැස්වීමට මේ තරුණයෝ ඇවිත් ඉන්නවා. මේ රැස්වීමට ආපු එක, මාලිමාවට වැඩ කරන එක රස්සාවක් ගන්න සුදුසුකමක් වෙන්නේ නෑ. රස්සා ලැබෙන්නේ සුදුසුකමට, හැකියාවට. එහෙම ආණ්ඩුවක් ඕනෙ නැද්ද? අන්න ඒ ආණ්ඩුව හදන්නේ මාලිමාවේ අපි.
මේ රට හදන්න ජාතික සමගිය ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස ප්‍රධාන ජන කණ්ඩායම් තුනක් ජීවත්ව ඉන්නවා. සිංහල, දෙමළ ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරනවා. බුද්ධ ධර්මය, ඉස්ලාම් ධර්මය, හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය ප්‍රධාන ආගම් හතරක් අදහනවා. එහෙනම් මොකක්ද කරන්න ඕනෑ. මෙම ජන කණ්ඩායම් අතර සමගිය ඇති වෙන්න ඕනෑ. මේ ජාතීන් අතර සමගිය ඇති කරන්නේ නැත්නම් ඒ රටක් දියුණු වෙන්න නෑ. දියුණු වුණු සෑම රටකම තියෙනවා ජාතික සමගිය. අපේ රටේ තියෙන්නේ ජාතිවාදය. ඕගොල්ලන්ට මතකද? ගෝඨාභය ජනාධිපති වෙනකම්, වඳ කොත්තු තිබ්බා. වඳ ඇඳුම් තිබෙනවා කිව්වා. ජනාධිපති වුණාට පස්සේ වඳ කොත්තු, වඳ ඇඳුම් ඉවරයි. සමහර කඩවලට යන්න එපා කිව්වා. වඳ දොස්තරලා ඉන්නවා කිව්වා. සිංහල අම්මලා හාරදහක් වඳ කරලා තිබෙනවා කිව්වා. ගර්භාෂ යුද්ධයක් කිව්වා. ගෝඨාභය ජනාධිපති වෙනකම් විතරයි. ඊට පස්සේ සාෆි දොස්තර මහතාට හිඟ වැටුප් ගෙව්වා. ඒ නිසා මේ පාලකයෝ බලය වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කර ගත්තා. එදා සාෆි දොස්තර මහතාගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කතා කළේ මම විතරයි.
දිගන, අලුත්ගම ප්‍රශ්න ඇතිවෙන කොට, පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති වුණු ප්‍රශ්නවලදී ජාතික ජන බලවේගයේ අපි ජාතිවාදයට එරෙහිව අපි ජාතික සමගිය වනුවෙන් පොර බැදුවා. ඕගොල්ලො බලන්න, දිගන, අලුත්ගම, සාෆිගේ ප්‍රශ්න ඇතිවෙන කොට ඔය විපක්ෂ නායක කතා කරපු එක වචනයක් පෙන්වන්න. අහල තිබෙනවාද? මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටියේ කවුද? ජාතික ජන බලවේගයේ අපි. මේ රටේ ජාතික සමගිය ඇති කරන්න පුළුවන් කාටද? අපිට. අපේ පරම්පරාවේ කට්ටිය යුද්ධ ඇති කර ගත්තා, ඇනකොටා ගත්තා. ගහ මරා ගත්තා. අපේ දරුවොත් ගහ මරා ගන්න ඕනැද? අන්න ඒක වෙනස් කරන්න ඕනෑ. අපේ දරුවොත් ගහ මරා ගන්න ඕනෑ රටක් නම් අනිත් අයට ඡන්දය දෙන්න. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනෑ නම්, අපේ දරුවොත් සමගියෙන් ජීවත් වෙන්න ඕනෑ නම් ඡන්දය මාලිමාවට දෙන්න.
- සිරිමන්ත රත්නසේකර (දිවයින)