06/01/2022
ප්‍රචාරකවාදීයි ! ඔව්. ඒත්…
‘ගිරිදේවි’ සහ ‘සත්‍යාට’ අත්පොළසන්
Dec 31, 2020
ටෙලිනාට්‍ය නම් කලා මාධ්‍යය “තුඃ නොදකින් !” යැයි බැහැර කළ යුතු තැනට පත් කළේ අදක ඊයේක නොවේ. එය එසේ වුවත්, අතිමහත් ජනතාවකගේ පොදු කලා මාධ්‍යය වී තිබෙන්නේ, මෙය ය. පොදු ප්‍රවාහයට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින්, මෙම කලා මාධ්‍යය සතු ශක්‍යතාව ඉතා ම අපූරුවට යොදා ගන්නා නිර්මාණකරුවන් ද නැත්තේ නොවේ. කණ කැස්බෑවා සඳ දකින්නා සේ හමු වන එවැනි නිර්මාණකරුවන් අප තුළ රඳවන්නේ අපේක්‍ෂාසහගත බවක් ය.
ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වී පසුගිය සතියේ එකවර නිමා වූ ටෙලිනාට්‍ය යුග්මය ද මෙම අපේක්‍ෂාසහගත බවට දෙස් දෙයි. ‘ගිරිදේවි’ සහ ‘සත්‍යා’ නාට්‍ය දෙක ය ඒ. දෙකක් ගැන එකවර සටහන් තැබීම පහසු කටයුත්ත්ක් නොවේ. එසේ වුවත්, මේ දෙක ම ගැන එකවර සටහන් කිරීමට සිදු වී තිබේ.
ගිරිදේවි
********************************************************************
දෙක අතුරින් මුලින් ම විකාශය වූයේ ‘ගිරිදේවි’ යි. කොටස් අසූ ගණනකින් යුක්ත විය. ලියුම්කරුට එය හමු වන්නේ කොරෝනා මුල් රැල්ල සමයේ සම්පූර්ණයෙන් ම රට ‘ලොක් ඩවුන්’ කර තිබිය දී ය. හදිසියේ හමු වූ විජිත හේරත් ඒ ගැන කීය. ශාන්ති දිසානායකගේ නවකතාවක් ඇසුරින් සමන් කුමාර ගමගේ තිර රචනය කරන ලද්දක් ය. ඉන්දික ධර්මතිලක අධ්‍යක්‍ෂණය කළ අතර, කැමරා අධ්‍යක්‍ෂණය ඉන්දික ලක්මාල්ගේ ය. ශ්‍රීනාත් පෙරේරාගේ නිෂ්පාදනයක් ය. මෙම සිවුදෙනාගේ මෙහෙයැවීමෙන් කර තිබෙන නිර්මාණ කාර්යය පැසැසිය යුතු ය. නළු නිළි කැළ ඇතුළු අනෙකුත් සියලු ම සද්ජනයන්ගේ නිර්මාණාත්මක දායකත්වය ප්‍රශංසනීය වෙත්.
‘ගිරිදේවි’ නවකතාව කියවීමට නොහැකි විය. ඒ පමණක් නොව ටෙලිනාට්‍යයේ මුල් කොටස් ටික පවා නැරඹිය නොහැකි විය. මෙම සටහන තැබෙන්නේ එම අඩුපාඩුකම් දෙකට යටත්ව ය.
‘ගිරිදේවි’ නරඹන බොහෝ වර සිතේ යළි යළි ඉපැදුණු උධෘත දෙකක් විය. එකක් “සිදුර පමණක් නොවේ ය ගැහැනිය” යන්නයි. මතකයේ විදියට මෙය තිබෙන්නේ, පරාක්‍රම කොඩිතුවක්කුගේ නැත් නම්, මොනිකා රුවන්පතිරණගේ කවියක ය. කවියෙන් ඒ බව කීව ද, ගැහැනිය බහුභාණ්ඩික පාරිභෝගික සමාජයට තවත් එක් පාරිභෝගික භාණ්ඩයක් නැත් නම්, කෙළිබඩුවක් පමණක් ය. මේ බව වඩාත් තීව්‍ර කරගෙන තිබෙන සමාජ-ආර්ථික සහ දේශපාලනික ක්‍රමය රට තුළ රජ කරමින් තිබේ.
දෙවැනි උධෘතය තිබෙන්නේ මෙන්න මේ නිසා ම ය. ප්‍රදීපා ධර්මදාස තම විරෝධාකල්ප ගීය ප්‍රදීපස්ථම්භයට ගෙන ආ සමයේ ගැයූ ගීයක ය. ඒ “වරෙව් මහතුනේ කුණු කය වළඳන්න…” යනුවෙනි. මතකයේ හැටියට ඒ මීට දශක දෙකකටත් වඩා පෙර දී ය. ආශා නැත් නම්, සඳුනිත්, සඳුනිගේ අම්මාත් සඳුනිව මන්ත්‍රී අපේක්‍ෂක අතපත්තු ළඟට ගෙන යාමේ බ්‍රෝකර්කම කරන කාන්තාව වසන්තගේ විවාහක බිරිඳගේ පමණක් නොව සඳුනිගේ ආච්චිගේ පවා ආත්මයේ කීරිගාන වේදනාවක් තිබේ. හුදු පාරිභෝගික භාණ්ඩයක් පමණක් බවට පත් කරගෙන සිටින ගැහැනියගේ වේදනාව ය. මේ බව හරියට කියවා ගැනීමට නම් සඳුනිගේ ආච්චිගේ චරිතයේ නොකියැවූ පරිච්ඡේද කියවා ගත යුතු ය. වයෝවෘද්ධ ආච්චිගේ මුහුණෙන් පිළිබිඹු වන්නේ කාට හෝ කියා ගැනීමට බැරි වූ මහාමෙරක් තරම් වූ ඒ වේදනා ය.
ආච්චිගේ අත්විඳීම් සහ සඳුනිගේ අත්විඳීම් අතර වෙනසක් ඇත් නම්, ඒ වෙනස පවතින්නේ රදළ බල සහ අද සර්වජන ඡන්ද බලයෙන් ප්‍රජාතන්ත්‍රීයව පහළ සිට ඉහළට පාලකයන් තෝරා ගන්නා ව්‍යුහාත්මක වෙනස පමණි. එය තවත් පැහැදිලි කරන්නේ නම්, ආච්චිගේ ජීවිතය චප්ප කළ දඬුඅඬුව වූයේ ඉංග්‍රීසින් හඳුන්වා දුන් සර්වජන ඡන්ද බලයෙන් පත් කර ගත් මෙම්බර් සහ වැඩවසම් බල ධුරාවලියේ යාන්ත්‍රණය ය. සඳුනිගේ ජීවිතය චප්ප කිරීම සිදු වන්නේ ටෙලිනාට්‍යයෙන් නොපෙන් වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිලධාරීන්ගේ සහ සර්වජන ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා මන්ත්‍රී උත්තමයන් යන දඬුඅඬුව තුළ ය.
ශාන්ති දිසානායකගේ ‘ගිරිදේවි’ නවකතාවේ කට්ටාඩියෙක් සිටී. නිධානයක් ගැනීමට සඳුනි බිලි දීමට කුමන්ත්‍රණය කරන අයෙකි. ජී.බී. සේනානායකගේ ‘නිධානය’ කෙටිකතාවේ ද නිධානයක් ගැනීමට කාන්තාවක් බිලි දේ. සඳුනිගේ ආච්චි නියෝජනය කරන්නේ, එදා 1950 පමණ දශකය ය. එදා බිලි දීම සහ අද බිලි දීම අතර තිබෙන ආර්ථික, දේශපාලනික අපේක්‍ෂාවල දශමයක හෝ වෙනසක් නොපවතී. ජී.බී. සේනානායක සහ ශාන්ති දිසානායක අතර කාලයේ මැද සිට පරාක්‍රම කොඩිතුවක්කු හෝ මොනිකා රුවන්පතිරණ හෝ “සිදුර පමණක් නොවේ ගැහැනිය” යනුවෙන් හඬනඟයි. ඊට සමාජ සම්මුතිමය එකඟතාවක් මිනිස් සන්තානයේ නොවේ. එවැනි වටිනාකමක් ලැබෙන ආර්ථික, දේශපාලනික, සමාජ සංස්කෘතියක් නිර්මාණය කළ නොහැකි විය. මේ නිසා ම එදා 1990 දශකයේ දෙවැනි භාගයේ අතිශය ප්‍රහාරාත්මක වේශයකින් “වරෙව් මහතුනේ කුණු කය වළඳන්න” යැයි හඬ නැඟීමට ප්‍රදීපා ධර්මදාසට සිදු විය.
යක්‍ෂණියක් වූ ගැහැනිය හමු වන්නේ මෙම සමස්ත පසුබිම තුළ ය. සිඟිති දැරියකව උපදින්නේ ම ආත්මීය කෙළෙසීමට ලක් වීමෙන් ය. එය ‘අවජාතක’ යන ලේබල්කරණයේ සිට කිව නොහැකි තරම් අනන්ත සිද්ධි තුළ පැතිරී තිබේ. ජනාධිපතිවරණයට දින කීපයකට පෙර වැඩි ම අශූචි මිශ්‍ර කැලණි ගඟේ පිහිනා ආ ශුද්ධ’වූ නාගයකු ඉන් මතු’වී ගැලවුම්කරුවකු ගැන විමුක්ති පණිවුඩය ගෙන එයි. ඔහු පත් කර ගැනීමට අතිමහත් කාන්තාවන් පිරිසක් ඡන්ද පොළට දක්කනු ලබයි. කාන්තාවන් මේ සා විශාල පරාසයක කෙළෙසා තිබේ. කොරෝනා වසංගතය හමුවේ කෑගල්ල, අරණායක, පැණි බාස්ගේ පෝලිමට සුවිශාල කාන්තාවන් පිරිසක් දක්වනු ලැබීම තවත් නිදසුනක් ය. වඩා බලවත් ම ඛේදවාචකය ස්වකැමැත්තෙන් ම මේ දේවල් භාර ගන්නා තත්ත්වයට කාන්තාවන් පත්ව සිටීම ය.
ආශා යක්‍ෂණියක වී සිටින්නේ, මෙම සියලු තත්ත්වයන්ට එරෙහිව කොන්දේසි විරහිතව, අනුකම්පා විරහිතව සටන් වැදීම නිසා ය. යමක් සවිඥානිකව ගත්තේ නම්, කාන්තාවන් භාර ගත යුත්තේ, මෙම යක්‍ෂණියක් වීම ය. ආශා නැත් නම්, සඳුනි ගැහැනියක වීම උදෙසා ද කරන්නේ අතිශය ප්‍රබල අරගලයක් ය. කිසිවකුට හෝ පැහැර හැරිය නොහැකි සඳුනිගේ ආත්මය තියුණුව පෑරෙන්නේ, සඳුන්ගේ කුණු කතාවලින් ය. ඒ හමුවේ සුපුරුදු ප්‍රහාරාත්මක අවිවලින් සඳුන්ට පහර දෙන්නී ය. එහෙත්, කල් දුටු වහා ම සඳුන් යළිත් ඇය පාරවන්නේ ය. අවසානයේ සඳුනි සඳුන්ට පහර දෙන්නේ, “වරෙව් මහතුනේ කුණු කය වළඳන්න…” යන ප්‍රදීපාගේ ගී පද උපුටා ගනිමින් ඇඳිවත ලිහා දැමීමෙන් ය. සඳුනිගේ මෙම ප්‍රහාරය හමුවේ, සඳුන් අන්ත අසරණ අඩියකට වැටේ. අනෙකුත් සියලු කොන්දේසි ඉවත දමා මෙම ස්ත්‍රිය සහ පුරුෂයා අවියෝජනීය ප්‍රේමයෙන් බැඳෙන්නේ ද මෙම නිමේෂයේ දී ය.
ඒ පමණක් නොවේ. සඳුනි මුළු ජීවිත කාලයක් පුරා විඳි නොගිණිය හැකි තරම් අපමණ වධ වේදනා, නින්දා පරිභව සියල්ල මුදාහරින මොහොතක් පැමිණිණ. ඒ සඳුන්ගේ උරහිස මත කඳුළු වගුරන මොහොත ය. ආත්මයේ තෙරපී, ගල් වී තිබෙන සියලු වේදනා මුදාහරිය යුතු ය. ගැහැනියක් ඒ සියල්ල මුදාහරින්නේ කඳුළෙන් ය. කඳුළු මුදාහැරීම නිකම් ම කළ නොහැකි ය. දැනීම් තිබෙන හැඬීම් දැනෙන පිරිමි උරහිසක් හමු විය යුතු ය. සඳුනිට හමු වූ ඒ අව්‍යාජ උරහිස, කඳුළු සැලීමට තරම් යෝග්‍ය වූ උරහිසක් ය. අද සමාජයේ කාන්තාවන්ගෙන් මෙවැනි උරහිසක් හමු වන්නේ කී ලක්‍ෂයකින් කෙනකුට’ද?
‘ගිරිදේවි’ අනුකම්පා විරහිතව, පසුනොබා සටන් කරන ස්ත්‍රී ආත්මයක් පමණක් නොවේ. පිරිමිියාට නියම පිරිමිකම කුමක් දැයි ප්‍රතිරූපණය කළ නිර්මාණයක් ය. ස්ත්‍රියට ස්ත්‍රී ගෞරවයත්, පිරිමින්ට නියම පිරිමි ගෞරවයත් එකට එක් කළ නිර්මාණාත්මක මුද්‍රාව තබා ‘ගිරිදේවි‘ නිම විය.
සත්‍යා
*******************************************************************
‘සත්‍යා’ ටෙලිනාට්‍යය වෙනස් ම ආකාරයේ තේමාවක් ගත් නිර්මාණයකි. මිනිසුන් මිහිදන් කරනු ලබන කනත්තේ දී නන්නාඳුනන මිනිසුන් එකිනෙකා හමු වීම පිළිබඳ කතාවක් ය. නාමල් ජයසිංහ තිර රචනය කර චරිත් අබේසිංහ විසින් අධ්‍යක්‍ෂණය කරන ලද්දක් ය. කපිල සුගත් කැමරා අධ්‍යක්‍ෂණය කළ මෙය චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි. කොන්ත්‍රාත්තුවක් ලබා දී ඝාතනය කරන ලද මිනිසුන් තිදෙනකුගේ සිරුරු මිහිදන් කිරීමට කනත්තට ගෙන එනු ලැබේ. එය කිරීම ද කොන්ත්‍රාත්තුවකි. තිදෙනාගෙන් එක් අයකු මිය ගොස් නැත. පණපිටින් මිහිදන් කිරීමක් ය.
කනත්තේ මුරකරු බණ්ඩාර සහ ඔහුගේ තනි කපන සගයන් දෙදෙනෙකි. මේ තිදෙන ජීවිතය විඳින්නේ කනත්තේ මුරගෙය තුළ හමු වීමෙන් ය. මේ තිදෙනා හමු වන පළමු මොහොතේ දී ම සිහිපත් වන්නේ, ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයයි. එහි එක් අවස්ථාවක් නිරූපණය වන්නේ, නිදහස් දිනය දා කනත්තක් සේ පාළුවට ගිය නගරයේ කොනක හමු වන තිදෙනකුගෙන් ය. සොල්දාදු උන්නැහේ, විලී මහත්තයා හා පේමක්කා ය. ‘සත්‍යා’හි හමු වන තිදෙනා අතර කාන්තාවක් නැත. මේ තිදෙනා අතරට එක් වන පණපිටින් වළලන්නට ගිය යෞවනයා ඔවුන්ගේ ඒ දක්වා ජීවිත ගෙවී යාම උස්සා පොළොවේ ගසයි.
‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ තිදෙනා අතරට මේ වැනි සිවුවැන්නෙක් එක් නොවේ. එනිසා ඔවුන්ගේ ජීවිත තුළ තිබෙන හැලහැප්පීම් මිස උස්සා පොළොවේ ගැසීමක් සිදු නොවේ. ‘සත්‍යා’ හි සිවුවැන්නා එනම්, වළෙන් ගොඩ ගත් තරුණයා පසුපස තවත් පිරිසක් සිටිති. ඔවුන් විටෙක තරුණ නාට්‍ය කණ්ඩායමකි. විටෙක ජීවන අරගලය සඳහා පොරබදන කුලියට විකිණෙන ප්‍රචාරක ඔළුබක්කන් ය. තවත් විටෙක රැඩිකල් සමාජ ශෝධකයන් පිරිසක් ය. කනත්තට එකතු වන මේ සිවුවැන්නා පිටුපස සිටින මෙම පිරිස නිසා කනත්තේ දී ජීවිතය විඳින තලතුනා පුද්ගලයන් තිදෙනාගේ ජීවිත උස්සා පොළොවේ ගැසේ. ඒ අලුත් දිශානතියකට එම ජීවිත යොමු කරමිනි. සිවුවැන්නා සහ ඔහුගේ රැඩිකල් සමාජ ශෝධක පිරිස නිසා ටෙලි නාට්‍යය යම් කිසි ආකාරයක අමු දේශපාලනයක් බවට පත් වේ. දෙබස් හරියට දේශපාලන වේදිකාවක කතා හා සමාන තත්ත්වයකට පත් වේ. ‘කලාව ප්‍රචාරකවාදී වීම’ යනුවෙන් කෙනකුට ලේබල් කළ හැකි ය.
මෙම ලියුම්කරුට ද එය තදින් ම දැනිණ. “අමුවෙන් දේශපාලනය කතා කරනවා” යන්න පැහැදිලි ය. මේ නිසා ම ‘සත්‍යා‘ කෙරෙහි තද විසංවාදී බැඳීමක් ඇති විය. බැඳීම ක්‍රමයෙන් ශක්තිමත් අන්තයකට ම ගෙනැවිත් නිමාවට පත් කෙරිණ.
‘ප්‍රචාරකවාදී’ යන්න හරියට ම ලිහා තේරුම් කර ගත යුතු ය. මුලින් ම මේ කියන ප්‍රචාරකවාදී අත්හදා බැලීම් කිරීමට අසීමිත නිර්භීතකමක් තිබිය යුතු ය. මන්ද, ‘ප්‍රචාරකවාදී’ යන ලේබලය විශ්වකලා විචාරයේ දී විශේෂයෙන් හමු වන්නේ සෝවියට් දේශයේ කලා කෘති සම්බන්ධයෙනි. යමකු යම් නිර්මාණයක් “ප්‍රචාරකවාදී යැ”යි පැවසුවහොත්, “ඔව්. එය ප්‍රචාරකවාදී තමයි…” යනුවෙන් පිළිගැනීමට දශමයකින් හෝ පසුනොබෑ යුතු ය. මන්ද, ප්‍රචාරකවාදී යන්නෙහි සරල තේරුම ‘ඇඟිල්ලෙන් ඇන පෙන්වීම’ යන්න ය. මේ සමාජය අද තිබෙන්නේ, හැම අතින් ම ඇඟිල්ලෙන් ඇන පෙන්විය යුතු තැනක ය. එසේ නම්, ඇඟිල්ලෙන් ඇන පෙන්විය යුතු ම ය.
‘සත්‍යා’ ටෙලිනාට්‍යය ඒ පැත්තෙන් බැලුව ද විශිෂ්ට ය. යම් කලා කෘතියක් ‘ප්‍රචාරකවාදී’ යැයි නම් කිරීම සිදු වන්නේ නම්, එය එසේ වන්නේ හේතු සහිතව ය. සරල ම දේ ඒ සමාජයට ඇඟිල්ලෙන් ඇන පෙන්වීමේ ගුණයක් ඒ තුළ තිබෙන බව ය. ඊට වඩා ප්‍රබල ම හේතුවක් ද තිබේ. එය නම්, පවතින නව ලිබරල් ධනවාදී ආර්ථික, දේශපාලනික සමාජ ක්‍රමය ‘හීනෙන් පවා දේශපාලනය කරමින් සිටීම’ ය. මේ කියන්නේ, නව ලිබරල් ධනවාදී ක්‍රමය මෙහෙයවන ආණ්ඩු ගැන නම් නොවේ. ඒ ආණ්ඩු මජර ය; කුසීත ය; වලත්ත ය; ඕලාරික ය; පිළිකුල්සහගත ය.
නමුත්, නව ලිබරල් ධනවාදී යාන්ත්‍රණය එසේ නොවේ. ලෝකයේ සියලු ආකාරයේ නව්‍යතා, විද්‍යාත්මක සොයාගැනීම්, මනෝභාවයන්, දැනීම්, හැඟීමි සියල්ල මෙයට උකහා ගනී. එහි ප්‍රචාරක යාන්ත්‍රණය අතිසංවේදී ය; අතිදක්‍ෂ ය. මේ වන විට නව ලිබරල්වාදී සමස්තය ම පවතින්නේ ආර්ථික බලය හෝ අවි බලය හෝ සංවිධාන යාන්ත්‍රණයේ බලය හෝ මත නොවේ. ප්‍රචාරක යාන්ත්‍රණයේ ශක්තිය මත පමණක් ය. පාස්කු ප්‍රහාරවලින් දින දෙකකට පසුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කිරීමේ සිට මේ දක්වා ක්‍රියාත්මක ප්‍රචාරක යාන්ත්‍රණය ගැන හොඳින් නිරීක්‍ෂණය කළ විට ඒ බව තේරුම් ගත හැකි ය.
ආසන්න ම නිදර්ශනය යළිත් හමු වන්නේ කෑගල්ල ධනපාලගේ කොරෝනා පැණි ගැන ප්‍රචාරයෙන් ය. මේ ධනපාල සෞඛ්‍ය ඇමතිනිය ද, කථානායක ද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඇන්දවීය. ඇත්ත ම කතාව ඇන්දුණා නොව තමන් ම ඇඳගෙන ජනතාව ද ඇන්දවීමට ක්‍රියා කිරීමයි. ධනපාල අනුරාධපුරයට ගොස් මහ නාහිමියන් හමුවේ කාලි ආරූඪ කර නොගන්නට අපනයන කර්මාන්තයක් ආරම්භ කිරීමට සැලසුම් කළ කී දෙනකු හිටිය ද? “ධනපති ක්‍රමය හීනෙනුත් දේශපාලනය කරනවා” යන්නේ අර්ථය ඒ තරම් පුළුල් සහ සියුම් පරාසයක පවතී.
ජනමාධ්‍ය විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය සියල්ල ම වාගේ මෙහෙයැවෙන්නේ ‘හීනෙන් පවා දේශපාලනය කරන’ අනේකාකාර වූ ප්‍රචාර වෙනුවෙන් ය. නාමල් ජයසිංහ ‘සත්‍යා’ කරන්නේත්, ඒ වැනි වූ තවත් නිර්මාණකරුවන් සීමිත පිරිසක් තම නිර්මාණ කරන්නේත් මේ තුළ ය. මේ සියලු දෙනා නිර්මාණ කරන්නේ, අසීමිත කට්ටක් කමින් සහ අසීමිත කැප කිරීම් කරමින් ය. ධනපාලගේ කොරෝනා පැණිය ගෙන ඒම තරම් වූ ලක්‍ෂයෙන් පංගුවක හෝ පහසුකම් ඇතිව නොවේ. මේ සියල්ල තුළ ඇඟිල්ලෙන් ඇන පෙන්වීමේ කලාව’ විශිෂ්ට අන්දමින් අත්හදා බලා තිබෙන කෘතියක් ලෙස ‘සත්‍යා’ නම් කළ හැකි ය.
මේ මොහොතේ දී කිසියම් කලා කෘතියක් වෙනුවෙන් කවරකු හෝ “ප්‍රචාරකවාදී යැ”යි කියන්නේ නම්, දිය යුතුව තිබෙන්නේ, එක ම උත්තරයකි. ‘සත්‍යා’ පූර්වාදර්ශය වන්නේ ඒ වෙනුවෙනි.
“ප්‍රචාරකවාදී !”
“ඔව්. ඒ නිසා ම එය විශිෂ්ටයි !”
කලාව සම්බන්ධ අද දවසේ විශිෂ්ටතම සූත්‍රගත කිරීම මෙය ය.
- ප්‍රියදර්ශන දයාරත්න