16/12/2023
රෝස් හා ලාල්
කම්කරු පන්තියේ හැදුනු රංගන ශිල්පීන් පොහොසත් පන්තියේ චරිත වලට හොඳින් අවතීර්ණ වීම රංගන ඉතිහාසයේ සුලභව හමුවෙයි.
එහෙත් පොහොසත් පන්තියෙන් පැමිණ කම්කරු පන්තියේ චරිත හොඳින් රඟපෑම දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
ලොව ජනාදරයට පත් "Game of Thrones" කතා මාලාවේ මිලේච්ඡ සටන්කාරියක ලෙස ජොන් ස්නෝව් හා පෙමින් බැඳෙන "යිග්‍රිට්" නම් ප්රචණ්ඩ තරුණියගේ චරිතයෙන් HBO රසිකයන්ගේ අවධානයට ලක් වූ රෝස් ලෙස්ලි එවැන්නියකි.
රසිකයන් රෝස් ට කොතෙක් වසඟ වූවා ද කීවොත් කතා මාළාවෙන් එළියේ ඇගේ ආදරය හැඳින්වුනේ "Savage Wilding" (මිලේච්ඡ වල් කම) යනුවෙනි.
රෝස් ලෙස්ලි හැදී වැඩුනේ 1400 ගනන් වල ගොඩ නැගූ ස්කොට්ලන්ත බළකොටුවක ය.ඇගේ පියා ස්කොට්ලන්තයේ පැරණි වංශාධිපති ලෙස්ලි පවුලේ ප්‍රධානියා විය.කුඩාම කාලය ප්‍රංශයේ ගත කළ ඇය පසුව "සමර්සෙට් හි මාලිගාවක" සිට පාසල් ගියාය.
රංගනය වෘත්තිය ලෙස තෝරා ගත් රෝස් ප්‍රේමයෙන් බැඳී විවාහ වූයේ GOT කතා මාලාවේ "ජොන් ස්නෝව්" නයිට් වරයා ලෙස රඟපෑ කිට් හැරින්ටන් සමඟ ය.විවාහය සිදු වූයේ 1100 වසරේ ගොඩ නැඟූ පවුලේ බලකොටුවක වන අතර එය අවුරුදු 900 ක් තිස්සේ ඇගේ පවුලට අයිතිව පැවතුනි.
ඒ "Game of Thrones" හි මිලේච්ඡ "යිග්‍රිට්" වූ ස්කොට්ලන්තයේ රෝස් ලෙස්ලි රංගන ශිල්පිනියගේ කතාවයි.
මෙයට සමාන ඊලඟ කතාව වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවෙනි.
ඉතා පැරණි වංශවත්,ඉඩම් කඩම් හිමි පවුලකින් පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් ලංකාවේ විප්ලවීය ව්‍යාපාරයකට බැඳී එහි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් විය.
විප්ලව කිහිපයකින් පසු හිරේ ද ගොස් ඉතා අසීරු කාලයකින් පසු ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙකු බවට පත් විය. ඒ පක්ෂයේ වෘත්තීය සමිති භාරව ද පත් කරනු ලැබුවේ මේ කම්කරු නායකයා ය.
2018 මේ කම්කරු නායකයා තමාගේ පසුබිම,වතු පිටි,ඉඩකඩම් පිළිබඳව විශේෂ අණාවරණයක් සිදු කළ අතර එයින් ප්‍රකාශයට පත් වූයේ මෙතෙක් රටට හෙළි නොවූ ප්‍රභූ පවුලකින් ඔහු පැවතෙන බවත් ඔහුගේ වත්කම් ගැනත් ය.පුදුමයට පත් වූ ශ්‍රී ලංකාවේ ජනතාව මෙතෙක් කල් ඔහු සිය ඉහළ පන්තියේ ස්වභාවය සඟවා කම්කරු නායකයෙකු ලෙස සිදු කළ කාර්යභාරය පිළිබඳව විමතියෙන් විමතියට පත් විය.
මේ පිළිබඳව මේ වන විටත් කිසිදු චිත්‍රපටයක් රූ ගත කර නැති නමුත් ඔහු ලක් සිනමාව නොදැනුවත්වම එයට අහිමි වී ගිය සුපිරි සම්භාව්‍ය රංගන තරුවක් බව විශ්වාස කරන්නෝ බොහෝ සිටිති.
කුමාර කනත්තගේ