27/09/2023
කියවන්න වටින කථාවක්
" මම රුෂාන් මාලින්ද. උපන්නෙ 1983 දි හලාවත මාරවිල. තාත්ත සුළුපන්න ධීවරයෙක්. අම්ම වැඩ කළේ අභ්‍යාසලාභී ගුරුවරියක් විධියට. ඒක ශේර්ණිගත ගුරු වෘත්තියක් නෙවෙයි. පඩිය රුපියල් 1000යි. ඒ කාලෙ කතාවට කිව්වෙ දාහෙ කෑලි කියල. ඒත් ඇත්තට ම අම්මට ලැබුණෙ රුපියල් 1000ටත් අඩු ගාණක්. ඉගැන්නුවෙ කුරුණෑගලට කිට්ටු බිංගිරිය පානවැව ඉස්කෝලෙ. තාත්ත ඇත්තටම දරු පවුල ගැන ලොකු හැඟීමකින් හිටි කෙනෙක් නෙවි. එයා ජීවත් වුණේ එයාගෙ ලෝකවල. අම්ම තමයි ජීවිතේ ඇදගෙන ගියේ…
මේ 86 – 87 වගේ කාලෙ. මට එතකොට අවුරුදු 4-5 ක් විතර ඇති. ඉස්කෝලෙ යන්නෙ නෑ. අම්මයි මායි හිටියෙ හලාවත පැත්තෙ පුංචි කාමර කෑල්ලක් අරන්. තාත්ත ඉතින් ඉඳහිට ඇවිත් යනව. දුප්පත්කම්, නැතිබැරිකම් එමටයි.
දවසක් මේ ඉස්කෝලෙට අගමැති ප්‍රේමදාස මහත්තය හෙලිකොප්ටරේකින් ආව. මාවත් අයිය කෙනෙක් බයිසිකලේක දාගෙන එක්ක ගියා බලන්න. අගමැතිතුමා ඇවිත් යන වෙලේ අපි කට්ටියකට කතා කළා හෙලිකොප්ටරේ ළඟට. ඇතුළටත් නග්ගල අපේ ඔළුව අතගෑව. දැවැන්ත යකඩ ගොඩක්. එළවපු නියමුවත් හිටියෙ හරි ආඩම්බරෙන්. ලොකු ෆෑන් එක කරකැවෙනව. කොහොම හරි අගමැතිතුමා අත වනල උඩට නග්ගල ඉස්කෝල පිට්ටනිය වටේ රවුමක් ගිහිල්ල හෙලිකොප්ටරේ යන්න ගියා. දූවිලි විදගෙන ගිය ඒ අවස්ථාව, ඒ ශබ්දය, හුළං සැර පුංචි මගේ හිතේ තදින් ම පැලපදියම් වුණා. මට එදා හිතුණ මමත් කවද හරි ප්ලේන් එකක් එළවනව කියල. ඒක එදා මං වගේ දුප්පත් පොඩි එහෙකුට හිතන්නවත් බැරි දෙයක්. ඉතින් මං පුංචි කාලෙ කාඩ්බෝඩ් කෑල්ලක් කනට තියාගෙන වයර් කෑල්ලක් ගැටගහල සෙල්ලම් කරනව ගුවන් නියමුවෙක් වගේ මට මතකයි.
ඊට පස්සෙ කාලයක් යද්දි අම්ම බිංගිරියෙන් මාරවිල කොන්වන්ට් එකට මාරු කළා. මං කොන්වන්ට් මොන්ටිසෝරියේ. ඒක ඇරිල ඉස්කෝලෙ ඇතුළෙන්ම එන්න පුළුවන්. ඇවිත් ඉස්කෝලෙ අරෙනකම් අම්මගෙ පන්තිය ළඟට වෙලා ඉන්නව. අපි දෙන්නගෙ ජීවිතේ අමාරු ම, දුෂ්කර ම දුප්පත්කම දැඩිව දැනුණු කාලෙ ඔය. අපට කටුමැටි ගෙයක්වත් නෑ. පුංචි කුලී ගේ කෑල්ලක. ආදායම මදි. ඉතින් අම්ම ඉස්කෝලෙ ඇරිල ඇවිත් ඇඳුම් කෑලි මහනව. පොළට ගිහින් විකුණනව. මට මතකයි මාත් පුළුවන් විධියට ඇඳුම්වල බොත්තම් කාස මහනව අම්මට උදව්වට.
ටී. වී. එකක්, ෆ්‍රිජ් එකක් අඳුනන්නෙවත් නෑ. මාගරින් පැකැට් එක දියවෙනවට තියා ගන්නෙ පිඟානකට වතුර දාල උඩින් විනිවිද පේන ප්ලාස්ටික් කෑල්ලකින් වහල. ටී. වී. එකකට හරි ම ආසයි. මට මතකයි මං ළඟ ගෙදරකට ගිහින් ඒ දවස්වල හරියට ආස කරන ටෙලිනාට්‍යයක් තිබුණ මං ජනේලෙන් ටී.වී. එක බලනව. එක දවසක් ඒ ගෙදර ටී.වී. එක නිව්ව. ඕකට අම්මට හරි දුකයි. ඒ කාලෙ ඉස්කෝලෙට එනව නැෂනල් එකෙන් බඩු විකුණන්න. අම්ම ඉතින් ලොරිය වටේ කැරකැවෙනව. ගන්න විධියක් නෑ.
අම්ම මාව දැම්මෙ වෙන්නප්පුව ජෝසප් වාස් ඉස්කෝලෙට. හලාවතට ගිහින් හලාවතින් යනව වෙන්නප්පුවට. වෙලාවට යන්න බෑ. පරක්කු වුණා ම ෆාදර්ස්ල උදේට පිට්ටනිය වටේ දුවවනව. ඉතින් අම්ම කොහොම හරි වෑන් එකකට දැම්ම. අම්ම තරුණයි, පෙනුමටත් හිටිය. ඉතින් තනිය ම ඉන්නකොට ආරක්ෂාව ගැන හරි ප්‍රශ්න. අම්ම පොඩි ප්‍රශ්නයක් ඇතිවුණත් තවත් කුලී ගෙදරකට යනව. ගෙවල් මාරු කරනව. මට මතකයි මම ගිය වෑන් එකේ ඩ්‍රයිවර් කියනව රුෂාන් කොට්ට මාරු කරනව වගේනෙ ගෙවල් මාරු කරන්නෙ.. කියල. ඉතින් තමන්ට ම ගෙයක් කියන සිහිනය බරපතළ විධියට තිබුණ. අපට ම කියල අඩු ම තරමින් කටුමැටි ගෙයක්වත් නෑනෙ කියල හිතුණු වාර අනන්තයි.
කොහොම හරි පස්වැනි පන්තියට විතර ආව. ශිෂ්‍යත්වයට අමතර පන්ති. අම්ම දෙනව හැමදා ම රුපියල් දෙකක්. යාළුවෙක් හිටිය මට කෑම ටිකක් ගෙනත් දෙන. ගෙදර ආර්ථික ප්‍රශ්න ගැන දන්න නිසා මං අම්ම දෙන රුපියල් දෙක එකතු කරනව. අම්ම අමතර ආදායමක් හොයා ගන්න කියල පුංචි ඉටි කවරවලට කඩල පැකට් කරන්න පටන් ගත්ත. ඉතින් මට දෙනව ගාණට මේ බෑග්වලට කඩල දාන්න. මං කඩල දාල ඉටිපන්දමකින් පුච්චල පැකැට් කරනව. මේක හරියට මැනගන්න බැහැ. අපට පාඩු වෙනවනෙ. මට අහුවුණා බේත් බෝතලේක පුංචි කප් එකක්. දැන් ඕකෙන් හරියට ගාණට දාන්න පටන් ගත්ත. හරි ගාණට වැටෙනව. නැත්නම් අපට පාඩුයිනෙ. ඕකෙන් තමයි මං මුලින් ම කළමනාකරණය ඉගෙන ගත්තෙ. අම්ම ඉස්කෝලෙ කැන්ටින් එකට කියන්නෙ අල්ලපු ගෙදර අක්ක කෙනෙක්ගෙ, එයාට ආදායමක් නෑ. උදව්වට විකුණල දෙනව කියල. නැත්නම් ලැජ්ජයිනෙ. ගුරුවරියක්. අහල පහළ අයත් ඉස්කෝලෙට එනවනෙ. මං ඒ කාලෙ ටෝස්ට් කරපු පාන් කන්න හරි ආසයි. එහෙම දෙයක්වත් අරන් දෙන්න අපේ අම්මට වත්කමක් තිබුණෙ නෑ.
මං අම්මට ගොඩක් ශක්තියක් වුණා. තාත්තගෙනුත් ලොකු පිළිසරණක් නෑනෙ. එක සිංහල අවුරුදු කාලෙක අම්මගෙ අම්මට චීත්තයක් අරන් දෙන්න, මට ඇඳුමක්වත් අරන් දෙන්න අම්මට වත්කමක් නෑ. අම්මයි මායි බෑග් මහගෙන වෙන්නප්පුවේ මඩමකට ගියා විකුණන්න. ඒ සිස්ටර්ස්ල අපට උදවු කළා. අම්මට බොත්තම් කාස මහල බෑග්වලට පටි අල්ලල උදවු කරනව..
මේ මිනිසාගේ ජීවිතය තීරණාත්මක හැරවුමකට ලක්වන්නේ වයස 17දී පමණ ය. කඩවසම් ළාබාල තරුණයෙකු වූ ඔහු ප්‍රේම සම්බන්ධයක වෙළී සිටියේ ය. එය ඔවුනොවුන් අතර දැඩි ආදරයක් බවට පෙරළී තිබිණි. ඒ පළාතේ ධනවත් මාළු මුදලාලි කෙනෙකුගේ දියණිය වූ තරුණිය ගියේ වෙන්නප්පුව කොන්වන්ට් එකට ය. රුෂාන් දුප්පත් තරුණයෙකු නිසා මේ සම්බන්ධයට ඒ ගෙදරින් මාරාන්තික විරෝධයක් ආවේ ය. තරුණියට ගෙදරින් පහර දෙන තත්ත්වයක් ද උදා විය. කොහොමත් සුළුපන්න ධීවරයෙකුගේ පුතෙකු වූ ඔහුට ලොකු මාළු මුදලාලිගේ දුවක, ළං වීමට නොහැකි සමාජ කඩඉමක් විය.
“මගේ ජීවිතයේ ගොඩක් මතක සටහන් තියෙනව මගේ අම්මගෙ අම්ම, ආච්චි එක්ක. මගේ අම්මට නංගිලා දෙන්නෙක් හිටියා. ඒ අයගෙ දරුවොත් එක්ක අපේ පවුල්වල දරුවො 7 දෙනෙක්. ඒ බාප්පලත් පන්න ධීවරයො. හරිහමං ආදායමක් නෑ. මගේ ආච්චි කූඩෙක දාගෙන මාළු විකුණනව. අම්මලට බැරි හරිය අපිව පෝෂණය කරන්න. ආච්චි මාළු කූඩෙත් උස්සන් ගිහින් දවස තිස්සෙ ඇවිදලා හවසට එනව අපිට පාන් රාත්තල් 4ක් අරන්. ඇවිත් පාන් කපල සීනි දාල දෙනව හවසට. ඒකෙන් තමයි අපි බඩ පුරවගත්තෙ. දවසක් අර ගෑනු ළමයගේ අම්ම ඇවිත් අපේ ආච්චිට හරි අපහාස වෙන විදියට බැනල, “උඹ දැනගනින් හිඟන්නොන්ට අපි ගෑනු දෙන්නෙ නෑ. උඹල හිඟන හැත්තක්.” කියල. මගේ ආච්චි මේක මට කියපු දවසේ මගේ ආත්මය කඩාගෙන වැටුණා වගේ මට දැනුණා. ආච්චි ගැනත් අපි ගැනත් පුදුම දුකක් ඇතිවුණා. මං හිතුව මං මේ රටේ ඉන්නෙ නෑ. මට ඒ ආදරය එපා. මං ඉන්දියාවට හරි යනව කියල. එදා අර හෙලිකොප්ටරේට නැගපු දවසෙ ඇතිවුණු හැඟීම වගේ අනෙක් පැත්තෙන් හරි ආත්මානුකම්පාවක, වේදනාවක හැඟීමක් ඇති වුණා. මගේ හිතේ ඒක හරි තදින් සටහන් වුණා. මං හිතුව අපට දුක් මහන්සි වෙලා කන්න දෙන ආච්චිට තවත් වේදනා දෙන්නෙ නෑ කියල…”
රුෂාන්ගේ සිත ද හදවත ද මහා විපර්යාසයකට බඳුන් වන්නේ එතැනදීය. දැඩි සිත් වේදනාවක් මෙන්ම අධිෂ්ඨානයක් ද හට ගත්තේ ය. මේ සියල්ල හැර දමා කිසි ම මිනිසෙකු නැති කැලෑ පාරක අනන්තය දක්වා ඇවිද යන්නට තිබුණා නම් වැනි අමුතු හැඟීමකින් සිත කලකිරී තිබිණි. ජීවිතය යනු හුදෙකලාව කාලය සමග ගෙවී යන එකක් නොව අනාගතය විසින් ඉදිරියට අදිද්දී අතීතය විසින් වැරෙන් තල්ලු කරමින් එයට ශක්තිය සපයන මහා අරුම පුදුම එකක් බව ඔහුට වැටහෙන්නට පටන් ගත්තේ ය.
“ඒ වෙනකොට මම සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළට පය තියනව. ආදරය නැති වෙලා, ඒක පරාජය වෙලා, දුප්පත්කම විසින් ඒක පරාජය කරලා. කොහොමත් ඒ ප්‍රශ්න මැද්දෙ ඇය දිනාගන්න මට බෑ. මං තද තීරණ ගත්තොත් අහිංසක අම්ම, ආච්චි ලොකු කරදරයකට පත්වෙනවා. මං උත්සහ කළා. ඇති තරම් උත්සහ කළා. ඇවිද්දා. ඉන්දියාවට හරි යනව කියල හිතාගෙන හිටපු මට ඒ උත්සාහෙ නිසා ම ජපානයට යන්න අවස්ථාව ලැබුණා. ජීවිතේ යාන්තම් අවුරුදු 18 සම්පූර්ණ වෙද්දි මම ජපානය බලා ගියා..
“ජපානයට ගිහින් වින්ද දුක් කන්දරාව ගැන කියල නිම කරන්න බැහැ. අන්තිම අඩු කුලියට හොයා ගත්ත ගේ කෑල්ලේ මුකුත් පහසුකම් නෑ. තිබුණේ වළ වැසිකිළි. රස්සාවක් හොයා ගත්තා පාරෙ තාර දාන තැනක. ලංකාවෙදි වෙච්ච ඇක්සිඩන්ඩ් එකක් නිසා මගේ පපුව ඇතුළෙ ඉළඇට කැඩිල තිබුණෙ. බර වැඩ කරන්න එපා ටොයිලට් එකට වතුර බාල්දියක්වත් ගෙනියන්න එපා කියල තිබුණෙ. ඒ වුණාට තාර දාන්න තළන ‘රැමර්’ එක වයිබ්‍රේෂන් තියෙද්දි ඇදගෙන යන ජොබ් එකයි මට ලැබුණෙ. මගේ කටට ලේ රහ එන අවස්ථා තිබුණ ඇතුළෙ ඩැමේජ් එක නිසා. ඒත් මං වැඩ කළා. මැරුණත් කමක් නෑ කියල වැඩ කළා. ආයෙ දුප්පතෙක් විධියට ලංකාවට යන්නෙ නෑ කියල හිතා ගත්තා.. ගිනි කාෂ්ටක අව්වෙ ඇඟ හිරිවැටෙන සීතලේ මං වැඩ කළා… වීසා නැතුව හොරෙන් හිටියෙ. ඉමිග්‍රේෂන් පනිනවා. පාන්දර 4.00ට අල්ලන්න එනවා. ඒකෙ වැඩ කරන්න අමාරු වුණා.
“ඊට පස්සෙ හිටාචි කොම්පැනියෙ සබ් එකක රස්සාවට ගියා. යකඩ උණු කරන, පදම් කරන මැෂින් එකක. පුදුම රස්නයක්. ෆැරන්හයිඩ් අංශක හයි ගාණක. ඒ බ්‍රාන්ච් එකේ වැඩ කරන්න ජපන්කාරයොවත් එන්නෙ නෑ. අපාය කියල කියන්නෙ. පුදුම රස්නයක්. ඇඟේ පිච්චුණු තැන් තාම තියෙනව. ඒත් මං වැඩ කළා. මගේ ඔළුවෙ වැඩ කරන්නෙ ලංකාවෙදි අර පෙම්වතියගෙ අම්ම කිව්ව කතාව, හිඟන්නන්ට ගෑනු දෙන්නෙ නෑ කියන එක. කොහොමත් හිඟන්නෙක් වගේ ලංකාවට යන්න බෑ…
ඔය කාලෙදි මට බ්‍රසීල ජාතික යුවතියක් හමුවෙනවා. තාත්ත ජපන්. සිටිසන් තියෙනව. එයාව කසාද බඳින්න මම තීරණය කරනව මට ජපානෙ ඉන්න ඕන නිසා. කරන්න දෙයක් නෑ. මා විසින් ම මාව විකුණා ගත්තා වගේ වැඩක්. ඒත් නොකර බැරි වුණා. අන්තිමට මට වැරදුණා. එයත් එක්ක ඉන්න බෑ. මහා පරපීඩක මානසිකත්වය තියෙන ගැහැනියක්. මගෙන් සල්ලි ඉල්ලනවා. හරියට වධ දෙනවා. වතාවක් මගේ කළවට නියනකින් ඇන්නා ගලව ගන්න බැරිවෙන තරමට. ජීවිතේ එතැනදි වැරදුණා. සල්ලි කොච්චර තිබුණත් මදි. බලනකොට මීට කලින් 5 වතාවක් විවාහ වෙලා ඉඳලා. දවසක් ඇය මං ගෙදර එනකොට මගේ ඇඳුම් ඔක්කොම කීතු කීතු වෙන්න කතුරකින් කපලා. යට ඇඳුම් පවා. මගෙන් ඩිවෝස් වෙන ලියුම කොම්පැනියට යවලා. මට සියලු දේ නැති වුණා. ඉන්න හිටින්න තැනක්. රස්සාව සියල්ල නැති වුණා. ඉන්න තැනක්වත් නැති මට යාළුවෙක් ලයිෂන් ඉන්ෂුවරන්ස් නැති වාහනයක් දුන්නා. මං ඒක කැලෑ පැත්තක නවත්තලා කාලයක් ඒක ඇතුළෙ රාත්‍රිය ගත කළා. හැමදා ම කිලෝ මීටර් 6ක් රස්සාවකට පයින් ගියා. ඇඳුම් මුකුත් නෑ යුනිෆෝම් එක පිටින් කාර් එකට වෙලා රාත්‍රිය ගත කළා. දැන් කාර් එකේ තවදුරටත් ඉන්න බෑ. ජපානේ ගෙදරක අගු පිලක සීතලේ බිම තියෙන කාපට් එකක් පොරෝගෙන දවස් ගාණක් නිදා ගත්තා..
“ඔය අතරේ අර හිටාචි කොම්පැනියේ ජපන් කෙල්ලක් මට ආදරය කළා එයාට මං ගැන දුක හිතිලා. එයා මීට කලින් විවාහ වෙලා වෙන්වී සිටි කෙනෙක්. ඔෂින් නාට්‍යයේ ඔෂින්ගේ ගුණාංග මං ඇය තුළින් දැක්කා. අපි විවාහ වුණා. ඒ නිසා ම මට නැවතත් හිටාචි කොම්පැනියේ රස්සාව ලැබුණා. දැන් මං ජීවිතය ආයෙ පටන් ගන්නවා. උසස්වීමකුත් ලැබුණා. අපි දෙන්නා සල්ලි එකතු කරනවා.
ඔය අතරෙ වාහන බිස්නස් එකට බැස්සා. වාහන කියන්නෙ ලොකු ඉදිකිරීම් බර වාහන. ඒ ගැන දැනුමක් මට තිබුණා. මේවා අරන් ලංකාවට විකුණන්ට පටන් ගත්තා. වැඩ ඇරිලා ගිහින් හවසටත් කෑම වෙලාවෙ විනාඩි 5න් කාලා එළියට පැනලා වාහන හොයනවා. මං රෝසා බස් එකක් රුපියල් 70,000 කට අරන් ලංකාවට එව්වා. ඒ කාලෙ දැන් ඔය ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ හිටියේ ජපානයේ. එයා ඇත්තට ම මට අවංකව උදවු කළා. මං පටන් ගත්තා බර වාහන හඹා යන්න. ඒවායින් ලොකු ලාභ තිබුණා. මං මගේ ජපන් නෝනගෙන් ඇහුවා රස්සාවෙන් අයින් වෙලා සම්පූර්ණයෙන් මේ බිස්නස් එකට බහින්න ද කියලා. ඇය මට ආශීර්වාද කළා.
“කුරුණෑගල කුලියාපිටිය පැත්තේ නාරම්මල මෝටර්ස්, චරිත් මෝටර්ස්වලට, කොම්පැනිවලට ඉදිකිරීම් බර වාහන එවන්න පටන් ගත්තා. අලුත් තාක්ෂණය තියෙන කොන්ක්‍රීට් ප්ලාන්ට්, තාර ප්ලාන්ට්වලට ලංකාවෙ වගේ ම කාම්බෝජය, මැලේසියාව, වියට්නාමය වගේ රටවල ලොකු ඉල්ලුමක් තිබුණා. දැන් මට සල්ලි ලැබෙනවා.
“එදා පුංචි කාලේ ප්‍රේමදාස මහත්තයා ඉස්කෝලෙට ආපු දවසේ සිතුණු මගේ ගුවන් යානා සිහිනය හඹා යනවා කියල මං හිතාගත්තා. ජපානයේ ටෝකියෝවලින් කිලෝමීටර් 800ක් විතර ඈත පුකුෂිමා ප්‍රදේශයට ගිහින් එහෙන් ගුවන් නියමු බලපත්‍රය ගත්තා. ඊට පස්සේ සැහැල්ලු ගුවන් යානා අලෙවිකරණයටත් යොමු වුණා. දැන් මට අඩුවක් පේනවා ජපානයේ පෞද්ගලික ගුවන් පථ ගැන. තියෙනවා ඒත් සීමිතයි. ජපානයේ ඈත ප්‍රදේශයක විශාල ඉඩමක් අරගෙන මීටර් 600ක් දිග පෞද්ගලික ගුවන් පථයක් හැදුවා. ඒ ගුවන් පථය පරිහරණය කරන්න එන ව්‍යාපාරිකයන්, ජපන් දේශපාලනඥයන් මා සමග හිතවත් වුණා. ඔවුන්ගෙන් මුදල් ලැබෙනවා. ලංකාවෙ ගුවන් යානා පුහුණු පාසලක් දාන්න තීරණය කළා. දැන් රත්මලාන ගුවන් තොටුපළේ තියෙන එහි මේ වන විට දරුවන් 60 දෙනෙකු විතර පුහුණු වෙනවා. ඒවා ඔක්කො ම අයිති සකුරායී ගුවන් සමාගමට හා සකුරායී සමූහ ව්‍යාපාරයට. එහි සභාපති මම…”
අපේ කතානායකයාගේ අම්මා ගුරුවරියක ලෙස අතීතයේ අක්කරපත්තුව ප්‍රදේශයේ සේවය කළා ය. ඒ කාලයේ අම්මා සමග එහි ජීවත් වූ පුංචි කොලුවා ලද කටුක අත්දැකීම් මත එහි දුෂ්කරතාව තේරුම් ගෙන අද දිගාමඩුල්ලේ දරුවන් වෙනුවෙන් සුවිශාල සමාජ සේවයක් කිරීමට ඉදිරිපත්ව සිටී. පසුගිය කාලයේ ඔහු ශිෂ්‍යත්ව සමත් දරුවන් ඇතුළු දරුවන් 3,000ක් පමණ සතුටු කිරීම පිණිස හෙලිකොප්ටරයකින් හා සැහැල්ලු ගුවන් යානයකින් විනාඩි 10 බැගින් ගුවන් සවාරි ලබා දුන්නේ ය.
“ඔවුන් කවදා හරි හිතනවා නම් එදා මං හිතුවා වගේ ගුවන් නියමුවෙක් වෙනවා කියලා ඒක මට ලොකු සතුටක්. මේ වන විට අප දිගාමඩුල්ලේ අවුරුදු 25ට අඩු තරුණ දුවා දරුවන්ට ජපන් භාෂාව නොමිලේ උගන්වා ජපානයට යැවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉංග්‍රීසි හෝඩියවත් නොදන්නා දරුවන් ඇතුළු දරුවන් 40 දෙනෙකුට එස් 5 ප්‍රමිතියට භාෂාව උගන්වා මේ මාසයේ අගදී ජපානයේ රැකියා සඳහා යවනවා. ශත 5ක් වත් ගන්නෙ නෑ… මේ විධියට මට විශාල සංඛ්‍යාවක් යවන්න පුළුවන් වුණොත් තව වසර ගණනකදී දිගාමඩුල්ලේ ජන දිවිය ගොඩක් දියුණු වේවි…”🌹🌹🌹❤❤❤
උපුටා ගැනීමකි...