07/06/2021
වත්තල ග්‍රාම නාමය
කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ 5 වැනි සහ හය වැනි සැතපුම් කණු ආශ්‍රිතව වත්තල ග්‍රාමය පිහිටා ඇත. වනවාසල, තෙලඟපාත, හුණුපිටිය, මාබෝලේ, වැනි අනුග්‍රාමයන් වලින් වටවී ඇති වත්තල අද වන විට ඉතා ජනාකීර්ණ නගරයකි. බහුතරය ක්‍රිස්තු භක්තිකයන් ජීවත්වන ප්‍රදේශයකි. මගේ පැටි විය සහ තුරුණු විය ගෙවුනේ මේ නගරයේ ඇති ප්‍රධානම දෙවස්ථානය වන ශාන්ත ආනා දෙව් මැදුර ආශ්‍රිතවය. මෙය මේ නගරයේ ඇති ප්‍රධානම පූජණීය ස්ථානයකි.
වත්තල නගරයට බටහිරින් මුහුදට සමාන්තරව අතිඅලංකාර කල්‍යාණී නදිය ගලාගොස් සේදවත්ත මෝය හරහා සාගරය හා එක් වෙයි. මෙතැන් සිට රටේ ඉහලට හෙවත් උතුර බලා ආදි කාලීන හැමිල්ටන් ඇල ගලා බසී. මේවා වත්තල බටහිර සීමාව ලකුනු කරයි.
වත්තල ග්‍රාම නාමය සම්භවය පිළිබඳ විවිධ මත ඇතත් මෙහිදී ඒවායි වඩා බහුලව භාවිතාවන මතයන් ගැන කථා කරමු.
1. වත්තල නාමය වත්හල යන වචනයෙන් බිදී ආවාක් සේ බහුලව පිලිගැනෙයි. මෙහි
වත් = වස්ත්‍ර යන අරුතින්ද,
හල = ශාලාව යන අරුතින්ද ගැනිනැයි කියති.
අදද වත්තල යනු පේශ කර්මාන්තයට බොහෝ ප්‍රසිද්ධ නගරයකි. අතීතයේ මෙහි විශාල ඇදුම් කම්හලක් පිහිටා තිබී ඒ අරුතින් වත්හල යන්නද, පසුව "හ" ලොප් වී, "ත" ආදේශ වීමෙන් වත්තල නිපැයිනියිද එක් මතයකි.
2. කේ. ජයතිලක ශූරීන්ගේ අර්ථ දැක්වීම අනුව වස්තු ශාලාව යන්නෙන් බිඳී ආවක් ලෙස සලකයි. මේ අයුරින් තිසර සංදේශය නමැති ග්‍රන්ථයේ සඳහන් වී ඇති බව එතුමාගේ අදහසයි. එම මතයට අනුව,
වස්තු ශාලාව - වත් + හල = වත්හල = වත්තල වී ඇත.
වත්තල ඉතිහාසය සහ සංදේශකාව්‍යය.
වත්තල ඉතිහාසය ගැන මුල්ම සටහන එන්නේ කැලණි තිස් රජ සමයේයි. එම යුගයේ සිදු වූ මහ රහතන් වහන්සේ නමක තෙල් කටාරමේ දමා මැරවීමේ සිද්ධිය ඔබ හැම දන්නවා යැයි මම සිතමි. එම තෙල් කටාරම පිහිටියේ වත්තල තෙලඟපාත නම් ප්‍රදේශයේය. මෙ ප්‍රදේශයේ ඇති සුප්‍රසිද්ධ විහාරස්තානය පිහිටි බිමේලු මෙම ක්‍රියාව සිදු වූයේ. ඒ කෙසේ වෙතත් එම යුගයේ සිදු වූ යම් ගංගාව සම්බන්ධ සිදු වීමක් නම් සිදු වී ඇති බව අප කුඩා වුන් සමයේ මේ ප්‍රදේශයේ තිබූ භූ විෂමතා ලක්ෂන අනුව පැහැදිලිව පෙනුනි. නමුත් අද මේ කිසිවක් හඳුනාගත නොහැකි ලෙස වෙනස් වී ඇත.
නවලෝක ග්‍රාමය ඇති ඔලියාමුල්ල නම් ස්ථානය ඔබ දන්නවා යැයි සිතමි. මෙය ඇත්තේ කොළඹ සිට ජඇල පැත්තට යාමේදී වත්තල හංදියට පෙර හමුවන බස් රථ නැවතුමේදීය. ( ගැමුණු පැලැස් නැවතුමට කලින් නැවතුම.) මේ ස්තානයේ නම අලි ආ මුල්ලයි. ඉතා පෙර යුගයේ පැරන්ණන් ඒ නමින්ලු හැදින් වූයේ. අප ඉහත කථා කල කැලණි තිස් යුගයේදී කල්‍යාණී නදිය ගලා ගියේමේ ඔලියාමුල්ල හරහාලු. අලි ආ මුල්ල වූයේ මේ ගංගා ගැලීම වන විට ගසා ගෙන ආ අලින් මේම ප්‍රදේශයේදී මිනිසුන් විසින් අල්ලා ගැනීමලු. ඒ සමයේ සිදු වූ මහා ජල ගැලීමක් නිසා එම මාර්ගය නැවත වෙනස් වී ගංගාව වෙනත් මගක යන්නට පටන් ගත්තාලු. මම දැක ඇති පිලිවෙලටත් එය යම් තරමකට විශ්වාස කල හැකි සාධක තිබුනා මට මතකය. නමුත් අද මේ ප්‍රදේශය ඉතාමත් ජනාකීර්ණය. කිසිවක් හදුනාගත නොහැකි අයුරින් වෙනස් වී ඇත.
1. හංස සංදේශයේ 183 වන පද්‍ය ලෙස ගැනෙන දසපද සැහැල්ල, එකල වත්තල විහාරයක් තිබූ බවත් එය වනවාස විහාරයක් වූ බවත් දැක්වේ.
"වත්තල වෙහෙර වැඩැ වැඩැ උන් වනවාසයෙහි" ලෙස එම දසපද සැහැල්ල ඇරබේ.
2. තිසර සංදේශයට අනුව එකලද වත්තල ඉතා ජනාකීර්න වෙනත් ප්‍රදේශ වලින් පැමිණි ජනයා වසන ප්‍රදේශයක් බවත්, සුන්දර කාන්තාවන් වෙසෙන පෙදෙසක් බවත් විස්තර කරයි.
නෙතු නිල් උපුල් ගහනත කුසුම වත්තල
වරඟන වොරැඳි සරහන නළල වත්තල
නන්දෙසි නො සළ සත හට සෙතට වත්තල
බල සහතොසින් සව් පිරිනු'දුල වත්තල (100 කව තිසර සංදේශය )
3. මයුර සංදේශයට අනුව,
වත්තල විශාල බල කොටුවක් බැඳ එය ප්‍රදේශයේ ආරක්ෂාවටත් මුතුරාජ වෙල අස්වැද්දීම භාරවත් කටයුතු කල බව දඹදෙනිය රාජධානිය ගැන ඇති වංශ කථාවල දැක් වේ. ගම්පොළ යුගයේ රචිත මයුර සංදේශය මේ ගැන සඳහන් කරයි.
අත්තල උදුල අවි රුපු කැල සසල
ගන්නිල අනල කර විකුමන් පෑ අතුල
වත්තල මෙබල වෙත සලසා ජය මඟුල
සෙත්බල සියල සිරිදුන මැනවි සුවිපුල
ඔබ වත්තල ප්‍රදේශය ගැන යම් තරමක හෝ දැනීමක් ඇත්තෙක් නම් අසා ඇති බලගල නම් ප්‍රදේශයක්. මෙය ඇත්තේ ඇලකන්ද පාරේ ගොස් හැරී යන තරමක කඳු ගැටයකයි. අද මේ ප්‍රදේශය ඉතාමත් ජනාකීර්ණ පෙදෙසකි. මෙලෙස බලගල යනුවෙන් හදුන්වන්නේ ඒ කාලයේ මේ ප්‍රදේශයේ බලධාරියා විසූ පෙදෙස වීම නිසායි. ඉහත කවේ සඳහන් බලකොටුව පිහිටා ඇත්තේ මෙහිය.
මෙම බලකොටුව තනවා ඇත්තේ සිව් වැනි විජයබාහු රජතුමා සිය පියාණන්ගේ ආරක්ෂාව සඳහායි. (පණ්ඩිත පරාක්‍රමබාහු ) මෙම බලකොටුවේ වැදගතපරාක්‍රමබාහු ) මෙම බලකොටුවේ වැදගත්කම පෙනෙන්නේ මෙහි නවතා ඇත්තේ තිලෝක මල්ල නම් විජයබාහු රජුගේ සහෝදරයා වීම නිසායි.
4. කෝට්ටේ රාජධානි යුගය වන විට වත්තල වෙළදාම අතින් දියුණු තත්වයක විය. හංස සංදේශයේ එන මේ කවෙන් ඒ බව පැහැදිලි වේ.
සුරඹ කෙළෙන සුර ගඟ තුල් තරඟයෙනි
කළඹ නැඟී යන සිදුවිදුදරන් මෙනි
කොළඹ විසල් වත්තල් පුත්තූරුවෙනි
නරඹ යනෙන වෙළඳුන් ඔරු පාරුවෙනි (79 කව හංස සංදේශය )
වත්තල ප්‍රදේශයේදී ඔරු පාරු වලින් යන එන වෙළඳ ජනයා නරඹන ලෙස හංසයාට කියා ඇත.
5. සවැනි පැරකුම්භාවන් සමයෙහි රචිත කෝකිල සංදේශයේහිද වත්තල පිළිබඳ සඳහන් වෙයි.
වත්තල කුසුම තුඟු නැහැ වොරැඳි හැම සඳ
වත්තල පලනිමල පියයුරු බරිනි නද
වත්තල නළල සුදිලිය ලිය රැඳි නොමඳ
වත්තල සොඳුරු සිරි දැක යන් මඳක් ඉඳ
කොවුලාට වත්තල ප්‍රදේශයේදී එහි වූ ඉතා රූමත් කාන්තාවන් බලා යන ලෙස කියයි.
බෞද්ධ සංස්කෘතික තොරතුරු. වත්තල වනවාසී විහාරය.
මෙම විහාරය මා දහම් පාසැල් අධ්‍යාපනය ලද තැනයි. ඒ ගැන මගේ සිතේ සියුම් සතුටක් ඇත.
අප ඉහත කිව් හංස සංදේශයේදීම වත්තල වනවාසී වෙහෙරක් ඇති බව පවසයි. එවකට එහි විහාරාධිපති වූයේ පූජ්‍ය නාගසේන හිමියන්ය. එතුමාගේ ශිෂ්‍ය වනරතන හිමියන් ඉන්පසු නායකත්වයට පත් වී ඇත. මෙම වනරතන හිමියන් කෑරගල පද්මාවතී පිරිවෙනෙහි අධිපතීත්වයද දරා ඇත. හංස සංදේශයේ එන මේ පදය නාගසේන හිමියන් ගැන රචිතය.
වත්තල වෙහෙර වැඩැ වැඩැ උන් වනවාසයෙහි
නාගසේන මහතෙර්ඳුන්ට මුනුබුරු
බෝගණිසරු ඇළසෙන්ගමු හුනන්නරු
පූජාවලියට අනුව තෙවැනි විජයබාහු රජු තම නමින් විහාරයක් කරවූ බව සඳහන් වේ. දඹදෙණියේ රජ වූ තෙවැනි විජයබාහු රජුගේ කාලය ක්‍රි. ව. 1232 1236
වන අතර එම කාලයේදී වත්තල විජයබාහු විහාරය ඉදිවන්නට ඇත. මෙයත් වනවාසී විහාරයත් එකක්ම බව විශ්වාස කරයි.
වත්තල යටත් විජිත යුගය.
පෘතුගීසි - සිංහල සටන්.
සිව් වැනි විජයබාහු සමයේ ඉදිකල බලකොටුවේ සහ වත්තල තොටුපලේ වැදගත්කම ඉහල ගියේ මේ යටත් විජිත සමයේය. විශේෂයෙන් පෘතුගීසි සමයේය. මිනුත් මායාදුන්නේ සහ සීතාවක රාජසිංහයන් කල අති විශෙෂ සටන් වලදී වත්තල ප්‍රදේශය එක සටන් බිමක් විය.
සිංහලයාගේ වත්තල අයිති කරගත් පෘතුගීසීන් මැඬීමට මායාදුන්නේ රජු 6000 හේවා බල ඇණියක් ගෙන සටන් වැදුනත්, විශාල පෘතුගීසි හමුදාවක් රැගෙන ආ දියෝගෝද මේලෝ සෙන්පතියා සිංහල සේනාව සී සී කඩ කරමින් යුදයෙන් ජය ගත්තේය.
මෙම සටනින් වත්තල ජනයාට දැඩි ආහාර අහේනිය ඇති විය. එමෙන්ම ඔවුන්ගේ දේපල විශාල වශයෙන් විනාශ විය.
මෙවර පලා ගිය සිංහලයන් නැවතත් මායාදුන්නේ රජු යතේම පෘතුගීසීන් හා සටන් වැද ජයගෙන බලකොටුව සහ තොටුපල සියතට ගත්හ. නමුත් දියෝගෝද මේලෝ නැවතත් සටන් වැද සිංහලයන් පන්නා දමා තම බලය ස්ථාපිත කර ගත්හ. පසු නොබසින මායාදුන්නේ රජු තෙවනි වරටත් තම බලය ස්ථාපිත කර කොටු බැම්ම සහ දිය අඟල වඩා ප්‍රකෘතිමත් කරවීය. නැවතත් වත්තල බලය පතා සටන් වැඳුනු පෘතුගීසීන් සිංහලයන් 200 පමණ මරා දමා බලය අත්පත් කර ගත්හ. ඔවුන්ගේ මිය ගියේ 11 පමණි. සටන පැය 6 පමණ තිබිණි.
වත්තලදී සිඳු වූ දරුණුම සටන ලෙස වාර්ථා වන්නේ දියෝගුද මේලෝ සහ සිංහල සේනාපතියෙකු වූ කුරුප්පු මුදලි අතර සටනයි. මෙය 1576 ජුලි මස 25 දින තොටුපල සහ බලකොටුව අල්වා ගැනීමට සිදු වූවකි. සිංහලයන් සතුව 2500 බල ඇණියක්ද ඇතුන් සිව් දෙනෙක්ද විය. පෘතුගීසීන් සතුව හේවායන් 450 සහ ලස්කිරිඤ්ඤ භටයන් 700 පමණක් විය. මුලින් සිංහලයන් අති බිහිසුණුව සටන් කර ජය ගැනීමට ආසන්න වුවත් අවසානයේ සිංහල හමුදාවට එලව එලවා පහර දුන් බව සඳහන් වේ.
කෙසේ හෝ මින් පසු දැඩි සටන් වත්තල ආශ්‍රිතව සටහන් නොවේ.
ඔබ දන්නා පරිදි වත්තල ටොයෝටා ලංකා ගොඩනැගිල්ල සහ වත්තල විල්ෆ්‍රඩ් කොම්පැණිය ඇති තැන අතර එකල සුප්‍රසිද්ධ ගොනා කෝවිල නම් ඝන දෙවි කෝවිලක්ද, මීගමු පාරේ හරියටම එතැනට ඉදිරිපසින් අද විශාල සාප්පු සංකීර්ණයක් තනා ඇති බිම බලගල කොටුව සහ පෘතුගීසි සමය වනතෙක්ම සුසාම භූමියක්ව පැවත ඇත.
උපුටා ගැනිම වෙද ගෙදර පිටුවෙන්