29/05/2020
සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන්පොයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙලුම් මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා වුණා
සිහින සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල් සේදුනා
සුදු නෙලුම් මල දෑස පියවි
මෙහා ඉවුරට පා වුණා .....
ජීවිතය යනු සෑම අවස්ථාවන්හීම සැපය යැයි කියා ගන්නා දේ රැඳෙන තැන නොවේ..එය රැඳුනු තැනද නොවේ.ආයාසයෙන් රැඳවූ තැනද නොවේ.දුක යැයි කියාගන්නාවූ සහසකුත් දේ සමග මොහොතින් මොහොත ක්ෂය වෙමින් යන්නාවූ ආයු සම්පත්තියකි.එය මෙමිහිමත පණ ගසන කුරා කුහුඹුවාගේ සිට එතැනිනුත් ඔබ්බෙහි ක්ෂුද්‍ර ජීවියාගේ පටන් ඉතිරී පැතිරී විහිදී පවතින්නාවූ පොදු ධර්මතාවයකි.ඉන් පැන යා නොහේ..අනිවාර්යයෙන් මුහුණ දිය යුත්තාමය.එයමය ජීවිතයේ යථාව.
ඇත්තටම නෙළුම යනු පීඩා මධ්‍යයේ ඉපදෙන්නාවූ පුෂ්පයකි.මඩ යට රෝපණය වී..ගොහොරු මඩ තුළින් හිස ඔසවා ජලය පීරමින් මඩ සෝදාගනිමින් හිරුගේ පහස විඳීමට මහා සටනක් කොට උපත ලබන පුෂ්පයකි.බාහිර ලෝකයේ පිපෙන පරවෙන මල් අතර වැඩිම වෙහෙසක් දරා පිපෙන මලකි නෙළුම්..සත්‍ය වශයෙන්ම නෙළුම් පවිත්‍රය.එහි පත්‍රයක් මත පවා දිය නොරැදේ..කවියාගේ අනුභූතියට හරියාකාරවම ගැනෙන්නේ ,ගැළපෙන්නේ සහ ගළපන්නේම නෙළුමයි..එය වර්ණවත් නෙළුමකට එහා ගිය චාම් අහිංසකත්වයකින් පිරුණාවූ නෙළුමකි.එනම් සුදු නෙළුමයි..වර්ණ මත පවා තවරා කවියට වැඩමවූ සුන්දරතම වස්තුව ඔක්කම්පිටිය ග්‍රාමයේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එකොළොස් වියැති දියණියයි.
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කම්පනය සිදුවන්නේ මෙම ග්‍රාමයේදීය .දක්ෂ සිසුවියක් හෝ සිසුවෙක් ගුරුවයෙකුට මහානඟි සම්පතකි.ඇයද එසේමය.එදා ඇය පැමිණ නැති.නමුත් ගුරු සිත ඇය සොයයි.එහෙත් දහවල ගෙනෙන ආරංචිය ගුරු සිත දවාලයි,නෙත් තෙමාළයි,හදවත අලු කරයි.ඈ මුකුලිත වූ ආරංචිය මත ඔහු තවත් ගුරුවරයෙකු සමග ඇගේ නිවසට යයි.දෙමටමල් විහාරය අසල කුඩා කටු මැටි බිත්තෙයෙන් වටවූ නිවසක ඇගේ දේහය තැන්පත්ව තිබේ .ඒ ගෙන් පිටත අලුතෙන් තැනූ මඩුවකය.ඇගේ දේහය තැබීම්ටවත් එම නිවස තුළ ඉඩක් නැත.රත්න ශ්‍රී විජේසිංහයන් වසර විසිපහක තරුණයෙකි.ඔහු අවට පිරික්සයි.ඇත්තේ දහ පහළොස් දෙනෙකි.ඔවුන්ගේ නෙත් වල කඳුළු නැත.පියාගේ හෝ මවගේද කඳුළු නැත.ඔහු පියා වෙත කිට්ටු වේ.ඔහු සිදුවීම පවසයි..හෙට පෝය දින මල් විකිණීමට ඈ වැවට ගිය සැටිත් ,සවස් වනතුරු ඈ නොපැමිණි සැටිත්,ගමේ මිනිසුන් හා එක්වී ඈ සෙවූ සැටිත්,පසු දින උදෑසන මල් දෙකක් අතැතිව ඈ ගොඩ ද්මා තිබූ හැටිත් කියයි.කවියා ප්‍රබල ලෙස කම්පා වේ.ඉන් කලකට පසුව ඔහු එම පාසලෙන් ඉවත්ව රාජකාරී ස්ථාන මාරුවට ලක්වේ.කලකදී එදා පත්වූ කම්පනයෙන් ප්‍රකම්පනය වන හදින්..ඉන් පණගැහෙන පෑන් තුඩින් එදා මිය ගිය දැරිය පුනුරුත්පත්තිය සිදු කරයි...
කවියා ලියන්නේම ඈ කවිය තුළ සඟවාය.සැඟවූ වස්තුව සොයන්නාට සම්බ වේ.නමුදු නාමිකව නොවේ.භෞතිකව නොවේ.කෞතුකව නොවේ..නාම මාත්‍රිකව නොවේ.ඈ නෙළුමකි..පවිත්‍රත්වයේ සංකේතයකි.නමුදු ඒ මල වැව මත නොවේ..ඒ වැවද නොවේ ..සොරබොරයි..ඒ ගමද නොවේ..මහියංගණයයි.නමුදු එකම කලාපයයි.ඔහු කලාපය තුළ වැළලුණු සුදු නෙළුම දෝතින්ම ගොඩ ගනියි..කවියා ව්‍යංගයෙන් අපූරු කතාවක් දක්වයි..සුළු මුදලට විකිණෙන මල් වලින් දෙනෝ දාහක් වඳින මහියංගණ පුදබිම අහසට මල් සුවඳ ඔසවයි..වැවට ඉහළින් හමන්නට තිබුණු මල් සුවඳ වෙහෙරට ඉහළින් සුවඳගන්වන්නට ඒ මල් ගෙනාවේ ඈය.මල් සුවඳ දෙන්නට මහියංගණේ තවත් ඈ නැත...
" සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ"
මල් විකුණූ ඈ ඇගේ අවශ්‍යතා එම මුදලින් සරි කර ගනී.තවත් ඉතිරිලූ නම් නිවසේ නඩත්තුව සඳහාම යොදවයි.නමුත් ඈ අතුරුදන්ව ඇත.කවියා සහෘදයා කුතුහලයෙන් යුතු වැව් මධ්‍යයක තනි කරයි.ඇය කෝ?? සහෘද මනස ගතු කියයි...ඉවසුම් නොදෙන කුතුහලයෙන් සහෘදයා දෙවන කවිය සොයා යයි...
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙලුම් මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා වුණා
විජේසිංහයන් සහෘදයාට අවශ්‍ය දේ ඉවෙන් මෙන් හඳුනා ගනී.නමුදු නිර්මාණයක් ඉල්ලුමට සැපයුම දෙන න්‍යායට කිසිද අනුගත නොවේ .නිර්මාණ කාර්‍ය භාරය නම් එයමැ.ඔහු ස්වභාවෝක්ති අනුසාරයෙන් ව්‍යසනය මතු කරයි..වැවට කළුවර යාවන්නේම සවස පෙන්වීමට වුවද කවිය තුළ ඉන් ඔබ්බෙහි අර්ථයක් සාධනය කරවයි.කළුවර යනු අඳුරයි..අභාග්‍ය සම්පන්න ඉරණමයි.කළුවර හා එක්වෙන්නේම සංසාර දුක්ඛයයි..කම්මක්ඛ මරණයයි...මරණය එම කවියේ කොතැනවත් නොවේ .නමුදු නෙළු මල් මිට හවුහරණක් නොමැතිව වැව මධ්‍යයේ අතහරිමින් එහා ඉවුරට පා කරවයි.වැව මාර සෙවනැළි සමග එක් වෙමින් නෙළුම වැළඳ ගනී..ඇගේ තුරුළට ගනී.සැමදාමත් මල් දුන්නාට වැව් දිය ඈගෙන් ජීවිතය ගනී..මල් එහා ඉවුරට පා කරයි..
කවියා මවන සංයමයෙන් යුත් අනුවේදනීය වෘතාන්තය දෙවන කවියේ මැද උච්චස්ථානයට ලක්වේ.සිදුවීම සිදුකරන්නට ,සිදුවන්නට,සිදු වූ දේ බලාගන්නට අනතුරුව සිදුවන දේ විඳදරාගන්නට ඔහු රැයක් පුරා කවියේ කාලය ඉතිරි කරයි..කවි දෙකක් අතර ඕනෑම කාලයක පරාසයක් දැක්වීමේ කුසලතාවයක් ඇද්ද මෙය ඉන් හොඳම කවියකි.සිහින් සිරිපොද වැසි අහසින් හඬවා හඬවා දෙන්නේම ආයාසයෙන් නොවේ.නෙත් මතින් ගලනා ඉකිගැස්මයි.හදවතේ ඉකිගැස්මයි.පාන්දර නෙළුමේ හුස්ම ගත් පසු රොඩ්ඩ වැව ඉවත දමයි..ඉවුරට ඈ එවයි..නෙළුම් මලේ දෑස් පියවී ඇති...සුදු නෙළුම ජීවිතය අත් හැර ගොසිනි..දෙනෝදාහක් අතින් දහස් ගණනක් මල් බුදු පුදට නෙළූ ඈ බුදු පුදට නොකියාම වැව මත අකාලයේ මිලින වේ.අවසානයේ ඇය සසර ගමනේ එක් පරිචයක් දිය යටදී ගෙවා දැමු බව විජේසිංහයන් අනුවේදනයෙන් අවසන තබාලයි.
සිහින සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල් සේදුනා
සුදු නෙලුම් මල දෑස පියවි
මෙහා ඉවුරට පා වුණා .....
කවිය තුළ කිසිදු විටෙක චරිතය නොදක්වා නෙළුමක් තුළින් ව්‍යසනයක් අපූර්වාකාරයෙන් කවිය මළගෙයක් නොකරවා...කවිය තුළ නොහඬවා රැකි සංයමය නම් අපූරුය..
පණ්ඩිත් අමරදේවයන්ගේ හැට හතරවන ජන්ම දිනයේදී කොළඹ ටවර් රඟහලේදී මෙය නිමිති සහිතව ගායනා වෙද්දී වේදිකාව සසලමින් කඳුළු වර්ෂා පතිතවේ.1981 වසරේ මළගමක් කිසිදු කඳුළකින් තොරව කාලයේ වැලි තලාවේ මිහිදන් වෙද්දී මෙදා සෝ සුසුම් අවුළුවමින් සභාවම ඈ වෙනුවෙන් කඳුළුකරණයට ලක්වේ .නිර්මාපකයා තුළ තිබූ අසහාය අසමසම කවිකම ඈ වෙනුවෙන් අවමංගල්‍ය උත්සවයක් පැවත්වූවාක් මෙන් ගෞරවයෙන් නිමකිරීමට උත්සුක වේ..එය මෙහි අනුවේදනීය වෘතාන්තයේ අවසානය නොවේ..තවමත් මේ කවිය තුළ ඈ වෙනුවෙන් උනන කඳුළ නිමවූයේම රත්න ශ්‍රී විජේසිංහයන් අතිනි.ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් වෙනුවෙන් තැබූ ජීවවිද්‍යාත්මක පපුව හුණු කරලවූ උණු කඳුළ රත්න ශ්‍රී විජේසිංහයන් ලොව ගුරුවරුන් වෙනුවෙන්ම සමරුවක් කළ සේක🙏ඒ උත්තම ගුරු භූමිකාව උදෙසා ප්‍රණාම වේවා🙏