11/02/2024
විල හා පියුම ලෙසේ දෙදෙනා පෑහෙනවා
චිත්‍රපට 54ක ජෝති-විජය සුසංයෝගය
සිංහල සිනමාවේ වඩාත්ම ආදරණීයන් දෙදෙනාගේ උපතත් විපතත් මේ සතියට යෙදී තිබේ. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කියන්නේ නම් ඒ විජය කුමාරතුංග සහ එච්.ආර්.ජෝතිපාලය. සිංහල සිනමාවේ වඩාත්ම ආදරවන්ත ගායකයා ජෝතිපාලයන්ය. නළුවා විජය කුමාරතුංගයන්ය. එච්.ආර්.ජෝතිපාලයන් උපත ලද්දේ 1936 වසරේ පෙබරවාරි මස 12 වැනි දිනදීය. ජෝති ජිවත්ව සිටියා නම් ඔහු 88 වැනි විය සමරනු ලබන්නේය. විජය කුමාරතුංගයන් ඝාතනය කරන ලද්දේ පෙබරවාරි මස 16 වැනි දිනදීය. විජය ඝාතනයෙන් මේ එළැඹෙනුයේ 36 වැනි වසරයි. ජෝතිපාලයන් 1987 වසරේ ජූලි මස 7 වැනි දින මියගියේය. විජය ඝාතනය කරන ලද්දේ 1988 වසරේය. මිය ගොස් තිස් වසරක් ඉක්මවා ගිය ද මේ ජනප්‍රියත්වයෙහි අඩුවක් නැති තරම්ය. මේ අතරින් ජෝති ජීවත්වූයේ අවුරුදු පනස් එකක් ය. විජයට ජීවත් වන්නට ඉඩ ලැබුණේ අවුරුදු හතළිස් තුනකි. එහෙත් සිය වස් ගණනක් ජීවත් වූවාට වඩා ඔවුහු අප අතර රැඳි සිටිති. ජෝතිපාලයන් යනු සිනමා ලෝකයට දුර්ලභ ගණයේ කටහඬකි. ඔහු සෑම තරාතිරකම සෑම නළුවකුටම ගැළපෙන කටහඬක් සහිත නළුවකු වූයේය. ඔහු පසුබිම් ගී ගැයූ මුල්ම ගායකයා වූ ආනන්ද ජයරත්නගේ සිට සෑම යුගයකටම ඔහු පොදුවූයේය. එහෙත් ඔහු විජය වෙනුවෙන් ගැයූ ගී අන් සියල්ල අබිබවා යන තරම්ය. විජය වෙනුවෙන් ද බොහෝ ගායකයෝ ගී ගැයූහ. එහෙත් ජෝති-විජය සංයෝජය තරම් පෑහෙන දෙයක් නොවිණ. එය අවිවාදාත්මකය. මේ ලිපිය ජෝතිපාල ගේ හඬත් විජයගේ රුවත් එක් තැන් කළ චිත්‍රපට ගී පිළිබඳ අසම්පූර්ණ මතකාවර්ජනයකි.
විජය ගේ රුවට ජෝතිපාලයන් හඬ මුසුවන මුල්ම අවස්ථාව උදාවනුයේ 1971 වසරේය. ඒ වන විට විජය නැගිඑන නළුවකු වශයෙන් කැපී පෙනෙමින් සිටි අතර ජෝති ඒ වනව්ටත් මෙරට චිත්‍රපට පසුබිම් ගායනයේ අංක එක කිරුළ දරා සිටියේය.
චිත්‍රපටය නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝය. පී.එල්.ඒ සෝමපාලයන්ගේ සංගීතයටය. ජෝති හඬ විජයට මුසු වූ මුල්ම අවස්ථාව එයයි. විජය-මාලිනි සිනමාවේ මුල් වරට පෙම්වතුන් වූයේ ද එමඟින්ය. ඇන්ජලින් ගුණතිලක එහි මාලිනි ෆොන්සේකා වෙනුවෙන් ගීතයට උර දුන්නාය. අහ අහ ආදරණීය සිනා ඔබේ. ප්‍රේක්ෂකයෝ සතුටින් ඉපිළ ගියහ. එහි තවත් ගීතයක් ද විජය වෙනුවෙන් ජෝතිගේ හඬ මුසු ව තිබිණ. මේ දෑස මගේ පින්වන්තයි. හතර දෙනාම සූරයෝ ට පසු විජය හා ජෝති හමුවනුයේ ලෙනින් මොරායස් ගේ අබිරහස චිත්‍රපටයෙනි. එහි ඇත දිලිසෙන හිරු සඳු සහ සිතුම් පැතම් හද ආදරේ ගීතයත් ජෝතිපාලයන් ගයන ලද්දේ විජය වෙනුවෙන්ය. එහි විජය සමඟ ස්වර්ණා කහවිට රඟපෑ අතර ඇන්ජලින් ඇය වෙනුවෙන් ගී ගැයුවාය. සංගීතය පී.එල්.ඒ.සෝමපාලයන් ගෙනි. තිමති වීරරත්නගේ මේ දෑස කුමටද අනතුරුව විජය -ජෝතිපාලයන් හා එක්වන චිත්‍රපටයයි. එහි ශෝබාව හංගා, ආලෝකේ අතීතයේ, ඝන අන්ධකාරයේන් මිදි යන ගී ජොතිපාලයන් ගැයුවේය. සංගීතය ටී.එෆ්.ලතීෆ් ගෙනි. විජය ජෝති වඩාත් හොඳින් පෑහිමෙන් විජය සුපිරි තරුවක් බවට පරිවර්තනය කරන ලදේ යසපාලිත නානායක්කාරගේ තුෂාරා සමඟය. එහි විජය වෙනුවෙන් ජෝති හෝහෝ තුෂාරා, මා හද ඔබෙයි දයාවි, කලක් තිස්සේ, මීදුම් ගලා කන්දේ ඇතුළු ගීත හතක් ම ගායනා කළේය. මෙම සියලු ගීතයන්ගේ යුග ගී ගායිකාව ඇන්ජලින් ගුණතිලක වූවාය. ඒ මාලිනි වෙනුවෙන්ය. එහෙත් කවුදෝ මේ ආවේ කොයිබින් දෝ ගීතය සඳහා ඇන්ජලින් මෙන්ම සුජාතා ද දායක වූවාය. ඒ සෝනියා දිසානායක වෙනුවෙන්ය. 1973 වසරේ දී තිරගත වූ තුෂාරා සමඟ විජය-මාලිනි සිනමා ලොව ජනප්‍රියම යුවළ ලෙස ගොඩනැඟිණ.
එයින් පසු දහකින් එකෙක් චිත්‍රපටය උදෙසා විජය වෙනුවෙන් ජෝතිපාලයන් ගයන ලද ගී තුනකි . එයින් එක් ගීතයක් වූයේ ඇල්ලේ ගඟුලැල්ලේ ගීතයයි. සංගීතය පී.එල්.ඒ.සෝමපාලයන්ගෙනි. 1974 වසරේදී විජය සහ ජෝති සුසංයයෝගයෙන් ඔපවත්වුණ චිත්‍රපට දෙකක් තිර ගත විය. මේ චිත්‍රපට දෙකම අතිශය සාර්ථක විය. එපමණක් නොව එහි ආ ගීත සියල්ල අදටද ජනප්‍රියයි. එයින් එක් චිත්‍රපටයක්වූයේ දුලීකාය. කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා අධ්‍යක්ෂණය කරන ලද දුලීකා සඳහා ජෝතිපාලයන් ගැයූ ගීත තුනෙන් දෙකකම විජය ගේ රුවට පණ පෙවිණ. ඒ ආදර මල් පවනේ, හා තඹර විලක පිපුණ කුසුම ගීතයයි. ප්‍රේමසිරි කේමදාසයන් මෙම ගී සංගීතවත් කළේය.
සිරිල් පී.අබේරත්නගේ සුසී චිත්‍රපටය සඳහා ජෝතිපාලයන් විජය වෙනුවෙන් ගීත හතරක් ගායනා කරන ලදී. සිතින් දරන්නට බැරි, සීතල නලවැල්, ආදර සිහින සාගරයයි, සඳුන් සිසිල් ගෙන මේ ගීත හතරයි. මෙම ගීත හතරම ගායනා කරන ලද්දේ ඇන්ජලින් ගුණතිලක සමඟ වන අතර සුසී ද විජය-මාලිනි යුවළ රඟපෑ චිත්‍රපටයකි. සිකුරු ලියා චිත්‍රපටය එච්.ඩී.ප්‍රේමරත්නගේ මුල්ම අධ්‍යක්ෂණය වූ සේම ක්ලැරන්ස් විජයවර්ධන සංගිතවත් කළ මුල්ම චිත්‍රපටයයි. එහි ජෝතිපාලයන් ගයන එකම ගීතය ගයනු ලබන්නේ ද විජය වෙනුවෙනි. මල්සර හදකට තුරුළු වෙලා යන එම ගීතය සඳහා ඉන්ද්‍රානි පෙරේරා ගායනයන් දායක වන අතර ඇය ගයනුයේ සුවිනිතා වීරසිංහ වෙනුවෙන්ය. නිමල් සිල්වා අධ්‍යක්ෂණය කරන ලද ලස්සන දවසක් චිත්‍රපටය උදෙසා ජෝතිපාලයන් ගයන ලද ගීත දෙකකි. ඒ.පී.එල්.ඒ. සෝමපාලයන් ගේ සංගීතයටය. සාගරයකි ආදරේ, ඔබේසිත මගේ ළඟයි. එම ගීත ද්විත්වයයි. එහි දී ද ඇන්ජලින් ගුණතිලක යුග ගී ගායනයෙන් දායක වන අතර ස්වර්ණා කහවිට එහි රංගනයෙන් දායක වූවාය.
සරත් දසනායක සංගීතවත් කරන ලද තිමති වීරරත්නගේ සංගීතා , විජය-මාලිනි එක් කළ 1975 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා තැබූ තවත් චිත්‍රපටයකි. එහි විජය වෙනුවෙන් ජෝතිපාලයන් ගයන ලද ගී හයම එක ලෙස ජනප්‍රිය විය. ලෝකයේ වෙනස් වුණේ, ඔබෙ සැප මගේ සතුටයි, පායන හිරු සඳු, සල් සපුනා නිල්මානෙල්, මී පිරුණ සුවද මල් වනේ, ඉර සඳ වැඳලා මේ ගීත හය වූ අතර එයින් ගීත දෙකක් සඳහා යුග ගී ගායනයෙන් දායක වූයේ ඇන්ජලින් ගුණතිලකය.
1976 වසරේදී කැපී පෙනණ සිදුවීමක් වූයේ විජය-මාලිනි චිත්‍රපට හයක් තිර ගත විමය. මේ චිත්‍රපට හය සඳහාම විජය වෙනුවෙන් ගී ගැයුවේ ජෝතිපාලයන්ය. එමෙන්ම යුග ගායනයෙන් දායක වූයේ ඇන්ජලින් ගුණතිලකය. එහි මුල්ම චිත්‍රපටය යසපාලිත නානායක්කාරගේ ප්‍රදීපේ මා වේවා චිත්‍රපටයයි. ලයනල් අල්ගම සංගීතවත් කළ එහි ගී අතර මන්මත් කරවන වීණාවේ ගීතය කැපි පෙනෙයි. කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ගේ වාසනා උදෙසා ජොතිපලයන් විසින් ගී හතරක් ගයන ලදී. කේමදාසයන්ගේ සංගීතයට ගැයුණු එම ගී වනුයේ ඔබ ළඟ ඉන්න ළග ඉන්න, වාසනාවේ සුරංගනා, ඔංචිලි චිලි , තරු විසිරුනු ගුවන් තලාවේ යන ගීතයන්ය. මේ අතරින් තරු විසිරුණු ගුවන් තලාවේ ගීතයට විජය සමඟ රංගනයෙන් දායක වූයේ ගීතා කුමාරසිංහයි. සී.ටී පෙරේරා ගේ ගංගා චිත්‍රපටය උදෙසා හෙක්ටර් සොයිසා ගේ සංගීතයට ජෝතිපාලයන් ගැයූ ගි ගණන හතරකි. මගේ පැතුම ඔබ යැයි සිතා, ළා හිරු පායා මේ අතර කැපී පෙනෙයි. ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරන ලද උන්නත්දාහයි මලත් දාහයි සහ ආදරෙයි මං ආදරෙයි 1976 වසරේ තිර ගත වූ ඉතිරි චිත්‍රපට ද්විත්වයයි. සරත් දසනායක සංගීතවත් කළ මෙම චිත්‍රපට සඳහා ජෝති ගැයූ ගී තුන අතරින් උන්නත් දාහයි මලත් දාහයි සඳහා මා පෙරදාක නොමැත ලියලා, රන්දුනු හී දරා, ලස්සන බැල්මට මූණ බලා, ගීත ද ආදරෙයි මං ආදරෙයි සඳහා ගැයූ ගීත හතර අතරින් මධු සමයේ මල් සමයේ, ආදර ලෝකේ මගේ වැනි ගීත අද ද ජනප්‍රිය තලයේ තිබේ.
1977 වසරේ විජය ජෝති සංයෝගය චිත්‍රපට පහකි. විජය සහ මාලිනි රඟපෑ විලියම් ඔලම්ස් ගේ සකුන්තලා චිතපටය උදෙසා ජෝතිපාලයන් එම්.කේ රොක්සාමි සංගීතයට ගීත දෙකක් ගායනා කරන ලදී. ඒ මා ආවේ සැනසීමේ හා ආත්මයකින් ආත්මයට යන ගීත යුගලයි. මෙයින් ආත්මයකින් ආත්මයට යුග ගායනය සුජාතා අත්නායකගෙනි. ස්වර්ණා කහවිට විජය සමඟ රඟපෑ ගාමිනි හේවාවිතාරණගේ හරියනකොට ඔහොම තමයි චිත්‍රපටයේ ආ දෙතොල් මැදේ ගීතය ගයන ලද්දේ විජය වෙනුවෙනි. එහි සංගිතය වික්ටර් දළුගම ගෙනි. ලෙනින් මොරායස් ගේ හිතුවොත් හිතුවාමයි චිත්‍රපටය සඳහා ගැයූ ගුම්නද ගුම්නද දීගෙන ගීතය සංගීතවත් කරන ලද්දේ සරත් දසනායකයි. යුග ගායනය ඇන්ජලින් ගුණතිලක වන අතර රංගනයෙන් දායක වූයේ මාලිනි ෆොන්සේකාය. සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කරන ලද පෙම්බර මධු චිත්‍රපටයට ද ජෝතිපාල විජය වෙනුවෙන් ගයන ලද්දේ මුහුද ගලා ඒ නම් ගීතයයි. ටයිටස් තොටවත්තයන් ගේ මරුවා සමඟ වාසේ උදෙසා ජෝතිපාලයන් හා එම්.එස් ප්‍රනාන්දු ගැයූ තැටිය මැද්දේ කලු කරාපු ගීතය සඳහා ද විජය කුමාරතංගයන් දායක වූයේය. එහි සංගීතය අර්නස්ට් සොයිසා ගෙනි. 1978 වසරේ විජය-ජෝති දායකත්වය ලැබුණු චිත්‍රපට සංඛ්‍යාව හයකි. ජේ.කේ චාල්ස් පෙරේරාගේ විශ්මය උදෙසා ජෝතිපාලයන් ගැයුවේ එකම ගීතයකි. ඒ බඹරිදු රොන් සුණු සැලේ ගීතයයි. සරත් දසනායක සංගීතවත් කළ එහි යුග ගායනය ඇන්ජලින් ගුණතිලකගෙනි. එච්.ආර්.ජෝතිපාලයන් සිනමාවට හඳුන්වා දුන් සිනමාකරු වන සිරිල් පී.අබේරත්න අවසන් වරට අධ්‍යක්ෂණය කරන ලද සැලී චිත්‍රපටය සදහා ජෝතිපාලයන් විජය සඳහා ගයනුයේ සංගීත රාවේ ගීතය පමණකි. එය ද විජය මාලිනි චිත්‍රපටයකි. සංගීතය එම්.කේ. රොක්සාමිගෙනි. විජය කුමාරතුංග සහ ශ්‍රියානි අමරසේන රගපෑ කුමර කුමරියෝ චිත්‍රපටය සුදාස් මාස්කෝරලගේ අධ්‍යක්ෂණයකි. සරත් දසනායකගේ සංගීතයට එහි විජය වෙනුවෙන් ජෝතිපාලයන් ගයන ලද යුග ගීතය වූයේ යෞවන සමයේ ගීතිකා ගීතයයි. විජය-මාලිනි එක් කළ තවත් චිත්‍රපටයක් වූ ආනන්ද හේවගේ හා සිරි කුලරත්න ගේ සඳවට රන්තරු චිත්‍රපටය සදහා ජෝතිපාලයන් ගයන ලද ගීත වනුයේ සැඟවිලා හදවතේ සහ තරහදෝ තරහවීදෝ යන ගිත යුගළයි. සංගීතය රොක්සාමිගෙනි. විකටර් රත්නායක සංගීතවත් කරන ලද අනුපමා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මුල්ම අධ්‍යක්ෂණයයි. එහි ජෝතිපාලයන් විජය වෙනුවෙන් ගීත දෙකක් ගායනා කරන ලදී. ඒ තාරකා දහසක් හා සිහින විලේ නිලුපුලී යන ගීත ද්විත්වයයි . සිහින විලේ නිලුපුලී ජෝතිපාල, ලතා වල්පොල සමග ගායනා කරන ලද මුල්ම යුග ගීතයයි. ගීතය සදහා විජය සමග රංගනයෙන් දායක වූයේ සුවිනිතා වීරසිංහ යි. යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කරන ලද ගැහැනියක් චිත්‍රපටය උදෙසා ජෝතිපාලයන් ගයන ලද ආසා දෑසේ දැල්වේ නුරා ගීතය උදෙසා යුග ගායනයෙන් ඇන්ජලින් ගුණතිලක දායක වූ අතර එහි රංගනයෙන් දායක වූයේ සෝනියා දිසානායකයි. විල්ෆ්‍රඩ් සිල්වා ගේ අක්කේ මට අවසර චිත්‍රපටය උදෙසා ජෝතිපාලයන් ගයන ලද ගී සංඛ්‍යාව හතරකි. පී.එල්.ඒ .සෝමපාල සංගීතවත් කරන ලද මෙම ගීත හතරම සඳහා විජය රංගනයෙන් දායක විය. එහි විජය සමග ශ්‍රියානි අමරසේන හා ගීතා කුමාරසිංහ රංගනයෙන් දායක විය. සීත මීදුම් සළු පොරවා, වී පමා අහන්න , මගේ දෑසේ සැංගූ, හා සිනාසී මේ ආවා එම ගීත හතරයි. 1980 වසරේ තිර ගත වූ යසපාලිතගේ ටක් ටික් ටුක් චිත්‍රපටය උදෙසා ද ජෝතිපාලයන් විජය ගේ රංගනය සදහා ගීත තුනක් ගයන ලදී. සිතේ මගේ සිනා මල්, නිසංසලේ සැලේ, සීතල රෑ යාමේ එම ගී ත්‍රිත්වයයි. ඇන්ජලින් එහි පසුබිමි ගී ගයන ලද්දේ සෝනියා දිසා වෙනුවෙනි. තිමති වීරරත්න ගේ රජ දවසක් චිත්‍රපටයට ජෝතිපාලයන් ගායනා කරන ලද ගීත දෙකකි. ඒ ක්‍රිෂ්ණ රාධවෝ. සහ සංසාරේ පැතුවාසේ යන ගීතයන්ය. ඒ ද විජය වෙනුවෙන්ය. යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කරන ලද ගීතිකා සහ අංජානා යන චිත්‍රපට යුගලම සංගීතවත් කරන ලද් සරත් දසනායකයි. ගීතිකා චිත්‍රපටයේ එන සිහිනයක්දෝ හා ආශාවේ සිතුවම් මැව්වේ ගීත සදහා විජය -මාලිනි රංගනයෙන් දායක විය. අංජානා චිත්‍රපටයට විජය වෙනුවෙන් ජෝතිපාලයන් ගීත තුනක් ගායනා කළේය. ඒ ෆ්‍රෙඩී සිල්වා සමඟ ගහකොල මල් , ගීතයත් ( රඟපෑම විජය සහ ෆ්‍රෙඩී) ඇන්ජලින් සමග ගැයූ අනන්ත නෙත් බැල්මේ (විජය සහ ගීතා ) සහ ඇන්ජලින් ගුණතිලක , චන්ද්‍රිකා සිරිවර්ධන සමග ගැයූ ඉන්ද කාර යාර වන්ද ගීතයත්ය. ඉන්දකාර යාර වන්ද ගීතයට චරිත නිරූපණය කළේ විජය ගීතා සහ ස්වර්ණා මල්ලවාරච්චිය. ඇන්තනි සී. පෙරේරා අධ්‍යක්ෂණය කරන ලද තක්කිට තරිකිට චිත්‍රපටයට ජෝතිපාලයන් හා ඇන්ජලින් ගීත ගැයුවේ මකරන්ද උතුරාවි යනුවෙනි. එහි විජය සමග රඟපෑවේ ගීතා කුමාරසිංහය. ජෝතිපාලයන් හොඳම ගායකයා ලෙස සරසවිය සම්මාන දිනූ සරා සඳේ ගීතය ඇතුළත් වූයේ මිහිදුමි සිහින චිත්‍රපටයටය. එය ද විජයගේ රංගනය උදෙසාය. දයා විමලවීර අධ්‍යක්ෂණය කරන ලද එම චිත්‍රපටය සඳහා විජය වෙනුවෙන් ජෝතිපාල සීත හිම රැල්ලේ ගීතය ද ගායනා කරන ලද අතර සුජාතා අත්තානයක එම යුග ගීය ගැයුවාය. ඒ විජය සහ මාලිනි වෙනුවෙන්ය. 1982 වසරේ වැඩිම ආදායම් ලත් චිත්‍රපටය වන යසපාලිත ගේ නැවත හමුවෙමු චිත්‍රපටය සඳහා ගීත තුනක් ජෝතිපාල විසින් ගායනා කරන ලදී එනම් සෙනෙහස පෑවා ( යුග ගායනය ඇන්ජලින් -විජය සහ මාලිනි වෙනුවෙන් ) සිහින අහසේ වසන්තේ (ඇන්ජලින්-ග්‍රේෂන් ආනන්ද සමග -රංගනයෙන් විජය,මාලිනි සහ සනත් ගුණතිලක ) මේ අතර ජනප්‍රිය ම ගිතයන්ය. විජය සහ ජෝති යළි සුංයෝගයක් හමුවන්නේ 1984 වසරේ යසපාලිත නානායක්කාරගේ ජය සිකුරුයි චිත්‍රපටයෙනි. ගීත දෙකකි. ඒ නන්දන උයනේ බිඟු රස, නොගැයු ගීතේ යන ගීත ද්වයයි. ඇන්ජලින් යුග ගී ගායනයෙන් සම්මාදම් වූ අතර විජය සමග රඟපැවේ ගීතා කුමාරසිංහයි. සෝමපාල රත්නායක සංගීතවත් කළ පෙරළිකාරයෝ දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. එහි ජෝතිපාලයන් ගැයූ තරු මුතු මල් මාලාවේ, ජය මංගලම් සුබ මංගලම් (සුජාතා අත්තානයක සමඟ) ලස්සන මුහුණක් (බන්දු සමරසිංහ සමඟ) සිංහයෝ වාගේ අපි යන ගීත ඇතුළත් විය. එහි විජය සමග රඟපෑවේ ඉන්දිය නිළි තනූජාය. පෙරළිකාරයෝ තිර ගත වූ වසරේම ජෝති ගේ හඬත් විජයගේ රුවත් එක් තැන් කළ තවත් චිත්‍රපටයක් තිරයට ආයේය. ඒ සුනිල්සෝම පීරිස් අධ්‍යක්ෂණය කරන ලද ජය අපටයි චිත්‍රපටයයි. දිලි දිලි දිලිසේවි, දුහුල් මීදුමේ සිහිල් මාරුතේ, මා ආවේ හමුවී එහි ගීත ත්‍රිත්වයයි. සංගීතය සරත් ද අල්විස්ගෙනි. ඇන්ජලින් ගුණතිලක යුග ගායනයෙන් දායක වූ අතර විජය සමග රඟපෑවේ ගීතා කුමාරසිංහය. දිලි දිලි දිලිසේවි ගීතයේ විජය සමඟ රඟපෑවේ රෝසි සේනානායකයි. යුගයෙන් යුගයට ලෙනින් මොරායස් ගේ අවසාන චිත්‍රපටය වූ අතර එහි රගපෑවේ විජය සමඟ නදීකා ගුණසේකරය. ටී.එෆ් ලතීෆ් සංගීතවත් කරන ලද එහි අපේ ආදරයේ රස ගීතිකා හා එක බැල්මට හෙලනා යන ගී ලතා වල්පොල සමග ද මගේ නින්දේදි කවුදෝ ගීතය ඇන්ජලින් සමඟ ද ජෝතිපාලයන් විසින් ගායනා කරන ලදී . එමෙන්ම මිනිසා වනසන්න උපන් ගයන යනුවෙන් කේවල ගීතයක් ද ජෝතිපාලයන් විසින් විජය වෙනුවෙන් ගයන ලදී. යසපාලිත නානායක්කාර , විජය කුමාරතුංග , සරත් දසනායක හා එච්.ආර්.ජෝතිපාල අවසාන වරට එක් වූ යුක්තියද ශක්තිය ද චිත්‍රපටය සඳහා ජෝතිපාලයන් ගයන ලද ගීත දෙකකි. ඒ ගීතා කුමාරසිංහ වෙනුවෙන් ලතා වල්පොල සමඟ ගැයූ මල් මදහාසේ ගීතය හා අජිත් ජිනදාස වෙනුවෙන් ග්‍රේෂන් ආනන්ද සමග හිනැහේදෝ ජල රකුසා ගීතය යි .
සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කරණ ලද සරත් ද අල්විස් සංගීතවත් කළ රජ වැඩ කාරයෝ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් වෙනුවෙන් පෙර ජාති ජාති මා සංසාරේ ගීතය ජෝතිපාලයන් ගායනා කරන ලද්දේ අම්ත් වල්පොල සමඟය. මේ ගීතය විජය හා රවීන්ද්‍ර රණ්දෙනිය සමඟත් විජය හා සනත් ගුණතිලක සඳහාත් උපයෝගි කර ගැනිණ. එහිම ලතා සමඟ ගැයූ ගීතය මල්වර වසන්තේ ගීතයයි. ලතා ගැයුවේ ගීතා කුමාරසිංහටය. විජය ඝාතනය කරන විට තිර ගතවෙමින් තිබුණේ ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපටයයි. එය ද සුනිල්සෝම පීරිස්ගේ අධ්‍යක්ෂණයක් වූ අතර සරත් ද අල්විස් සංගීතය මෙහෙයවීය. එහි ජෝතිපාල යන් ගීත හතරක් ම විජය වෙනුවෙන් ගායනා කරන ලදී. එයින් දිය කීදුරිය සේ ගීතය කේවල ගීතයකි. සාගර ලවැල්ලේ හා විල හා පියුම ලෙසේ යන ගී යුගළ ලතා වල්පොල සමඟ ගයන ලදී. ලතා ගැයුවේ ගීතා කුමාරසිංහ වෙනුවෙන්ය. ආසාවේ ආසාවේ පායා ගීතය ග්‍රේෂන් ආනන්ද සමඟය. ග්‍රේෂන් පසුබිම් ගායනා කරන ලද්දේ සනත් ගුණතිලකටය. 1989 වසරේ තිරගත වූ සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කරන ලද මමයි රජා චිත්‍රපටය තිර ගත වන විට ජෝති හා විජය දෙදෙනාම ජීවතුන් අතර නැත. එහි ද විජය වෙනුවෙන් ජෝතිපාලයන් විසින් ගීත තුනක් ගායනා කරන ලදී. විල්ලද පුංචි දෙපා ගීතය ලතා වල්පොල සමඟය. ලතා ගැයුවේ සබීතා පෙරේරා වෙනුවෙන්ය. සිනහා කඳුළු එනවා යනවා ග්‍රේෂන් ආනන්ද සමඟය. ග්‍රේෂන් පසුබිම් ගී ගැයුවේ ජීවන් කුමාරතුංගටය. ඔන්න බබෝ බිල්ලෝ ගීතය ජෝතිපාලයන් ගේ කේවල ගායනයකි. සංගීතය සරත් ද අල්විස්ගෙන්ය. විජය කුමාරතුංගයන් නිෂ්පාදනය කරන ලද තිරගත වූ එකම චිත්‍රපටය වන වරදට දඬුවම් තිර ගත වූයේ 1989 වසරේය. එය විජය හා මාලිනි රඟපෑ චිත්‍රපටයක් වූ අතර අධ්‍යක්ෂණය දිනේෂ් ප්‍රියසාද්ගෙනි. සංගීතය සෝමපාල රත්නායකගෙනි. එහි විජය වෙනුවෙන් පසුබිම් ගී පහක් ජෝතිපාලයන් ගායන කර තිබිණ. ඒ අනේ දවසක් බැටළු වෙස් ගත්, මහ පොළොවට බරක් නොවෙල්ලා යන ගී කේවළ ගීතයන්විය. තරුණයෝ ඉලන්දාරියෝ යනුවෙන් ඇරඹුණ ගීතය ජෝති ගයන ලද්දේ ආනන්ද පෙරේරා සමඟය. එහි එන අඳුර නිවන්නට ගීතය ගායානා කරන ලද්දේ ඇන්ජලින් ගුණතිලක සමඟය. මේ ජෝතිපාලයන් හා ඇන්ජලින් අවසන් වරට ගයන ලද යුග ගීතය ද වෙයි. පැරණි වීර විජය චිත්‍රපටයේ ධර්මදාස හා ලතා වල්පොල ගැයූ ඉරණමට සැවොම ගැති වේවි ගීය මෙම චිත්‍රපටයට ලතා වල්පොල ගයන ලද්දේ එච්.ආර්.ජෝතිපාල සමඟ ය.
ජෝතිපාලයන් හා විජය සුසංයෝගය අවසන් වරට අපේ සිනමාවට එක්වුණේ විල්ෆ්‍රඩ් සිල්වා අධ්‍යක්ෂණය කරන ලද දෑසේ මල් පිපිලා චිත්‍රපටය වෙනුවෙන් ගැයුණු හීන් සැරෙන් අන්න බලන් දෑසේ මල් පිපිලා යන ගීතය සමඟය . ලතා වල්පොල සමග ගැයුණු එම ගීතය සඳහා ශ්‍රීයානී අමරසේන ද රංගනයෙන් දායක වූවාය. පසුව විජය රඟපෑ තිර ගත වූ අවසන් චිත්‍රපටය වන සූරයන් අතර වීරයා චිත්‍රපටයට ජෝතිපාලයන් ගේ ගී හතරක් ඇතුළත් වුව ඒ චිත්‍රපටය සඳහා ගායනා කරන ලද ගී නොවිණ. එසේ වුව ද ජෝතිපාලයන් අවසන් වරට චිත්‍රපටයක් උදෙසා ගීතයක් ගායනා කරන ලද්දේ ද විජය කුමාරතුංගයන් වෙනුවෙනි. දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කිරිමට නියමිතව තිබුණු සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ නම් චිත්‍රපටයටයයි. සෝමපාල රත්නායක පසුබිම් සංගීතය මෙහෙයවන ලදී. මෙහි ගීත දෙකම ජෝතිපාල හා ලතා වල්පොල විසින් ගයන ලදී. එයින් එක් ගීතයක් වූයේ නළඟන චිත්‍රපටයේ ආ රුක්මණි දේවි හා මොහිදින් බෙග් ගයන ලද පරම රමණි අපේ ආලේ ගීතයයි. දෙවැන්න පැරැණි ගීත රචකයකු වූ ඩබ්ලිව් .බෙනඩික්ට් ප්‍රනාන්දු විසින් රචනා කරන ලද අවසාන ගීතය විය. ගීතය ඇරඹුණේ රමණිය කමණිය අපේ ආදරේ යනුවෙනි. අවාසනාවට මෙම ගීත ගයනු ලැබුව ද ජෝතිපාලයන්ට එය ශ්‍රවණය කරන්නට හෝ විජයට එහි රඟපාන්නට ඉඩ ලැබුණේ නැත. ගීතය ගයා තෙදිනකට පසු ජෝතිපාලයන් මෙලොවින් සමුගත්තේය. චිත්‍රපටය රූප ගත කිරිම් අරඹන්නට පෙර විජය ඝාතනය කෙරිණ.
ජෝතිපාලයන් අවසන් හුස්ම හෙළන විට විජය කුමාරතුංගයන් මෙරට සිටියේ නැත . මොස්කව් නුවර සිට විජය ලියා එවූ ශෝක පණිවිඩය ජෝතිපාලගේ අවමඟුලේ දී ප්‍රකාශ කිරිම සිදුවූයේ නැත. එහි මෙලෙස සඳහන් විය.
සිනමාවටත් පොදුවේ කලා ලෝකයටත් ජෝති කළ මෙහෙය හා ඔහුගෙන් ලැබුණු ආලෝකය කෙතෙක්ද යත් ඔහුගේ වියෝවෙන් ඇති වූ පාඩුව,පාළුව කෙසේ මකන්නද යන සිතුවිල්ල සිතන්නට පවා නොහැකියි.
විජය සිය ආදරණීය මිත්‍රයා පිළිබඳ ලියා තබන මේ සටහන විජයට ද පොදු එකක් බැව් ඔවුන් දෙදෙනාට අපුමාණව ආදරය කළ රසිකයෝ අදත් විශ්වාස කරති.
මූලාශ්‍ර- සිංහල සිනමාවේ 60 වසරක චිත්‍රපට ගීත නාමාවලිය-වැළිහිඳ මුනිරත්න
සිංහල චිත්‍රපට ගීතාවලිය1969-1971/1972-1976 මහාචාර්ය සුනිල් ආරියරත්න
චිත්‍රපට වාර්ෂිකය - 1973/1974-1975/1976-1977/1978-1980
දේශිය සිනමා වංශය ද්විතිය කාණ්ඩය 1970-1979 ගාමිණී වේරගම
සිත් ගත් චිත්‍රපට ගී 500 ජෝර්ජ් රොබ්සන් ද සිල්වා