06/06/2021
මිහිතලයේ පෙනහළු - ඇමසන් වැසි වනාන්තරය / Amazon Rainforest ❤🌿
ඇමසන් වනාන්තරය සලකනු ලබන්නේ ලොව පවතින විශාලතම වැසි වනාන්තරය ලෙසයි. ලොව විශාලත්වයෙන් දෙවන හා තෙවන තැන ගන්නා වැසි වනාන්තර දෙක වන කොංගෝ හා වෝල්ඩිවියන් වැසි වනාන්තර දෙකේ එකතුවටත් වඩා මෙය විශාල වනවා. ඇමසන් වැසි වනාන්තරය පෘථිවියේ හරිත කළාලය ලෙස විරුදාවලි ලබනවා. වර්ග කිලෝමීටර් මිලියන 5.5කට වඩා වැඩි වපසරියකයුතු, ලතින් අමෙරිකානු රටවල් 8 ක් පුරා පැතිර පවතින මෙම වනාන්තරයේ වැඩි කොටසක් (60%ක් පමණ) බ්‍රසීලයට අයත් වනවා. ලංකාව සමඟ මෙය සසඳා බැලූ කල ඇමසන් වනාන්තරය ලංකාව මෙන් 83 ගුණයකට වඩා විශාල වේ. ග්‍රීක මිත්‍යා කතා වල සිටින වැන්දඹු කාන්තා වීරවරියක් වන ඇමසන් කියන වීරවරියගේ නම ඇසුරෙන් ඇමසන් වනයට මෙම නම ලැබී තිබෙනවා. ස්පාඤ්ඤ ගවේෂකයෙකු වන ෆ්‍රැන්සිස්කෝ ඔරෙල්ලනා විසින් එම නම තැබූ බව සඳහන් වේ.ඇමසන් වනාන්තරය පෘථිවිය මත ශේෂව ඇති නිවර්තන වැසි වනාන්තර වල විශාලත්වයෙන් හරි අඩකට හිමිකම් කියයි. එමෙන්ම ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගංඟාව වන ඇමසන් නදිය මෙය හරහා ගලා යන අතර, අතු ගංඟා 1,100කින් පමණ සමන්විත එහි ගංගා 17ක් සැතපුම් 1000කට වඩා දිගකින් යුතු ඒවා වෙනවා. ජල මට්ටම ඉහළ යන දිනවලදී ඇමසන් ගඟ එක් දිනකට ජලය කියුබ් බිලියන 500ක් පමණ අත්ලාන්තික් සාගරයට මුදා හරින බව සැළකේ. ඇමසන් වැසි වනාන්තරයේ ඇති සුවිශේෂී විශාලත්වය නිසාවෙන්ම එය විවිධ නම් වලින් උපමා කර දැක්වූවත්, මිහිතලයේ පෙනහැලි ලෙසින් ඇමසන් වැසි වනාන්තරය නම් කිරීම බොහෝසෙයින් සාධාරණ ලෙස හැඟී යයි. ඇමසන් වැසි වනාන්තරයේ විශාලත්වය අනුව, පෘථිවිය මත වැසි වනාන්තර මඟින් නිෂ්පාදනය වන මුලු භෞමික ඔක්සිජන් වලින් අඩකට පමණ සමාන ප්‍රමාණයක්, එනම් දළ වශයෙන් ඇමසන් මගින් 16% ක පමණ භෞමික ඔක්සිජන් නිෂ්පාදනය සිදු කරයි. මේ වන විට හඳුනාගෙන ඇති ශාඛ වර්ග වලින් 2/3කට ආසන්න ප්‍රමාණයකට නිවහන වන්නේ ඇමසන් වනාන්තරයයි. ඇමසන් නදියේ බටහිර නිම්නය සැලකෙන්නේ ලොව ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානය ලෙසයි. ඇමසන් භුමියේ එක හෙක්ටයාරයක් තුල විවිධ වර්ගයන්ට අයත් ශාඛ වර්ග 40 – 100ත් අතර ප්‍රමාණයක් සොයාගත හැකි බවට සඳහන් වෙනවා. තවමත් දියුණු මිනිස් ශිෂ්ඨාචාරය සමග කිසිඳු සම්බන්ධයක් පවත්වා නැති ගෝත්‍රික කාණ්ඩද ඇමසන් වැසි වනාන්තර තුල වෙසෙන බව සඳහන්. 2008 වසරේදී ඇමසන් වනාත්තරය ඉහළින් පියාසර කල හෙලිකොප්ටර් යානයකට, බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවයක් නැති නොඉඳුල් ගෝත්‍රික කණ්ඩායමක් දුනු ඊතල භාවිතයෙන් පහර දීමට තැත් කිරීම එකල ඉතා සුවිශේෂී සිද්ධියක් වුණා. තවමත් මිනිස් ඇස නොගැටුණු ප්‍රදේශ, ගෝත්‍රික කණ්ඩායම් හා සතුන් මෙහි විශාල ලෙස පවතින බවට මෙය කදිම නිදසුනකි. ඇමසන් වනයෙන් වාර්තාගත ශාඛ වර්ග ප්‍රමාණය 80,000කට අධිකයි. ඉන් ශාක වර්ග 40,000ක්ම සැලකෙන්නේ ගෝලීය දේශගුණික විපර්යාස පාලනය කිරීමට හා ජල චක්‍රය ස්ථායිව පවත්වා ගෙන යාම වෙනුවෙන් උපකාරී වන ශාක විශේෂ ලෙසයි. එලෙසින්ම, ඇමසන් වැසි වනය සතුන් වර්ග 2000කට පමණ නිවහන සපයනවා. ඇමසන් වනාන්තරය තුල ක්ෂීරපායී සතුන් විශේෂයන් 427ක් පමණ හඳුනාගෙන ඇත. ඒ අතර ජගුවර් මෙන්ම ඇමසන් ගඟේ ජිවත් වන ඩොල්පින් සතුන්ද වෙනවා. කුරුල්ලන් විශේෂ 1800ක් සහ සර්ප විශේෂ 378ක් පමණ ඇමසන් වනාන්තර තුලින් සොයාගෙන තිබෙනවා. උභය ජිවීන් විශේෂ 400ක් පමණ ද මෙහි ජීවත්වෙනවා. මේ අතරින් ලොව ප්‍රසිද්ධම සහ විශාලතම සර්පයා ලෙස සැලකෙන ඇනකොන්ඩා ඉතා සුවිශේෂී ස්ථානයක් උසුලනවා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු ඇනකොන්ඩා සර්පයෙකු අඩි 30ක පමණ දිගකට හා රාත්තල් 550ක පමණ බරකට වර්ධනය වේ. මෙයින් ගැහැණු ඇනකොන්ඩා සර්පයා පිරිමි සර්පයාට වඩා සාමාන්‍යයෙන් දිගින් මදක් වැඩි වනවා. ඔවුන් එක වරකදී පැටවුන් 20 – 40ත් අතර ප්‍රමාණයක් මුදාහරින අතර එම පැටවෙක් සාමාන්‍යයෙන් අඩි දෙකක පමණ දිගකින් යුක්ත වේ. ඇමසන් වනාන්තරය තුල මත්ස්‍යයින් විශේෂ 5,600ක් පමණත්, සමනල් විශේෂ 1,400ක් පමණ ජිවත් වන බවට සඳහන්. මිහිතලය මත ඇති සියලුම පාරිසරික පද්ධති අතුරින් ඇමසන් වැසි වනාන්තරය ජෛව විවිධත්වයේ අසමසම ගබඩාවකි. අසීමිත විවිධත්වයකින් හා ප්‍රමාණයකින් යුත් ශාක හා සත්ත්ව ප්‍රජාවද, එය නිවහන කොට ගත් ගෝත්‍රික ජනතාවද, තම පූර්ණ අවශ්‍යතා සදහා වනාන්තරය මත යැපෙන අතර ඇමසන්හි ඇති වන කුඩා වෙනස්කමකින් වුවද ඔවුන් වදවීයාමේ තර්ජනයට ලක් විය හැක. ඇමසන් වනාන්තරය තුළ සිදුවන උත්ස්වේදනය ක්‍රියාවලිය නිසා දකුණු ඇමරිකානු මහද්වීපය පුරාවට එහි වර්ෂාපතනය නිසි පරිදි පවත්වාගෙන යෑමටද, ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම පාලනයටද ඇමසන් මහත් දායකත්වයක් සපයයි. දිනෙන් දින වායුගෝලය තුළ ඉහළ යන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය විශාල වශයෙන් අවශෝෂණය කර ගෝලීය දේශගුණික විපර්යාස ප්‍රතිඵල අවම කිරීමට ඇමසන් වැසි වනාන්තරය සහ මධ්‍යම ආසියාවේ නිවර්තන වැසි වනාන්තර මහඟු කාර්‍යක් ඉටු කරයි. වර්ෂ 1978 සිට මේ දක්වා වර්ග කිලෝමීටර 750,000 කට වඩා භූමි ප්‍රමාණයක් ඇමසන් වනාන්තරයෙන් මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වී ඇත. ඒ, බ්‍රසීලය, කොලොම්බියාව, පේරු, බොලීවියා, වෙනිසියුලා වැනි රටවල් ආශ්‍රිතවයි. ඇමසන් වනාන්තරයේ විශාල ප්‍රමාණයක් විනාශ වී ඇත්තේ මහා පරිමාණ වගාවන් ඇතුලු කෘෂිකාර්මික කටයුතු හේතුවෙනුයි. එමෙන්ම 20වන සියවස අග භාගය වනවිට එම තත්ත්වය ඉතාම ඉහළ ගොස්තිබෙනවා. මේ සඳහා බ්‍රසීලියානු ජනාධිපති ජයර් බොල්සනාරෝගේ අත්තනෝමතික තීරණද දැඩි ලෙස හේතු වූවා. ඒ මත මහා පරිමාණයේ කර්මාන්ත, වගා බිම් නිර්මාණය සහ දැව සඳහා සිදු කරන වන විනාශයද වේගවත්ව තිබෙනවා. 2000 වර්ෂයේ පමණ සිට සිදු වන විනාශයෙන් 75% කට පමණ හේතු වී තිබුණේ ගව පාලනය වන අතර 2004 වර්ෂයේ පමණ සිට මෙම විනාශය වැලක්වීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟම මෙම ප්‍රතිශය පහළ අගයක් දක්වා අඩු වුණා. මෙයට හේතූ වුණේ පවතින නීති රෙගුලාසි බලාත්මක කිරීම, පරිසරවේදීන්ගේ මැදිහත්වීම, චන්ද්‍රිකා මගින් වන්නාතරය නිරීක්ෂණය කිරීම, පුද්ගලික හා රාජ්‍ය යන අංශ දෙකම ඇමසන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මුළ පිරීම සහ නව ආරක්‍ෂිත කලාප හඳුන්වාදීම වැනි දේයි. නමුත් ඉන් පසුව, 2019 වසරේ සිට බලයට පත් වූ දැඩි මතධාරී වත්මන් ජනාධිපතිවරයා වන බොල්සනාරෝගේ දක්ෂිණාංශික ප්‍රතිපත්ති සමග ඇමසන් වන විනාශය නැවත උග්‍ර වී තිබෙනවා. 2020 වසරේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව පැතිර ගිය උග්‍ර ලැව් ගිනි තත්වයද මේ නිසා ඇති වූවක් ලෙස හැඳින්විය හැකියි.
සටහන: Harshana Miyuranga Upulwehera