01/08/2023
පින්බර ඇසළ පොහොය
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම සම්පූර්ණ කළ අප මහා බෝධි සත්වයන් වහන්සේ, වෙස්සන්තර ආත්මභාවයෙන් පසුව තුසිත දෙව්ලොව සන්තුෂිත නමින් උපත ලැබූ සේක. එකළ බුද්ධ කෝළාහලය ඇති විය. විවිධ සක්වළින් පැමිණි දෙවියන්ගේ දේවතාරාධනයෙන් පසුව බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැළූ සේක. ඉන්පසුව ඇසල පොහෝ දිනකදී දඹදිව මධ්‍ය දේශයේ කපිලවස්තුපුර සුද්ධෝදන මහ රජතුමාගේ අගමෙහෙසිය වන මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගත් සේක.
බෝසතාණන් වහන්සේ වයස අවුරුදු විසිනවයේදී ගිහිගෙය කලකිරීමට හේතුවූ සතර පෙර නිමිති දැක, මෙවැනි ඇසළ දිනකදී අභිනිෂ්ක්‍රමණය කළ සේක.
වෙසක් පොහෝ දිනක උතුම් සම්බුද්ධත්වයට පත් වූ අපගේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ, ඇසල පොහෝ දිනකදී බරණැස ඉසිපතන මිගදායේදී, පස්වග තවුසන්ට සහ දිව්‍ය බ්‍රහ්මයින්ට මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක.
මෙම ප්‍රථම ධර්ම දේශනාව ශ්‍රවණය කළ පස්වග තවුසන්ගෙන් කොණ්ඩඤ්ඤ තවුසා දේශනාවසානයෙහි සෝවාන් මාර්ග ඵලයට පත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේ කොඤ්ඩඤ්ඤ තවුසාට අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන නමද තැබූ සේක.
ඇසල පොහෝ දිනදී සිදු වූ වැදගත් සිදුවීම් අතර සුවිශේෂීම සිදු වීමක් වන්නේ සංඝරත්නය ලොව පහළ වීමයි. පළමු භික්ෂූන් වහන්සේ වූයේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේයි. ඉන්පසුව අනෙක් තාපසවරුන් පිළිවෙළින් ඒහි භික්ෂූ මහන උපසම්පදාව ලැබූ සේක.
අර්හත් ධජය දැරීමේ ආරම්භයක් සහ එහි අවසානයක් තිබේ. පස්වග තවුසන් ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි වීමෙන් උත්තම පැවිද්ද ආරම්භ විය. මගධ රටේ කුඹුරු යායක නියරවල් ලියැදි ඇති ආකාරයට සිවුර සකස් කරන්නට භාග්‍ය්වතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට උපදෙස් දීමෙන් අර්හත් ධජයේ විනයානුකූල බව සකස් විය. කාසාව කණ්ඨක පිරිස පහළ වීම ශාසනයේ අවසානය යි. ඒ දක්වාම පැවිදි ජීවිතය සහ අර්හත් ධජය විවිධ වෙනස්කම් වලට භාජනය වී අඛණ්ඩව පවතී.
පැවිදි වීමට දරුවාගේ කැමැත්ත. භාරකරුවන්ගේ කැමැත්ත සහ ආචාර්‍ය්‍ය උපාධ්‍යායන් වහන්සේලා විසින් විනය කර්ම කර පැවිදි කිරීමාදිය කළ යුතු ය. සිවුරු හැරීමට පැවිදිව සිටි කෙනාගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත් ය. දරුවන් පැවිදි කිරීමේ ද කිසිම වරදක් නැත. එම දරුවන් තරුණ වූ පසුව සිවුරු හැර යාම පවක් නොවේ.
පෙර වස් විසීම සිදු වන්නේ ඇසල පොහෝ දිනදී වන අතර පසු වස් විසීම නිකිනි පොහෝ දිනදී සිදු වේ. ඇසල අවපෑලවිය දිනයේදී බුදුරජාණන් වහන්සේගේ පළමු වස් විසීම බරණැස ඉසිපතන මිගදායේදී සිදු විය. සියළුම සංඝරත්නය පෙර වස් වසන්නේ මෙම ඇසල පොහෝ දිනදී ය.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වන වර්ෂයේ, ඇසල පොහෝ දිනකදී, තීර්ථකයනගේ මානය බිඳීම සඳහා, ගන්ධබ්බ රුක්ඛ මූලයේදී යමා මහ පෙළහරපෑම සිදුකළ සේක.
හත්වැනි වස ගත කිරීමට එම ඇසල පොහෝ දිනදීම තව්තිසා දෙව්ලොවට වැඩම කොට වස් එළඹ තමන් වහන්සේගේ මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බන (අභිධර්මය) දේශනා කළ සේක.
බුදු රජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් පමණ මහරහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් ප්‍රථම සංගායනාව සඳහා වස් වසා සූදානම් වූයේද ඇසළ පොහෝ දිනකදී ය.
බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළ සේක. ඒ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවදී සම්මත කළ සීමාව තුළ, ප්‍රථම කණ්ඩ සීමාව සම්මත කිරීම ඇසල පොහෝ දිනකදී සිදු විය.
දෙවන පෑතිස්ස රජු විසින් ඛණ්ඨක චෛත්‍යවටා ඉදිකළ අටසැට ලෙන් පූජාව හා මිහිදු මහ රහතන වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා සැටදෙනම ප්‍රථම වරට ලංකාදීපයේ වස් සමාදන්වීමද ඇසල අව පෑලවිය දිනදී සිදු විය.
එම වර්ෂය තුළදීම අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරු 56 දෙනෙකු මිහිදු මහරහතන් වහන්සේ වෙතින් මහන උපසම්පදාව ලැබූ සේක. පළමු ලාංකික බෞද්ධ භික්ෂුව වන්නේ අරිට්ඨ මහ රහතන් වහන්සේයි.
බුද්ධ වර්ෂ 382දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි මහා සෑරදුන් ඉසිකිරීමට මුල්ගල තැබීමද, විවිධ ප්‍රාතිහාර්යයන් මැද එම මහා සෑයේ සර්වඥධාතු නිධානය සිදුකිරීම ද ඇසල පොහෝ දිනකදී සිදු විය.
භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රා ධාතුව ලංකාවට වැඩම කරවූයේද ඇසල පොහෝ දිනකදී ය.
බුද්ධ වර්ෂ 847දී කිත්සිරි මෙවන් රජ සමයෙහි හේමමාලා කුමරිය හා දන්ත කුමාරයා විසින් ලංකාවට වැඩම කරවන ලද දන්තධාතූන් වහන්සේ උදෙසා සිදුකරනු ලබන මහනුවර දළදා පෙරහැර ආරම්භ කළේද ඇසල පොහෝ දිනකදී ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සියම් රටින් උපාලි තෙරුන් ප්‍රමුඛ සංඝයා ගෙන්වාගෙ උපසම්පදාව යළි පිහිටුවීමද ඇසල පොහෝ දිනදී සිදු වූ වැදගත් සිදු වීමකි.
- පූජ්‍ය තපෝවනයේ රතන ස්වාමීන්වහන්සේගේ ධර්ම සටහනක් ඇසුරිනි.