08/01/2024
දෙවොල් දෙවියෝ
දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූ දෙවියෙකි.කර්ණාට ප්‍රදේශයේ නිලමාලි නමින් යුත් නෞකාපතියෙකි.මොහුව එම ප්‍රදේශයේ ස්වර්ණ කදුප්පර නුවර රාම සීහ රජු විසින් රට පෙළීමේ චෝදනාවක් කරණ කොට ගෙන පැන නැගුණ මහජන විරෝධතා හේතුවෙන් එරටින් පිටුවහල් කරන ලදී.මොහු සපිරිවර සහිතව නැව් සතකින් ඉන්දියාවේ කර්ණාට-ලංකාව ආසන්න මුහුදේදි නැව් හත කුණාටුවකට හසු වී කැඩී බිඳී ගියේය.මේ විපත සක් දෙව් රද දැක මහගල් පහුරු මවා මණිමීකලාවන්ගේ රැකවරණ ලබාදී එම නැව් ලංකාවට ගොඩ බැසීමට සැලසීය.එහෙත් යාපාපටුන,ලණුමෝදර,රීරිගල,ගිංතොට,බෙල්ලන් මෝදර,සෙල්ලන්දූව,ගෝණගමුව,හම්බන්තොට,යන ස්ථාන වලින් මෙරටට ගොඩ බැසීමට තැත් කළ නමුත් මේ කිසිඳු තැනකින් ගොඩ බැසීමට තැත් කළ විට පත්තිනි දෙවියන් ගිනි වැටහතක් මවා ඒ වැළැක්වීමට තැත් කෙළෙන්-දෙවොල් දෙවියෝ ගිනිවැට හත සිසිල් කොට පාගා-මහත් අනුහස පෙන්වා ගොඩ බටහ.ඉන්පසු තවත් ඔවුහු මහත් විශ්ම ජනක හාස්කම් දක්වා ජන පිරිස් පුදුමයට පත් කළහ.එවිට පත්තිනි දෙවියන්ගෙන් දෙවොල් නාමය ලබා සීනිගම හා වෙහෙර ගොඩ යන ස්ථානයන්හි දෙවොල තනාගෙන වැඩ සිටි පුවත යාග කවියෙන් දැක්වේ.දෙවොල් දෙවි සමඟ පැමිණි පරිවාර පිරිස ඉරු රැස්සාමි,සඳරැස්සාමි,තෙදරැස්සාමි,ගිනිරැස්සාමි,අනුහස්සාමි,කුඩා සාමි,මහා සාමි,යන හය දෙනාවෙති.දෙවොල් සාමි නායකයා වෙයි.ඔවුන් හත්දෙනා දෙවොල් පිරිසවෙති.කුඩා සමි හා මහා සාමි යන දෙදෙනා,දෙව රජ්ජුරු බණ්ඩාර සහ අළුත් නුවර බණ්ඩාර යන දෙදෙනා බව ඇතැම් පුවතක නම් කරයි.මේ හත්දෙනා සමඟ ගිනිකුරුම්බරයින් පුණායක්ෂයින්,කඩවර යක්ෂයින් ද,පැමිණියෙන් ඔවුහු අනු පරිවාර පිරිසවෙති.දෙවොල් දෙවි සුරත සැරයටියක්ද,වමත ගිනිජල සළඹක්ද ගෙන ඇත්තේය.නිල්,රතු කම්බිලි සේලයක් ඇඳ ගෙල රන්,මුතු,මාළපැළඳ,හිස කාඟුල් තොප්පියකින් වසා,සැරසි සිටියි.පත්තිනි දෙවියන් සමඟ දෙවොල් මඩුවේ එකට පුද ලබති.
පත්තිනි දේවියට දුක පවසා පැමිණිදෙවොල් දෙවියෝ සහ කථාපුවත
දකුණු ඉන්දියානු චෝල අධිරාජ්‍යයේ රජෙකුව සිටි සේවානි රජුගේ උයන පාළු කරමින් සිටි සුවිශාල ගෝනකු මරා දැමීමට රජු රාජපුරුෂයන්ට අණකරයි. හේවායන් වහා ගෝනා පසුපස ලුහුබැඳ යද්දී උයනේ පොකුණකට වැටී රජු කෙරෙහි වෛරයෙන් මිය යන ගෝනා එම පොකුණ තුළ කුඩා මැඩියෙකු වී උපදී. මැඩියා එම පොකුණ තුළ පිපී තිබුණ නෙලුම් මලක සැඟවී සිටියදී පොකුණට පැමිණි සේවානි රජ මෙම පැහැපත් නෙලුම් මල කඩා සිඹගැනීමේදී එහි සිටි කුඩා මැඩියා රජුගේ නාසය තුළට ඇදී යයි. මෙයින් රෝගාතුර වන රජු රෝගය සුවකර ගැනීමට කොතෙක් ප්‍රතිකාර කළත් රජුට වැළදුණ හිසරුජාව සුව නොවෙයි.
මෙසේ රෝගීව සිටි රජු දිනක් රූපසම්පත්තියෙන් අනූන ස්‌ත්‍රියක් දැක ඒ පිළිබඳ බමුණන්ගෙන් එයට හේතුව විමසයි. බමුණන්ගේ නිගමනය වූයේ සිහිනයෙන් පෙනී ඇත්තේ පත්තිනි දේවතාවිය බවත් පත්තිනියගේ සාපය රජුට ඇති බවත්, එබැවින් බුදු දහම ස්‌ථාපිතව ඇති සතර දේවාල පිහිටි රටකට ගොස් දන්දී දේව පූජාවක් පවත්වා පත්තිනි මෑණියන්ට පිං පැමිණවිය යුතු බවත්ය. ලංකාව ඒ සඳහා සුදුසු රට බව සිතූ රජතෙමේ වත්තල තොටින් දිවයිනට පැමිණ කැලණි විහාරස්‌ථානයේදී බුදුන් වැඳ දෙවියන්ට පිං දී රුවන්වැල්ල ප්‍රදේශයට ගොස් එහි භූමියක් සකස්‌කොට දෙවොල් මඩු යාගයක් සිදුකළ බවත් එම යාගයෙන් රජුගේ රෝගය සුව වූ බවත්, ඉන්පසුව ලංකාවේ දෙවොල් මඩු ශාන්තිකර්මය ප්‍රචලිත වූ බවත් කියෑවේ.
දෙවොල් දෙවියන් පිළිබඳ තවත් උපන් කතාවකට අනුව රාමසිංහ නම් රජකෙනකු දඹදිව කුදුප්පර නුවර රජ කළේය. රාමසිංහ රජුගේ අන්තඃපුරයේ බිසෝවරු සංඛ්‍යාව සත්සියයකි. ඒ බිසෝවරු සත්සියය අතුරින් අග්‍රමහේෂිකා තනතුරු ලත් බිසෝවරු සත් දෙනෙකි. එම බිසෝවරු හත්දෙනා, තෙදපති, ගුණපති, අමිතාපති, සිරිපති, මිහිපති, යසපති, ගිනිපති නම් වූහ. මෙම බිසෝවරුන් හත්දෙනා එක්‌වර ගැබ්ගත් අතර දස මස් සම්පූර්ණ වී කුමරුන් සත්දෙනකු බිහි කළාය. බිසෝවරුන්ගෙ නම් අනු පිළිවෙළට පුතුන් සත්දෙනා දෙවොල් සාමි, අලුත් බණ්‌ඩාර, හිරු රැස් සාමි, සඳරැස්‌සාමි, තෙද රැස්‌සාමි, ගිනි රැස්‌සාමි, ගඟේ බණ්‌ඩාර යනුවෙන් නම්වූහ.
මවුවරුන්ගේ සෙනෙහසින් හැදී වැඩුණ මෙකුමරුවන් කෙළිදෙලෙන් පසුවූ අතර කල් යත්ම චණ්‌ඩ ගති ඇත්තන් බවට පත්වූහ. දුනු ශිල්පයෙහි අති දක්‌ෂ වූ කුමරුවන් වනවදුලු තුළ සැරිසරමින් වන සිවුපාවුන් මරා දැමීමට පෙළඹුනාහ. එයින් නොනැවතුන කුමරහු අහසේ පියාඹන පක්‌ෂීන්, ගව මහිෂාදීන් පවා මරා දැමූහ. ගම්මු විසින් මෙපුවත රජුට දැන්වීමෙන් පසුව ඉන් කෝපයට පත් කුමාරවරු රට වැසියන් මරා දැමීමටද වූහ. මෙයින් මහත් කෝපයට පත් රජ තෙමේ කුමාරවරුන් සත්දෙනා ඔවුන්ගේ පිරිස සමග රටින් පිටුවහල්කර දැමීමට තීරණය කළේය. ඔවුන් දොළුවර කරන්නාඩි ආදී පිරිසක් සමග රුවල් නැව් උපයෝගි කරගනිමින් සිරිලකට පැමිණි බව පැවැසේ. රජු කුමරුන් පිටුවහල් කිරීමට දැව වඩුවන් ගෙන්වා නැව්සතක්a සෑදවූ බවත් එම නැව්වලට සත්සියයක් පිරිවර සහ වස්‌තුව පටවා රටින් පිටුවහල් කළ බව පැවැසේ. ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ පැමිණි නැව් මහ මුහුද මැද විපතට පත්වුණ බවත් ඉන් බේරුණ දොවොල්කුමාරුවරු සත්දෙනා සහ කුරුම්බර නම් සේවකයා සුqනු විසුණු වුණ නැව්වල ලී දඬු ආධාරයෙන් මුහුද තරණය කරන්නට වූහ.
මේ විපත සැලවුණ සත්දෙවි රජ මොවුන්ට ගල් නැවක් සාදා දුන් බව කියවේ. සත්දෙව්රජ මවාදුන් ගල්නැව මණිමේඛලා නම් දෙවඟන විසින් ඉලිප්පෙන්ඩ සැලස්‌වූ බවද දේව කන්නලව්වේ කියවේ. මෙසේ පැමිණි කුමාරවරු වෙරළට ගොඩබැසීමට තැත්කළ විට පත්තිනි දේවිය ඔවුන්ගේ පැමිණීමට විරුද්ධ වූවාය. මෙහිදී දෙවොල් කුමාරවරු සත්දෙනා පත්තිනිය විසින් මවන ලද යකඩවැට බිඳ දමා ගිනිකඳු මැඩගෙන වෙරළට ගොඩ බැස දෙවුන්දර, උඩුගල්පිටිය, බෙන්තොට, සීනිගම, පානදුර යන තැන්වලට පැමිණ පදිංචි වූ බව පැවැසේ.
දෙවොල් කුමාරවරු වෙරළට ගොඩ බැස්‌ස විට පත්තිනිය ඔවුන්ට ගොඩ බැසීමට ඉඩ නොදුන් අවස්‌ථාවේ පත්තිනියගේ කරුණාව ලබාගැනීමට කුමාරවරුන් පත්තිනියට තම දුක කීවේ මේ අයුරිනි.
කන්නුරම්පුර දී දුටු අක්‌කා
මදුරාපුරයේදී දුටු අක්‌කා
එදා මෙතනදී අප දුටු අක්‌කා
අපිගොඩ ගන්න කෝ බුදු අක්‌කා
මෙහිදී දෙවොල් හත්කට්‌ටුව සහ ඔවුන්ගේ ආරක්‌ෂකයෝ වන අඳුන්කුරුම්බර, හඳුන්කුරුම්බර, හෙට්‌ටිකුරුම්බර, එර්දි කුරුම්බර, මල්කුරුම්බර, ගිනි කුරුම්බර, රීරි කුරුම්බර, කුඩු කුරුම්බර, දෙවොල් කුරුම්බර ඇතුළු දෙවොල් දේවතාවෝ ගිනිකඳු හත පයින් මැඬ නිවා සීනිගම අත්පත් කරගත් බව පැවැසේ.
අතින් ගත්තු ගිනි ජල පන්දු කෙළිමින
කටින් සපා ගිනි දැල් සිසිල් කරමින
පයින් ගසා ගිනි ජල පන්දු කෙළිමින
සැනෙන් දෙවොල් දෙවි මෙතෙරට වඩිමින
දෙවොල් දෙවියන්ගේ මුල් ස්‌ථානය සීනිගම වුවද ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්‌ථානවල දෙවොල් දේවාල පිහිටා ඇත. දොවොල් දෙවියන්ගේ ගොඩ බැසීම වැළැක්‌වීමට පත්තිනි දේවිය ගිනිකඳු මැවූවේලේ ඒවා නිවා දැමීම සිහිපත් කරමින් කපු මහත්වරු ගිනි පෑගීමේ උත්සවය පවත්වති. එවකට සීනිගම විසූ මැතිඳෙකු විසින් ඔහුට ඇතිවූ අසනීපයක් සුවකර දීම නිසා සීනිගම දේවාලය ඔහු විසින් සාදා දුන් බව පැවසේ.
හික්‌කඩුවට නුදුරුව මුහුදේ ප්‍රධාන දෙවොල් දේවාලය පිහිටා තිබෙන අතර උණවටුන, රූමස්‌සල, වේරගොඩ, අමනාවල දෙවොල් දේවාල පවතී. දෙවොල් දෙවියන් වේරගොඩ ස්‌ථානයක තම සැරයටිය සිටුවා ගසක් හැටියට එය වැඩීමට සැලස්‌වූ බවද එම ගමින් සහකාරියක් ලබාගත් බවද අමනාවල ඇත්තේ මහාසාමිගේ දේවාලය බවද සිංහල දේව පුරාණයෙහි කියවේ. මෙම දෙවොල් දෙවිවරු පිරිස ගම්බාර දෙවිවරු ලෙස බැතිමත්හු අද හනු ලබති. ගම්මු දෙවියන්ගේ ලෙඩ යනුවෙන් හඳුන්වනු ලබන පැපොල, සරම්ප, කම්මුල්ගාය ආදී බෝවන රෝගවලින් මිදීම සඳහා දේවාශිර්වාදය පිණිසද විශේෂයෙන් අස්‌වනු සරුසාර කරගැනීම, සැපසම්පත් උදාකර ගැනීම සහ අපල උපද්‍රවවලින් මිදීම සඳහා දෙවොල් දෙවියන්ට පුද පූජා පැවැත්වීමට පෙළඹෙති.
බොහෝ දේව සමූහයා මෙන්ම දෙවොල් දෙවියන්ද භාරතයෙන් මෙහි පැමිණියෝ වෙති. දෙවොල් යකුන් ලෙසද මෙම දේව සමූහයා හඳුන්වා ඇත. රටවන් දෙවියන නාමය පස්‌බාගේ කෝරළේද දකුණු පළාතේදී වේරගොඩ දෙවියෝ යන නාමයෙන්ද ඇතැම් අවස්‌ථාවල වාහල හාමුදුරුවෝ යන නාමයෙන්ද දෙවොල් දෙවියන් හඳුන්වා ඇත. දෙවොල් දෙවියන් සඳහා වන යාදින්නාවක සඳහන් ආකාරයට මෙතෙමේ දඹදිව කුදුප්පරනුවර රාමසිංහ රජුගේ "මහාසාමි" නම් පුතෙකු බවත් කියවේ. රජතුමා මහාසාමි නම් තම පුතුන් නැවකට ගොඩ කරවා රටින් පිටුවල් කළ බවත් අතරමගදී යාත්‍රාව බිඳී විශ්වකර්මයන් විසින් මවනලද පහුරකින් ලක්‌දිව යාපා පටුනට ගොඩ බැස්‌ස බවත් එහිදී නාථ දෙවියන් විරෝධය පෑම නිසා සීනිගමට පැමිණ බවත් පැවැසේ. සීsනිගම දේවාල පුරාවෘත්තයෙහි කියවෙන ආකාරයට දෙවොල් දෙවිවරු ලක්‌දිව ස්‌ථාන හතකදී එලවා දැමූ බව පැවසේ. ඒ අනුව යාපා පටුනේදී නාථ දෙවියන් විසින්ද සමනල අඩිවියේදී සුමන සමන් දෙවියන්ද කතරගම දී කඳකුමරු විසින්ද, දෙවුන්දර තුඩුවේදී විෂ්ණු දෙවියන් විසින්ද රිටිගල් දේවාලයේදී රිටිගල් බණ්‌ඩාර දෙවියන් විසින්ද ගිනිතොට සහ උඩුගල් පිටියේදී මහාබ්‍රහ්ම විසින්ද පලවා හරිනු ලැබූ බව සිංහල දේව පුරාණයෙහි කියවේ. දෙවොල් දෙවියන් පසුව සීනිගම දෙවොල කොටගෙන වැඩවාසය කරන බව පැවසේ.