21/08/2022
Copied 🔴
ඉස්සෙල්ලම මම කියන්න ඕනෑ මම ලේඛකයෙක් නෙවේ, මගේ දක්ෂතාවය තියන්නේ සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම කියන තැන. ඒනිසා ලිවීමේ අඩුපාඩු ගොඩක් ඇති.
රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වහා කලයුතු’යි කියල මම විශ්වාස කරන රටට ඩොලර් බිලියන ගණනක් ගෙන්න පුළුවන් කෙටි කාලීන සැලසුම් දෙකක් මේ මගේ අතින් ලියවෙන්නේ,..
ඔබගේ වගකීම වෙන්නේ මේ සැලසුම් හෝ මිට වඩා හොඳ සැලසුම් ඔබගේ පාර්ලිමේන්තු නියෝජිතයන් ලවා ක්‍රියාත්මක කරවා ගැනීමයි. මෙවැනි සැලසුම් වෙනුවෙන් පෙනී නොසිටින මන්ත්‍රීවරුන් ඔබ විසින් පාර්ලිමේන්තුවට යවන තාක් කල් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව මතක තියා ගන්න.
ඒ වගේම මේවා share කරලා හැම දෙනාවම දැනුවත් කරන්න. නැත්නම් අපේ ජනතාව මන්ත්‍රීවරුන්ගෙන් රටට වෙන්න ඕනෑ සැබෑ රාජකාරිය මොකක්ද කියල වත් දන්නේ නැහැ.
ඉතාම කණගාටුවෙන් උනත් කියන්න වෙනවා, ජනතාවගේ නොදැනුවත් කමත්, පක්ෂග්‍රාහී මානසිකත්වයත් අද රටේ මේ තත්වයට හේතුවක්. දැන්වත් දැනුවත් වෙමු.
මේ සැලසුම් දෙක විතරක් වත් අපි පාර්ලිමේන්තුවෙන් කරගමු.
----------------- ——-
"ගමට ඩොලර්" කෙටි කාලීන සැලසුම
2019 අගදී මා සකස් කල විමධ්‍යගත නිෂ්පාදන ආර්ථික සැලැස්ම දේශීය නිෂ්පාදන ආර්ථිකයක මුලික සැලසුම් වලින් එකක් විදිහට එවකට පත්වූ නව ජනාධිපතිවරයාට යෝජනා කලා.
ඒ සැලසුමේ කෙටි කාලීන සැලසුම් අංගය "ගමට ඩොලර්" නමින් නැවත මෙසේ මා අතින් ලියවෙනවා.
2022 අපේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුධය IMF හරහා තවත් ණය අරගෙන විසඳා ගත්තත්, ඒ එකක්ම අපිට කෙටි කාලීන සැලසුම් අවශ්‍ය වෙනවා "ගමට ඩොලර්" ගෙන්න.
අධික උද්ධමනය හමුවේ අසරණ වූ ගම් සහ නගරවාසි සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය ඉහල නැග්වීමත් රටට වහවහා ඩොලර් ගෙන ඒමත් කියන අවශ්‍යතා දෙක මේ සැලසුමෙන් අවුරුදු දෙකක් ඇතුලත සපුරා ගත හැකි බව මා විශ්වාස කරනවා.
මිට අමතරව තවත් කෙටි කාලීන සැලසුම් කිහිපයක් වත් අවශ්‍ය වන අතර මා ඒ ගැනත් වෙනම සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉලක්කය:
ඍජු "රාජ්‍ය ව්‍යවසායකත්වයෙන් තොරව" 10,000 ක් කුඩා නිෂ්පාදකයන් බිහි කර ඔවුනට ගමේ සිට ඍජුව Amazon, eBay, AliExpress වැනි වෙබ් අඩවි හරහා අපගේ කෘෂි නිෂ්පාදන ලෝකයේ ප්‍රමුඛ වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ අවස්ථාව සකසා දීම.
කෘෂි නිෂ්පාදන කියන්නේ ඉතාම පුළුල් පරාසයක් තියන දෙයක්. උදාහරණයක් විදිහට මේ අනුව අනුරාධපුරේ කෙනෙකුට අඹ 1kg ක් විජලනය කර රු 3,500 කට අධික මිලකට යුරෝපයට parcel post වගේ සරල ක්‍රම හරහා තනිව කෙලින්ම විකුනන්න පුළුවන්.
විජලනය කල එළවලු, පළතුරු, කිතුල් පැණි, හකුරු, කරපිංචා කඳ, මුරුංග කොළ, ආහාරමය නොවෙන පන්, වේවැල් භාණ්ඩ වගේ බොහෝ දේවල් මේ අංශයට ඇතුලත් වෙනවා.
ඒ වගේම දැනට නිෂ්පාදිත භාණ්ඩත් තොග වශයෙන් මිලදී ගෙන මේ හරහා සිල්ලර විකිණීම කරන්නත් පුළුවන්.
(කරුණාවෙන් මා ඉදිරිපත් කල විමධ්‍යගත ආර්ථික සැලැස්ම කියවන්න.)
වාණිජ ඉලක්කය 1: ඒ එක් එක් නිෂ්පාදකයා මසකට රුපියල් මිලියන 1 ක බැගින් උපයන තත්වය ළඟ කර ගැනීම.
ඒ අනුව රටට වසරකට රු මිලියන 120,000 (බිලියන 120) ක අදායමක් ලැබීම.
වාණිජ ඉලක්කය 2: එකී ඉලක්කය ව්‍යවසායකයින් ගණන සහ අදායම් වැඩි කිරීමට අවශ්‍ය පහසුකම් සැකසීමෙන් බිලියන 1,200 දක්වා ඉහල දැමීම.
කුඩා ව්‍යාපාරිකයන්ට සහ කැමැත්ත ඇත්තවුන්ට ඇති බාධක:
බාධක බොහෝ ගණනක් තිබුණත් ප්‍රධාන බාධක පහක් පැහැදිලිවම විසඳිය යුතුව තියනවා.
1. නිසි නිෂ්පාදන දැනුම නොමැති වීම
2. අන්තර්ජාතික වෙළඳ වෙබ් අඩවි නිවැරදිව භාවිතය ගැන දැනුම නොමැති වීම.
3. ප්‍රමිතිය නඩත්තු කිරීම පිළිබඳ වගකීම සහ දැනුම නොමැති වීම
4. තැපැල් ගාස්තු අධික වීම සහ විශ්වසනීයත්වය අවම බව
5. මුදල් අයකිරීමේ සහ බැංකුගත කර ගැනීමේ ක්‍රම නොමැති වීම
එකී බාධක ජය ගැනීම:
පහත සියල්ල සඳහා සුදුසු විදිහට පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරගන්න වෙනවා.
1. සහ 2. නිෂ්පාදන දැනුම සහ අන්තර්ජාතික වෙළඳ වෙබ් අඩවි භාවිතය ගැන දැනුම ලබාදීම.
රටක් විදිහට අපිට විශාල වාණිජ ඉලක්ක තියන නිසා මේ කරුණ සරලව නොගත යුතුයි. උපදේශකවරුන්ගේ පෞද්ගලික අදහස් උදහස් වලින් කලවම් වෙන්නේ නැතිව දිවයිනේ සෑම ප්‍රදේශයකටම මේ දැනුම එක හා සමානව ගමන් කල යුතුයි.
එනිසා රාජ්‍ය මග පෙන්වීමෙන් සෑම නිෂ්පදනයක්ම සඳහා පැය 16 කට නොඅඩු වීඩියෝ පාඨමාලා ශේස්ත්‍රයේ ප්‍රවීණ යොදවා කරවා රාජ්‍ය වෙබ් අඩවියක් සහ YouTube හරහා ජනසතු කල යුතුයි.
ඒ එක්කම රාජ්‍ය රුපවාහිනී නාලිකා ඔස්සේ ජනතාව හොඳින් "ගමට ඩොලර්" ව්‍යාපෘතිය ගැන දැනුවත් කල යුතුයි.
දක්ෂතාවය ඇති අයට මේ හරහා නොමිලේ තනිව ඉගෙනීමේ අවස්ථාව ලැබෙනවා.
අනිත් අය සඳහා රට පුරා ඇති රජයේ තාක්ෂික විදුහල් සහ පෞද්ගලික ආයතන හරහා ජනතාවට මේ පාඨමාලා පැමිණ මුදල් ගෙවා පුහුණු වීමේ අවස්ථා හදන්න ඕනෑ. විශේෂයෙන්ම පෞද්ගලික අධ්‍යාපනික ආයතන මේ සඳහා දිරිමත් කරන්නම ඕනෑ.
3. ප්‍රමිතිය ගැනත් උඩ කී විදිහට වෙනම පාඨමාලා අවශ්‍ය වෙනවා. තමන්ගේ විකුණුම් දැන්වීම් වලට අංශක 360 වීඩියෝ දර්ශන එකතු කිරීම, නිෂ්පාදනාගාරය ගැන වීඩියෝ සටහන් එකතු කිරීම, feedback ratings හොඳින් පවත්වාගෙන යෑම ආදිය ගැන එසේ වැඩමුළු මුදා හැරිය යුතුයි.
ඒ එක්කම වෙනත් රටක ඉන්න කෙනෙකුට විශ්වාසය ඇතිවෙන විදිහට ඒ රටේ පදිංචි පාරිභෝගිකයන්ගේ අදහස් වීඩියෝ පටිගත කිරීම් හරහා තමන්ගේ ප්‍රචාරක දැන්වීම් වලට එකතු කරන ආකාරය වගේ දේවල් ඒ වැඩමුළුවලට එක් කල යුතුයි.
4. තැපැල් ප්‍රශ්නය සහ මුදල් අයකර ගැනීමේ ප්‍රශ්නය උඩ කී දැනුම ඇති අයට පවා අද තියන විශාල ප්‍රශනයක්.
මේ ප්‍රශ්න දෙකම ඉන්දියාව සහ චීනය සාර්ථකව විසඳලා තියනවා. ඒ ක්‍රම අධ්‍යයනය කිරීමෙන් පස්සේ අපේ රටටත් ඒ විසඳුම් නව පනත් මාර්ගයේන් ආරෝපණය කර ගත යුතුයි.
4 වන කාරණය විශේෂ ගාස්තු ක්‍රමයක් සහ වගකීමක් සහිත නව පනතකින් පහසුවෙන් විසඳා ගන්නත්, 5 වන කාරණය PayPal සඳහා නව පනතකින් අවසර (අවශ්‍ය සීමා සහිතව) දීමත් සමග ඉක්මණින් විසඳා ගන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.
අපේ කාර්ය භාරය වෙන්නේ කොහොම හරි පාර්ලිමේන්තුව හරහා අවශ්‍ය අධ්‍යයනයන් ඉක්මනින් අවසාන කරලා මේ පනත් සම්මත කර ගැනීමයි.
විමධ්‍යගත නිෂ්පාදන ආර්ථික සැලසුම : https://kaalama.org/read-blog/3
(මේ සමගම මා විසින් ඉදිරිපත් කල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවේ ත්‍රිතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආකෘතිය ගැන දැනුවත් වීමත් ඉතාම සුදුසුයි : https://kaalama.org/read-blog/6176)
---------------
“රටට ඩොලර්” කෙටි කාලීන සැලසුම
2022 පාලකයන්ගේ අසාර්ථකත්වය නිසා අපේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුධය IMF හරහා තවත් ණය අරගෙන කවුරැ කවුරු හෝ කෙසේ හෝ විසඳා ගත්තත්, ඒ එකක්ම අපිට රටට ඩොලර් ගෙන්න කෙටි කාලීන සැලසුම් අවශ්‍ය වෙනවා.
ඒ ගැන මම “ගමට ඩොලර්” නමින් එක් කෙටි කාළීන නමුත් දිගු කාලීන අරමුණු සහිත සැලසුමක ආකෘතිය ඉදිරිපත් කරලා තියනවා.
මේ මගේ අතින් ලියවෙන්නේ තවත් එවැනි සමගාමී දිගු කාලීන අරමුණු සහිත කෙටි කාලීන සැලසුමක්.
තොරතුරු තාක්ෂනය (IT) සමග එන BPM (Business Process Management), App නිෂ්පාදනය, සාමාන්‍ය මෘදුකාංග නිෂ්පාදනය, Blockchain තාක්ෂණයට අදාල NFT/Dapp/DAO ආදී නිර්මාණය මේ සියල්ලටම අපි කෙටියෙන් IT BPM කියල කියමු.
IT BPM කර්මාන්තය දියුණු කල යුතු බවක් රජය වරින් වර කිව්වත් කිසිම සැලසුමක් අපි දැක්කේ නැහැ. එනිසා මා විසින් වත් යම් සැලසුම් ආකෘතියක් ලියන්න කාලය හරි කියල මට හිතෙනවා.
ඉලක්කය: IT BPM සේවා අංශයේ ඍජු නව රැකියා අවස්ථා 20,000 ක් අවුරුදු 4 කාලයක් ඇතුලත මේ හරහා පෞද්ගලික අංශයේ නිර්මාණය කිරීම.
ඉන්පසු සෑම අවුරුද්දකම 20,000 බැගින් 100,000 දක්වා අවස්ථා නිර්මාණය කිරීම.
මේ හරහා සිදුවන්නේ දැනට ඉන්දියාව, ෆිලිපිනය සහ ඉන්දුනීසියාව වැනි රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටින IT BPM කර්මාන්තයේ සැලකිය යුතු කොටසක් අප අතට පත් කර ගැනීමයි.
ඒ අනුව සරලව කියනවා නම් අපි කරන්නේ අපේ දක්ෂ තරුණ තරුණියන් ලංකාවේ සිටම ලෝකයට IT BPM සේවා ලොකු කුඩා පෞද්ගලික ආයතන හරහා ලබා දීමයි.
(අසාධාරණ ලෙස සරල කරනවා නම්, ඔබ ගෙදර ඉඳගෙනම අන්තර්ජාලය හරහා ලෝකය සමග සම්බන්ධ වෙමින් ඔවුන්ට මෘදුකාංග ලියා දී ඩොලර් අයකරනවා කියල තේරුම් ගත්තත් වරදක් නැහැ.)
දැනට මා සතු දත්ත අනුව ශ්‍රී ලංකාවේ මේ අංශයේ සේවක සඛ්‍යාව 150,000 වගේ වෙනවා. ඉන්දියාවේ ඒ ගණන 4,500,000 පමණ වෙනවා. මේ එක සේවකයෙකුගේ මාසික වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියනයක්. වෙනස අපට ඉතාම පැහැදිලියි.
වාණිජ ඉලක්කය 1: මේ සේවා හරහා පුහුණු දක්ෂ එක් IT BPM සේවකයෙකුගෙන් මස්කට් රුපියල් මිලියනයක් පමණ රටට උපයා ගත හැකියි.
ඒ අනුව 20,000 සේවා බලකායක් හරහා අවුරුද්දකට රුපියල් බිලියන 240ක ඉලක්කයක්.
වාණිජ ඉලක්කය 2: 100,000 සේවා බලකායක් හරහා අවුරුද්දකට රුපියල් බිලියන 1,200ක ඉලක්කයක්.
වාණිජ ඉලක්කය 3 : 1,000,000 සේවා බලකායක් හරහා අවුරුද්දකට රුපියල් බිලියන 12,000 ක (ට්‍රිලියන 12ක්) ඉලක්කයක්.
(2021 වර්ෂයේ රටේ සමස්ථ අපනයන අදායම රුපියල් බිලියන 4,500 ටත් අඩු අගයක්. මෙතෙක් කල් ඔබ පාර්ලිමේන්තුවට යැවූ පුද්ගලයන් බහුතරයක් IT, IT කිව්වට අවම වශයෙන් මෙවැනි කර්මාන්තයක් තියන බව වත් දන්නවද කියල හොයල බලන්න.)
IT BPM ව්‍යවසායකයින්ට ඇති බාධක:
බොහෝ බාධක ඇතත් ඒ අතරින් ප්‍රධාන බාධක තුනක් හඳුනාගෙන වහාම පාර්ලිමේන්තුව හරහා විසඳාගත යුතුයි කියල මම යෝජනා කරනවා.
1. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී ඇති අති මහත් දුෂ්කරතා.
මේ කරුණ ලොකු කුඩා සැමට බලපානවා. සෑම කටයුත්තකටම ස්ථාන ගණනාවකට යෑමට සිදුවීම, පගා ඉල්ලීම, වැඩ කල් දැමීම, රස්තියාදු කිරීම, කිසිදු සැලකිල්ලක් නොදැක්වීම, එකම ලිපිගොනු ස්ථාන ගණනාවකට ලබාදීමට සිදුවීම වගේ රාජ්‍ය අංශයේ ඇති බොහෝ ගැටළු මෙතැනදී අදාල වෙනවා.
2. විදේශ මුදල් ගණුදෙනු සඳහා ඇති පාලනයන් නිසා ඇතිවන ගැටළු.
එදා සිටම ලංකාවේ අඩු වැඩි වශයෙන් ඩොලර් අර්බුද තිබුන නිසා, මහ බැංකුව නිතරම රටින් ඩොලර් පිටට යැවීම දැඩි නීතිරීති වලට යටත් කරලා තියනවා. නමුත් ඒ වගේ නීති එක්ක කුඩා සහ මාධ්‍ය පරිමාණ IT BPM ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර දියත් කරන්න විදිහක් නැහැ. මහා පරිමාණ ආයෝජකයින් මේ ගැටලුව උඩ දෙවන ගැටලුව තනිවම විසඳා ගන්න අතරේම විසඳා ගන්නවා.
නමුත් නව ව්‍යවසායකයන් ආකර්ෂණය වීම මේ නිසා නවතිනවා.
3. පුහුණු ශ්‍රමිකයන් සිටියත් ප්‍රමාණවත් නොවීම සහ පුහුණුව අවශ්‍යතාවය සමග නොගැලපීම.
එකී බාධක ජය ගැනීම:
පහත සියල්ල සඳහා සුදුසු විදිහට පාර්ලිමේන්තුවේ පනත් වහාම සම්මත කරගන්න වෙනවා.
1. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී ඇති අති මහත් දුෂ්කරතා මගහරවා ගැනීම
මේ සඳහා නව පාර්ලිමේන්තු පනතක් හරහා IT BPM කර්මාන්තය වෙනුවෙන් කොමිසන් සභාවක් පත්කළ යුතුයි. මේ සඳහා අදාල මුලික ආකෘතිය පෝට් සිටි පනත හරහා දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ ආකෘතිය අවශ්‍ය වෙනස්කම් එක්ක භාවිතා කරන්න පුළුවන්.
මේ අනුව සිදුවිය යුත්තේ IT BPM කර්මාන්තයට අලුතින් ඇතුල් වෙන සියලුම ලොකු කුඩා ව්‍යවසායකයන් සඳහා ව්‍යාපාර ලියාපදිංචියේ සිට බැංකු කටයුතු දක්වා සියලුම සේවා එක ස්ථානයකින් එක කොමිසන් සභාවේ ඒජන්තවරයෙකු සමග පමණක් සම්බන්ධවීමෙන් කර ගැනීමේ අවස්ථාව සැලසීම.
IT BPM ව්‍යාපාරයක් ආරම්භ කරන්නවුන්ට ලෝකයේ සියලු රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉතාම පහසුවෙන් සහ කඩිනමින් වැඩ කරගත හැකි තැනක්’ කියන සංඥාව ඔවුන්ට ලැබෙන පරිදි වැඩ කිරීම මේ කොමිසන් සභාවේ ප්‍රධාන කාර්යභාරය වෙන්න ඕනෑ. ඒ එක්කම දෙස් විදෙස් නව ව්‍යවසායකයින්ට ආරාධනා කිරීමත් ඔවුන්ගේ කාර්යභාරයට ඇතුල් වෙන්න ඕනෑ.
මේ කොමිසන් සභාවට විශාල බලයක් කේන්ද්‍රගත වන නිසා ඔවුන් අත්තනෝමතිකව හැසිරෙනවාද’ යන්න පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු බහුතරයෙන් කොමිසන් සභාව පත් කිරීම, පාර්ලිමේන්තු කාරක සභාවකට වගකීම, රාජ්‍ය විගණන යාන්ත්‍රණයට යටත් කිරීම, ව්‍යවසායකයින් සමග පැවැත්වෙන සියලු සාකච්චා කාර්යාලයේ පමණක් 24/7 වීඩියෝ පටිගත කිරීම් සමග සිදුකිරීම, ව්‍යවසායකයින්ගේ අදහස් උදහස් නිරීක්ෂණය, නිලධාරීන්ගේ පෞද්ගලික කටයුතු නිරීක්ෂණය සඳහා රහස් පොලිසිය යෙදවීමේ ක්‍රම ආදී ක්‍රම භාවිතා කල යුතුයි. ඒ සඳහා පනත් සම්මත විය යුතුයි.
ජනතාව නිවැරදි පාර්ලිමේන්තුවක් පත් කලොත් මේ වගේ පනත් මාස කීපයකින් උනත් සම්මත කරගන්න බැරි නැහැ. විශේෂයෙන්ම මේ සැලසුම සඳහා රටේ දේපළ විදේශිකයන්ට විකිනෙන්නේ නැති නිසා, මන්ත්‍රීවරුන්ට බාධා කරන්න හේතු අවමයි.
2. විදේශ මුදල් ගණුදෙනු සඳහා ඇති පාලනයන් අවශ්‍ය පරිදි ලිහිල් කර දීමත් උඩ කී කොමිසන් සභාවේම රාජකාරියක් විය යුතුයි.
කොමිසන් සභාව නිවැරදිව ස්ථාපිත කර ගන්න පුළුවන් නම් මේ දෙවෙනි ගැටලුවත් ඒ එක්කම විසඳෙනවා.
(වැදගත් : ඒ වගේම මේ ක්‍රමය හඳුනාගත් වෙනත් කර්මාන්ත වලට, උදාහරණයක් විදිහට අධි තාක්ෂණික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්තයට, භාවිතා කලොත් ඒ ඒ කර්මාන්ත සඳහා රටට එන විදේශ ආයෝජන වැඩි කර ගන්න පුළුවන්.
මා දකින්නේ කෘෂි නිෂ්පාදන අංශය, IT BPM අංශය, අධි තාක්ෂණික ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අංශය, නාවුක සහ නාවුක සේවා අංශය සහ මහා පරිමාණ තොග සහ සිල්ලර ව්‍යාපාර අංශය කියන අංශ 5 අපි වේගයෙන් දියුණු කල යුතු කර්මාන්ත.
ශ්‍රී ලංකාවේ ස්ථානගත වීම අනුව මේ කියවුන අංශ 5 අපිට ඉතාම සුදුසු බවත් ඒ හරහා අවුරුදු 10-15 ක කාලයකින් අපට සිංගප්පුරුව සමග කරට කර තරඟ කිරීමේ තැනට එන්න පුළුවන් කියල මා තරයේ විශ්වාස කරනවා.)
3. පුහුණු ශ්‍රමිකයන් සිටියත් ප්‍රමාණවත් නොවීම සහ පුහුණුව අවශ්‍යතාවය සමග නොගැලපීම කියන කාරණය විසඳන්න තරමක කාලයක් යනවා.
3.a. උසස් පෙළ අවසන් කල සිසුන් සඳහා වසර තුනක IT BPM පාඨමාලා ඒ ඒ රැකියා අවස්ථා ඉලක්ක කරමින් වහා සකස් කල යුතුයි.
3.b. IT BPM අංශයේ ඉහල තනතුරු දරණ කළමනාකාරී අත්දැකීම් බහුල තිදෙනෙක් සහ කථිකාචාර්යවරයෙකු බැගින් වූ කමිටු හරහා මේ පාඨමාලා සකස් කිරීම කල යුතුය.
3.c. ඒ සෑම පාඨමාලාවක්ම ඍජුවම රැකියා අවස්ථාවක් ඉලක්ක කල යුතුයි.
3.d. පාඨමාලාවේ පළමු වසර රජය විසින් තෝරා ගත් පෞද්ගලික අධ්‍යාපනික ආයතන හරහා සාධාරණ මිලකට ජනතාවට ලබා දිය යුතුයි.
3.e. දෙවන සහ තුන්වන වසර IT BPM අංශයේ පෞද්ගලික ආයතන තුල ඍජු රැකියා පුහුණුවක් සහ අධ්‍යාපනික ආයතන සහ පුහුණු ආයතනය එක්ව ලබා දෙන මාසික ක්‍රියාකාරකම් (Assignments) වලින් යුක්ත විය යුතුයි. මේ හරහා සිසුන් IT BPM අංශයේ අත්‍යවශ්‍ය අංගයක් වන වේගවත් තනිව ඉගෙනීම (Self-studying) හොඳින් පුහුණු කල යුතු අතර සිසුන්ට යම් ගෙවීමක් කිරීමේ හෝ නොකිරීමේ අයිතිය පෞද්ගලික ආයතනය සතු විය යුතුය. (මේ පුහුණු කිරීම් ඔවුන්ට උපකාරයක් මිස බරක් නොවිය යුතුය.)
3.f. මේ හරහා අපි ඉලක්ක කරන IT BPM අංශයේ ක්ෂණික දියුණුවක් ලබා ගන්නවට අමතරව රටේ දරුවන් අධ්‍යාපනය සඳහා පිටරටවලට යෑම සහ එම වියදම් අපට ඉතිරි වීමත් මේ එක්කම සිද්ද වෙනවා. 20,000 ක් සිසුන්ට රැකියා අවස්ථා ලැබීමත් උසස් පෙළින් පස්සේ දරුවන් අතරමං වීමත් අවම වෙනවා.
(මේ සමගම මා විසින් ඉදිරිපත් කල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවේ ත්‍රිතිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආකෘතිය ගැන දැනුවත් වීමත් ඉතාම සුදුසුයි : https://kaalama.org/read-blog/6176)
3.g. මේ පාඨමාලා කළමනාකාරිත්වයත් නව පනතක් මගින් කලින් කී කොමිසන් සභාව යටතටම පත් කල යුතුයි. ඒ හරහා රාජ්‍ය අංශ විසින් වගකීම් එකිනෙකා වෙත තල්ලු කිරීම සහ ඇඟ බේරාගැනීමෙන් තොරව මේ ජාතික කටයුත්ත අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනවා.
අක්ෂර වැරදි ආදිය සියල්ලටම සමාවන්න. මෙය දළ පිටපතයි.
- ආචාර්ය බුද්ධික අදිකාරී -
----//-----
by Dr. Buddika Adikari
B.Sc (Moratuwa), PhD (Surrey, UK)
© Buddika R B Adikari All Rights Reserved.
අරමුණ: නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය දක්ෂයන් බිහි කිරීම, ගුණගරුක දැනුවත් බුද්ධිමත් සමාජයක් බිහිකිරීම, සියලු දරුවන්.....