Sri Lanka Truth

  • Home
  • Sri Lanka Truth

Sri Lanka Truth This handle breaks factual, accurate & trustworthy news from all sources in SL. It is operated by th

"හඳ නැන්දා"ජීවන අහසින් බැස ගියාය...=================================කලාකාමීන් අමන්දානන්දනයට පත්කරමින් දශක 07 කට වැඩි කාල...
12/07/2024

"හඳ නැන්දා"ජීවන අහසින් බැස ගියාය...
=================================

කලාකාමීන් අමන්දානන්දනයට පත්කරමින් දශක 07 කට වැඩි කාලයක් තිස්සේ ගම් දනව් පුරා රසාස්වාදය සපුරාලීමට අතිශයින්ම සමීප වූ ශ්‍රව්‍ය මාධ්‍යය වූයේ ලංකා ගුවන් විදුලියයි. රජයේ ගුවන් විදුලිය ලෙස, ශ්‍රව්‍ය මාධ්‍ය මහ ගෙදර ගුණාත්මක වැඩසටහන් රාශියකට තෝතැන්න විය.

ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් රාශියක් බිහි කිරීමේ පුරෝගාමී ආයතනය වූයේද ගුවන් විදුලිය මහ ගෙදරයි. නවීන තාක්ෂණය ලොව ආකර්ෂණය කර ගනිද්දී ද සියලු හැකියාවන්ගෙන් පරිපූර්ණව සිටියදී සිය අනන්‍යතාව ඒ අයුරින්ම පවත්වාගෙන යාමට හැකියාව පවතින්නේද ඉතා ස්වල්ප දෙනෙකුට පමණි.

එවැනි ප්‍රබල චරිතයක් ලෙස සුමනා ජයතිලක ප්‍රවීන මාධ්‍යවේදිනි හැඳින්විය හැකිය. ඇය ළමා ශිල්පිනියක් ලෙස ලංකා ගුවන් විදුලියට පැමිණෙන්නේ 40 දශකයේදීය. එකල ජනප්‍රිය වැඩසටහන් ලෙස සංදේශ කාව්‍ය, එළුඅත්තනගලු වංශය, සද්ධර්ම රත්නාවලිය වැනි පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල උදෘත ඉදිරිපත් කළ ඇය කැපී පෙනෙන ළමා ශිල්පිනියක් වූවාය.

1953 දී බ්‍රිතාන්‍යයේ එළිසබත් මහ රැජින ගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලිය සකස්කර බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය වෙත (බීබීසී) යවන ලද කව් සංකල්පනා පදවැල් ගායනා කරන ලද්දේ ද ඇයයි.

ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්ථිර නිවේදිකාවක් වූ අතර දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. රුහුණු සේවය සහ කඳුරට සේවයේ පාලකවරිය ලෙසද කටයුතු කර ඇති සුමනාවන් සම්පාදකවරියක් හා ළමා හා කාන්තා අංශයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යන කාරණයට අභියෝග කළ ඇය, මනමේ, පබාවතී, හස්තිකාන්ත මන්තරේ, දවසක වෙනස, බලන කපොල්ල, රත්නාවලී, වලහැඩියා, මැටි කරත්තය වැනි වේදිකා නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇති අතර, පබාවතී නාට්‍යගේ මව් බිසවගේ චරිතයටද පණ පොවා ඇත.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී සුමනා ජයතිලක මහත්මිය බොහෝ දෙනා අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ "හඳ මාමා" ළමා වැඩසටහන තුළිනි. ඇය දැයේ දුවා දරුවන්ගේ හදවත්හි ලැගුම් ගෙන සිටියේ හඳ මාමා ළමා සංග්‍රහයේ "හඳ නැන්දා" ලෙසයි.

ගුවන් විදුලි වංශකතාවේ දරුවන් වෙනුවෙන් ඉඩ වෙන්කරන ලද දීර්ඝතම වැඩසටහන වූ හඳමාමා ළමා සංග්‍රහය වැඩසටහන ආරම්භ වන්නේ1963 වර්ෂයේ දෙසැම්බර් 14 වැනිදාය. සිංහල වෙළඳ සේවයෙන් ප්‍රචාරය වූ පළමු ළමා වැඩසටහන වන්නේද මෙය වන අතර කරමින් එකම නිෂ්පාදකවරිය හා නිවේදිකාවක දීර්ඝ කාලයක් අඛණ්ඩව ඉදිරිපත් කළ වැඩසටහන ලෙස හඳමාමා වැඩසටහන ගිනස් වාර්තා අතරට ද එක් වී තිබේ.

60 දශකයේ මුල් භාගයේ ආරම්භ වූ හඳමාමා ළමා වැඩසටහන මේ දක්වාම ජාතික ගුවන් විදුලියේ ඔස්සේ විකාශය වෙයි. ශ්‍රව්‍ය මහ ගෙදර ශ්‍රී ලාංකීය කලා පරපුරේ ආධුනිකයන් බහුතරයකට සෙවන විය. සුමනාවන් ද මෙහි පය තබන්නේ ආධුනික ශිල්පිනියක් ලෙසයි. එතැන් සිට විශ්‍රාම ලබන තුරුම සුමනා ජයතිලක ප්‍රවීන මාධ්‍යවේදනය ගුවන් විදුලි මහ ගෙදර නාමයට අරුතක් එක් කරමින් එහි රැඳී සිටියාය.

1963 වර්ෂයේ ආරම්භ කරන ලද පළමු ළමා වැඩසටහන වසර 60ක් ඉක්ම ගියද පවත්වාගෙන යාමට සෙසු ගුවන් විදුලි මාධ්‍ය ආයතනයන්හි නවීන පන්නයේ ගුවන්විදුලි නාලිකා ළමා වැඩසටහන් ඇයට අභියෝගයක් නොවීය. ජාතික ගුවන් විදුලිය එකලු කරමින් පායා තිබූ "හඳ නැන්දා" එක්තරා යුගයක් අවසන් කරමින් ජීවන අහසින් බැස ගොසිනි. ආදරණීය හඳ නැන්දේ ඔබට සුව නින්දක්.

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media

ව්‍යවස්ථානුකූලව මෙරට ජනාධිපතිවරයා තෝරාගන්නා ආකාරය..=====================================================මේ දිනවල දොරින් ...
17/05/2024

ව්‍යවස්ථානුකූලව මෙරට ජනාධිපතිවරයා තෝරාගන්නා ආකාරය..
=====================================================

මේ දිනවල දොරින් දොර ජනතාවගේ කතාබහට ලක්ව ඇති ජනප්‍රියම මාතෘකාව වී ඇත්තේ ඡන්දයයි. ඒ අතරිනුත් බොහෝ දෙනාගේ විමසිල්ලට ලක්ව ඇති ප්‍රශ්නයක් වන්නේ පළමුවෙන් පවත්වන්නේ කුමන ඡන්දයද යන්නයි.

ව්‍යවස්ථානුකූලව පළමුවෙන්ම තැබිය යුත්තේ ජනාධිපතිවරයකු තෝරාගන්නා ඡන්දය යැයි මැතිවරණ කොමසම ප්‍රකාශ කර ඇත. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර්17 සහ ඔක්තෝබර් 17 දින අතර කාලය තුළදී ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සිදුකළ යුතුය.

මේ වන විට රට තුළ පවතින්නේ දැඩි තරගකාරීත්වයකින් යුතු දේශපාලන උණුසුමක් සහිත වටපිටාවක්ය. මැතිවරණය ප්‍රකාශයට පත් කර නැති පසුබිමක වුවද, ඒ ඒ දේශපාලන කණ්ඩායම් මත දරණ පාක්ෂිකයන් තමන්ට කැමති ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා කටයුතු කරන ආකාරය දක්නට ඇත.

'සුවිශේෂී හේතුවක් උදා නොවුවහොත් මිසක අනිවාර්යෙන්ම ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට මෙම වසර තුළදී හැකි වනු ඇත. ජනාධිපතිවරයා තෝරා ගන්නා වූ ව්‍යවස්ථානුකූල පදනම කුමක්ද යන්න ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවේ VII පරිච්ඡේදය මගින් දක්වා ඇත.

මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තියුණු තරගයක් සහිත එකක් බවට වන පුරෝකථනයත් සමඟම ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා දෙවන තුන්වන මනාප ගණන් කිරීමක් ද පළමු වරට සිදුවිය හැකි බවටද පුරෝකථනය කරයි.

ව්‍යවස්ථානුකූලව මෙරට අභිනව ජනාධිපතිවරයකු පත්කර ගන්නා අවස්ථාවේදී අපේක්ෂකයා ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට වඩා කොපමණ වලංගු ඡන්ද ප්‍රමාණයක් භාවිත කළේද යන්න සලකා බැලේ.

බහුතර ඡන්ද ප්‍රමාණයක් යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරන තරගකරුවකු ලබා ඇත්නම් වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50% සහ තව 01 ඡන්දයක් ලැබූ අපේක්ෂකයා ජයග්‍රහයකයා ලෙස තෝරා පත් කර ගැනෙනු ඇත.

ඒ අනුව ජනාධිපතිවරයකු පත්වීමට නම් වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50% ක ප්‍රමාණයක් සහ තවත් එක ඡන්දයක් අවශ්‍ය වේ. කිසියම් මොහොතක එම ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමට කිසියම් අපේක්ෂකයෙකුට නොහැකි වුවහොත් දෙවෙනි මනාප ගණන් කිරීමට සම්භාවිතාවක් ඇත.

කිසියම් අවස්ථාවක 50% ක් ලබා ගැනීමට නොහැකි වුවහොත් වැඩියෙන්ම වලංගු ඡන්ද ප්‍රමාණය ලබාගත් අපේක්ෂකයින් දෙදෙනා පසෙකින් තැබේ. ඔවුන් දෙදෙනාට අමතරව ඉදිරිපත්ව සිටි අපේක්ෂකයන් ගේ ලැයිස්තුවල දෙවන මනාපය ලෙස සටහන් තබන ලද අපේක්ෂකයා නිරීක්ෂණය කරයි.

ඒ අනුව පෙර සඳහන් කළ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයන් දෙදෙනාට ලැබී ඇති දෙවැනි මනාප ප්‍රමාණය ගණන් කර එකිනෙකාගේ ගේ ගොඩට එක් කරේ. එම දෙවන මනාපය ගණන් කිරීමෙන් පසු 50% ක් එක් අපේක්ෂකයෙකු ලබා ඇත්දැයි සලකා බලන්නේ නැත.

ඉන්පසුව සරල බහුතරය ලබාගත් අපේක්ෂකයා ජයග්‍රහයකයා ලෙස පත් කෙරේ. පැහැදිලි බහුතරයක් ගත් අපේක්ෂකයා ජයග්‍රහයකයා වෙයි. යම් ආකාරයකින් දෙදෙනා ලබා ගත් ඡන්ද ප්‍රමාණය සමාන වුවහොත්, ලොතරැයි ක්‍රමයකට යාමට මැතිවරණ කොමිසම කටයුතු කරයි.

එහි විනිශ්චය කරුවා වන්නේ මැතිවරණ කොමිසමයි. ලොතරැයියෙන් දිනන අපේක්ෂකයාට 01 ක් ඡන්දයක් පමණක් එකතු කිරීමෙන් පසු ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරනු ලබයි. කෙසේ හෝ මෙවර ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් මෙරට ජනතාවට දැක ගත හැකි වනු ඇත.

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media

"නාථ දෙවියන්" ඇසුරු කළ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයා..====================================================ජීවත්ව සිටින පු...
12/05/2024

"නාථ දෙවියන්" ඇසුරු කළ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයා..
====================================================

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ ගුණ ගුණ වර්ණනා කිරීම සාමාන්‍ය සමාජයේ දක්නට නොමැති ලක්ෂණයක් වන අතර ඔහු හෝ ඇය මියගිය පසු රටේ නැති කරුණු කාරණා ඉදිරිපත් කරමින් ප්‍රශස්ති ගී ගායනා කිරීමේ ප්‍රතිපත්තියක් ලාංකික සමාජය තුළ මුල් බැසගෙන ඇත.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විද්වතෙකු ලෙස සැලකෙන මහාචාර්ය නලින් ද සිල්වා භෞතික විද්‍යාව සහ ගණිතය ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙකු වූ ඔහු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් විශ්ලේෂණ ඉදිරිපත් කළ චින්තකයෙකු ලෙස ප්‍රකටව සිටියේ ය.

ඔහු මැයි 02 වන දා ජීවිතයෙන් සමු ගත්තේය. පසුගියදා මුහුණු පොතේ අස්සක් මුල්ලක් නෑර මහාචාර්ය නලින්ද සිල්වාගේ ගුණ වර්ණනා කරමින් පෝස්ටු පළ කර තිබූ අයුරු සමාජ මාධ්‍ය පරිහරණය කරන ඕනෑම කෙනෙකුට දක්නට ලැබුණු විශේෂ කාරණයකි.

මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු, දාර්ශනිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු පමණක් නොව ජාතිකත්වය පිළිබද මත පළ කළ චින්තකයෙකු ලෙස ද ප්‍රකට වී සිටියේ ය. මාක්ස්වාදී න්‍යායේ හැඩය අතිශයින්ම භෞතිකවාදීය.

එසේ වුවද මෙම භෞතික විද්‍යාඥ මහාචාර්යවරයා සෑම අවස්ථාවකදීම මාක්ස්වාදය සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කළ අයෙක් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොව පුරා විහිදුණු එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 වසරේදී 'මගේ ලෝකය' නමින් ග්‍රන්ථයක් රචනා කළේ ය.

ඒ තුළින්, ඔහු තවදුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස 'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය' නමැති සංකල්පය හඳුන්වා දුන්නේ ය.

උතුරු මැද පළාතේ දීර්ඝ කාලයක සිට පවතින වකුගඩු රෝග සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා ප්‍රාමාණික උගතුන් පිරිසක් සහිත කණ්ඩායමක් පර්යේෂණයක් පැවැත්වීය. එම අවධියේදී එම සරසවියේ විද්‍යා පීඨයේ පීඨාධිපතිව සිටි මහාචාර්ය නලින් ද සිල්වා මෙම පර්යේෂණයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළේ ය.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල 2011 වර්ෂයේ ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, පර්යේෂක කණ්ඩායම උතුරු මැද පළාතේ පානීය ජලයේ, ශාකවල, සහල්වල සහ අනිකුත් නියැදිවල ආසනික් අධික ප්‍රමාණවලින් අඩංගු වන බව ප්‍රකාශ කළේ ය. මෙම ආසනික් ආනයනික කෘමිනාශකවලින් පරිසර පද්ධතියට එකතු වූ බව ඔවුන්ගේ චෝදනාව විය.

පර්යේෂණයට අදාළ දත්ත ප්‍රසිද්ධ කිරීම පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් නිගමනයේ නිරවද්‍යතාව පිළිබදව ඇතැම් පාර්ශව සැක පළ කළේ ය. මේ සම්බන්ධයෙන් නලින් ද සිල්වා ඇතුළු පර්යේෂක කණ්ඩායම දුන් පිළිතුරක් වූයේ, ආසනික් ප්‍රතිශතය සම්බන්ධයෙන් "නාථ දෙවියන්" විසින් තමන්ව දැනුවත් කරන ලද බවයි.

මෙම පිළිතුරෙන් භෞතිකවාදී පිරිස් උඩ ගොස් බිම වැටිණ. එතැන් සිට විවිධාකාර කරුණු ඉදිරිපත් කරමින් ඔවුහු දිගින් දිගටම මහාචාර්යවරයාව දෝෂ දර්ශනයට ලක් කළහ. මේ පිළිබඳව පර්යේෂකයින් දුන් පිළිතුරු පුවත්පත්වල පළවූ අතර, දිගින් දිගටම මහාචාර්යවරයා භෞතිකවාදීන්ගේ විවේචනයට ලක් විය.

1962 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නලින් ද සිල්වා මහතා 1967 වසරේදී ගණිතය විෂය වෙනුවෙන් පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් හිමි කර ගත්තේ ය. එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාවට අදාළව 1970 වසරේදී ආචාර්ය උපාධිය හෙවත් දර්ශන විශාරද උපාධිය ලබා ගත්තේ ය.

ඔහු ප්‍රාමාණික දැනුම් සම්භාරයක් උපයා ගත් අයෙකි. සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකි. ඔහුගේ දැනුම දාර්ශනිකය. එහෙත් මහාචාර්යවරයා ජීවත්ව සිටියදී ඔහුට නිසි අගයක් දීමට හෝ ඔහුගේ දැනුම ඇගයීමට හෝ පිළිගැනීමට කිසිවකු සිටියේ නැත. ඔහු ඉදිරිපත් කළ දර්ශනයන් නොපිළිගන්නන් ඒ වෙනුවෙන් තර්ක ඉදිරිපත් කළේද නැත.

කෙසේ හෝ මහාචාර්යවරයා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේදී මිය ගියේය.
මරණකරු තවදුරටත් දෝෂාරෝපණයට ලක් කිරීමට මිනිසුන් උත්සාහ දැරීය. ඒ දේශීය චින්තනයේ ස්වභාවය ජාතිකත්ව ස්වරූපයෙන් දේශීය දරුවන්ට කියාදී තමන් අවසන් හුස්ම හෙළීමට තෝරා ගත්තේ තමන්ගේ හෘද සාක්ෂිය තෝරා දුන් මව්බිමේ බව පවසමිනි.

එසේම "මව්බිම නැත්නම් මරණය" යැයි පැවසූ අයද, "හදවතින්ම ශ්‍රී ලාංකිකයි" යැයි පැවසූ අයද, "ගන්න අපේ දේ.." යැයි පැවසූ අය මෙන්ම බහුතර දේශමාමක, ජාතික චින්තකයින් අඩියක් මව්බිමේ තබා තවත් අඩියක් විදේශ පොළවක තබා කටයුතු කරන ආකාරය උදාහරණ ලෙස දක්වමින් මහැදුරු නලින් ද සිල්වා
මරණකරුට තවදුරටත් දොස් පවරමිනි.

තවදුරටත් අප කොතැනද? සිය ජීවිත කාලය දැනුම සම්භාරය එකතු කිරීමට කිරීමට ම දියකර හරිමින්, ස්වාධීන විශ්ලේෂණයේ යෙදෙමින් දර්ශනයන් ඉදිරිපත් කරමින් කටයුතු කළද, සමාජයේ එක් කොට්ඨාසයක් පිළිනොගන්නා සත්‍යයක් සමාජගත කරවීමට නොහැකි තත්වයක් සිය උපන් බිමෙහි උරුමය නම්, මිය යාමට විදේශීය පොළොවක් හිමිවීම අරුමයක්ද?

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media

ජයග්‍රහණය ඉදිරියේ "පුටින්ට " එල්ල වූ ප්‍රබලම අභියෝගය..  =================================================රුසියාව මාර්තු ...
24/03/2024

ජයග්‍රහණය ඉදිරියේ "පුටින්ට " එල්ල වූ ප්‍රබලම අභියෝගය..
=================================================

රුසියාව මාර්තු මස 15 වන දින සිත 17 වන දින දක්වා එරට ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය පැවැත්වීය. ජනාධිපතිවරණයේ දී වාර්තාගත ජයග්‍රහණයකට හිමිකම් කීමට ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරයාට හැකි විය.

මැතිවරණය ජය ගනිමින් ව්ලැදිමීර් පුටින් සිය පස්වන ජනාධිපතිධුර කාලය සඳහා බලය තහවුරු කරගත්තේය. ඡන්ද ප්‍රතිඵලවලට අනුව ව්ලැදිමීර් පුටින් 87% කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කීය.

පුටින් ජනාධිපතිවරයාට අභියෝග කළ හැකි ක්‍රෙම්ලීනයේ ප්‍රතිපත්ති සහිත කිසිදු අපේක්ෂකයෙකු නොවූ අතර, මෙවර ජයග්‍රහණයත් සමඟ හිටපු ජනාධිපතිවරයා 2030 වසර දක්වා අවම වශයෙන් බලයේ රැඳී සිටීමට නියමිතය.

2000 වසරේ සිට රුසියාව පාලනය කරනු ලබන්නේ පුටින් විසිනි. සෝවියට් ආඥාදායක ජෝසප් ස්ථාලීන්ගෙන් පසු ක්‍රෙම්ලියනයේ දීර්ඝතම කාලයක් බලයේ සිටි නායකයා වන්නේ ව්ලැදිමීර් පුටින්ය. 2000 වසරේදී රුසියාවේ පාලනය පුටින් විසින් භාර ගනු ලැබීය.

බොරිස් යෙල්ට්සින් හිටපු ජනාධිපතිවරයා විසින් පළමු වරට එරට භාරකාර ජනාධිපති ධූරය පුටින් වෙත භාර දෙනු ලැබීය. එම වසරේදී පැවති ජනාධිපතිවරණයෙන් ඔහු සිය පළමු මැතිවරණ ජයග්‍රහණය සනිටුහන් කළේය.

2008 - 2012 කාලය අතර ඔහුගේ තනතුරු භූමිකාව වෙනස් වී අග්‍රාමාත්‍ය බවට පත්වුවද, ඔහු වෙත පැවති බලය වෙනස් කිරීමට කිසිවකු ක්‍රියා කළේ නැත.
එකල රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයෙකුට අඛණ්ඩව සේවය කිරීමට අවසර ලබා දී තිබුණේ වාර දෙකක් සඳහා පමණි.

පුටින් ජනාධිපතිවරයා 2020 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් නැවත වරක් ජනාධිපතිවරණයට තරග කිරීමට නීති සම්පාදනය කළේය. බටහිර ප්‍රමුඛ නේටෝවේ දැඩි බලපෑම් මෙන්ම අභියෝග රැසක් වළකාලමින් ව්ලැදිමීර් පුටින් 87% වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගත්තේය.

ජයග්‍රහණයේ උණුසුම පහව යන්නටත් පෙර, අභිනව ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවූයේ අතිශය සංවේගජනක අත්දැකීමකටය. ක්‍රෙම්ලීනයේ බලය බිඳීමට අනවරත උත්සාහයක පසුවන බටහිර බලවතුන්ගේ හිත් වලට කුරිරු සතුටක් එකතු කරමින් ඊයේ රාත්‍රියේ (22.03.2024) මොස්කව් නගරයේ රංග ශාලාවකට ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් සියයකට අධික ප්‍රමාණයක් මරා දැමීය.

එසේම මෙම ප්‍රහාරයෙන් විශාල පිරිසකට තුවාල සිදුවීමත් සමගම ක්‍රෙම්ලීන පාලනයට තවත් ප්‍රබල අභියෝගයක් නිර්මාණය කර ඇත. තමන් ලැබූ ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය අමතමින් පුටින් ජනාධිපතිවරයා පැවසුවේ නේටෝ සංවිධානය බටහිර ප්‍රමුඛ රටවල් රුසියාවට කුමන හෝ අභියෝගයක් සිදු කළහොත් තුන්වන ලෝක යුද්ධයකට මාර්ගය විවෘත වන බවයි.

මොස්කව් නගරයේ රංග ශාලාවට එල්ල කළ ප්‍රහාරයේ වගකීම මේ වනවිට ISIS සංවිධානය භාරගෙන ඇත. ISIS සංවිධානය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ආධාර උපකාර ලැබීමත්, නේටෝව සිය ප්‍රතිවාදියා වූ රුසියාවට දිගින් දිගටම අභියෝග කිරීමත් හෙට දවසේ ලෝකයේ පැවැත්ම හෝ විනාශය තීරණය වනු ඇත.

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media

පවතින "ග්‍රීස්මය" දරා ගන්නා ආකාරය ගැන වෛද්‍යවරයෙකු කියයි...=======================================================ශ්‍රී ...
23/03/2024

පවතින "ග්‍රීස්මය" දරා ගන්නා ආකාරය ගැන වෛද්‍යවරයෙකු කියයි...
=======================================================

ශ්‍රී ලංකාව යනු සමකයට ආසන්න රටක් වන අතර මාර්තු සහ මැයි අතර කාල සීමාවේදී ලංකාවට ඉර මුදුන් වේ. "El Niño–Southern Oscillation" හේතුවෙන් සිදුවන කාලගුණ විපර්යාසය ද මෙම කළාපයට වරින් වර බලපානු ලබයි.

මේ දිනවල පවතින අසාමාන්‍ය උණුසුම් තත්වය ශරීරයට අහිතකර ආකාරයට බලපා ඇත. මිනිසාගේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය සෙල්සියස් 37 ° කි. ශරීරයේ උෂ්ණත්වය නියමිත අගයේ පවත්වා ගන්නට මොළයේ වෙනම කොටසක් පවතී.

මෙය හයිපෝ තැලමස නමින් හඳුන්වනු ලබන අතර, බාහිර උෂ්ණත්වය අසාමාන්‍ය ආකාරයට දරා ගැනීමට නොහැකි වුවහොත් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන පද්ධතිය බිඳවැටීමකට ලක්වේ.

මෙම හේතුවෙන් ශරීරයේ පවතින අමතර ජලය ප්‍රමාණය වාෂ්ප වී ශරීරය විචලන තත්වයකට පත්විය හැකිය. (Dehydration) මීට අමතරව සම රත් පැහැ ගැන්වීම වූ සමක් (Heat Rash) ඇතිවිය හැකිය. අධික මස් පිඩු වේදනාව (Heat Cramp) ද මූලික ලක්ෂණයකි.

එසේම හෘද ස්පන්දන වේගය වැඩිවීම, කෙටි වේගවත් හුස්ම ගැනීම, අධික හිසරදය, ඔක්කාරය සහ වමනය, සිහි මද වීම හා සිහි මුර්ජා වීම ඇතිවිය හැකිය. ශරීර උෂ්ණත්වය සෙල්සියස් 40 ° පමණ ඉහළ අගයකට පත් වුවහොත් දරුණු සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි.

මෙය මාරාන්තික තත්වයකි. තාප ආගාතය නැතහොත් Heat Stroke යනුවෙන් හඳුන්වන්නේ මේ තත්වයයි. මෙය උණුසුම් කාලගුණයත් සමග ඇතිවන දරුණුම තත්වයකි. ශරීරය සැකසී ඇති සෛලවල ප්‍රෝටීන දියවී ස්නායු අඩපණ වීමක් මෙහිදී සිදුවේ.

මෙම තත්ත්වය පොදුවේ අප කාටත් සෑදීමට ඉඩ කඩ ඇත. හිරු එළියට බොහෝ සේ නිරාවරණය වී දවසේ වැඩ කටයුතු කරන පුද්ගලයන්ට අවදානම වැඩිය.(External Heat Stroke ) හිරු එළියට බොහෝ සේ නිරාවරණය වී වැඩ නොකළද (Non External Heat Stroke ) වයස 65 ට වැඩි පුද්ගලයන් අවදානමට ලක්වේ

එසේම කුඩා ළදරුවන්ද ගර්භණී කාන්තාවන් ද වැඩි අවධානමකට ලක්වේ. වැඩිහිටි පුද්ගලයන්ගේ පවතින දීර්ඝ කාලීන රෝගාබාධ නිසාද ශරීර වෙනස්කම් දැනීම ප්‍රමාද වීමද මෙයට හේතුවකි. හෘද රෝග,වකුගඩු රෝග, ස්වසන රෝග, දියවැඩියාව, වගේම මානසික ආබාධ වලින් පෙළෙන පුද්ගලයන්ට ද වැඩි අවධානමක් පවතී.

ක්‍රීඩකයන් මෝටර් බයිසිකල් පාපැදි වැඩි වශයෙන් අව්වේ නිරාවරණය වෙමින් භාවිතා කරන පුද්ගලයින් ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු අතර
පොදුවේ සැවොම විජලනය වළක්වා ගැනීමට වෙනදාට වඩා ජලය පානය කළ යුතුය. තමාට පිපාසය නොදැනෙන තරමට ජලය පානය කළ යුතුයි.

සැහැල්ලු ළා පැහැති ඇඳුම් මගින් රස්නය උරා ගැනීම අඩුවේ. මේ දිනවල පාවිච්චි කළ යුත්තේ කළු පැහැති, තද පැහැති ඇඳුම්ය. එසේම තද අව්වේ ගමන් බිමන් යෑම අවම කරගත යුතුයි. කුඩා දරුවන් තදින් රත් වූ කවුළු වැසූ වාහන තුළ තබා නොයා යුතුය. අවශ්‍ය සෑම අවස්ථාවකදීම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

(කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා ලියූ සටහනකින් මෙම ලිපියට කරුණු උපුටා ගැණින)

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media

අසාමාන්‍ය ලෙස සිදුවන වාහන අනතුරු වළක්වා ගැනීම ජාතික වගකීම...============================================================...
20/03/2024

අසාමාන්‍ය ලෙස සිදුවන වාහන අනතුරු වළක්වා ගැනීම ජාතික වගකීම...
=============================================================

වාර්ෂිකව මෙරට රිය අනතුරු හේතුවෙන් මිය යන පුද්ගල මරණ සංඛ්‍යාව 2000 / 2500 ප්‍රමාණය ඉක්මවයි. තුවාලකරුවන් මෙන්ම සදාකාලික ආබාධිත තත්වයට පත්වන පිරිස සංඛ්‍යාත්මකව ඉහළ යමින් පවතී.

2019/ 2023 ගත වූ වසර 05 තුළ රිය අනතුරු හේතුවෙන් මිය ගිය පුද්ගල මරණ සංඛ්‍යාව 13,264 ක් මහාමාර්ග අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ දත්ත ඔස්සේ අනාවරණය වේ. එසේම බරපතළ අනතුරු සංඛ්‍යාව 33470 කි.

මෙම තත්වය රටක ආර්ථිකයට දැඩි ලෙස බලපානු ලබයි. බරපතළ අනතුරු හේතුවෙන් සදාකාලික ආබාධිත තත්වයට පත්වන පුද්ගල සංඛ්‍යාව ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් වාර්ෂික දළ දේශීය නිෂ්පාදයෙන් 3 - 5% පමණ වූ ජාතික සංවර්ධනය සඳහා සෘජු දායකත්වය සපයන තරුණ බලකායයි.

රිය අනතුරු වැඩිවීමට බලපාන හේතු අතර, වාහන වල විවිධත්වය, වාහන ප්‍රමාණය වැඩිවීම සහ අධික වේගය මූලිකම හේතුවයි. අවදානමට ලක්විය හැකි මාර්ග භාවිතා කරන්නන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව ලෝක බැංකුවේ මහා මාර්ග ආරක්ෂාව පිළිබඳව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

එකී වාර්තාවට අනුව මෙරට සිදුවන රිය අනතුරුවලින් 90% කට වඩා ප්‍රමාණයක් ගොදුරුවන්නේ පදිකයන්, පාපැදිකරුවන් සහ යතුරුපැදිකරුවන්ය. එසේම මෙරට පවතින මාර්ග පද්ධතිය ද රිය අනතුරු බහුල කිරීමට බලපානු ලබයි.

එසේම රිය අනතුරු බහුල වීම රටේ විදේශ විනිමය සංචිතය කෙරෙහිද සෘජු ලෙස බලපෑමක් සිදු කරයි. අනතුරට ලක්වන මෝටර් රථ නැවත සකස් කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් විදේශ රටවලින් ආනයනය කිරීම වෙනුවෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමිවේ.

රිය අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පියවර ලෙස කෘත්‍රීම බුද්ධිය මෙන්ම ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීම ලෝකය පුරාම දක්නට ලැබේ. රියදුරන් විසින් කරනු ලබන වැරදි වෙනුවෙන් දඩ මුදල් අය කර ගැනීමට ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමේ ක්‍රමවේදයක් මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරේ.

එහි ධනාත්මක ප්‍රගතියක් පවතින බව පොලිසිය සඳහන් කරන අතර, වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර මාර්ග නීති කඩ කරන රියදුරන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මේ වනවිට එකී රියදුරන් වාර්තා වීම අඩු වෙමින් පවතින බවද සඳහන්ය. වාහන ලියා පදිංචියෙන් පසු 12% ප්‍රතිශතයක් වාහනයේ අයිතිය පවරා නොමැති බව වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු නිරීක්ෂණය වී ඇත.

ශීඝ්‍රයෙන් වැඩිවෙන මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳව විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක්ද කර ඇත. එහිදී අවධාරණය කර ඇත්තේ නිරන්තරව සිදුවන මාර්ග අනතුරු හේතුවෙන් අහිමිවන ජීවිත ප්‍රමාණ පිළිබඳවයි.

එසේම පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීන ලෙස ආබාධිත තත්වයට පත්වීම, පවුල් සංස්ථාව තුළ බරපතළ ගැටලු ඇතිකරන අතර, පොදුවේ රටට ආර්ථිකයට සහ සමාජමය වශයෙන්ද විදේශ විනිමය සංචිත ක්ෂයවීම ආදී බරපතළ තත්වයන් අවම කර ගැනීම වෙනුවෙන්, අසාමාන්‍ය ලෙස සිදුවන වාහන අනතුරු වළක්වා ගැනීම ජාතික වගකීමක් ලෙස සැලකිය යුතු බවයි.

(පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමන් ධර්මරත්න මහාචාර්යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් කරුණු උපුටා ගැණින)

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media

"..මියගිය කෙනෙකුට.." ගෞරව කරන ආකාරය, කැනඩාව කියාදෙයි...========================================================පුරවැසියක...
11/03/2024

"..මියගිය කෙනෙකුට.." ගෞරව කරන ආකාරය, කැනඩාව කියාදෙයි...
========================================================

පුරවැසියකුට ගරු කරන ගෞරවනීය සමාජයක් ඕනෑම රටක ජීවත් වන පුරවැසියෙකුගේ අපේක්ෂාවයි. ඒ ආකාරයට ක්‍රියා කරන සිදුවීමක් මේ දිනවල ලොව පුරා පුවත් මවයි. ඒ පසුගියදා කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක සය සාමාජික සමූහ ඝාතනයක් සිදුවීමත් සමඟය.

මේ වන විට මෙම ඛේදවාචකයෙන් ලොවම කම්පාවට පත්වී සිටී. කුඩා දරුවන් ද ඇතුළුව සය සාමාජික ඝාතනය සිදු කරන ලද්දේ ලාංකික 19 හැවිරිදි ශිෂ්‍යයෙකු වීම එම පුවත තව තවත් උණුසුම් කිරීමට සමත් විය. පුවත් පිපාසිත ලොව පුරා මාධ්‍යකරුවන්ට මෙම සිද්ධියට අදාළ තොරතුරු විරල විය.

ඊට හේතු වූයේ සංවර්ධිත රටක් වූ කැනඩාවේ පොලිසිය එරට සමාජයේ මනුෂ්‍ය සාරධර්මවලට මුල් තැන දෙමින් කටයුතු කිරීමයි. සමාජය විනයක් සහිතව කටයුතු කිරීමයි. සියලුම පුරවැසියන්ට ගරු කරන ගෞරවනීය සමාජයක් ලෙස රාජ්‍යයේ සෑම අංශයක්ම විධිමත්ව සකස් කර තිබීමයි.

පුරවැසියාගේ ආරක්ෂාව සහ ගෞරවය රැකෙන ප්‍රතිපත්තිය මත, අපරාදය දැනුවත් වූ වහාම ඔටාවා නගරයේ පොලිසිය එහි ළඟා විය. එම ප්‍රදේශය Crime Zone හෙවත් අපරාධයක් සිදුවූ ප්‍රදේශයක් ලෙස නම්කොට නිවස ඉදිරිපිට මාර්ගයද වසා දැමීමට කටයුතු කළේය.

පොලිසිය විසින් අත්‍යවශ්‍ය දේ පමණක් මාධ්‍ය වෙත නිකුත් කළේය. ඒ අනුව ලොව පුරා ප්‍රචාරය කෙරුණු ප්‍රවෘත්තිය වූයේ සය දෙනෙකු ඝාතනය කර ඇති බව හා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පමණි. මෘත ශරීර පවා නිවසින් ඉවත් කරන ලද්දේ බාහිර කැමරා ඇසකට නොගැටෙන පරිද්දෙනි.

පොලිස් නිලධාරින් විසින් මෘත ශරීර ඉවතට ගන්නා ආකාරය බැහැරට නොපෙනෙන්නට සුදු පැහැති විශාල කැන්වස් රෙද්දක් අල්ලා ගෙන සිටි අයුරු මුළු ලොවම දුටුවේය. අපරාධය සිදුවූ නිවස වටා නරඹන්නන් රොද බැඳ සිටියේ නැත. පොලිසියේ විමර්ශන නිලධාරීන් හැර කිසිදු ආගන්තුක මිනිසකු එම ස්ථානයට පැමිණ සිටියේ ද නැත.

එපමණක් නොව ඒ තරම් විශාල අපරාධයක් සිදුවූවද එකද ලේ පැල්ලමක් හෝ ලෝකයට දකින්නට කැනඩාවේ පොලිසිය ඉඩ තැබුවේ නැත. නිවසට ඇතුළු වී කාමරයෙන් කාමරයට යමින් මළ සිරුරු වීඩියෝ කරන්නට කිසිදු මාධ්‍යයට ඉඩ ලබා දුන්නේ ද නැත.

අපරාධ විමර්ශකයින්ට ඇඟිලි සලකුණු හා අනෙකුත් සාක්ෂි ගැටලුවකින් තොරව ආරක්ෂිතව හා නිරවුල්ව ලබාගත හැකි වන පරිදි ආරක්ෂා කර තැබීමේ පිළිවෙත ආරක්ෂක අංශ මගින් එහිදී අනුගමනය කළේය. අනෙක් විශේෂිත කරුණ වූයේ මළවුන්ගේ ගෞරවය රැකීමට ඇති සමාජමය වගකීම ආරක්ෂා කිරීමයි.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ වෙසෙන පවුලක ගරුත්වය ආරක්ෂා කිරීමට එරට ක්‍රියා කළද මෙරට එවන්නක් සිදුවන්නේ නැත. මේ වන විටත් වාණිජ පරමාර්ථවලින් මුදල් ඉපයීම වෙනුවෙන් සිදුකරන අසත්‍ය ප්‍රචාර රැසක් සහිත වීඩියෝ පට යූටියුබ් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

මේවා නියාමනයකට ලක්වීම හෝ එවැනි බොරු ප්‍රවෘත්ති මවාපාමින් පුද්ගල චරිත ඝාතනය සිදු කිරීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් නීති රීති සම්මත කොට තිබුණ ද ඒවා යාවත්කාලීන වෙමින් ක්‍රියාත්මක කෙරෙන ආකාරයක් මේ වන විටත් දක්නට නැත.

පුද්ගල ආරක්ෂාවේ අයිතිය වෙනුවෙන් සියලුම මාධ්‍ය නියාමනයකට ලක්කිරීම හා පවතින නීති ක්‍රියාත්මක කිරීම ඉතාමත් කඩිනමින් සිදු කළ යුතුය. එසේ නොමැති වුවහොත් කැනඩාව වැනි රටක ක්‍රියාත්මක ප්‍රතිපත්ති මෙරටට ආදේශ කිරීම තබා, ජනතාවට ඒ අසලකටවත් ළංවීම තව වසර දහසක් ගියද කිසිදාක සැබෑ නොවන සිහිනයක් පමණක් වනු ඇත.

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media
2024/ 03 / 10

සමාජයට නිරාවරණය වීම තුළ කාන්තාවට ආරක්ෂාවක් නැත...===================================================වර්තමාන සමාජය සංකීර්...
08/03/2024

සමාජයට නිරාවරණය වීම තුළ කාන්තාවට ආරක්ෂාවක් නැත...
===================================================

වර්තමාන සමාජය සංකීර්ණය. පුද්ගලයා සංකීර්ණය. ඔහු හිතන හැටි සංකීර්ණය. පුද්ගලයාගේ ජීවන රටාවේ පැවති සියලූම තත්වයන් වෙනස් වී ඇත. අඳින පළඳින ආකාරය, කතාබහ විලාශය, කිසිවකු තේරුම් ගන්නා ආකාරය, තව කිසිවකුට ප්‍රතිචාර දක්වන ආකාරය පරිවර්තනයකට ලක්ව ඇත.

අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජය විශාල ලෙස පරිවර්තනයකට ලක්ව ඇති පසුබිමක සමාජයීය කාන්තා භූමිකාවද පරිවර්තනයකට ලක්වීම අනිවාර්ය සාධකයක් වීම වැළැක්විය නොහැකිය. ඒ තත්වය තුළ වර්තමාන කාන්තාව ඉතාමත් සංකීර්ණ සමාජ වටපිටාවක් නිර්මාණය කරමින් සිටී.

මේ තුළ සාම්ප්‍රදායික කාන්තා භූමිකාවෙන් බාහිරව වෙනස් ආකාරයට සිතන්නට ක්‍රියා කරන්නට වර්තමාන කාන්තාවට සිදුව ඇති අතර සමාජ ව්‍යසනයන් වුවද අකමැත්තෙන් හෝ ජීවිතයට ආදේශ කර ගැනීමට සිදුව ඇත.

අතීත කාන්තාවන්ට සාපේක්ෂව වර්තමාන අධ්‍යාපන අවස්ථා තුළ කාන්තාවට වැඩි අවස්ථා ලැබී ඇත. ඒ තුළ සිය දක්ෂතා කුටුම්බයට කොටු වීමට කාන්තාව කැමැත්තක් දක්වන්නේ නැත. කාන්තාව අද වන විට සමාජගතව ඇත්තේ නවතම ආකාරයට සිතන පතන ක්‍රියා පුද්ගල චරිතයක් ලෙසය.

ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යාමත් සමඟම කාන්තාවන්ට වැඩි අවස්ථා නිර්මාණය වී ඇත. සමාජ මාධ්‍ය හරහා කාන්තාව සමාජයට විවෘතව ඇත. අතීතයේ එක්තරා කොටුවකට පමණක් සීමාවී සිටි කාන්තාව පවතින සියලු තත්වයන් තුළ ජීවිතය වින්දනය කිරිමට පෙළඹී ඇත.

සිය ජීවන චර්යා රටා වෙනස් පරිවර්තනයකට ලක් කරමින් සාම්ප්‍රදායික ජීවිතයේ බැමි බිඳ දමමින් ගමනක යෙදෙමින් සිටී. සමාජ ආචාර ධර්ම සංස්කෘතික වටිනාකම් පිළිබඳව නව අර්ථකථන ගොඩනගමින් සිටී. මෙම නිරාවරණය වීම තුළ කාන්තාවට ආරක්ෂාවක් නැත.

සමාජ නවීකරණ තත්වයන් තුළ දෝලනය වන කාන්තාව කුමන ආකාරයෙන් කටයුතු කළ ද තවමත් සාම්ප්‍රදායික කාන්තාවගේ සංස්කෘතික වටිනාකම් ආචාර ධර්ම රැක ගැනීමට උත්සහා දරන පිරිසක්ද සමාජය නියෝජනය කරමින් සිටී. විවාහයේදී තරුණියගේ පිරිසිදු බව නිරීක්ෂණය කිරීම සම්ප්‍රදායෙන් ගිලිහී නැත.

එතනදි ඇය අනාරක්ෂිතය. කාන්තාව සමාජයට නිරාවරණය වීම සහ පිරිමියා සමාජයට නිරාවරණය වීම අතර පවතින්නේ විශාල පරතරයකි. ලෝකය දියුණුවේ හිනිපෙත්තට ගියද, ලාංකික සමාජයේ කාන්තාවට සාම්ප්‍රදායන් ගෙන් බැහැරවීමේ ක්‍රමවේදයක් මෙතෙක් නිර්මාණය වී නොමැත.

දශක දෙක තුනකට පෙර ශ්‍රී ලාංකික සමාජයේ ජීවත් වූ කාන්තාව උඩු යටිකුරු කරමින් වර්තමාන කාන්තාවට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත. නගරය ආශ්‍රිත පැවති සමාජ අපචාර ක්‍රියාවන් අද වන විට ඈත පිටිසර ගම්මානයට ප්‍රවේශ වී ඇත.

සීමාවකින් තොරව සමාජ ධර්මතා පිරිහීම තුළ වර්තමාන කාන්තාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ප්‍රවේශය ඉහළ ගොස් ඇත. ඒ තුළ සාම්ප්‍රදායික පවුල ව්‍යසනයට ලක්ව ඇත. මත්ද්‍රව්‍ය තුළින් ලබන වින්දනය සතුට නිර්මාණය කිරීමේ මැෂිම බවට පත්වී ඇත.

ඇබ්බැහිවීම තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට ඉඩකඩ නිර්මාණය වී ඇත. ව්‍යාප්තිය වැඩිවීම යනු සැපයීමට ඉඩපහසුකම නිර්මාණය වීමයි. ඒ අනුව පහසුම රැකියාව ලෙස කාන්තාව තෝරා ගෙන ඇත්තේ සමාජ විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට සරිලන රැකියාවය.

තමන්ගේ ඇබ්බැහි වීම තුළ උපයා ගැනීමේ ක්‍රමවේදයද ඔවුන්ට අත්‍යවශ්‍යය. එම හේතුව නිසාම, සමාජ විරෝධී ක්‍රියාවක් වුවද කිසිදු බිය සැකයකින් තොරව සිදු කිරීමට මේ වන විට කාන්තාව හුරුවී ඇත. දියුණු යැයි සම්මත සියලු දේ ඒ සඳහා ඔවුන් යොදා ගනී. ඊට හොඳම උදාහරණය අන්තර්ජාලය හරහා හෝ දුරකථන මාර්ග ඔස්සේ සිදු කෙරෙන සරල ගෙවීමේ ක්‍රමවේදයයි.

(ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සමඟ කළ සාකච්ඡාවකින් කරුණු උපුටා ගැනිණ.)

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media
2024/ 03 / 07

මැද පෙරදිග යුද්ධයේ හිමිකරුවන් දෙපාර්ශවයේ ශ්‍රී ලංකාගමනය...=======================================================මැද පෙර...
25/02/2024

මැද පෙරදිග යුද්ධයේ හිමිකරුවන් දෙපාර්ශවයේ ශ්‍රී ලංකාගමනය...
=======================================================

මැද පෙරදිග යුද ගිනි ඇවිලේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වන දින සිට මේ දක්වා ගාසා තීරයේ පලස්තීන වැසියන් 30000 ආසන්න සංඛ්‍යාවකට දිවි අහිමි වී ඇත. ඊශ්‍රායල වැසියන් පිරිසක්ද හමාස්වරුන්ගේ ග්‍රහණයට නතු කරගෙන ඇත.

ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුමට ලෝක දේශපාලන බල අධිකාරිය විසින් උණුසුම් පිදුරු විසිකරමින් සිටි. මනුස්ස ජීවිතයට කිසිදු වටිනාකමක් නොදෙන ආකාරයෙන් ඔවුන් හැසිරෙති.

ලෝකය කා සඳහාද? ලෝකයේ පැවැත්ම කා සඳහාද? ඊට පිළිතුර වන්නේ "මනුෂ්‍යයා වෙනුවෙන්." යන්නයි. එකී උදාර අරමුණ වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට, ලෝකය නමැති භූමිය කොටස් කර බෙදා ගැනීමේ අනවරත අරගලයක මිනිසා යෙදී සිටි.

මානවයා යන්න, තිරස්චීන සත්වයා ගෙන් පරිබාහිරව ලෝකයේ පැවැත්ම සහ මානවයාගේ පැවැත්ම කෙරෙහි සහ මිහිමඬලේ පැවැත්ම කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර දක්වන සමමිතිකයක් ලෙස අර්ථ ගැන්විය හැකි වුවද වර්තමානයේදී එකී හඳුන්වාදීම මානවයා යන්න අර්ථ ගැන්වීම ගැලපෙන්නේ නැත.

ඒ තරමටම මිහිමඬලේ පැවැත්ම සහ සත්වයාගේ පැවැත්මට අභියෝග කරමින් ලෝක බලවතුන් යැයි හඳුන්වා ගන්නා පිරිස් කටයුතු කරමින් සිටි. ලෝකයේ පවතින බල පෙරළිය සහ බල තුලනය කෙරෙහි ශ්‍රී ලංකාව ස්ථාන ගත වන්නේ කොතනද යන්න විමසිය යුතුය.

භූගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් බිම්කඩක් ලෙස ශ්‍රී ලංකා භූමිය ස්ථානගතව පවතී. මැද පෙරදිග යුද්ධයේ හිමිකරුවන් දෙපාර්ශවයේ බලවතුන්ගේ නියෝජිතයන් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි?

මානව සංහතියේ විනාශය සනිටුහන් කිරීමට මැදිහත් බව ලබාදෙන ලෝක බලවතුන් ඒ සඳහා ශ්‍රී ලංකා බිම් කඩ යොදා ගැනීම හෝ පාර්ශවකරුවකු ලෙස බලවත් දෙපාර්ශවය වෙත නතු කර ගැනීමේ අරමුණක් ඔවුන්ට තිබුණා විය හැකිය.

එවැනි ප්‍රකාශයක් සෘජු ලෙස ප්‍රකාශ නොවූවද දැඩි ආර්ථික අර්බුදයක් සහිත වටපිටාවක පවතින ශ්‍රී ලංකාවේ භූගෝලීය වැදගත්කම යුද ගිනිදැල් අවුළුවාලීමට මැදිහත්ව සිටින බලවතුන් ඒ ඒ පාර්ශ්වයන්ට අනුකූලව පවත්වා ගැනීමට යොදා ගැනීම ඔවුන්ගේ යටි අරමුණ නොවූවා යැයි උපකල්පනය කිරීමට කිසිදු හේතුවක් නැත.

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media

නවීන තාක්ෂණය හා ඉන්දියාවේ ඩිජිටල් ගනුදෙනු ව්‍යාප්තිය.. ==================================================නවීන තාක්ෂණයත් ...
15/02/2024

නවීන තාක්ෂණය හා ඉන්දියාවේ ඩිජිටල් ගනුදෙනු ව්‍යාප්තිය..
==================================================

නවීන තාක්ෂණයත් සමගම ගෝලීය වශයෙන් ලෝකයේ රටවල් මේ වන විට සාමූහික ක්‍රමවේදයක් තුළ කටයුතු කරනු දක්නට ඇත. යුරෝපා සංගමයේ රටවල් සියල්ල එකම මුදල් ඒකකයක් මගින් ගනුදෙනු කිරීම ඊට හොඳම උදාහරණයයි.

ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ Unified Payment Interface හෙවත් ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත ඔස්සේ ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදය 2024 පෙබරවාරි 12 වෙනිදා සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබීය.

මෙහි මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ට සිය ගනුදෙනුවලදී QR කේතය මඟින් හෙවත් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීමට පහසුකම් සැලසීමයි. NPCI International Pament Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පෞද්ගලික සමාගම ඒකාබද්ධව මෙම ක්‍රමය හඳුන්වා දී ඇත.

පසුගිය වසරේදී ඉන්දීය සංචාරකයින් 300000 ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඉන්දීය ජාතිකයින් බහුතරයක් සිය ගනුදෙනුවලදී ගෙවීම් ක්‍රමවේදය ලෙස QR කේත ගෙවීම්වලට හුරුවී සිටී. ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ගනුදෙනු සිදුකිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදය ආදේශ කර ගැනීමට හැකි ආකාරය පසුගිය කාලයේ කතාබහට ලක්ව තිබුණි.

දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත්ම සුදුසු ක්‍රමවේදයක් ලෙස QR කේත ස්කෑන් කිරීම මඟින් ගෙවීම් සිදු කිරීම සිදු කෙරෙන බව ලංකා QR ආයතනය පවසයි. පළමු පියවර ලෙස මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමෙන් අනතුරුව දෙවැනි අදියරේදී මෙය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේදී QR කේතය මගින් ගෙවීම් සිදුකිරීම යෝජිතය.

මෙම සංකල්පය හඳුන්වා දී ඇත්තේ 2016 වසරේදී වන අතර රටවල් රැසක් නව ගෙවීම් ක්‍රමවේදය හා එක්ව කටයුතු කරනු ලබයි. දකුණු ආසියාවේ බලවතා ලෙස ඉන්දියාව ඔවුන්ගේ මුදල් ඒකකයට ගෝලීය වශයෙන් යම් පිළිගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව තුළ මෙය ආදේශය කිරීමට කටයුතු කළා විය හැකිය.

මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරටදි ගණුදෙනු සිදුවන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීමට බැංකු පද්ධතියට හැකිවීම මෙහි වාසියකි. එසේම බැංකු පද්ධතිය හරහා ව්‍යාපාරිකයින්ගේ තොරතුරු නිරීක්ෂණය කිරීමෙන් රජයට ලැබිය යුතු බදු අදාළ ව්‍යාපාරිකයින්ගෙන් ලබා ගැනීමට හැකිවීම තවත් වාසියකි.

එසේම නව ගෙවීම් ක්‍රමවේදය හරහා රටට විදේශ විනිමය ලැබීම හා ඒ හා සමගාමීව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකුව හරහා ගනුදෙනු කිරීමට හැකිවීම මෙමගින් ලැබෙන තවත් වාසියකි.

ඉන්දියානු සංචාරකයින්ට තමන් ලබාගන්නා සේවාව හෝ භාණ්ඩයට සෘජුවම මුදල් ගෙවීම සිදුකිරීම මේ හරහා සිදුකෙරෙන අතර ඊට සමගාමීව වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළඳසැල් 10000 ක ප්‍රමාණයකට මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් ලබා දී ඇත.

තම ගිණුම අයත් මූල්‍ය ආයතනය හා සම්බන්ධ වී වෙළද එකඟතාවකට පැමිණීමෙන් ව්‍යාපාරයට අදාළ OR කේතය පහසුවෙන් ලබා ගත හැකි බව මහ බැංකුව පවසයි. එසේම ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි සියලුම බැංකුව හා මූල්‍ය ආයතන එම කේතය නිකුත් කිරීමට බැඳී සිටින බවත් මීට අදාළ වෙළඳසැල් සංඛ්‍යාව 65000 දහස දක්වා ඉහළ නැංවීම සිදුකරන බවත් සඳහන්ය.

Maalee Luviss Gebriel
Sri Lanka Truth
Ministry Of Mass Media

වැලන්ටයින් ශාන්තුවරු, දසදහසකගේ ආදරය ඕනෑ කර තිබේ...================================ආදරය සෙනෙහස, ලෝකය ජීවත් කරවීමේ සංසිද්ධ...
14/02/2024

වැලන්ටයින් ශාන්තුවරු,
දසදහසකගේ ආදරය ඕනෑ කර තිබේ...
================================

ආදරය සෙනෙහස, ලෝකය ජීවත් කරවීමේ සංසිද්ධි දාමයක කේන්ද්‍රයයි.
මිනිසා සහ ස්වභාව දහම තුළ පැවැත්ම නිර්ණය කරන ප්‍රධාන සාධකය ප්‍රේමය සහ ආදරයයි. ගහේ වැලේ, කොළේ, සතා සීපාවා ජීවත් කරවීමේ ප්‍රබල සාධකය වන්නේ ප්‍රේමයයි.

මිනිසා සහ එකිනෙකට සම්බන්ධතාව ස්වභාව සෞන්දර්ය තුළ පවතින භෞතික සාධක මෙන්ම ප්‍රේමය ආදරය නැමැති සොඳුරු අධ්‍යාත්මික භාවමය තත්වයෙන් තොර ලෝකයක පැවැත්මක් නැත.

අතීත මුතුන් මිත්තන් මේ භාවමය සංකල්පය පිළිබඳව ඉතාමත් උසස් පදනමක් සකස් කරමින් සමාජමය භාවිතාව සකස් කළේය. සෑම වසරකම පෙබරවාරි 14 වන දින සමරනු ලබන ආදරවන්තයින්ගේ දිනය පිළිබඳව වූ ඉතිහාස කතන්දරය ද ඉහත ආකාරයේ සමාජමය කතිකාවතකි.

එවැනි සොඳුරු ආධ්‍යාත්මික පෙළගැස්මක කඳුළු බිඳු මතින් ගොඩනැගුණු පුරාවෘත්තයකි. ක්‍රිස්තු පූර්ව 03 වන සියවසේ වැලන්ටයින් නම් වූ පූජකවරයෙක් රෝමයේ ජීවත් විය. යුද කලකෝලාහල ආගමික ගැටුම් මතවාද වලින් ගහන වූ රෝමයේ එකල පාලකයා වූයේ ක්ලෝඩියස් නම් අධිරාජ්‍යවරයෙකි.

ඔහුගේ විශ්වාසය වූයේ රණබිමේ රණශූරත්වයට පත්වන්නේ අවිවාහකව සිටිනා සොල්දාදුවන් බවයි. විවාහයේදී ඔවුන් ශුන්‍යත්වයට පත්වන බවද ඔහුගේ විශ්වාසය විය. එම හේතුව මත සොල්දාදුවන්ට විවාහ වීමට නොදී තහනමත් පැනවීමට කටයුතු කළේය.

මෙම තහනම් නියෝගයත් පැනවීමත් සමඟම වැලන්ටයින් පූජකවරයා සොල්දාදුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අතර, ඔවුන්ට තම පෙම්වතියන් සමඟ රහසින් විවාහ වීමට අවශ්‍ය කටයුතු කැලැස්වීය. මෙම හේතුවෙන් වැලන්ටයින් පූජකවරයා ක්ලෝඩියස් අධිරාජ්‍යවරයාගේ උදහසට ලක්විය.

මෙම හේතුවෙන් සිරගත කරනු ලැබූ වැලන්ටයින් පූජකවරයා ඉන්පසු ඝාතනයට ලක් කළේය. 05 වන ශත වර්ෂයේ මෙම සිදුවීම පදනම් කරගනිමින් එවකට ශුද්ධ වූ පාප් වහන්සේ වූ ජෙලාසියස් පාප් වහන්සේ විසින් එම වර්ෂයේ පෙබරවාරි මාසයේ 14 වන දිනයේදී වැලන්ටයින් පූජකවරයා ශාන්තුවරයෙකු ලෙස නම් කරනු ලැබීය.

එතැන් සිට සෑම වසරකම පෙබරවාරි 14 වන දින ආදරවන්තයින්ගේ දිනය සාම්ප්‍රදායික දිනයක් බවට පත්ව ඇත. මෙම සංකල්පය යුරෝපය පුරාද ඉන් අනතුරුව අද වන විට ලෝකය පුරා තරුණ තරුණියන් පෙබරවාරි 14 වන දින ආදරවන්තයින්ගේ දිනය සමරනු ලබති.

වැලන්ටයින් ශාන්තුවරයාගේ සැමරුම සිදු කරන මෙම දිනය පුරාවෘත්ත අනුව කුමන ආකාරයෙන් සිදු වූවද, එවැනි දිව්‍යමය හැඟීම් සහිත වූ දිනයක් යනු ස්වභාව සොඳුරු හැඟීම් සමුදායන් තුළ මානව සංහතියට නව කෝණයකින් ලෝකය දෙස බැලීමට දෑස විවෘත කිරීමට අවස්ථාවකි.

මන්ද ආදරවන්තයින් විසින් නිර්මාණය කරනු ලබන, මානව සංහතියේ පැවැත්ම මානවයා විසින්ම වර්තමානයේදී මුළුමනින්ම අභියෝගයකට ලක් කර තිබීමයි. ලෝකය පුරා තැනින් තැන යුද ගැටුම් තුළින් මිය යන්නේ ද ආදරණීය මානවයාය. ඔවුන්ට යුක්ති සහගත ආකාරයට ජීවත්වීමට ඇති අයිතිය සොරාගෙන ඇත්තේ ද එක් දිනක් හෝ ආදරය වින්දනය කළ ආදරවන්තයෙක්මය.

යථාර්ථවාදී ප්‍රබල කෝණයකින් සමාජානුයෝගීව නොබලන මනුෂ්‍ය සංහතියේ පැවැත්මට විශාල බාධකයක් වන මනුෂ්‍යයා තුළින් වැලන්ටයින් ශාන්තවරු සිය ගණනක් බිහිවීමේ අවශ්‍යතාව සමස්ත ලෝකයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වී ඇත. එක් දිනකට පමණක් ආදරය සීමා නොකොට, වසරේ දින 365 පුරාම සමස්ත ලෝකයටම ආදරය වෙමු.

Maalee Luviss Gabriel
Sri Lanka Truth
Ministry Of Mass Media
2024/ 02/14

Address


Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Truth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share