26/07/2022
ශ්‍රී ලංකා අර්බුදය හමුවේ චීනය අභිබවා ඉන්දියාව ජය ගනීද?
ශ්‍රී ලංකාවේ දැනට පවතින ආණ්ඩු විරෝධී විරෝධතා හරහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය මෙන්ම ඉන්දියාවට එරෙහිව ද හඬ නගනු ලැබීය.
"ඉන්දියාවට සහ ඇමරිකාවට රට විකුණන්න එපා"; "ශ්‍රී ලංකාව ඉන්දියාවේ තවත් රාජ්‍යයක් නොවේ"; සහ "ඉන්දියානුවනි, ශ්‍රී ලංකාව ගසාකෑමෙනු වළකිනු" වැනි සටන් පාඨ පෙළපාලි අතරතුර නොයෙක්වර ඇසෙන්නට විය.
මෙවැනි ඉන්දියානු විරෝධී හැඟීම් පැවතිය ද රටේ පවතින දේශපාලන හා ආර්ථික අවුල් ජාලය නිසා ලාංකිකයන් ඉන්දියාව පිළිබඳව දරන අදහස් වෙනස් විය හැකිය.
ශ්‍රී ලංකා දේශපාලනයේ ඇතැම් කොටස් සෑම විටම සිය විශාල සහ බලගතු අසල්වැසියා වන ඉන්දියාවේ අතපෙවීම් ගැන සැකයෙන් සිටියි. බහුතර සිංහල ජාතිකයන් සහ වාමාංශික පක්ෂ විසින් වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ඉන්දියානු විරෝධී සංකල්ප ජනගත කර තිබේ.
නමුත් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව හදිසියේම ගැඹුරු ආර්ථික ආගාධයකට වැටීමෙන් රටට ඉන්දියානු ආධාර ඉල්ලා සිටීමට සිදුවූ අතර, දිල්ලියේ භාරතීය ජනතා පක්ෂය රජයට මූල්‍ය ආධාර ලබා දුන්නේය.
මෙය ඉන්දියාව ශ්‍රී ලංකාවට උපකාර කළ පළමු වතාව නොවේ. ඇත්ත වශයෙන්ම, පසුගිය වසර තුළ ඉන්දියාව තරම් ශ්‍රී ලංකාවට උපකාර කළ වෙනත් කිසිදු රටක් හෝ ආයතනයක් නොමැත.
විශේෂඥයන් පවසන්නේ පසුගිය වසර 15 තුළ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ණය සහ වෙනත් ආකාරයේ මූල්‍ය ආධාර ලබා දීමෙන් ශ්‍රී ලංකාව චීනය ආක්‍රමණය කළ ද ඒ නිසාම ඇති වූ මූල්‍ය දුෂ්කරතාවන්වලට සහාය වෙමින් ඉන්දියාවට නැවත තම බලපෑම පතුරුවන්නට අවස්ථාව ලැබී ඇති බවයි.
"මේ වැදගත් වෙලාවෙදි ඉන්දියාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. අපි රටක් ලෙස දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. ඒකට ඉන්දියාව ඉදිරිපත් වෙලා සහයෝගය ලබා දුන්නා," ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බීබීසීයට පැවසීය.
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික, ආගමික සහ ආර්ථික සබඳතා සියවස් ගණනාවක් ඈතට විහිද යයි.
ඉන්දියාවෙන් බොහෝ නිෂ්පාදන, විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ලංකාව ඔවුන්ගේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු වී ඇත. සුළුතර දෙමළ ජනතාවට ද දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජනතාව සමඟ සමීප සංස්කෘතික හා වාර්ගික සබඳතා තිබේ.
2005 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ලංකාව ඉන්දීය බලපෑම් වලින් ඈත් විය. ඔහුගේ දෙවන ධූර කාලය තුළ හම්බන්තොට වරාය ඇතුළු යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් චීනයට සැපයීමෙන් ක්‍රමානුකූලව බලය චීනය වෙත ලබා දෙනු ලැබීය.
සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ චීනය මේ වන විට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 5 කට වඩා ණය ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 10% ක් පමණ වන බවයි.
වේගයෙන් ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල හා ඉන්ධන අර්බුදය හමුවේ රටට තව තවත් ණය උපකාර අවශ්‍ය වුවද චීනය කිසිදු උපකාරයක් කර නොමැත.
එහෙත් ඉන්දියාව ණය සහ විනිමය ලෙස ඩොලර් බිලියන 3.5ක් පමණ ලබා දී ඇත. ශ්‍රී ලංකාවට බෙහෙවින් අවශ්‍ය ඉන්ධන, ආහාර සහ පොහොර වැනි සැපයුම් කිහිපයක් ම එවා ඇත.
ඉන්දීය ණයවලට අමතරව, DMK පක්ෂයේ මහ ඇමති එම්. කේ. ස්ටාලින් ප්‍රමුඛ තමිල්නාඩු රජය ද ශ්‍රී ලංකාවට ආහාර සහ බෙහෙත් එවා ඇත. තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ අඟහරුවාදා(ජුලි 19) දිල්ලියෙන් ඉල්ලා සිටියේ අසල්වැසි රටේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් කැඳවන ලෙසයි.
Chinese Foreign Minister Wang Yi (L) speaks with Sri Lanka's Prime Minister Malinda Rajapakse during an official meeting in Colombo on January 9, 2022.
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඉන්දියාව මෙන්ම චීනය ද ඉන්දියානු සාගරයේ උපායමාර්ගික පිහිටීම නිසා ශ්‍රී ලංකාව සමඟ හිතකර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම සඳහා තරග කර ඇත.
"ඉන්දියාව අපිට ඉන්ධන සහ ආහාර එවලා කාලයට ගැලපෙන ආධාර ලබා දී තිබෙනවා. ඉන්දියාවේ සහාය නැතුව ලංකාවට ඒවා කරගන්න අමාරුයි," පෞද්ගලික අංශයේ සේවකයෙකු වන ටිරෝන් සෙබස්තියන් පවසයි.
සමාජ ක්‍රියාකාරිනියක් වන මෙලනි ගුණතිලක පවසන්නේ ඔවුන් දක්වන "දැවැන්ත සහයෝගය" පිළිබඳව තමා ඉන්දීය ජනතාවට කෘතඥ වන බවයි.
එහෙත් ප්‍රවීණයන් පවසන්නේ ශ්‍රී ලංකාවට ආධාර පිරිනැමීමට ඉන්දියාව ගත් තීරණයෙහි උපායමාර්ගික වැදගත්කමක් ඇති බවයි. ඉන් ලාංකික සිත් දිනාගැනීමට ඊට හැකිව තිබේ.
ඉන්දියාවේ මුල් ණය ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, දෙවන ලෝක යුද්ධ සමයේදී ත්‍රිකුණාමල වරායේ ඉදිකරන ලද විශාල තෙල් ටැංකි 61 ක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට ජනවාරි මාසයේදී දෙරට එකඟ විය. වසර 30 කට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාව එම බ්‍රිතාන්‍ය යුගයේ පහසුකම වෙත අත පෙවීමට උත්සාහ කරමින් සිටින අතර, එමඟින් ඔවුන්ට උපායමාර්ගිකව තෙල් ගබඩා කිරීමට හැකි වේ.
ඒ හා සමානව, සැප්තැම්බර් මාසයේදී, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුවේ දී බහුතර කොටස් ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි සමූහයට ලබා දෙන ලදී.
"මම හිතන්නේ නැහැ කිසිම රටක් තමන්ට ප්‍රතිලාභයක් නැතුව අපට උදව් කරයි කියලා. ඉන්දියාව ඔවුන්ගේ වාසි ගැන බලාගනීවි," ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය බීබීසීයට පැවසීය.
ඇය පවසන්නේ ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද තම අභිමතය පරිදි තීරණ ගත යුතු බවත්, රටේ ආර්ථික හා උපාය මාර්ගික ස්ථානවල පාලනය ඔවුන්ට දිය යුතු දැයි සිතා බැලිය යුතු බවත් ය.
විශේෂඥයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ සුළු ජාතීන් පිළිබඳ ප්‍රශ්නය සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීම් ද ඉන්දියාව සමඟ පවතින මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල දී දිගින් දිගටම මතුවනු ඇති බවයි.
1980 ගණන්වල බොහෝ ශ්‍රී ලාංකික දෙමළ කැරලි කණ්ඩායම් ඉන්දියාවේ රැකවරණය ලැබීමෙන් ද්විපාර්ශ්වික සබඳතා පළුදු විය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට වෙනම නිජබිමක් සඳහා සටන් කරන සටන්කාමීන්ට ඉන්දියාව අවි සහ පුහුණුව ලබා දෙන බවට ශ්‍රී ලංකාව චෝදනා කළේය.
2009 මැයි මාසයේදී කැරලිකරුවන් පරාජය කිරීමත් සමඟ සිවිල් යුද්ධය අවසන් වූ අතර ඉන්දියාව යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට සහාය සැපයීය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව, දෙමළ ජනයා බහුතරයක් වෙසෙන පළාත් ඇතුළුව, සියලුම පළාත්වලට බලතල බෙදා හැරීම සඳහා නව නීති සම්පාදනය කිරීමට පොරොන්දු වූ 1987 ඉන්දියා-ශ්‍රී ලංකා සාම ගිවිසුම තවමත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වී නැත.
"ඉස්සර ගොඩක් බයෙන් හිටියේ ඉන්දියාව දේශපාලනික වශයෙන් සෘජු මැදිහත්වීමක් කරාවිද කියලායි," හරිනි අමරසූරිය පැවසුවාය.
කෙසේ වෙතත්, වත්මන් ආර්ථික අර්බුදය නිසා රටවල් දෙක අතර දේශපාලන බැඳීම් අභිබවා යන අවස්ථා ඇති වෙතැයි අපේක්ෂා කෙරේ.
දැනටමත් ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ආර්ථික අර්බුදය හේතුවෙන් තමිල්නාඩුවේ රැකවරණය පතා ඇති අතර, දිවයිනේ ආර්ථික තත්ත්වය නරක අතට හැරුණහොත් එම සංඛ්‍යාව ඉහළ යා හැකිය.
ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් සෑම විටම ගැටලුවලට මුහුණ දුන් විට සහ සමාන අයිතිවාසිකම් අවශ්‍ය වූ විට ඉන්දියාවේ උපකාර පතයි.
සිංහල ප්‍රජාවේ බහුතරයකට පසුගිය කාලයේ ඉන්දියාව පිළිබඳ විරෝධතා තිබුණ ද දැන් ඔවුන් ඉන්දියාවේ මෑත කාලීන උපකාර අගය කරති.
"LIOC එක තාමත් අපිට උදව් කරනවා," තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවක නියුතු මොහොමඩ් සුෆියන් පවසයි.
"ඉන්දියාව හිටියෙ නැත්නම් රටේම ශෙඩ් සම්පූර්ණයෙන් වැහිලා යාවි."